මමත් හැකර් කෙනෙක් නේ….. මෙච්චර කල් අමතක වුනා…

2003 දී හරි 2004 දී හරි… සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. එතකොට මං ස්කෝලේ උ.පෙ පන්තියේ. ඒ දවස් වල ඉතිං මං වැඩිහරියක්ම ඉන්නේ පන්තියෙ නෙවෙයිනේ… ගුරුව‍රයෙක් නැති පීරියඩ් එකක් අහුවෙච්ච ගමන් මං දුවන්නේ ස්කෝලේ මං ආසම තැන වෙච්චි, අපේ කම්පියුටර් ලැබ් එකට. ඒ දවස් වල අපිට අළුතෙන්ම කම්පියුටර් 23ක් එක්ක ඒ.සී කරපු ලැබ් එක ලැබුනා විතරයි.

ඒ කම්පියුටර් වල තිවුනේ මාර නැවුම් සුවඳක්… පෙට්ටි කඩලා ගත්ත අලූතනේ… ඒකයි. ඉතිං ඔය කාලෙදීම අපිට ඉන්ටර්නෙට් සම්බන්ධතාවත් ලැබුනා. ඒත් කරන්න පුලුවන් දෙයක් නැති තරමටම කනෙක්ෂන් එක ස්ලෝ…. අපිටත් ඉන්ටනෙට් තියෙනව කියලා මහ ලොකුවට උජාරුවෙන් කියන්න පුළුවන් වුනාට ඇති වැඩක් නෑ… අඩුම ගානේ මගේ යාහු මේල් එක ඕපන් වෙන්න විනාඩි 10ක් වත් යනවා… එතකොට ඉතිං අර පීරියඩ් එකෙන් කාලක් විතර ගිහිං. මේල් ටික චෙක් කරන්න පටන් ගද්දී වෙලාව හරි ඊළඟ පීරියඩ් එකට. ඉතිං සෑහෙන කාලයක් ‍ඔහොම තිවුනා. පස්සේ ඔන්න ටිකක් විතර ස්පීඩ් කනෙක්ෂන් එකක් හම්බුනා.

ඒ අළුත් කිරීම් එක්කම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ආවා වැඩසටහනක්… කම්පියුටර් ලැබ් තියෙන හැම පාසලකටම තමන්ගේ කියලා වෙඩ් අඩවියක් තියෙන්න ඕනේ කියලා. ඒක හොස්ට් කරේ මොරටුව යුනියේ සර්වර් එකක. ස්කූල් නෙට් කියන්නේ ඒක තමා.

ඉතිං කොහොම හරි මගේ තියෙන පන්ඩිත කමට, අපේ ස්කෝලේ වෙබ් ‍සයිට් එක හදන වැඩෙත් මටම සෙට් වුනා. මං ඒ වෙනකං ඔය පන්ති වල කියලා දුන්න html කෝඩ් කෑලි වලින් නෝට් පෑඩ් එකේ ලිය ලිය එක එක මගුල් කරාට ටිකක් වැදගත් විදියට වෙබ් එකක් හදලා තිබුනේ නෑ… ඉතිං මේක මට හෙනම කේස් එකක්. පස්සේ ඉතිං ඔන්න මයෙ ගාව තිබ්බ සීඩී එකකින් ඩ්‍රීම් වීවර් දාගෙන වැඩේ පටන් ගත්තා. ඒ දවස් වලත් ෆ්ලෑෂ් යන්තං ඇහැක් නිසා එව්වත් ඔබලා සාමන්‍ය මට්ටමේ වෙබ් එකක් අටෝගත්තා. අපේ ස්කෝලේ ගුරුවරුන්ටත් ඉතිං මේක හෙන ලොකුයි. පස්සේ ඉතිං හැමෝගෙම පැසසුම් මැද්දේ මේක යුනියේ සර්වර් එකට අප්ලෝඩ් කරලා ඔක්කොම ටික වට කරගෙන අපේ ප්‍රින්සිපල් ලව්වා නිල වශයෙන් මේක විවෘත කරා.

ඉතිං ‍ඔහොම යද්දී… සයිට් එකේ අප්ඩේටින් කරන්නෙත් මම ඩිවෙලොපින් කරන්නෙත් මම. අන්තිමේ මට වන් මෑන් ෂෝ එකක් තමා ගහන්න වුනේ. පස්සේ ඔහොම කරගෙන යද්දී… අපිට යුනියේ සර්වර් එකේ තියෙන අපේ වෙබ් ෆෝල්ඩර් එකට ලොග් වෙන්න තිබ්බ පාත් එකේ ගිහිං, පාස්වර්ඩ් එහෙම දීලා… සතියකට පාරක් විතර අප්ඩේටින් වැඩ ටික කරගෙන යනවා.

ඔහොම යද්දී තමා මගේ කරුම දවස ආවේ… ඇත්තටම කරුම දවස කිව්වට හෙන ජොලිම දවස… අර කිව්ව යුනියේ සර්වරේ පාත් එක තිබුනේ … http://www.*****.***/wf/myschool කියලා. ඉතිං ඔය මයි ස්කූල් කියන්නේ මගේ ස්කෝලේ නම. ස්කෝලේ නමට ෆෝල්ඩර් හදලා එව්වට පාස් වර්ඩ් දාලා තමා තිබුනේ… ඉතිං මේ කියන දවසේ මං ලොග් වුනේ වෙනදා වැඩ කරන මැසිමෙන් නෙවේ… වෙන මැසිමකින්. ඉතිං අර මං මැප් කරලා තියන් හිටිය වෙබ් ෆෝල්ඩර් පාත් එක ඒකෙ නැති නිසා මට සිද්ධ වුනා අයෙම ලින්ක් එක හදාගන්න. ඒක ඉතිං ගොඩක් අමාරු දෙයක් නෙවේ…

ඒක නිසාම කාගෙවත් උදව්වක් නැතුව මං තනියම ලින්ක් එක හදාගන්න ට්‍රයි එක දෙන ගමන මට නිකමට හිතුනා…. අර මුළු ඇඩ්රස් එක වෙනුවට මෙහෙම… http://www.*****.***/wf/ කියලා දෙන්න. පස්සේ ඉතිං මං එහෙම පාත් එක හදාගෙන එක පාරක් එන්ටර් දුන්නා…

අප්පට සිරි මේං සීන් එක… ලංකාවේ දැනට කම්පියුටර් ලැබ් තියෙන ගොඩක් ස්කෝල වල ෆෝල්ඩර් තියෙනවා ස්කෝල වල නම් වලින් මෙතෙන. මට ඉතිං මාර අප්සට් මේ සීන් එකට… ටිකක් හොයාගෙන යද්දී අපේ ස්කෝලේ එකත් තියෙනවා. ඒ වෙලාවෙ නම් මට ඉතිං හරි සන්තෝසයි… මං හොයපු අපේ ස්කෝලේ ෆෝල්ඩර් එක හමුවුනානේ… ඒක නිසා. පස්සේ ඉතිං ඒක ඩබල් ක්ලික් කරපු ගමන් මෙන්න බොල පාස් වර්ඩ් එක ඉල්ලනවා. පස්සේ ඒක දීලා… අපේ වෙබ් එකේ අප් ඩේටින් වැඩේ ඉවර කරලා එහෙ මේ සීන් එක අපේ කම්පියුටර් සර්ට කිව්වා. සර්ත්  ඇවිල්ලා කේස් එක බැලුවා. සර් ටිකක් වෙලා කම්පනා කරලා එහෙම මගේ මූන දිහා හොඳට බලාගෙන ඉන්නවා… මල මගුලයි… දැන් ඉතිං මාත් ටිකක් තිගැස්සිලා…

තියන්න බැහැනේ මං බක පන්ඩිතයා වගේ මොකක් හරි දරුණු වැරැද්දක් කරාද කියලා… පස්සේ ඉතිං සර් කියනවා…

හ්ම්… මේ තමා හැකර් කෙනෙක්ගේ පළවෙනි පියවර…. කියලා…

ඈ…. මම…? මේ මම…? හැකර් කෙනෙක්….? මං මෙච්චර කල් හැකර්ලා ගැන අහලා තිබුන නිසා හැකර්ලව දේවත්වයෙන් පුදාගෙන හිටියේ. කවද හරි මාත් ඔය වගේ පොරක් වෙනවා කියලා පොඩි සිතුවිල්ලක් තිබ්බට ඒක මෙච්චර ඉක්මනට කරන්න ඇහැක් වෙයි කියලා හිතුවේ නෑ… ඒ කියන්නේ මාත් ඒ වෙලාවේ හැටියට හෙන පොරක්.

පස්සේ ඉතිං සර්ගේ අධීක්ෂනය යටතේ අර වෙබ් ෆෝල්ඩර් එකේ අළුතෙන් ෆෝල්ඩර් හැදුවා… පස්සේ අපේ එක සම්පූර්ණයෙන් ඩිලීට් කරලා ආයෙම කොපි කරා… ඇත්තටම වෙලා තිවුනේ යුනියේ අය පර්මිෂන් සෙට් කරලා තිබුනේ අපේ ෆෝල්ඩර් වලට විතරයි. එයාලගේ සර්වර් එක බල්ලට දාලා තිබුනේ. ඒක නිසා තමා මට අර වගේ දෙයක් කරන්න ඇහැක් වුනේ. ඒ වගේම මට අනිත් අයගේ ෆෝල්ඩර් වලට නම් යන්න බැරිවුනා. ඒ අර පර්මිෂන් කේස් එක නිසා. අනිත් වැදගත්ම දේ තමා… මම ඒ ෆෝල්ඩර් වලින් භාගයකට වැඩි ප්‍රමාණයක් මගේ මැසිමට ඇදගෙන ඔරිජිනල් එව්ව ඩිලිට් කරපු එක. ඇයි ඉතිං මං හෙන හැකර්නේ ඒ වෙද්දී… හොඳ නරකක් ‍හොයනවට වැඩිය හැකර් කෙනෙක් කියලා හිතෙන එක කොච්චර ලොකුද කියලා තේරෙන්නේ ඒ වගේ වෙලාවකම තමා.

පස්සේ ඉතිං ආයෙම ඊළඟ දවසේ මටම හිතිලා ආයෙම ඒ ටික දැම්මා. කොහොමත් මට එව්වා ඕපන් කරන්නත් බැරි ඒ ටික තියාගෙන ඇට කන්නයැ… අනික ඒවත් මං වගේම පාසල් වල ළමයි අමාරුවෙන් කට්ට කාගෙන හදපුවා, ඉතිං ආයෙම මං සර්වරේටම කොපි කලා. කොහොම හරි මං ස්කෝලෙන් අයින් වෙලා අවුරුද්දක් විතර ස්කෝලේ ලැබ් එකේ උගන්නනකනුත් ඒ අඩුපාඩුව යුනියේ අය හදලා තිබ්බේ නෑ… අනේ මන්දා දැන් නම් කොහොමද කියලා…  අර අපේ සර්ගේ අධීක්ෂනය යටතේ ෆෝල්ඩර් හැදිල්ල කරන්න වුනේ… මීට කලින් වතාවකදී මං කරපු තවත් එක්තරා සීන් එකක් නිසා තමා… සර් නිසාම හොඳයි… වෙන කෙනෙක් නම් මට ස්කෝලෙන් නිවාඩු දෙනව‍ හැමදාටම….

ඔන්න ඔහොමයි ඔය ලොකු ලොකු හැකර්ලා අස්සේ මාත් පොඩියට හැකර් පාට් එකක් ඇක්ට් කලේ… එවේලේ මං ඔක්කොම ෆෝල්ඩර්ස් ටික මැකුවනම්……???????

%d bloggers like this: