කෙලී දැන් ටිකක් ලොකුයිනේ…. අපේ අම්මලාත් කැමති වෙයි….!

නිවාඩු දවසට මට තියෙන එකම රාජකාරිය තමයි මගේ බයිසිකලේ කරගෙන ගම වටේ ඇවිදින එක. ගම වටේ කිව්වට ඉතිං ගම මැද්දෙන් පාරවල් දෙක තුනකින් දාගෙන යන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදරකට. එහෙ ගිහිං ඌත් එක්ක කයියක් දාගෙන ඉන්න ගමන් තමා මට මේ කෙල්ලව බලන්න යන්න හිතුනේ…. මං මුලින්ම යද්දී නම් කෙල්ල හෙන පුංචියි. ඒ දවස් වල ලඟට ගිහිං ෆොටෝ එකක් එහෙම ගහගෙන ආවට, එතනින් එහාට දෙයක් කරන්න ගියේ නෑ… අඩුම ගානේ කොන්ඩෙන් අදින්නවත් ගියේ නෑ… කියන්න බැහැනේ කවුරු හරි බලං ඉඳලා බාල අපචාරයක් කරයි කිව්වොත් එහෙම කෙලීගේ දෙමව්පියෝ එයි මාව කන්න… කෙල්ලෙකුට ටිකක් ලොකු වෙලා පාට වැටිලා හැඩවෙන කං ඉන්නේ නෑ… එනව මෙතෙන මගුල් නටන්න කියලා….ඒක නිසා ඉතිං එදා මං ඉවසලා හිටියා.

ඒත් ඒ කාලෙදීම ඒකිගේ අනාගතේ ගැන දැනගත්ත දෙමව්පියෝ කෙල්ලට ආරක්ෂකයෙක් දීලා තිබුනේ. මොකද අම්මලා තාත්තලාට තේරුනා කෙල්ල ලස්සනට රත්තරං පාටට පාට වැටිලා, කොන්ඩෙත් දිගට වැවිලා ලස්සන වෙලා… දෙමාපියන්ගේ මුළු අනාගතේම සාරවත් කරනවා කියලා. ඒ වගේම ඉතිං අනිත් අම්මලා තාත්තලාගේ වගේම ඒ දෙමහල්ලන්ගෙත් බලාපොරොත්තුව වුනේ කෙල්ලව හොඳට ආරක්ෂා කරාගන හොඳට කන්න බොන්න දීලා ආදරෙන් බලාගන්න එක තමා. ඒ නිසාම තමා ඔය නහර කාර එක එක අවිච්චියෝ , පොල්කිච්චෝ වගේ කුරුල්ලන්ගෙන් කෙල්ලව බේරගන්න කියලා ආරක්ෂකයෙක්ව දැම්මේ. උගේ වැඩේ කෙල්ල දිහා බලන් එකමයි. ආසාවට එක ඇහිපිල්ලමක් ගහන්නේ නෑ… වැස්සට තෙමුනත් අව්වට වේලුනත් ඒ ගොන් අලියා ඔහේ හිටගෙන කෙලීව මුරු කරනවා. කෙල්ල පුංචි කාලේත් මේ ආරක්ෂකයා කෙල්ල ගාවම හිටියට ඌටත් මොකද්දෝ අමුතු ලස්සනක් එකතු වෙලා මේ කෙලී දැන් ලොකු වෙලා පාට වැටිලා නිසා.

ඔය කොච්චර මුර කාවල් තිවුනත් ඉතිං කෙල්ලව බලන්න නං කාටවත් තහනමක් නෑ…

ඒත් ඉතිං ඔය එක එක නාටක රූකඩ බලන අපේ කොල්ලෝ මේ වගේ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ… ඒ වුනාට ඉතිං මං නම් එක හිතින් කැමතියි මේ කෙල්ලට. ලස්සන රත්තරං පාටට දිලිසෙන අපූරු කෙලි පොඩ්ඩ. බොරු කියන්නේ මොකටද කෙල්ලගේ ලඟින් යද්දී දැනෙන සුවඳට මාව මත්වෙලා වගේ යනවා. මේ ඊයේ පෙරේදා තිවුන ඉරිදා නිවාඩුවටත් ගිහිං මං කෙල්ලව බැළුවා. අම්මෝ… සතියෙන් සතිය පාට වැටෙනවා… ආසාවේ ‍බෑ… ඒකි ගාවට ගිහිං ඉන්න කොට දැනන සුවඳ නහය කඩාගෙන යද්දී මටම හිතෙනවා මං මේ ස්වයං වින්දනයක් ලබනවා නේද දෙයියනේ කියලා මේ කෙලී දිහා බලාගෙන කියලා.

ඔහොම ටික වෙලාවක් ඉද්දී හිත කියන්නෙම.. යන්න ගිහිං කෙලිගේ කොන්ඩෙන් පොඩ්ඩක් ඇදලා බලන්න කියලා. රත්තරං පාටට බිමට නෙමිලා තියෙන ලස්සන දැක්කම මගේ විතරක් නෙමේ, මේ ‍කෙල්ලගේ දෙමව්පියන්ගේ උනත් හිත ටිකක් ගැස්සලා නොගියනං තමා පුදුම.

මං කොන්ඩෙත් අතගාලා එහෙම යන්න ලෑස්ති වෙද්දිම, හිත කියනව ආයෙමත් හැරිලා ගිහිං කෙල්ලගේ සලකුනක් අරගෙන ගිහිං අම්මට පෙන්නන්න කියලා. අපේ අම්මනම් මේකිට අකමැති වෙන්නේ නෑ කියලා මං කොහොමත් දන්නවා…. මෙච්චර ලස්සන කෙල්ලෙකු‍ට අකමැති වෙන්නෙ මොකටද… ඒ පාර ඉතිං ඔක්කොම වැඩ පැත්තක තියලා ආයෙම ගියා කෙලී ගාවට. යද්දීම එනව පුංචි සුළං රැල්ලක්…ආව්…. පැද්දෙන ලස්සන. මේකි මට ගෙදර යන්න නොදී මාව වශී කරලා තියාගන්න හදනවද කොහෙද… එක එක නැටුම් පෙන්නලා…

එක පාරකට එක පැත්තකට යනවා, ඊළඟ සුළං රැල්ලට ආයෙමත් අනිත් පැත්තට යනවා. අනේ මන්දා මට නං දුකත් එකක් කොන්ඩ කෑල්ලක් කඩාගෙන ගෙනියන්න. ඒත් ඉතිං කෙල්ලව අම්මට පෙන්නනත් ඕනේ නිසා පුංචි කොන්ඩ කරලක් කඩා ගත්තා. අර අරක්ෂකයත් දන්නවා වගේ මං ‍මේකිට ආදරේ බව… ඒක නිසාම ඉතිං හිටිය තැනටම වෙලා බලාගෙන හිටියා. අනිත් එක ඔය ආරක්ෂකයට ඔතනින් හෙල්ලන්න බැහැනේ…

පස්සේ ඉතිං කඩා ගත්ත කොන්ඩ කෑල්ල පරිස්සමට උඩ සාක්කුවේ දාගෙන ගිහිං අම්මට පෙන්නුවම මේං තාත්තත් එනවා කෙලීව බලන්න. මං හිතන් හිටියේ තාත්තට පස්සේ කියනවා කියලා… ඒත් ඉතිං කොහෙද… තාත්ත ඉස්සර වුනානේ… කොන්ඩ කෑල්ල ගත්ත ගමන් ඇහුවේ… ඒ ළමයාගේ අම්මලා දන්නවද මේ කොන්ඩ කෑල්ලක් ගෙනපු එක කියලා. මාත් ඉති ගත් කටටම… නෑ… එයාලා පේන්න හිටියෙ නෑ… අර මහ ලොකු පඹයා විතරයි හිටියේ කිව්වා… පස්සේ ඉතිං කොහොම හරි දෙන්නම කෙල්ලට එක පයින් කැමතයි.

ඔක්කොමත් හරි අපේ අම්ම අන්තිමේ ගම කෑවා. මාව දාලා පිච්චිලා යන කතාවක් කිව්වා කෙල්ලගේ පින්තූර බල බල ඉඳලා…

බලන මාසේ දිහාවේ ගොයම් කපයි… දැං ඉතිං හොඳට පැහිලනේ…

ඒ කියන්නේ කෙල්ල තව සති දෙක තුනකින් ලොකු ළමයෙක් වෙලා, ඊට පස්සේ කවුරු හරි නගරේ ඉන්න මනමාලයෙක් ඇවිත් කැනදන් යනවයි කියලනේ. 😦 එවෙලේ ඉඳන් හිත නිකං කුනාටුවකට අහුවෙලා වගේ. අපේ ගමේදී නම් අපේ ගෙදර අයටත් ආරාධනා හම්බවෙනවා කෙල්ලව නාවලා ගෙට ගන්න දාට. එදාට නම් ඉතිං මල් හතයි.

රෑ වෙනකම්ම කමතට වෙලා ඉඳලා පහුවදා එලිවෙන්න කිට්ටුව තමා අපේ ගෙදර යන්නේ… ඒත් ඉතිං මේ කෙල්ලගේ මගුලට අපිට යන්න වෙන්නේ නෑ. අනික මේකි පිටගං යනකං අපි දන්නෙත් නෑ…. කමක් නෑ…. ඊට පස්සේ මාස දෙක තුනකින් තව කෙලි පැටික්කියක් එයිනේ…. එතකොටත් අර පඹ ආරක්ෂකයම ඉඳියි මයේ හිතේ ඒ කෙලීගේ ආරක්ෂාවට…!

%d bloggers like this: