පේව් මන්ට් එකේ සිට සැබෑ කරගත් සිහිනය…

පුංචි කාලේ ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ගිය පෝය දවසේ තෘප්තිමත් කරගත්තා. මේකත් ඇන්ටි ගර්ල්ස් කතාවක්… එක කෙල්ලෙක් වත් නෑ කතාව පුරාවටම. අහෙන් මෙහෙන් වැටුන හිනා පොදවල්, ඇ‍ඟේ දැවටුන පර්ෆියුම් සුවඳවල් ඔක්කොම ටික නොසලකා හැරලා තමා කතාව ලියන්නේ. ඒත් ඉතිං අර රත් නෙළුම් අහුරක් ගෙනිච්ච අත්දෙක නම් අමතක වෙන්නේ නෑ….

මෙච්චර කාලයක් තිස්සේ රැ නිදි මරාගෙන,… පුංචි කාලෙනම් තාත්තගේ ඔඩොක්කුවට වෙලා අම්මගේ අතින් අල්ලගෙන සැපට ඉඳගෙන නිදිමත පෙර පෙර නුවර පෙරහැර ටීවී එකෙන් බලපු මට මේ පාර නුවර පෙරහැර, සෙනග මැද්දේ තෙරපිලා… දූවිලි කාගෙන බලන්න ආසාවක් ඇතිවුනා. ඉතිං මට තනියම යන්න ටිකක් කම්මැලි වගේ නිසා මගේ තව යාළුවෝ දෙන්නෙකුත් සෙට් කරගෙන ගියා නුවර. බස් එකේ යන ගමන්… අරුං දෙන්න හිටියත් හිතට කිසි ෆිට් එකක් නෑ… ඒ පාර අපේ බ්ලොග් ලියන, නුවර පෙරහැර බලන්න එන්න ඉඩ තියෙයි කියලා හිතෙන කිහිප දෙනෙකුට කතා කලාම… කට්ටියටම විවිධ ප්‍රශ්න. ඇත්තට ඉතිං මං තාම තනිකඩ උනාට අනිත් අයියලා මල්ලිලා කපල් වෙලානේ… එහෙව් එකේ ඉතිං පර්මිශන් ග්‍රාන්ට් කරන නං ඇවිදින්න අවසර නැහැනේ…

පස්සේ ඉතිං අන්තිමේ මට ඉතුරු වුනේ මාත් එක්ක ගිය යාළුවෝ දෙන්නා විතරයි. උදේ එකොලහට විතර නුවරට ගිහිං, උදේට කාලා එහෙම දළදා මාලිගාවට ගියා. ඒ යන ගමන් අපිට ඇවිල්ලා සෙට් වෙලා පෙරහැර බලන්න පුළුවන් තැන දෙක තුනක්ම මතක තියන් ගියාට අපි එද්දී එව්වා ඔක්කොම සෙනගින් පිරිලා. දළදා මාලිගයට ගිහිං අපි එතෙන ගත කරපු කාලය වැඩි වුනා මයෙ හිතේ… කඩපිල් ගානෙත් ඇවිද්දනේ… ඒකත් එකත්රා ලස්සන අත්දෑකීමක්…

ඇත්තට මට මේ පෙරහැර, ටීවී එකෙන් නැතුව ඇත්තටම සජීවීව… අර බෙර හඩට පපුව ගැස්සී ගැස්සී බලන්න හිතුනේ… අපේ අම්මා නිසා. අපේ අම්මා හැමදාමත් දළදා පෙරහැර ගැන ටීවී එකේ දාන කොට එයාගේ මතකය අවදි කරනවා. ක්වීන්ස් හෝටලයේ උඩ තට්ටුවේ අපේ ලොකු මාමාලා එක්ක පෙරහැර බලපු හැටි කියද්දී මට ඌරු ජුවල්… වෙන වෙලාවකට ඉරිසියාවක් නැති වුනත්, ඒ වෙලාවටනම් ම‍ගේ හිතේ තනිකරම හෙන ඊරිසියාවක් පැලපදියම් වෙනවා… ඒක නිසාම තමා මේ ගමන මට යන්න වුනෙත්…

ඉතිං දළදා මාලිගය වැද පුදාගෙන එද්දී අපිට ඉඳගන්න තැනක් නෑ… වෙනදට අපි එකෙක්ට වත් පදික වේදිකාවේ තියෙන එක බිම් අඟලක් වටිනවද…? ඒත් පෙරහැර තිබ්බ දවසේ නම් ඒ වටිනාකම හොඳට තේරුනා‍. මොකද අපිට ඉඳගන්න එක සෙන්ටිමීටරයක්වත් ඉඩ තිබුනේ නැති නිසා. කොහොමහරි අන්තිමේ අපිට එකතු වුන තවත් යාළුවෙක් නිසා අපිට ඉඳගන්න තැනක් හම්බුනා. හැබැයි අපිට ඉස්සරහින් ලොකු වතුර ටැංකියක් තිබ්බ නිසා වැඩේ ටිකක් අප්සට්… ඒත් ඉතිං වෙන කරන්න දෙයක් නැති නිසාම අපිට සිද්ධ වුනා එතෙන ලගින්න පෙරහැර එනකං….

පස්සේ ඉතිං තුනට විතර වාඩි වෙච්චි අපි තවත් පැය හයා මාරක් විතර… ඒ කියන්නේ රෑ 9.30 විතර වෙනකංම එකතැන එක එක පැත්තට හැරි හිරී බිම ඉටිකොල එලාගෙන බිම වාඩිවෙලා ඉඳියා. සමහරු නම් අහල පහල තිබ්බ ගොඩනැගිලි වල තිබ්බ පුටු වල හා උඩ තට්ටු වල ඉඳගෙන පෙරහැර බලනවා අපි දැක්කා. මං නිකං විහිළුවට වගේ ක්වීන්ස් ‍එකේ පුටුවක ගාන ඇහුවා…. වැඩිය නෑ රුපියල් වලින් 6000යි…. පස්සේ ඉතිං ඒ අදහස අතෑරලා තමා පේව් මන්ට් එකට බහින්න තීරණය කලේ… ඇත්තට පෙරහැරේ උණුසුම දැනුනේ ඒ සෙනග ගොඩේ තෙරපෙද්දී තමා…

රෑ 9.35 ට විතර අපි හිටිය යටිනුවර වීදියට පෙරහැර කිට්ටු වුනා. මුලින්ම කස කාරයො, ඊට පස්සේ ගිනි බෝල කරකවන අය. මං නම් හැම පෙරහැරේම වගේ ආසා ගිනි බෝල කරකවන වැඩේට තමා. කොච්චර බලං හිටියත් එපා වෙන්නේ නෑ…. මාරම ගති…. ඊට පස්සේ ඉතිං තව තව ගොඩක් නැටුම් අංග තිබුනා… අලිත් හිටියා සෑහෙන්න. වෙනදට අලින්ව සරසන සූත්‍රිකා පහන් වෙනුවට මේ පාර යොදාගෙන තිබුනේ එල්.ඊ.ඩී බල්බ්. මං හිතන්නේ එව්වා යොදා ගන්න ඇත්තේ, වියදම අඩු නිසාත්, පිටවන තාපය අඩුනිසාත් ඒ වගේම වැයවන විදුලි බලය අඩු නිසාත් වෙන්න ඕනේ…. ඔය මොනා අඩු වුනත් දීප්තියෙන් නම් අඩුවක් නෑ…

පස්සේ ඉතිං කරඩුව වඩම්මන ඇතා එනකං කියලා මාත් පොඩ්ඩකට ඇල වුනා. හප්පට සිරි ඒ ඇලවිල්ල තමා මරු. පැය භාගයක් විතර කාලයක් පෙරහැරේ වෙච්චි දේවල් මතක නෑ කියමු‍කෝ… මොකද මට ටික වෙලාවක් නින්ද ගිහිං. ගොඩක්ම ඉතිං ඇඟට දැනුන මහන්සිය නිසා තමා. පස්සේ කොහොමහරි කරඬුව ඇතුලු දේවාල හතරේ පෙරහැරත් බලලා යාන්තං පාන්දර එක වෙද්දී නුවරින් බස් එකේ නැගලා පාන්දර හයාමාර වෙද්දී ගෙදරත් ගියා…. ප්‍රවාහන පහසුකම් එහෙමත් කිසිම අඩුවක් නැතුව තිබුනා… ඒක නිසා ඉතිං අවුලක් වුනේ නෑ…

කොහොමහරි කට්ට කාලා ‍පුංචි කාලේ ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට කරගත්ත එකම මදෑ… ඒ නැතුවත් දැං අපේ අම්ම පෙරහැර ගැන පුරාජේරු කියවද්දී මටත් ඒ ‍මැද්දට පැනලා පොර වෙන්න පුළුවන්නේ…..!

%d bloggers like this: