ගණන් බැරි වුනාට, සිතියම් අධ්‍යනය පුළුවන්….

මේ කතාවත් මං කොහේ හරි ගිහිං ගෙදර යද්දී මායි යාළුවෙකුයි අතර ඇතිවෙච්ච කතාවක්. මේකත් ඉතිං බස් එකේ කතාවක්ම තමා. හැබැයි කෙල්ලෝ සම්බන්ධ නෑ…. එහෙම වුනයි කියලා මේකෙ අපිට ගන්න දෙයක් නැත්තෙත් නෑ,..

මට ඇත්තටම මතක නෑ මමයි මගේ යාළුවයි කොහේ ගිහිං එන ගමන්ද කියලා. කොහොමහරි අපි බස් එකට නැග්ගේ ගල්කිස්ස හරියෙන්. ඉතිං ඒ වෙලාවේ කොහොම හරි බස් එකේ සෙනගත් හිටියේ නෑ. ඒක නිසාම අපිට ඉඳගන්න සීට් දෙකකුත් ලැබුනා. පිටි පස්සේ සීට් එකේ තමා ඒ. දවල් 2ට විතර ඇති වෙලාව. ඒ කියන්නේ හොඳටම නිදිමත වෙලාව. ඒත් ඉතිං කන පැලෙන්න බස් එකේ සිංදු දාලා තිබ්බ නිසා නින්දක් පේන මානෙකවත් නෑ….

ඉතිං ඔහොම යද්දී රත්මලාන හරියෙදී…. කොන්දා මල්ලි එනවා ටිකට් කඩන්න. දැං ඉතිං පොර අපිට ඉස්සරහ ඉන්න අයගෙන් සල්ලි අරගෙන ටිකට් කඩාගෙන එනවා… හැබැයි පොරට ටිකක් මඤ්ඤං වගේ… මොකද මෑන් ඉන්නේ එවෙලේ ප්ලේ වෙන චාමර වීරසිංහගේ සිංදුවේ සිහියෙන්. මෑන්ස් ඒ සිංදුවට හෙන ආස පාටයි. හිමීට කටින් කිය කිය…. ටිකට් ටික කඩාගෙන යනවා…. ඒ අතරෙදි, ටිකට් කඩද්දී මිනිස්සු අතෙන්ට මෙතෙන්ට කියලා බහින තැන් කිව්වට කොන්දට ඇහෙන්නේ නෑ….  ඒක නිසා ඉතිං කොන්දයි බස් එකේ යන අයයි දෙගොල්ලොම වාත වෙනවා.

පස්සේ අන්තිමේ කොන්දා අපි ගාවටත් ආවා. ඒ පාර මං තමා ටිකට් ගත්තේ දෙන්නටම. එතෙන්දි තමා සීන් එක වුනේ. මගේ යාළුවා බහින්නේ මං බහින තැනට වඩා රුපියල් දෙකක් කලින්. හෝල්ට් ගාන කීයද කියලා මං දන්නේ නෑනේ. ඌ එක්ක කොච්චර ගමන් බිමන් ගියත් පොර බහින තැන ඉඳන් මං බහින තැනට තියෙන හෝල්ට් ගාන මට මතක නෑ…. ඒක නිසා තමා රුපියල් වලින්ම දුර කිව්වේ. අනික මේ අළුත්ම අළුත් ගාස්තු යටතේ දුර.

ඉතිං දැන්… කොන්දට මං හෝල්ට් දෙක කියලා ටිකට් ඉල්ලුවාම මූ… මහා ලොකු ගානක් හදනවා වගේ අපි දෙන්නට යන බස් ගාස්තුව ගනන් හදනවා. මං හිතන්නේ ඇල්බට් අයින්ස්ටයිටවත්, ප්ලේටෝ වගේ අයටවත් එච්චර ලොකු ගනන් තියෙන්න නැතුව ඇති. නිකං හිතන්න… මට ගාස්තුව රුපියල් 27යි…. යාළුවට රුපියල් 25යි කියලා. දැන් කොන්දට මාර පස්නේ මේ දෙක එකතු කරගන්න… එකපාරක්…. රුපියල් 53යි මහත්තයා… කිව්වා…

මම…. ඈ… බස් ගාස්තු ආයේ වැඩි වුනාද….? කියලා ඇහුවම… ආ නෑ නෑ…. මහත්තයා…47යි…. කිව්වා… ඒ පාර මගේ යාළුවා ඇහුවා ගාන හරිද කියලා…. ඔන්න ඊට පස්සේ තමා පොර ගාන හරියට කිව්වේ… බලාගෙන යද්දී සීන් එක වෙලා තියෙන්නේ මෑන්ගේ මොලේ ප්‍රයෝරිටි එක ගිහිං තියෙන්නේ අර සිංදුවට. පස්සේ ඉතිං යන්තං ටිකට් දීලා ඉස්සරහට ගිය ගමන් මට ටිකක් විතර හිනාගියා කොන්දොස්තරගේ විකාර හැසීරීම නිසා. සමහර වෙලාවට අපිත් ඔය වගේ වෙන්න ඇති.

පස්සේ ඉතිං මං හිනාවෙනවා දැකපු මගේ මිත්‍රයා කිව්ව දේ ගැන විශේෂයෙන් මට හිතන්න වුනා. මොකද මං එහෙම දෙයක් මීට කලින් අහලත් නෑ… ඒ තරමටම එහෙම දෙයක් හිතිලත් නෑ…. දැනිලත් නෑ…

මගේ යාළුවා කිව්වේ…

මචං ඌ උඹ තරම් ඉගෙන ගෙන නෑනේ… පොර ඉගෙන ගත්තනම් ඔය වගේ රස්සාවක් කරන්නේ නෑනේ බං…. කියලා.

ඇත්තටම ඊළඟ මොහොතේ මට කටඋත්තර නැතුව ගියා. ඒත් ඉතිං එවෙලේම මගේ කටට ආවේ…

ඔව්නේ බං… ඌට ගනන් බැරි වුනාට… සාමජ අධ්‍යනයයි, සිතියම් අධ්‍යනය පුළුවන්නේ බං. නැත්තං ඉතිං හෝල්ට් ඔක්කොම මතක තියාගෙන ගානට ටිකට් කඩන්න බැහැනේ…. කියලා. මාත් ඉති ලෝබ කමක් නැතුව ඒ ටික එහෙම්ම මගේ යාලුවට කිව්වා….

ඒත් පස්සේ ගෙදර ඇවිත් මේ සීන් මතක් වුනාම තමා හිතුනේ…ඇත්තනේ මේ කියන්නේ… කොන්දා යන්තං හරි විභාගයක් පාස් වෙලා තිබ්බනම් මෙහෙම, මිනිස්සු‍න්ගේ බැනුම් අහ අහ… දාඩිය පෙර‍ාගෙන මහන්සි වෙන්නේ නෑනේ… කියලා‍. පස්සේ ඉතිං ටිකක් විතර දුකකුත් මට හිතුනා. ඒත් ඉතිං මොනා කරන්නද… ඒක ඒ මනුස්සයාගේ රස්සාව‍නේ… ඊටත් අත පය හතරම තියාගෙන කිසිම රැකියාවක් නොකර හොරකමේ යන, නිතී විරෝධි ක්‍රම වලට සල්ලි හම්බකරන  අය ඕනේ තරම් ඉද්දී කොන්දා බැනුම් අහගෙන හරි රස්සාවක් කරන කොයි තරම් දෙයක්ද…!

ඇත්තටම මට ගනන් පුළුවන් වුනාට, මට වැඩිය ‍හොඳට කොන්දට සමාජ අධ්‍යනයයි… සිතියම් ලකුණු කිරිමයි අනිවා පුළුවන් ඇති.  සමහර විට එවේලේ අර සිංදුවට අවධානය යොමු වුනේ නැත්තං ගණිතයත් මට වැඩිය හොඳට පුළුවන් ඇති….

අනිත් එක තමා ඔය බස් වල දාන සිංදු වල සද්දේ… අම්මෝ වෙලාවකට කන තියාගෙන ඉන්න බෑ… බැහැලා වෙන එකක නගින්නමයි හිතෙන්නේ…

%d bloggers like this: