අම්මේ අයියා මාව………. මගේ යශෝධරා වත 16

මෙන්න මං කුමාරයට මුහුන දෙන්න වුන තවත් නඩුවක්…. අනිත් ගොඩක් නඩු වලදී වගේම මේ නඩුවෙනුත් මම පැරදි. කට්ටිය දන්නවනේ මං කුමාරයට විතරක් ආවේනික එකම එක කතාව, මගේ යශෝධරාවත කියලා. ලඟදී මං කුමාරයාගේ අමාත්‍ය මණ්ඩලයට එකතු වුන ඇමැති වරුන්ට හා වරියන්ට මෙතෙන්ට ගිහිං ඒ කතා ටික කියවන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මේ තමා මං කුමාරයාගේ ලොස්ට් ලව් එක.

ඒ දවස් වල යශෝධරාව වැඩ වාසය කලේ රම්‍ය මාලිගයේ. මං කුමාරයා ඉතිං කෝමත් සතියකට දෙසැරයක් විතර කුමාරිකාව බැහැදකින්න යන කාලේ තමා ඒ. ගොඩක් දවස් වලට ඉරිදට තමා යශෝධරාවගේ මාලිගයට යන්න මට පර්මිෂන් ලැබිලා තිබුනේ. ඊට පස්සේ බ්‍රහස්පතින්දට. මොකද ඔය දවස් දෙකට විතරයි යශෝධරාවගේ මවුතුමියටයි යශෝධරාවටයි දෙන්නටම පන්ති නැත්තේ.

මේ කියන දවස බ්‍රහස්පතින්දා දවසක්. ඉතිං ඔන්න මාත් මගේ අධ්‍යාපන වැඩ කටයුතු සඳහා ඉක්කෝලේ ගිහිං ගෙදර ආවා. ඇවිල්ලා නාලා කරලා, බොඩි ස්ප්‍රේද, හෙයා ජෙල්ද අරවද මෙව්වද තියෙන ඔක්කොම සමයන් ටික උලාගෙන යශෝධරාවගේ මාලිගයට ගියා‍. මං කුමාරයා ගිහිං කන්ථකව පැත්තකින් හේත්තු කරලා එහෙම ගෙට ගොඩ වෙද්දී වෙනදට නම් හිනා කටක් පුරෝගෙන එන කෙල්ල අද නෑ… ඔයිට කලිනුත් ඔහොම වෙලා තියෙන නිසා මං කුමාරයා ඒක එච්චර ගනන් ගත්‍තේ නෑ…

කොහොමත් යශෝධරාවට මං එයාගේ මාලිගයට ගිහිං මගේ කටහඬ ඇහෙද්දී දුව ගෙන මහා නැහැදිච්ච ගතියක් තියෙන නිසා ටිකක් ඉවසා වදාර ගෙන ඉඳියා…. ම්හු… ඒත් නෑ… පස්සේ බැරිම තැන…

නංගී…..

කියලා පොඩි සද්දයක් දැම්ම, එයාගේ සිරියහන් ගබඩවෙන් ඇහෙනවා රිප්ලයි එක… පොඩ්ඩක් ඉන්න මං ‍පොඩි වැඩක්….. කියලා. යකෝ මේක හරි මගුලක්නේ… වෙනදට මං ආවම තියෙන වැඩ ඔක්කොම දාලා දුවගෙන එකීට අද මක්ක වෙලාද කියලා මගේ හිතත් ගැහෙනවා. පස්සේ ඉතිං නඩුකාරි ඇවිත් කියනවා…. කෑ ගහන්නේ නැතුව ඉන්න ළමයෝ… නංගි ඒවි… කියලා.

ඒත් ඉතිං මං කුමාරයට ඉවසුම් නෑ සුදු මූන දකින කං. පස්සේ මෙන්න ඇහෙනවා හිමීට කෙඳිරිල්ලක්…. මේකි සිරියහන් ගැබට වෙලා අඩනවා වත්ද කියලා මගේ හිත ආයෙම අප්සට්. පස්සේ ඕනෙ මගුලක් කියලා වාඩිවෙලා ඉඳිය පුටුවෙන් නැගිටලා ගිහිං, සිරිහයන් ගැබට ඔලුව දැම්මා. කෙල්ලන්ගේ කාමර වලට එබෙන එක වැරදි වැඩක් තමා… ඒත් ඉතිං මං මොනා කරන්නද….? මං කුමාරයටත් තියෙන්නේ මහ නොසංඩාල හිතක්නේ… ඒක නිසා ඉතිං කරන්න දෙයක් නෑ,..

පස්සේ මං බලනකොට කුමාරිකාව ඇඳ උඩට වෙලා සිංදු කියනවා. කෙල්ලට සිංදු පොතක් හම්බුවෙලා. පස්සේ ඔන්න මං සිරියහන් ගැබට ඇතුල් වෙලා අර මොකෙද්ද එකෙක් වගේ ඔලුව දාගෙන ඉන්නවා දැක්කම සිංදු පොතත් අරං එනවා ඉස්සරහට… හරියට නිකං පුංචි සුනාමියක් එනවා වගේ… ඇ‍ඳේ රෙදි, කොට්ට එහෙම උඩ විසික් කරගෙන… පැයට හැතැප්ම එකසිය ගානකින් මගේ වම් අතේත් හැප්පි ගෙන මාව පහුකරගෙන ගියා සාලෙට. දැං ඉතිං ඉන්නවා සැටියට වෙලා කර බාගෙන සිංදු පොතේ අකුරු ගැන ගැන… මූනත් රතු කරගෙන… ඒ මදිවට මටත් ඔරෝගෙන….

ඒ තමා ඉතිං හැමදාම මට නඩුවක් ෆයිල් වෙන රෑටින් එක. පස්සේ ඔන්න නඩුකාරිත් එනවා කර කර හිටිය මගුල දාලා කෙල්ලව නලවන්න. ඇවිල්ලා ඉතිං ඔලුව අතගාලා කන අස්සේ ගිය කොන්ඩ කෑල්ල කන පිටිපස්සට කරලා එහෙම නලවලා යනවා. ඒ ඔක්කොම කෝලම් ටික පිටිපස්සේ පුටුවේ ඉඳන් මං කුමාරයා බලාගෙන ඉන්න ඕනේ. මට පේන්නම බැරිදේ තමා ඔය.

ඊට පස්සේ නම් කුමාරිකාව යන්තං ෂේප්. පස්සේ ඔන්නේ සැටියේ අනිත් පැත්තට යනවා මගේ මූන පේන විදියට. එතකොට තමා මගේ වාරේ. හොදට ගනන් උස්සලා මාත් ගන්නවා පත්තරයක් අතට. ආයේ යශෝධරාව මට කතාකරනකං මං නෙමේ කතා කරන්නේ… ඊට පස්සේ ඉතිං මං හොරෙන් බලද්දී අර පුංචි ඇස් දෙක මගේ දිහා බලාගෙන ඉන්නවා. මං ආයෙම ටක් ගාලා පත්තරේ දිහා බලාගන්නවා. වෙලාවකට නම් හිනාත් යනවා. ඒත් කොහොම හරි හිනාව තද කරගෙන ඉන්නවා. ඊට පස්සේ තමා යශෝධරාවට සත්තු වත්ත මතක් වෙන්නේ… ඔන්න කියනවා එක එක නම්… අර කලිං පෝස්ට් එකක දැම්මේ…. අන්න ඒ වගේ….

ගොඩක් වෙලාවට….. මේ මෝඩයෝ…… කියපු ගමන් ඉතිං මං ඔලුව උස්සනවා… මොකද ඉතිං මං කුමාරයට ගැලපෙනම නම ඒකනේ.

එදත්…

අයියා මෝඩයෝ……

ටිකක් මොඩිෆයි කරලා නික් නේම් එක වෙනස් කරලා. මාත් ඉතිං නින්දෙන් ඇහුරුනා වගේ දඩස් ගාලා ඔලුව ඉස්සුවා. අර පුංචි බෝල ඇස් දෙක මගේ දිහා බලාගෙන ඉන්නවා අහිංසක විදියට හිනාවේගෙන. එතකොට ඉතිං හිතේ තියෙන ඔක්කොම තරහා මරහා, දුක සෝකය, කාන්සිය මාන්සිය ඔක්කොම ඉවරයි. පස්සේ ඉතිං මාත් …. ටිකක් තරහින් වගේ… මොකද මෝඩි… කියලා ඇහුවම….

මේ…. කියලා සිංදු පොත උඩට උස්සලා මට පෙන්නලා නැලවෙනවා‍. ඔය වගේ වෙලාවකට කාටද ඉතිං ඉවසුම් තියෙන්නේ. මාත් පත්තරේ පැත්තකට දාලා නැගිට්ටා…. කෝ දෙන්න මටත් බලන්න… කියලා. යශෝධරාවත් නැගිටලා සැටිය පිටිපස්සට පැන්නා. ඒකි දන්නවා මං මොකාටද එන්නේ කියලා…

පස්සේ ඔන්න, ආ…. කියලා සිංදු පොත මගේ කිට්ටුවටම දික් කරලා ආයේ අරගෙන දුවනවා. මාත් අරියි ඔය වගේ වෙලාවට…. මාත් එලෝනවා පස්සෙන්… වෙනදටනම් එලෝගෙන ගිහිං ඔලුවට ටොක්කක් අයිනවා නැත්තං පිට මැද්දට ලාවට තට්ටුවක් දානවා. ඒත් අද ඉතිං අතේ සිංදු පොතකුත් තියෙන එකේ එව්වා කරන්න ඕනේ නැහැනේ. අද තියෙන්නේ සිංදු පොත උදුර ගන්න එකතමා. පස්සේ ටික දුරක් ගේ ඇතුලෙම එයාට මෙහාට දුවද්දී මං ටිකක් ස්පීඩ් කරලා ගිහිං යශෝධරාවගේ පිටිපස්සෙන් අත්දෙක දාලා ඉස්සරහින් ආයෙම එයාගේ අත්දෙක අල්ලගෙන සිංදු පොත ගන්න ට්‍රයි එක්ක දෙනවා. මේකි පොත් අතාරින්නෙම නෑ,… පස්සේ තත්පර දෙක තුනකින් තමා දෙන්නටම ක්ලික් වුනේ මං මේකිව බදාගෙන නේද දෙයියනේ මේ ඉන්නේ කියලා.

පස්සේ ඔන්න යශෝධරාව සිංදු පොත අතෑරලා ලැජ්ජාවෙන් ආයෙම යනවා සැටියට. ගිහිං …. අම්මේ….. කිව්ව ගමන් නඩුකාරි එනවා නඩු පොතත් උස්සගෙන. ඒකෙ තියෙන තරමක් තියෙන්නේ මං කුමාර‍යාගේ පෙර වැරදි. එව්ව වැරදි උනාට ඔක්කොම රොමැන්ටික් වැරදි නිසා වැඩිය ‍ලොකු දඬුවම් නෑ… පුංචි කනේ පාරක්, පිටට පහරක් වගේ තමා දඩුවම. හැබැයි දෙයියෝ මේ පාරනම් වැඩේ භයානකයි. මේ පාර ඕනෙ නම් මං කුමාරයව මාලිගෙන් නෙරපන්න උනත් පුළුවන් තරමේ ලොකු වැරැද්දක් තමා වුනේ…

පස්සේ…. ඇයි දූ… කියාගෙන මව්තුමී ආපු ගමන්…. යශෝධරාව මව්තුමියගේ කනට ලංකරලා …  මගේ සිංදු පොත ගන්න ඇවිත් අයියා මාව…… කියලා ඉතුරු වචනේ මට ඇහෙන්නේ නැතිවෙන්න නඩුකාරීට කිව්වා. මං කුමාරයා අදටත් දන්නෙ නෑ මොනාද කිව්වේ කියලා. පස්සේ ඔන්න එනවා නඩුකාරි.. හරියට නිකං ආලවකයා වගේ… ඇස් දෙකත් රතු කරගෙන. ඒ මදිවට යශෝධරාව එනවා අතේ එල්ලිගෙන හිනා වෙවී… දැන් ඉතිං මං කුමාරයට හරි පස්නේ…මොකද මං අත්දැකීමෙන් දන්න විදියට කෙල්ල හිනාවෙවී අම්මා ඔරෝගෙන එන්නේ මං කුමාරයට නඩුවක් දාලා නිදහසට කරුනු විමසන්න තමා…

දෙන්න ආපු ගමන්… මං බිම බලාගත්තා. මං නිකං මොකටද එක එක්ගෙනාගේ රැවුම් ගෙරවුම් බලන්නේ. මං වැරැද්දක් කලේ නැහැනේ…. ඔහොම හිත හිත ඉද්දී….

මෙහෙ බලනවා…. කියලා හෙන සැරෙන් කේන්තියෙන් මව්තුමී කියනවා. මාත් ඉතිං බොහොම දුක් බර මූනක් දාගෙන බැලුවා. මොකද්ද නංගිට කලේ…..

හත්වලාමේ…. මේකි මොකක් හරි ලොකු පචයක් ඇරලා වගේ මව්තුමිට. නැත්තං ඒ පොඩි වෙලාවට මං මොනා කරන්නද…?

ඊට පස්සේ ආයෙමත් මව්තුමී…. කියනවා නංගිට මොනාද කලේ….?

දැන් ඉතිං මට කට උත්තර නෑ… ඒ පාර මං කුමාරයා ආයෙම බිම බලාගෙන… මුකුත් කලේ නෑ… සිංදු පොත ගත්ත විතරයි.. කිව්වා….

හූ… හූ… බය වුනා… බය වුනා…. කියලා මෙන්න කුමාරිකාව හිනා වෙවී කෑගහනවා. මව්තුමිත් දෙන්නගෙම ඔලුව අතගාලා මට තේ එකක් හදන්න ගියා. පස්සේ බැලින්නං යශෝධරාව මවුතුමීට සීන් එක කියලා, මාව බයකරන්න කියලා….

අනේ ඉතිං මං කුමාරයා මොනා කරන්නද… මට කරගන්න දෙයක් හිතා ගන්න බැරුව කට තද කරගෙන හෙන දුකින් හිටියා. පස්සේ ඉතිං ආයෙම නැලවී නැලවී ඇවිත්… සොරි……. දැන් ඉතිං හිනා වෙනවකෝ… ඔයා නෙමේනේ තරහා වෙන්න ඕනේ හරිනං මමනේ තරහා වෙන්න ඕනේ…. කියලා යශෝධරාව මගේ ගාව තො‍ඳොල් වෙනවා. පස්සේ ඉතිං මාත් හිනා වෙලා යශෝධරාවටම කියලා සිංදුවකුත් කියෝගත්තා. ඇයි ඉතිං සිංදු කියන්න බැරිනම් සිංදු පොත් වැඩක් නෑනේ…. කියපු සිංදුව නම් මතක නෑ මට. ඒත් කටහඬ නම් මතකයි…

ඒ තමා මං මෙච්චර කාලෙකට අහපු ලස්සනම කටහඩ….

ඒත් එව්වා ඔක්කොම දැනට කාලෙකට කලිං අතීතෙට එකතු වෙලා ඉවරයි. ඒත් හැමදාටම මං කුමාරයාගේ හිත ඇතුලේ සැරින් සැරේට මතුවෙවී උඩ ඇවිත් ආයෙම යට යනවා, අද වුනා වගේ. මේ සිංදුවෙන් කියවෙන්නෙත් ඒ වගේ දෙයක්ද කොහෙද….!

%d bloggers like this: