අපරාදේ, මං ගමනටම ගියානම් ඉවරයි….!

ලොකූ….

ලොකූ……..

ඕ….. මේ එනෝ…. පොඩ්ඩක් ඉන්නෝ……

ඔන්න ඔහොම තමා අපේ මවුතුමී, මං පේන මානෙක් නැත්තං මාව ට්‍රැක් කරගන්න ට්‍රැකින් සිග්නල් එක දෙන්නේ. මටත් ඉතිං සද්දේ එාහන මානෙ හිටියොත්… මාත්, මේ එනෝ කියලා ප්‍රතිචාර දක්වනවා. නැත්තං ඉතිං කලබල වෙනවානේ… (ප්‍රති)චාරයක් නෑ කියලා. ඒක නැති බව වරක් දෙවරක් අපේ අම්මට ඒත්තු ගියාට ත‍ාම ගෙදරින් පන්නන තරමට දරුණු වෙලා නෑ වැඩේ…

ඉතිං දැන් ටික දවසකට කලිනුත් මට මේ ට්‍රැකින් සිග්නල් එක ඇහුනා. පස්සේ ප්‍රතිචාර දීලා බලද්දී… මේං මවුතුමී මයෙ එහා පැත්තේ‍‍. මං ලැපී එක්ක ග්‍රීන් ලැන්ටර්න් බලනවා. ඔන්න පටන් ගන්නවා මොකක් හරි වැදගත් කතාවක්. ඇත්තමයි අපේ අම්මටත් ඔක්කොම කතා කරන්න හිතෙන්නේ මං ලැපී එක්ක සෙට් වෙලා මොකක් හරි කරද්දී තමා. අනිත් වෙලාවට ඉතිං මං ගෙදර නෑනේ… ඒක නිසා වෙන්න ඇති.

ඉතිං මේ වැදගත් කතාව තමා… අල්ලපු ගෙදර නංගි බඳිනවා කියන සුභ ආරංචිය. අනිත් එවුන්ට නම් ඔය ආරංචිය ඇහිච්ච ගමන් හෙනම දුකක් ඇති වුනාට, අනේ මට නම් ගානක් වත් නෑ… මොකද මේ අවුරුදු විසි ගානටම මං එයත් එක්ක කතා කරලා තියෙන්නේ දෙපාරයි නැත්තං තුන් පාරයි. එහෙව් එකේ ඉතිං එච්චර අප්සට් යන්න දෙයක් නෑ…

ලොකූ… ඔයාට ගමනට එන්න කිව්වා….

ඈ… හත්තිලව්වයි… යකඩෝ මං ඒකිත් එක්ක කතා කරලවත් නෑ හරියට, එහෙව් එකේ ඒකිගේ මගුලට යන්න….???

අනේ අම්මේ… මට නම් බෑ…. ඕනේ නම් කාලා එන්න හෝටලේට යන්නං…. එහෙම නැතුව ගමනටනම් බෑ…

ඒත් ඉතිං අපේ අම්මා නෙමෙයි ගේම අතාරින්නේ…

එහෙම කියලා බෑනේ ළමයෝ… මල්ලිටයි අපිටයි එන්න කිව්වා හෝටලේට… ඔයාට ගමනට එන්න කිව්වා… මේං වෙනමම කාඩ් එකකුත් දුන්නා….

මං ඉතිං වැඳලා කියන්නයෑ… ගමනට යන්න බෑ කියලා… පස්සේ ඉතිං, හ්ම්… බලමු කියලා ෂේප් වුනා. මං දන්නේ නෑ ඇයි මං ඔය තරම් ගමනට අකමැති කියලා… සමහර විට දුර නිසා වෙන්න ඇති. කොහොමත් කිලෝමීටර් 150ක් විතර සෙට් වෙනවා යන්න විතරක්…. ආයේ එද්දී තව 150ක්… ඔක්කොම 300යි… පස්සෙන්දත් මට සමහරවිට නිවාඩු දාන්න වෙයි… ‍ඒක නිසා තමා මං හිතන්නේ මං ඒකට බෑ කිව්වේ…

ඒ වගේම ඔය වැඩේට මංම යන්න ඕනේ නෑනේ… අපේ මල්ලිට වුනත් යන්න ඇහැක්නේ. ඒක නිසා මල්ලිට චීස් කෑලි ටිකකුයි, අයිස් ක්‍රීම් කප් එකකුයි ගෙනත් දීලා… මිනිහාට දැම්මා වචනේ…

මේ… තමුසේ යනවා… මට බෑ බං, ඔච්චර දුර ගිහින් ඊගාව දවසේ වැඩට යන්නත්…. අනික තමුසේ මේ ටිකේ ගෙදරනේ… ඔන්න ඔහේ යනවා… ඕනෙ නම් මගේ කැම් එකත් ගෙනියනවා…. පස්සේ ඉතිං මුලින් මුලින් බෑ බෑ කිය කිය හිටිය එකා ලාවට වගේ හා හා කියනවා. ආයෙමත් ඉතිං ඉතුරු ටික හා කියෝගත්තේ…

මේ සමීරත් යනවනේ… තමුසෙට ෂේප් එකේ වයිට් ලේබල් පාරක් දාගන්න පුළුවන්….

අපරාදේ මං ඒ ටික ඌට කලින් පහදලා දුන්න නම් මගේ අතින් චීස් වලටයි, අයිස් ක්‍රීම් වලටයි ගිය ගාන ඉතුරුයි. කොහෙද ඉතිං ඔය වගේ ගුඩ් අයිඩියා එකපාරටම එන්නේ නෑනේ…

මේක කිව්වා විතරයි… මූ එක පයින් හා කියන්නේ… ඌට අර නංගිව අද බන්දලා ගමන යවන්න ඇහැක් නම් ඒකත් කරන තරමට පොරට හදිස්සිය. මොකද අයියා බියර් විතරක් වුනාට මල්ලිගේ ෆේවරිට් එක වයිට්… අනිත් එව්වත් සුළු වශයෙන්…. අපි ඉතිං පානදුරේ ස්කෝලේ ගිය කොල්ලොනේ…. ඌ එහෙම නෙමේ ඌ මොරටුවේ කුමාරයෙක්නේ… ඉතිං පොර මට වැඩිය ඇඩ්වාන්ස්….

පස්සේ කොහොම හරි ඒ ගමන කැන්සල් කරලා මං හෝටලේට යන්න සෙට් කරගත්තා… දැන් මට තියෙන පස්නේ… අද වෙඩින් එකේදී මවුතුමීටයි පියතුමාටයි කවර් වෙලා බියර් උගුරක් බොන්නේ කොහොමද කියලා…. අපරාදේ එක්කෝ මං ගමනටම ගියානම් ඉවරයි….!

මේක තවත් චූටි කතාවක්. ඔය අද බඳින නංගිගේ අයියා මට වැඩිය අවුරුද්දක් වැඩිමල්… ඉතිං ඌ බැන්දා ගිය අවුරුද්දට කලිං අවුරුද්දේ… අපේ ගෙට එහා පැත්තේ මයි මගුල් ගේ තිවුනේ. ඉතිං මාත් වැඩි කලබලයක් නැතුව ඔෆීස් ගිහිං ඇවිල්ලා ලෑස්ති වෙලා ගියා මගුලට. අපේ අම්මලත් ආවා ඉතිං. පස්සේ අම්මටයි තාත්තටයි එයාලගේ යාළුවෝ එක්ක කතා කරන්න දීලා මං ගියා මගේ සෙට් එකට. මනමාලයත් ඉන්නවා. ඉතිං ඒ වගේ තැනකට සෙට් වුනාම කට්ටිය බල කරද්දී මුකුත් නොකර කොහොමද නේද…? ඒක නිසා මාත් ඔන්න මොනාද මොනාද කලා….

පස්සේ ටික වෙලාවක් යද්දී… ලක්මාල් අයියා කොහේදෝ ඉඳන් ඇවිත් පුටුවකුත් ඇදගෙන මයෙ ගාවන් වාඩි වුනා. දැන් මූත් අපිත් එක්ක කතාව. කොහොම හරි ඒ වෙද්දී කොර කොර හිටපුවා ඉවර වෙලා… පස්සේ ඉතිං ඔහොම ඉඳලා මාත් ගෙදර ආවා… අනිත් අයත් ගෙවල් වලට ගියා.

මෙන්න දවස් දෙක තුනකින් ලක්මාල් අයිය හම්බුවෙලා කියනවා…

එදා උඹලයේ අම්මා කිව්වනේ බං උඹ බොනවද කියලා බලන්නය කියලා… ඒකයි බං මං පුටුවකුත් ඇදගෙන උඹ ඉන්න තැනට ආවේ…..! උඹ ඉතිං බිව්වේ නෑනේ…!

%d bloggers like this: