දෛවයද මොකද්ද එක වෙනස් වුන ඉක්මන….

ඊයේ මට වෙඩිමක් තිබ්බ බව දන්නවනේ…. ඉතිං මං අඬ අඩ හිටියේ බියර් උගුරක් බීගන්න විදියක් නැතුවනේ… අම්මයි තාත්තයි එන නිසා. කොහොම හරි ‍දෙන්නම ගමන කැන්සල් කරලා ගෙදර හිටියා. තාත්තට හෙම්බිරිස්සාව වගේ නිසා එතෙන්ට ගිහිං ඉන්න අපහසු නිසා. පස්සේ ඉතිං මං තනියෙන් සෙට් වුනා ගමනට…

මං ගියෙත් මනාලිගේ අයිය එක්ක. පස්සේ ඉතිං ඔන්න හෝටලේට ගිහිං… පෝරුවේ වැඩද අරවද මේවද ඔක්කොටම සහභාගී වෙලා, දොලහට විතර අපිට ස්ටුඩියෝ එකට යන්න සෙට් වුනා තැන්කිව් කාර්ඩ් ටික ප්‍රින්ට් එකක් දාගන්න. ඉතිං ගියේ මනාලයාගේ මල්ලිගේ ට්‍රයි ෂෝ එකේ… ගිහිං එන ගමන් ඔන්න මොනාද මන්දා ටින් දෙකක් අරං මගේ යාළුවයි මායි බිව්වා… ඉතිං අර ආසාව හරි… මනාලයාගේ මල්ලි නම් බිව්වේ නෑ… වීල් එක ගෙනියන්නේ පොර නිසා…

ඔන්න ඊටත් පස්සේ ඉතිං කට්ටිය එක්ක නටනවා… මට හැමදාමත් වගේ ඔය නටන වෙලාවට කකුලේ කැක්කුමක් හැදුනා. එතකොට ඉතිං නටන්න බැහැනේ… ඒක නිසා මං පැත්තක, අනිත් අය නටනවා….

ඔය නැටිල්ල ඉවර වෙලා පැය දෙකකට විතර පස්සේ… අර බීපුවෑ සැර නැති වුනාම එහෙම… මනාලිගේ අයියයි, මනමාලයාගේ මල්ලියි ගියා මනාලයාගේ කෝට් එක අරගෙන එන්න… පස්සේ ඉතිං මාත් පැයක් විතර බලාගෙන ඉඳලා… කට්ටියටම යන්නං කියලා ගෙදර එන්න කියලා ආවා. එතකොට වෙලාව ඇති හවස හතරයි කාලට විතර.

මං එන තැනට ඉස්සරහ තියෙනවා හතරං මං හංදියක්… ඒ හතර මං හංදියෙන් දකුනට හැරිලා තමා මං ගාලු පාරට  යන්නේ… ඉතිං මෙහෙම ටික දුරක් යද්දී… ඉස්සරහින් එනවා ත්‍රී වීල් එකක්. ඒ කියන්නේ හතර මං හන්දිය දිහාවට මං ඇවිදගෙන එන කෙලින් විරුද්ධ දිසාවේ ඉඳන් මගේ පැත්තට. පස්සේ හතරමං හන්දිය සෙට් වෙන කිට්ටු වෙද්දී ඩ්‍රැයිවර් හෝන් එකත් ගැහුවා. හෝන් එක ගහලා වීල් එක හෙනම ස්ලෝ එකේ හතර මං හන්දියට දාපු ගමන් , අර මං හැරෙන්න ඕනේ පැත්තේ ඉඳන් ආපු කළු පාට වෑන් එකක්….

දඩස්…. ක්‍රීස්….. ගාලා වීල් එක මීටර් දෙකක් විතර දුරකට ඇදගෙන ගිහිං නතර වුනා.

දැන් ඉතිං එතෙන ඇක්සිඩන්ට් එකක් හැප්පුනා… මල මගුලයි ඉතිං. මාත් දනිපනි ගාලා දිව්වා වෑන් එක ගාවට. මට හිතුන විදියට නම් කාටවත් එච්චර තුවාල වෙන්න විදියක් නෑ… පස්සේ  ඉතිං දුවගෙන ගිහිං බලද්දී මස්සිනාලා දෙන්න ලේ පෙරාගෙන වීල් එක ඇතුලේ… මේක බොරුවක් නෙවේ… ඇත්තටම මගේ ඇස් දෙක ඉස්සරහා සිද්ධවෙච්ච මහ අවාසනාවන්තම සිද්ධියක්… ඒ පාර කොහොම හරි අනිත් අයගෙත් උදව් ඇතුව දෙන්නවම වෙන වීල් එකකට දාගෙන මාත් යනවා රෝහලට. යන ගමන් මගේ යාළුවගේ කටින් ලේ එනව… ඌ මට කියනවා…

මල්ලි කියපං…. මගේ මූන ඇද වෙලාද…?

මට කට උත්තර නෑ…. පස්සේ ආයේ අහනවා…

මොකද මල්ලි මට වෙලා තියෙන්නේ… මට කතා කරන්න අමාරුයි බං… දත් ටික ගැලවිලාද….

ඒත් මට කියාගන්න දෙයක් නෑ… පොරගේ මූනෙන් ලේ බේරෙනවා. පස්සේ මගේ ගාව තිබ්බ සර්වියට් එකෙන්ම උගේ ලේ පිහිදලා… ඒක දුන්නා පොරගේ අතට මේක තියාගෙන තද කරගනින් කියලා….

පස්සේ අනිත් එකා… ඌත් වීල්‍ එකට වෙලා මගෙන් අහනවා…

ඒ අයියේ මොකද බං අපිට වුනේ….?

අපි කොහෙද බං මේ යන්නේ….?

මං ඉතිං මොනාද කියන්නේ….? මං කවදාවත් ඔය විදියට ලෙඩෙක්ව අරගෙන ගිහිං නෑ රෝහලකට. එක පාරක් තාත්තව ඔපරේෂන් කරලා පානදුරේ රෝහලට ගියා… ඊට පස්සේ ආයෙමත් අර පෙරේතයෙක් කාපු බත් කාලා තාත්ත ලෙඩ වෙච්ච වෙලේ ගියා… ඊට අමතරව අම්මට මල්ලිව හම්බුනාම දවසක් ගියා, අයෙම ලොකු මාමාව බලන්න දවස් දෙක තුනක් නුවර ගියා… ඒ ඇරෙන්න ලෙඩක් එක්ක ගිහිං නෑ මං. එහෙව් එකේ මට අර අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නෑ…

ආයෙම මගේ යාළුවා මගෙන් අහනවා…

මල්ලී, මට කතා කරන්න  බැරි වෙයිද බං…? ඒ හැම දෙයක්ම පොර කිව්වේ නිකං හරියට කටේ වතුර ටිකක් තියාගෙන කතා කරන කොට අපිට ඇහෙන්නේ අන්න ඒ විදියට…

පස්සේ ඉතිං මට දෙන්න පුළුවන් හොඳම උත්තරේ වුනේ….

ගනන් ගන්න එපා බං… ඔය කට හිරි වැටිලා තියෙන්නේ ඒකයි බං…. කියන එක විතරයි…

අනිත් මල්ලිටත් කියන්න වුනේ…

උඹ බය නැතුව හිටිපං, ඉක්මනට ඉස්පිරිතාලෙට ගියෑකි කියලා විතරයි….

පස්සේ ඉතිං ත්‍රී වීල් අයියත් පුළුවන් ඉක්මනින් අපිව අරගෙන ගියා රෝහලට… පස්සේ දෙන්නවම වාට්ටු දෙකකට දාලා, ආයෙම එකම වාට්ටුවකට දැම්මා දෙන්නගෙම ඔලුව වැදිලා නිසා චෙක් කරලා ඒක්ස් – රේ ගන්න ඕනේ කියලා…. ටික වෙලාවකින් මගුල් ගෙදර කට්ටිය ආවා…. අපේ මල්ලිත් ආවා. පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර මල්ලිව ටික වෙලාවකට යාළුවෝ දෙන්න ගාව තියලා මං ගෙදර ආවා… මොකද මට සෑහෙන මහන්සියි ඒ වෙද්දී…. අළුත්ම අත්දැකීමක් වුනත් කවදාවත් ඒ වගේ අත්දැකීමක් ලබන්න නම් හීනෙකින්වත් පැතුවේ නෑ…

පස්සේ දැන ගත්ත විදියට මගේ යාළුවගේ උඩ හනුවයි යට හනුවයි ක්‍රැක් වෙලා… පහල ඇන්දේ දත් ටික කොටස් දෙකකට කැඩිලා ස්ථර දෙකක් විදියට ප්‍රමාණ දෙකකින් කට ඇතුලට ගිහිං. ඒකනං හදන්න පුළුවන් කිව්වා…

පස්සේ අර අනිත් මල්ලි… මෑන්ගේ ඔලුව මොකක හරි තදින් වැදිලා… මිනිහාට වෙච්චි කිසිම දෙයක් මතක නෑ… අඩුම ගානේ කොහෙද ගියේ කියලවත් මතක නෑ… ඒකත් අර එක පාර ඇති වෙච්ච කම්පනේ නිසා කිව්වා… ටික දවසකින් ඒකත් ඇරිලා යයි කිව්වා…

පස්සේ ඉතිං ගෙදර ආවම තමා මට හොඳම කතාව අහන්න වුනේ… කිව්වේ අපේ අම්මා, අම්මට කියලා තියෙන්නේ මගුල් ගෙදර කට්ටිය එක්ක ගෙන ආව, ඇක්සිඩන්ට් එක වෙච්චි තැන ත්‍රී වීල් රියදුරෙක්…

ඔය ඔතෙන වෙච්චි තිස් හත්වෙනි ඇක්සිඩන්ට් එක…. හැමදාම වෙඩින් එකක් තියෙද්දී එතෙන ඇක්සිඩන්ට් එකක් වෙනවමයි…

%d bloggers like this: