අප්පට සිරි… මට එකයි….!

ඕං යන්තං එකයි…! ගිය අවුරුද්දේ අගෝස්තු 31 පටන් ගත්ත ටැංකියට යාන්තං අවුරුද්දක් වෙලා. ඉතිං මට නං කියන්න මහ ලොකු දෙයක් නෑ… කියන්නේ තියෙන්නේ පහල ඇනිමේසමේ තියෙන ටික තමා….

ඊට අමතරව කියනව නම් ඉතිං… ම්… ම‍ගේ පෝස්ට් වලට තමන්ගේ අදහස් එකතු කරන, වැරදි තැන් කියලා දෙන…, දිරිමත් කරන… හිත අස්පට් ගැහුවම ඒකත් ෆික්ස් කරගන්න උපදෙස් දෙන යාළුවෝ හැමකෙනෙකුටම බොහෝම ස්තූතියි…!

හැබැයි පුතෝ මං එකෙක්ගෙන් වත් වෙච්ච වැරැද්දකට සමාව නම් ඉල්ලන්නේ නෑ… මොකද මං හොදටම දන්නවා මේ අවුරුද්ද ඇතුලත මගේ අතින් කිසිම කෙනෙකුගේ හිත රිදිලා නෑ කියලා. ඉර හඳ වගේ සුවර්. ඒක නිසා ඉතිං සමාව ගන්න දෙයක් නෑ…

ඒ වගේම බ්ලොග් එක පටන් අරං හරියටම අවුරුද්දක් ලබද්දී තමා මගේ බ්ලොග් එකේ වැඩිම හිට්ස් ප්‍රමාණයක් තියෙන්නේ…

ඇත්තෙන්ම මේ ටැංකිය නිසා මට සෑහෙන්න හොඳ යාළුවෝ ගොඩක් හම්බුනා. කිහිප දෙනෙක්ව නම් දැකලා කතා කරලා එහෙමත් තියෙනවා. ඒ වගේම නොදැක්ක අය ඊට වැඩියි. ඒ හැම කෙනෙක්ටම ආයෙමත් සැරයක් බොහෝම ස්තූතියි, මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නවාට….!

කැස්බෑවට පින් සිද්ධ වෙන්න රා බිව්ව වග නම්…

ඊයේ ඉරිදනේ‍‍‍… ඉතිං මං බාගෙට නැගිටලා ඇ‍ඳේම ඉඳගෙන ලැපීවත් අරගෙන කට්ටියගේ බ්ලොග් අප්ඩේට්ස් බලනවා. ගොඩක් වෙලාවට ඉතිං සිංඩි වල නැති එව්වා තමා ඉරිදට බලන්නේ. වෙලාවත් ඇති උදේ 7.45ට විතර. පිස්සිගේ චීන සංචාරය ගැන තමා කියෝ කියෝ හිටියේ. ඔන්න එක පාරටම මගේ ෆෝන් එක රිං වෙනවා.

ට්‍රීං… ට්‍රීං…. කියලා එහෙම නෙවෙයි රිං වුනේ, මේං මේ විදියට…

ඉතිං බලද්දී මගේ හොඳම යාළුවෙක්. කොහොමත් නිවාඩු දාට පොර උදේට කතා කරන එකේ අරුමයක් නැති නිසා මං ආන්සර් කරා‍.

හලෝ….(පසුබිමින් ඇහෙනවා හෝ හෝ ගාන සද්දයක්) මං හිතුවෙම මූ මට හොරෙන් කොහෙ හරි ට්‍රිපක් ගිහිං කියලා…

පස්සේ මාත්….. උඹ කොහෙද බං ඉන්නේ?

උඹ ගෙදර නේද..?

ඔව් බං…. ඇයි…?

ඉක්මනට වරෙන් බීච් එකට (එහෙම නෙවේ කිව්වේ, වර වැල්ලට කියලා… ඒ වුනාට බීච් එක කිව්වම හෙන පොෂ්නේ)

මොකටද බං? මේ උදේ පාන්දර…?

ඉක්මනට වරෙන් බං, කැස්බෑවෙක් ගොඩගහලා…

ඈ සිරාද…?  (මටත් හෙන අවුල් ටීවී එකෙන් දැක්කට හැබැහින් දැකලා තියෙන එකක්යැ)

ඔව් බං වරෙන්…

හරි මචං මේ එන ගමන්, මග ඉන්නේ. ඕකට යන්න දෙන්න එපා, ඌ මැරුණ වුනාට අපි එනවා කියලා දැනගත්ත ගමන් මාරු වෙන්න ඉඩ තියෙනවා. වොච් එක දී ගෙන හිටහං…. කියලා කෝල් එක ඩිස්කනෙක්ට් කරද්දිම මට ඇහෙනවා යාළුවා මගේ ගුණ කියනවා පාන්දරම.

පස්සේ ඉතිං කොන්ඩේ පීරන්න කම්මැලිකමට කැප් එක දාගත්තා, දත් නම් මැද්දද කියලා මතකත් නෑ… ගත්තා පුටාර් එක ගියා. මගට යද්දී තමා මතක් වුනේ කැම් එක වෙන ‍8 ෆීට් ගාව නේද කියලා. පස්සේ පොරව ඇහැරවලා මෑන්ස් වත් ඇදගෙන ගියා වෙරලට. මං හිතුවේ හත් අට සීයක් වට වෙලා ඇති කියලා. මොකද යාලුවා කියපු විදියට කැස්බෑවා අඩි 20ක් වත් තරමේ එකෙක් වෙන්න ඕනේනෙ. ඒත් ගිහිං බලද්දී ඉන්නේ යාළුවයි උගේ මස්සිනායි විතරයි. අඩුගානේ කපුටෙක්වත් නෑ අහල පහලක. උං දෙන්න රා බොන්න ඇවිල්ලා. යාළුවගේ නෑනටයි බබා හම්බුවෙන්න ඉන්නේ… ඒ වුනාට මස්සිනාට තමා දොලදුක…

ඒ ඇවිල්ලා රැල්ල පාග පාග ඉද්දී තමා කෑස්බෑවව දැකලා තියෙන්නේ. මගේ හිතේ උදේ පාන්දර ඇතිවෙච්ච බලාපොරොත්තු ඔක්කොම ටික මුහුදු හුළඟටම ගහගෙන ගියා. මොනා කරන්නද ඉතිං අර යකාව මරන්නයැ. පස්සේ ඉතිං කැස්බෑවව ‍බලන්න ගියා. අඩි දෙකාමාරක් විතර දිග කැස්බෑවෙක්. කොහොම හරි යාලුවා මට එන්න කියලා තියෙන්නේ මුගේ මරණ පරීක්ෂණයට වෙන්න ඕනේ. මං එහෙම කියන්නේ…. මේකයි. දැං ඔය මරණ පරීක්ෂණ වලට යද්දී එතකොට මිනියක් එම්බාම් කරද්දී එහෙම දෙකක් දාගන්න එක කොහොමත් වෙන දෙයක්නේ. ඉතිං මට මේ කැස්බෑවව බලන්න එන්න කියලා මූ මටම කියලා රා වගේකුත් සැට් කරලා.

ආයෙ ඉතිං දාලා යන්නත් බෑනේ. අපරාදෙනේ‍. මං රා බොන්න ආසාවෙන් හිටිය බව මූ දන්නවා. ඒත් වාර දෙක තුනකදීම වැඩේ ගැස්සුනා කියලත් මූ දන්නවා. ඒක නිසා වෙන්න ඕනේ, ඇති වෙනකං බීපිය කියලා රා මෙගා බෝතල් තුනක්ම ගෙනත් දුන්නේ. ආනේ ඉතිං කවද බොන්නද… ඒක නිසා මාත් ඔන්න ඔහේ ඕනේ එකක් කියලා උදේ පාන්දර හිස් බඩම ඇදලා ඇරියා වීදුරුවක්… ම්හු…. හරියන්නේ නෑ… එකක් බීලා නතර කරන්න හිතුවට බෑ වගේ. රා ටික බාපු ගමන්… පට්ට රසයි… පැනිම පැනි රහයි… ලාවට ඇඹුල් ගතියක් තියෙනවා එච්චරයි. කොහොම හරි මට සුළු දිය පහකරන්න ඕනේ වෙනකම්ම වැඩේ නැගලා ගියා. පස්සෙ බලද්දී මට දුකේ බෑ…

අනේ අප්පෝ… මගේ අතින් මට හම්බුවෙච්ච එක මෙගා බෝතලයකුයි තව එකකින් චුට්ටකුයි ඉවර වෙලා… නොදැනුවත්ව කරපු වැරැද්දට සමාව ඉල්ලනත් හිතලා ආයේ ඕනේ නෑ කියලා හිතුවා. දැං ඉතිං ටික වෙලාවක් යනකං මං කාටවත් බය නැහැනේ…. ඒක නිසා මං මොකටද සමාව ඉල්ලන්නේ….

පස්සේ ඉතිං රා ටික් ලාවට වගේ වැඩ. ඇයි ය‍කඩෝ මේ පළවෙනි පාරනේ හිතේ හිටියට රා බීපු‍. ඉතිං වැඩ නොකර තියේවියැ. පස්සේ ඉතිං ගියා වෙරලා ඇවිදින්න. වෙනදට තඹ සතේකට මායිම් ‍නොකරන සිප්පි කටු එවෙලේ අපි ඔක්කොටම මහා ලොකු කතා මවනවා හිත් වල.

කව්‍දෝ එකෙක් අහනවා… මෙව්ව කොහොමද බං හැදෙන්නේ කියලා.

ඒවට උත්තර දෙන්න බෑ වෙලාවේ හැටියට. පස්සේ ඔන්න අනිත් තුන් දෙනාගෙන් එකෙක් උස්සං ආවා, සිප්පි කටුවල ජීව විද්‍යාත්මක වටිනාකමක් තියෙන සජීවී නිදර්ශකයක්. ඒක නං හෙන වැදගත් පාටයි. ඒක ස්ටයිරෆෝම් කෑල්ලක් මත පුංචි පුංචි බෙල්ලෝ රෑනක් ඇති කරගත්ත පොඩි ජනාවසයක් වගේ එකක්. මං ඊයේ තමා මේ වගේ සීන් එකක් දැක්කේ. ඇත්තට අපි සිප්පි කටු කියන්නේ මේ සතාගේ දෙපැත්තේ තියෙන කටුවට. ඩයල් එක ඉන්නේ කටු දෙක අස්සේ. මූ එහෙ මෙහෙ යන්නේ අර කටුව ඇතුලේ තියෙන ජෙලි වගේ දේකින් හැදිච්ච රවුම් දෙයක් කටුවෙන් එලියට දාලා ඇදි ඇදී තමා. ඉතිං ඒ වගේ සීන් එකක් මං දැක්කේ පළවෙනි පාරට වගේම කියෝන ඔයාලගෙන් සමහර අය තාම දැකලා නැතුව ඇති…

අපි වෙනදටත් බීච් එකට ආවම මේ වගේ දේවල් දිහා බලන්නේම නෑ, එක්කෝ පේන්නේ නෑ. හැබැයි පොඩ්ඩක් පානය කලාම ආපේ අයගේ තියෙන වෙනස ගැන මට නම් හරි පුදුමයි. මුං මාර දාර්ශනිකයෝ වෙලානේ…! ඒ මදිවට ගවේෂක චරිත, විශ්ලේෂක චරිත, පශු වෛද්‍ය චරිත එහෙමත් ආරූඩ කරගෙන.

ඊට පස්සේ ඉතිං අපි ලංකාවේ රා කර්මාන්තය ගැන කතාවුනා. ඔය තියෙන්නේ අතුර කියන එක. පොල් ගස් අතර ගහින් ගහට යන්න තමා යොදා ගන්නේ. ටිකක් විතර අවදානම් වැඩක්.  ඊට පස්සේ ඒ දාර්ශනික කතා බහත් අවසන් වෙලා ආයෙම ගෙදර ගියා. යන ගමන් ඉතිං කම්පනා කරේ, රා වල ගද අම්මට දැනිලා මගෙන් අහනකං කටපියාගෙන ඉන්නවද..? නැත්තං ගිය ගමන් සීන් එක කියලා දානවද කියලා තමා. මොකද මං ගෙදරින් ගියේ රා බොනවා කියලා නෙමේනේ. කැස්බෑවව බලන්න යනවා කියලනේ. සමහර විට මට ආයෙමත් කැස්බෑවෙක් නෙවේ තල්මහෙක් ඇවිත්, අන්න උඹට කතා කරනවා කියලා කෝල් එක්ක ආවත් යන්න නොදෙයි.

ඔය වගේ දාහක් ප්‍රශ්න සහ උත්තර මගේ ඔළුවේ කැරකෙනවා… පස්සේ ටික වෙලාවකින් බලද්දී මං ගෙදර ඉස්සරහා. අම්මා මගේ දිහා බලාගෙන මගේ දිහාට එනවා.

අම්මේ මං රා ටිකක් බිව්වා….

මගුලයි… කොහොමද යකෝ මං කතාව අම්මට කියන්න කලින් කට ඉස්සර වුනේ… දැන් ඉතිං හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න එපැයි.

රා….?

ඔව්… එක වීදුරුවක් බිව්වා…. (හම්මෝ මූ කියන බොරූ……… කියලා හිත අස්සෙන් කෑ ගැහුවට මං බයවුනේ නෑ…)

පස්සේ ඉතිං ගත්ත ෆොටෝ එහෙම පෙන්නලා… අන්තිමේ…

අම්මේ රා ගඳ එනවද…? කියලා ඇහුවම…

නෑ …. නෑ… ගඳක් නෑ… කිව්වා. අම්මා දන්නවා කොහොමත් මං බොන්නේ නෑ කියලා. අනික ඉතිං රා ටිකක් බිව්වම මක් වෙනවද? බැන්නෙත් නෑ හොඳයි කිව්වෙත් නෑ… ම්ම්… කියලා නිකා හිටියා. හැමදාම බොන්නවා කියලයැ.  පස්සේ කොහොම හරි නිකමට වගේ ඇඳට ගියා…. අම්මට සිරි ඇහැරෙද්දි දවල් 12යි ගානක්…

අන්තිමේ කොහොම කොහොම හරි මැරිච්ච කැස්බෑවෙක් නිසා අවුරුදු ගානක් දැක්ක රා හීනේ නම් හැබෑ වුනා….! අනේ අර කැස්බෑවා…. අනේ ඌ ​දිව්‍ය ආත්මයක් ලැබ වාසානාවන්ත ජීවිතයකට උරුමකං කියන්න ඕනෙ, මට මේ කරපු උදව්වට පිං සිද්ධ වෙන්න.

කොල්ලෝ බොරු කිව්වම කට කන කෙල්ලෝ….!

මං වැඩිය පත්තර කියවන්නේ නෑනේ….! ආහ් … ඒකට ඉස්සෙල්ලා වැදගත් දෙයක්… මේක 18+ එකක්… හැබැයි ඉතිං පොඩි එවුනුත් බැලුවට පස්නයක් නෑ… මොකද දැං පොඩියට හිටියට කවද හරි ලොකු වෙනවනේ… හැබැයි මෙව්වා කොරන්න ගිහිං දෙක වදින කොට… අනේ සෑර් අර ගෝල්ඩ් ෆිෂ්ගේ ටැංකිය බලලා තමා මෙව්වා කරන්න හිතුනේ කියලා එහෙම මාව පාවලා දෙනවා නෙවෙයි…

පත්තරයක් ගැනනේ කියන්න ගියේ…. මං ඉතිං වැඩිය පත්තර බලන්නේ නෑ. මොකද පත්තර වල තියෙන එව්වා කියනවට වැඩිය ලොකු ‍වැඩ තියෙනවා මට. ඒ කියන්නේ බ්ලොග් බැලීම, මූවි බැලිම, කෙල්ලෝ බැලීම, මාළු ටැංකිය දිහා බලාගෙන ඉඳීම…. වගේ එව්වා…. ඒත් ඉතිං ඔය බත් කන්න අරගත්තම එහෙම නම් මං කෑම කන ගමන් පත්තරයක් බලනවා.

ඉස්සර නම් ඉතිං අපේ අම්මා ගන්න තරුණි පත්තරේ බලන්න තමා වෙලාවක් හොය හොය ඉන්නේ. අම්ම ඉන්න වෙලාවට බලන්න බැහැනේ. එව්වයේ තියෙන එව්වා දෙමව්පියෝ එක්ක බලන්න ටිකක් අමාරුයි. ඉතිං අම්මයි තාත්තයි ගමනක් යනකං ඉඳලා තමා වැඩේට බහින්නේ. පස්සේ පස්සේ ලංකාදීපේ, සිළුමින එහෙමත් කියවන්න පුරුදු වුනා. දැන් නං ඉතිං සිළුමිනයි ඔබ්සර්වර් එකයි තමා. ඩේලි මිරර් බලනවා ඔෆිස් එකේදි. ඩේලි මිරර් බලනවා කිව්වට බලන්නේ ඒකෙ රූප ටික තමා.

ඉතිං කොහොම හරි කාලෙකට කලිං මං ඔය මොකක් හරි පත්තරක් බලද්දී දැක්කා සිරා දෙබසක්. ඒක තියෙන්නේ අම්මා කෙනෙකුයි පුතෙකුයි අතරේ. අම්මා කොල්ලට ටීවී එක දාලා දීලා යනවා කෑම උයන්නද කොහෙද… පස්සේ මේං ටිකකින් කොල්ල යනවා හෙන හයියෙන් අඬාගෙන කෑගහගෙන. පස්සේ අම්මා ඇහුවම ඇයි පුතේ කියලා මූ කියනවා…

අර ටීවී එකේ ඉන්න ඇන්ටි ඒ අන්කල්ගේ කට කෑවා…. කියලා… ඔව් ඉතිං පොඩි එකා බය වෙන්න ඇති තමා ඒ කාපු විදියට. ඇයි දෙයියනේ පෙරලගෙනනේ කන්නේ… පස්සේ ඉතිං අම්මා ටීවී එක වහලා දැම්මලු. පොඩි එක ඔය කට කාලා කියලා කෑගහලා තියෙන්නේ බොහොම හැඟීම් බර රොමැන්ටික් හාදුවක් දැකලලු. අපෝ මං නම් ඔව්වා දැකලාවත් නෑ… ඒක නිසා විස්තර කරන්න දන්නේ නෑ…..

ඉස්සර නයිට් රයිඩර් බලද්දී අන්තිම හරියෙදී අපේ තාත්තා මොකක් හරි බොරුවක් දාලා චැනල් එක මාරු කරනවා. පස්සේ කාලෙක තමා තේරුනේ අර මයිකල් නයිට් හැම දාම වලි ෆයිට් ටික ඉවර වෙලා කෙල්ලෙක්ගේ කට කනවා කියලා…

එදා දුමී අයියගේ ගෙට්ටුව දවසෙත් විහාරමාහා දේවි එකේ ජෝඩු දෙක තුනක් කට කාගත්තනේ… මං ෆොටෝ වගේකුත් ගත්තා. අනාගතේට ඕනේ වෙනවනේ කියලා….

ඉතිං මේ සීන් එක වුනේ මට. මතකනේ මායි මගේ යාළුවෙකුයි මල්වත්ත බලන්න ගිහිං කට කැඩිච්චි කෙල්ලෙක්ට මං මුස්ලිම්ද කියලා දැන ගන්න වුන බව. ඉතිං මේක වුනේ මල් වත්තෙදී. මායි කනිෂ්කයි ඇවිදගෙන යනවා ඉස්සරහට. වටේ පිටේ තියෙන ගස් කොලන් වලට කැමරාව මාන මාන ලොකු මුලක් තියෙන ගහක් ගාවින් යද්දී… පෙම්වත් යුවලක් හෙන ලොකු වැඩක.

ආයේ උං දෙන්නට ඉන්නෙ කොහෙද කියලවත් මතක නෑ… පොඩි එවුනුත් බල බල යනවා. සමහර කෙල්ලෝ අම්මලට මුවා වෙලා හොරෙන් බලන්නේ… ඇයි ඉතිං එතෙන මොකද්ද වෙන්නේ කියලා දැන කියා ගන්න ආසා නැත්තේ කව්ද… කොටින්ම අර ඩබල මඳ කිපිච්ච අලි දෙන්නෙක් වගේ ප්‍රේමයෙන් වෙලිලා… පස්සේ ඉතිං මාත් නිකමට වගේ බැලුවා. ඒ බැලුවෙත් කනිෂ්කට හොරෙන්. වැරදිලා වත් ඌ හිතුවොත් එහෙම අපෝ මූ වගේ අවලමෙක් කියලා. මොකද ඔය වැඩේ කොරන එවුන් දිහා බලනවට වැඩිය වල් විදියටනේ සීන් එක දිහා බලන එවුන් ගැන හිතන්නේ…

මගුලයි…. කෙල්ල කොල්ලගේ ඔ‍ඩොක්කුවට වෙලා කොල්ලගේ කට කනවා එකසිය ගානට. පව් වැඩේ අර අහිංසකයා ඌත් එහෙට මෙහෙට ඇඹරෙනවා… පොරට හැරන්නවත් බෑ…. කෙල්ල ඔඩොක්කුවෙනේ… ඉතිං කොහොම හරි මං සීන් එක බලන අස්සේ කනිෂ්කත් දැකලා ෆ්‍රී අඩල්ට්ස් ඔන්ලි මූවි එක. දැං ඉතිං අවුලක් නෑ, දෙන්නම දැක්කනේ. කොහොමත් ඌ දැක්කේ නැත්තං මං ඌට පෙන්නනවා… ආං අර බලපන් අරකට තමා කට කනවා කියන්නේ… උඹත් ඔව්වා පුරුදු වෙයන් අනාගතේට ඕනේ වෙනවා කියලා… ඌට පෙන්නන්න කලින් මං බලලා ඉගෙන ගන්න එපැයි… ඒක නිසා තමා මං මුලින් බැලුවේ.

පස්සේ ටික දුරක් යනකං කනිෂ්ක කතාවක් නෑ… හරියට නිකං අර ඉස්සෙල්ලා කතාවේ ටීවී එකේ ඇන්ටිගේ වැඩේට බය වුන පොඩි එකා වගේ…. කිසි දෙයක් කියන්නෙත් නෑ, මගෙන් මුකුත් අහන්නෙත් නෑ… ඔහොම ඉතිං ටික දුරක් ගිහිං එක පාරටම තැනක නතර වෙලා මට කියනවා…

මේ බං…. අර කොල්ලා මොකක් හරි ලොකු බොරුවක් කියන්න ඇති බං… නැත්තං කෙල්ල අර විදියට උගේ කට කයි‍යෑ… කෙල්ලට හෙනට කේන්ති ගිහිං ඇති නේද බං…? 

ඔය ටික අහගත්තු මොහොතෙම මං හිතාගත්තා මං මීට පස්සේ කෙල්ලන්ට කියන තරමක් කියන්නේ බොරු කියලා….! 😉 දැං ඉතිං ඕනේ නැති කතා අහන්න එපා. මං හොඳ ළමයනේ. ඒක නිසා මං කියන ඕනේ බොරුවක් ගෑණු ළමයි විස්වාස කරනවා. ඉතිං තාම කවුරුත් මගේ කට කෑවේ නෑ… කවද හරි කෙල්ලෙක් මාව අවිස්වාස කරලා මගේ කට කයිනේ… එදාට දෙන්නම්කෝ ඇට්ටි හැලෙන්න…!

ඇන්ටිගේ නාටකේ….

එදා හොඳටම හවස් වෙලා… වහින්නත් වගේ… මුළු අහසම අඳුරු අලු පාටන් පිරිලා. වැස්සත් හරියට නිකං බලාගෙන ඉඳලා තියෙන්නේ මං ඔෆිස් එකෙන් එලියට බහිනකම් මාව නාවන්න. තෙමෙන්න අකමැත්තක් නැති වුනත් මට ඉතිං පෞද්ගලික වාහන නැහැනේ ගෙදර යන්න. ඒක නිසා ඉතිං කොච්චර කලු කරගෙන ආඩම්බරපාගෙන හිටියත් වැස්සට නොතෙමෙන්න කුඩේ ඉහලලා වැහි කලුවලට මගේ ආඩම්බර කම පෙන්නන්න මට සිද්ධ වුනා.

පස්සේ ඉතිං වැස්ස යටින් ලාවට විතර තෙමී ගෙන ගිහිං යාන්තං අඩිය තියාගත්ත බස් හෝල්ට් එකට. වෙනද නම් එකෙක් වත් යන්නේ නැති ඇඳුරු දිරලා ගිය බස් හෝල්ට් එක අස්සේ එක සෙන්ටීමීටරයක ඉඩක් වත් නෑ මට පය ගහන්න. ඒ ඉතිං මේ වරුසාවට පිං සිද්ධ වෙන්න තමා…

එහෙමයි කියල මට බාගෙට තෙමෙන්න බැරි නිසාම අමාරුවෙන් රිංග ගත්තා හෝල්ට් එකේ වහලට කවර් වෙලා තියෙන හරියට. කවුරුත් මුකුත් කිව්වේ නෑ… මොකද එතෙන හිටිය අය වගේම මාත් ටිකක් විතර තෙත බරියම් වෙලා තිබ්බ නිසා…

කොහොම හරි ටික වෙලාවක් යද්දී මට ගෙදර යන්න කළුතර – කොළඹ බස් එකක් එනවා. ගොඩක් දවස් වලට මං යන්නේ මතුගම, අළුත්ගම වගේ දුර බස් වල වුනාට වැස්ස දාට පුරුද්දක් විදියට මං යන්නේ කළුතර බස් වල. හේතුව තමා මගේ තෙමිච්ච කුඩේ අනිත් අයට කරදරයක් නොවෙන්න අරගෙන යන එකත්, අනිත් අයගේ කුඩ වල තියෙන වතුර වලින් මගේ ඇඳුම් වල නියම වර්ණය ආරක්ෂා කරගන්නත් ඕනේ නිසා. හැබැයි ඉතිං මට හිතෙන්නේ අනිත් අයත් මං වගේම හිතනවද කොහෙද… මොකද කවදාවත් කට කපලා ලෝඩ් වෙන්නේ නැති කළුතර බස් එක එදා හොඳටම පිරිලා. මගේ වෙලාවටද කොහෙද බස් එකේ හිටි අයගෙන කිහිප දෙනෙක් බැස්ස වගේම අපේ හෝල්ට් එකේ හිටි අයගෙන වැඩි දෙනෙකුත් බස් එකට නැග්ගේ නෑ. ඉතිං ඒක නිසා මාත් අමාරුවෙන් රිංගලා ඇතුලට ගියා.

ඔහොම ඉතිං මොරටුව හරියට එද්දී බස් එකේ සෙනග ටිකක් විතර අඩුයි.  ඒ මොරටුවෙ බස් එක නවත්තපු වෙලාවේ බැහැලා ගිහිං නිසා… වැස්සත් සෑහෙන දුරට අඩු කරලා. වීදුරු වලින් පේන විදියට වැටෙන්නේ යන්තං කුඩු පොද විතරයි. එව්වත් ඇහැකට පේනනේ නෑ, එලියේ තියෙන වතුර වලක් දිහා බැළුවම තමා පේන්නේ…

ටික වෙලාවකින් බස් එක, අළුත් ගාලු පාරේ මං කැමතිම හරියට ආවා. ඒ කියන්නේ මොරටුව පහුවෙලා දකුණු පැත්තෙන් මුහුද පේන හරිය… වැහි අන්දකාරේ වුනත්, ඉර බැහැලා ගිහිං වුනත් මුහුදේ රැලි වල සුදු පාට පෙන ඉපිලුමේ නම් කිසිම අඩුවක් නෑ… ඒ වගේම අහස අඳුරු වුනා කියලා ලස්සනේ අඩුවකුත් නෑ…

ඔහොම ටික දුරක් යද්දී, මං හිටගෙන හිටිය සීට් ලඟට පිටිපස්සේ සීට් එකේ ජනේල අයිනේ ඉන්න ගැහැණු කෙනා දිහා මට නිකමට වගේ බැලුනා. කර පලල්, පපුව ටිකක් පේන, තොල් දෙක තද රතු පාට ලිප්ස් ටික් එකකින් පාට කරගත්ත කාන්තාවක්. මං හිතන්නේ විදේශ ගත වෙලා ඉඳලා ලඟදී ලංකාවට ආපු, කලින් ටිකක් විතර දුප්පත් දැන් තරමක් පෝසත් කාන්තාවක් වෙන්න ඕනේ… එයත් මං වගේම මුහුද දිහා බලාගෙන ඉන්නවා. මට ඉතිං ඒ මුහුදයි මේ මුහුදයි දෙකම බලන්න බෑනේ… ඒක නිසා අර රැලි ගහන මුහුද දිහාම බලාගෙන ඉඳිද්දි තමා ආයෙම මං දැක්කේ… වටේ පිටේ ඉන්න සේරම පිරිමි ටික අර ගැහැණු කෙනාගේ අතේ තියෙන යම් දෙයක් දිහා බොහොම ඊරිසියාකාරි විදියට බලාගෙන ඉන්නවා කියලා…

මාත් ඉතිං බැලුවා… බැලින්නං ඒක පුංචි තොරණක්. වටේටම එක එක පාට ලයිට් තියෙන ඇඟිලි තුඩු වලින් වැඩ කරන තොරණක්…! මං දැක්ක විදියට චයිනීස් කෑල්ලක්. ඩුවල් සිම්, ඩුවල් මෙමරි කාඩ්… වගේ ඔක්කොම අළුත්ම අළුත් මොබයිල් ෆෝන් එකක්. ඒ විස්තර ටික දැක්කේ ඒ කාන්තාවගේ ඔඩොක්කුවේ තිබ්බ ෆෝන් එකේ පෙට්ටියෙන්. සමහරවිට ඒ මොබයිල් එක අරගෙන එන ගමන් වෙන්න ඕ‍නේ. නැත්තං ඉතිං පෙට්ටය තියෙන්න විදියක් නැහැනේ…

කොහොම හරි තව ටික දුරක් එනකොට ඒ කාන්තාව අර තොරන මත තිබ්බ ස්ක්‍රීන් එකේ පේන වර්චුවල් නම්බර් පෑඩ් එකේ එයාගේ ඇගිලි තුඩු වලින්, අංක 10ක් සටහන් කරලා ගත්තා දුරකථන ඇමතුමක්.

ඒ ඇමතුම අතරෙදි තමා මං දැනගත්තේ මේ කාන්තාව බොහොම බර අත්තක් කියලා…! කොටින්ම මට මං ආසම මුහුද දිහා බලාගෙන මේ කාන්තාවගේ දුරකථන සංවාදය අහගෙන ඉද්දී දැනෙන්නේ හරියට නිකං ඉංග්‍රිසි නලුවෝ රඟන ඉංග්‍රිසි මූවි එකකට දෙමලෙන් හඬ කවලා වගේ දෙයක් තමා. මුහුදයි කාන්තාවගේ වචනයි මැච් වෙන්නෙම නෑ… මුහුද හෝ හෝ ගාලා අහිංසක විදියට කරන සද්දේ වෙනුවට මේ කාන්තාව…

ආ…. ඊ යස්… ඊ යස් ….. ඕ මයි ගුඩ්නස්… නෑ  ඉතිං… අනේ ස්වීට් ඇතිනේ….. වගේ අමුතු කතා අස්සේ එක පාරටම පටන් ගත්තේ නැතෑ මිලියන් ටෝක්ස් වගයක්… කෙලින්ම බිස්නස් ගැන. එව්වත් ‍ලේසි පහසු එව්වා නෙමේ මහන මැෂින් 1000ක් විතර ගෙන්නලා ලංකාවේ දුප්පත් අයට බෙදාගෙන කැම්පේන් එකක් ගැන.

ඉතිං මේ කතාවට මං ඕනේ කමින් ඇහුන් කන් දුන්නා නෙවේ… ඒ කාන්තාව ‍මුළු බස් එකටම ඇහෙන්න කතා කරා. ඇඩ් දානවා කියන්නේ… අර පිනිබිඳු අක්කා කිවේ… අන්න ඒ වගේ සීන් එකක්. බස් එකේ ඉන්න අයටත් ඉතිං මේක හරි හොඳ අවස්ථාවක්. තෙමිලා තෙමිලා හෙම්බත් වෙලා ඉන්න අයට වේදිකා නාට්‍යයක් පෙන්නනවා කියන්නේ ‍හිතට ‍කොයි තරම් සැනසිල්ලක්ද…!

පස්සේ ඉතිං මුහුද දිහා බලාගෙන හිටිය මමවත් අර ගැහැනු කෙනාගේ නාට්‍ය්‍ය දිහා බලාගෙන හිටිය කෙනෙක් වත් හීනෙකින්වත් හිතුවේ නෑ මේ නාට්‍යය අස්සේ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වෙයි කියලා…

එක පාරටම අර කාන්තාවගේ බිස්නස් කතා අස්සේ කනට තියාගෙන හිටිය චයිනීස් ‍තොරන ලයිටුත් පත්තුවෙවී… රිංග් වෙන්න ගත්තම… කොහොමද දැනෙන සනීපේ…! ඊටත් දන්නවනේ චයිනීස් ෆෝන් වල සද්දේ…

ෆෝන් පාවිච්චි කරන අය දන්නවා කෝල් එකක් අතරදි තවා කෝල් එකක් එද්දී ඒක ඇලර්ට් වෙන්නේ ‍ෆෝන් එක අතේ තියාගෙන ඉන්න කෙනාට විතරයි කියලා. මොකද ඕනෙම ෆෝන් එකක කෝල් එකක් මැදදි තව එකක් එද්දී ලාවට ඉයර් ප්‍රයිස් එකෙන් බීප් එකක් එනවා මිසක් ලවුඩ්ස්පීකර් මොඩ් ගිහිං රිං වෙන සිරිතක් නෑනේ… ඒත් ඉතිං මෙච්චර වෙලා වැස්ස නිසා හෙම්බත් වුන බස් එකේ අයට ලැබුන අමුතු අත්දැකීමනං මරු. කොහොම හරි ටික වෙලාවක් යනකං මට මුහුදයි වැස්සයි දෙකම අමතක වෙලා අනිත් අයත් එක්ක එක්කහු වෙලා හිනා ගියා….

වෙලාවට බස් එක එත‍ෙකාට අළුත් පාලම ගාව හෝල්ට් එකට කිට්ටු කරලා තිබ්බේ…! කව්ද මන්දා බෙල් එක ගැහුවා… අර ගෑණු කෙනා බස් එකෙන් බැස්සා නෙවෙයි…. පැන්නා….

(මේක පොඩි එක්ස්පෙරිමන්ට් පෝස්ට් එකක්. මං ලියන ක්‍රම දෙකක් එකට මික්ස් කරලා තියෙන්නේ….)

අලි ටික කොහොම හරි ගැන ගත්තනේ…

මේක නම් මට හෙනටම නඩු වැටෙන කතාවක්… ඒත් ඉතිං වැරදියට ගන්න එපා. මොකද මේ සමාජයේ මං අත්විඳලා තියෙන ඒ වගේම මගෙ කන් දෙකෙන් අහලා තියෙන, ඇස් දෙකෙන් දැකලා තියෙන ඒත් මදිනම් සත්‍ය වශයෙන්ම අත්විඳලා තියෙන තත්ත්වයත් එක්ක බලද්දී මට හිතුන දෙයක්… ඉතිං මේක නිකංම  නිකං සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්… එහෙම නැත්තං යම් සත්‍ය තාවයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම මේක මේ කාටවත් කරන චෝදනාවක් එහෙම නෙවෙයි…

දැන් ටික දවසකට කලින් අපේ රටේ අලි සංගණනයක් තිබ්බනේ. ඒකට ඉතිං මං දන්න කියන මල්ලිලා වගේකුත් සහභාගී වෙලා තිවුනා. ඉතිං ඇයි මේ අලි සංගණනයක් තියන්නේ…?

කොහොමත් සංගනණයක් තියන්නේ මූලික වශයෙන්ම යම් තෝරාගත් ප්‍රාදේශයක් ආවරණය කරමින් දත්ත රැස්කර ගන්න තමා. පස්සේ ඉතිං ඒ දත්ත කොම්පූටර් වලට දාලා ඇනලයිස් කලාම තමා තොරතුරු බවට පත් වෙන්නේ. පුංචි කාලේ ස්කෝලේ කියලා දුන්නේ එහෙමනේ…!

ඉතිං මේ අලි ගැනිල්ල කරේ ලංකාව පුරාව උතුරු මැදත් ඇතුළුව ස්ථාන 1500කට ආසන්න සංඛ්‍යාවක තමා. ඉතිං මේ සංගණනයේ මූලික අරමුණු වෙලා තියෙන්නේ… ලංකාවේ කොපමන අලි ඇතුන් සංඛ්‍යාවක් ඉන්නවද, ගැහැණු පිරිමි වෙන වෙනම කොච්චරක්ද ඒ වගේම අලි ඇතුන් වැඩි පුර ගැවසෙන ප්‍රදේශ මොනාද වගේ දේවල් දැන ගැනීම තමා. ඉතිං මේ සංගණනයට අලි ඇතුන් විතරක් නෙමේ හමුදාවේ වගේම විවිධ සංවිධාන වල අයත් 4500ක් විතර සහභාගී වෙලා තියෙනවා. වැඩි විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුළුවන්…

ඉතිං මේ වගේ දෙයක්කරපු එක නම් හොඳයි. මොකද මුළු ලංකාවේම අලි ගාන එකපාර ගැනගෙන නෑ තාම එක පාරක්වත්. කිහිප වරක් අලි සංගණන තිබ්බත් ඒ හරම එකක්ම රටේ විවිධ ප්‍රදේශ වල තමා තිබිලා තියෙන්නේ. ඒක නිසා එදා මෙදා තුර ලංකාවේ අලි ප්‍රමාණය අලි ගානකින් වෙනස් වෙලා ඇති. ඒක නිසා මේ වගේ දෙයක් කරපු එක හෙනම හොඳ වැඩක්. කොහොමත් මේ ගණනයේ මූලිකම අභිප්‍රාය වෙන්නේ ලංකාවේ අලි ඇතුන්ගේ සහ මිනිසුන්ගේ ගැටුම් අවම කිරීම කියලා තමා කියන්නේ…

මට ඉතිං මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ… මොකද වැඩිය කිව්වොත් මට වෙන්නේ සුදු පාට වෑන් එකකින් නොමිලේ ටුවර් එකක් යන්න. ඒක නිසා මං මට හිතෙන දේ කෙටියෙන්ම කියලා දාන්නං… දැන් ඉතිං ඔය අලි සංගණනයේ ප්‍රතිඵල වාර්තා එන්න කිට්ටුයිනේ… ඉතිං ඒ වාර්ථා වල මෙහෙම එව්වා අඩු වෙන්න බැරි නැද්ද….

වයසට ගිය දල ඇතුන්…. (ගොඩක් එවුන් ඉස්සරහට ස්වභාවික හේතුන් කියන එව්වා මත මැරෙන්න ඉඩ තියෙනවා)

හොඳ නාඹර ඇත් පැටවු… (රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් වැඩි කරගන්න රට යන්න ඉඩ තියෙනවා)

වගේ කොටස් වල යම් යම් සංඛ්‍යාත්මක අඩුපාඩුකම් වෙන්න පුළුවන්…  මොකද එව්වට දැම්මං සෘන ගනන් දාගන්න පුළුවන්නේ. ඒ වගේම කාටහරි සහසුද්දෙන්ම කියන්න පුළුවන්ද ලංකාවේ දේශපාලඥයෝ මේ ගණනයෙන් පස්සෙ නිකං ඉඳියි කියලා… මං හිතන්නේ නෑ… කට්ටිය තමන්ගේ යටතේ වැඩ කරන අය ලව්වා මුන්ව හොය හොය මරයි… බල්ලගේ ඔලු කට්ටටත් වටිනාකමක් දෙන අයට දල ඇතෙක් කියන්නේ හතර මහා නිධානේ වගේ….

බලාගෙන යද්දී මං විතරක් නෙමේ මේ වගේ සිතුවිල්ලක උරුම කරු වෙලා තියෙන්නේ… පරිසර සංවිධානත් සංගණනය වර්ජනය කරලා. ඒත් ඉතිං මං නම් කියන්නේ සංගණනය කරපු එක හොඳයි… ඒ වගේම එව්වයේ ප්‍රතිඵලත් විනිවිදභාවයෙන් යුක්ත වෙන්න ඕනේ… අද හංගලා ගැහුවොත් හෙට මේ රටේ අලි නැතිවෙන්නේ මේ රටේ ඉන්න අපිටම තමා….!

පරිසර සංවිධාන කියන විදියට නම් ඉදිරියේදී ලොකු ලොක්කන්ගේ ගෙවල් වල අලි ඇත්තුත් හුරතලේට හැදේවී…! මෙහෙවර ටිකිරා කියන කොට නගුට උස්සගෙන කුංඥනාද කරගෙන යන අලි පැටවුනුත් ඉඳිවී… ෂා සෝයි නේ…. එතකොට අපිටත් ඔය පෝසත් යාළුවෙක්ගේ ගෙදරකට ගිහිං අලියාගේ බඩ යටින් රිංගන්න බැරියෑ… නිකං මොකටද කන්දෙ විහාරෙ ගිහිං රුපියල් සීයක් දීලා අලියගේ බඩයටින් රිංගන්නේ…?

 

අඹ නංගි…. මගේයශෝධරා වත 17

මේ කතාවටනම් මං කුමාරයයි, යශෝධරාවයි නඩුකාරියි වගේම මං කුමාරයාගේ මවුතුමිය හා පියාතුමාත් කෙලින්ම සම්බන්ධයි. අපි ඉතිං අවුරුදු කාලෙට වගේම වෙසක් හරි පොසොන් මාස වල හරිත් යනවා අපේ මවුතුමියගේ උපන් දේශය බලාගෙන එන්න. ඒ ඉතිං වැඩි හරියක්ම යන්නේ අර කිව්වත් වාග් වෙසක් හරි පොසොන් හරි පෝයක් අල්ලලා තමා…

ඒ දවස් වලට අපේ මවුතුමියගේ රාජ්‍යයේ වැසියෝ ඉන්නේ හරියට අවුරුදු ලබලා වගේ තමා. ඒ වගේම පෝය දවස් වලට කට්ටිය සෙට් වෙලා පඬුවස් නුවර්, යාපහුව එත‍‍කොට වැල්ලෑගල එහෙමත් යනවා. මං කුමාරයත් ඔය වගේ ගමන් වලට හිටි ගමන් බොහොම කැමැත්තෙන් සහභාගී වෙනවා. ඉතිං මේ කතාව වෙද්දී මං කුමාරයට මතක විදියට ගෙවෙමින් තිබුනේ 2005 අවුරුද්ද…

ඔන්න අපි ගමේ ගිහිං ආවා. එනකොටම කව්දෝ මන්දා අ‍ෙප් මවුතුමිගේ යාළු නැන්ද කෙනෙක් ඇවිත් අපේ මවුතුමීට කියලා කව්දෝ මන්දා දුවෙකුයි අම්ම කෙනෙකුයි ඇවිල්ලා ගියා කියලා… පස්සේ ඉතිං වැඩි විස්තර හොයාගෙන යද්දී ඇවිත් තියෙන්නේ මගේ රාජකුමාරියි එතුමිගේ මවුතුමීයි. ඒ ඇවිදිල්ලා තියෙන්නේ අපේ ගේ ලඟ තියෙන නඩුකාරිගේ යාළුවෙක්ගේ මාලිගයට ආපු ගමන්ම තමා.

පස්සේ ඉතිං අපේ මවුතුමීටත් හරි දුකයි වෙච්ච සීන් එකට. මොකද මං කුමාරයාගේ මවුතුමීත් බලාගෙන ඉන්නේ යශෝධරාව අපේ මාලිගයට එනකං, ඒකිව හුරතල් කරන්න. අපෝ අම්මලා දෙන්නයි යශෝධරාවයි එකතු වුනාම තියෙන විකාර… අපේ මවුතුමීගේ වැඩේම කෙල්ලට ලෙමන් පෆ් කවන එක… කෑවේ නැත්තං අල්ලලා කටේ ඔබන තරමට ආදරෙයි. මං කුමාරයට ඉතිං ඔව්වා බලන් ඉද්දී අපේ මවුතුමීව පේන්නේ හරියට නිකං ආලවක ව‍ගේ. ඇයි වදේ යශෝධරා ආව ගමන් මං කඩේ දුවන්නයි, වීදුරු හෝදන්නයි වැඩ ගොඩයි. මේ කෙල්ල ඉඳලා හිටලා එද්දී මෙහෙමනම් කවද හරි අපේ ගෙදර පදිංචි වෙච්චි දාට මට කඩේකුත් දාගෙන කඩේ තමා නවතින්න වෙන්නේ… ඇයි ඉතිං නැන්දගෙයි ලේලිගෙයි විකාර බල බල ඉන්න ඇහැක් මොන කුමාරයටද…?

ඉතිං අපේ ගමේ අවුරුද්දට එකපාරකුයි අයෙම පොසොන් මාසෙට තව පාරකුයි, වාර දෙකක් අඹ හැදෙනවා. මං කුමාරයත් අඹ වලට වැඩිය පෙරේත නැති නිසා අඹ ගෙඩි පනහක් විතර අරගෙන තමා ආපහු එන්නේ. ඉතිං ගෙදර ආපු ගමන්ම මං කුමාරයා කරන්නේ හොඳට ඉඳුනු අඹ ගෙඩි දහයක් විතර අරගෙන මගේ මේසේ උඩින් තියාගන්න එක. ආයේ ඉතිං එව්වා ඇල්ලුවොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැති නිසා ‍මාලිගයේ කිසිම කෙනෙක් අඹ වලට අතක් තියන්නේ නෑ. අඩුම ගානේ ආනේ…. මේ අඹ නේද කියලා අඹ දිහා බලන්නේ වත් නෑ,.. ඉතිං මේ අඹ වල සුවඳ එද්දී අපේ මවුතුමීට ආවා මරු අදහසක්…!

ලොකූ….

ඇයි අම්මේ…?

මේ… මායි තාත්තයි ගිහිං එන්නං ඔයාගේ නංගිව බලන්න….

ඈහ්… මල මගුලයි. අපේ මවුතුමීට දුක කොච්චරද කියනවනම්, කෙල්ලව බලලා එන්නත් යන්න ප්ලෑන් කරගෙන… මාත් එන්නද කියලා අහන්න හිතුනත් ඒ වගේ වෙලාවට කට පන නැතුව යනවා. වෙන මොකවත් නිසා නෙමේ අපේ අම්මා මගේ ගුණ කියලා සාධුකාර දෙන නිසා.

පස්සේ ඔන්න අපේ පියතුමාවත් ලෑස්ති කරගෙන මගේ ගාවට ඇවිත්‍‍‍…

නංගිට ගෙනියන්න අඹ ටිකක් දෙන්න. ඔයා අරං තියාගත්තනේ හොඳට ඉඳිච්ච අඹ වගයක්…

යකෝ මේක හරි ලවු එකක්නේ. මට නිකමටවත් හිතුනේ නෑ ඒකිට අඹ ගෙඩියක් දෙන්න. එහෙව් එකේ අපේ අම්මට මොකද්ද ඒකි ගැන තියෙන කැක්කුම. ඒ ඔක්කොමත් හරි මේ අඹ ටික මං ගමේදි බෑග් එකට දාගත්දි කියපුවා… කාට කන්නද ඔච්චර… ඔව්ව තැලනවා නේද ගෙනියිද්දී… අරකයි මේකයි රටේ නැති එවුවා කියද්දී ඒ කිසි දෙයක් ඇහුනේ නෑ වගේ තමා මං මේ අඹ ටික පරිස්සමින් අරගෙන ආවේ… දැං මේ අඹ ටික යශෝධරාවට පුදන්න ලෑස්තිය… එව්වා කොහෙද මාත් එක්ක…

අනේ එයාට අඹ ඕ‍නේ නෑ අම්මේ… මේ ටික ගෙනාවේ මට කන්න….

ආ.. ඇත්තද… මෙහෙට දෙනව අඹ මල්ල … කියලා මගේ අතේ තිබුන අඹ මල්ලම අරගෙන තාත්ත එක්ක පිටත් වුනා යශෝධරාවගේ ‍මාලිගයට යන්න… දැං ඉතිං හරිනේ… මගේ හිත මටම ඔච්චං කරනවා…

‍තොට හොඳ වැඩේ… පෙරේතයා…!

හැමදේම වෙන්නේ මං කුමාරයටම නිසා ඒ වෙච්චි දේ අරුමයක් නෙමේ. පස්සේ ඉතිං ඔන්න මවුතුමී යශෝධරාවගේ මාලිගයට ගිහිං ආවා. ආපු ගමන් මං හිතුවට වෙච්චි දේවල් කියයි කියලා, කිසි දෙයක් කිව්වේ නැහැනේ…

ආයෙ ඉතිං ඕවා හාරවුස්සලා අහන්නත් බෑ… එහෙම ඇහුවොත් ආයෙම ම‍ං කුමාරය‍ාගේ ගුණ වරුණාවක් පටන් ගන්නවනේ. ඒක නිසා කිසි දෙයක් වෙච්චි නැති විදියට උන්නා.

පස්සේ ඔන්න මාත් දවස් දෙකකින් විතර යශෝධරාවගේ මාලිගයට. එදා නම් මං යද්දී උඩ පැනගෙන ඉස්සරහට ආවා… කට පුරෝලා හිනාවකුත් දාගෙන. ඒත් ඉතිං අර අඹ ටික ගැන ලෝභ හිතිච්චි නිසා මං ඉන්නේ ඔරෝගෙන… ඒ පාර…

එයත් අර හිනා කට වහගෙන, මුහුන කළු කරගෙන… මොකද ඔරවගෙන ඉන්නේ….?

දැං ඉතිං ඔය ප්‍රශ්නෙට මං කුමාරයා කොහොමද උත්තර දෙන්නේ… මගේ අඹ ටික නැතිවුන නිසා කිව්වොත් වසලා හමාරයි… ආයේ දෙකක් නෑ මට මේකි හූ කියනවා…

ඒක නිසා මං හිත රවට්ටගෙන, නෑ නිකං මට එදා ඔයාව බලන්න එන්න බැරිවුනානේ ඒකයි කිව්වා… ඒ ටික ඇහුනම ඉතිං යශෝධරාවටත් ටිකක් විතර දුක තුනී වුනා. පස්සේ ඉතිං ඔන්න එයත් පටන් ගන්නවා අපේ අම්මගේ ගුණ වරුනාව.

එදා අම්මා ඇවිත් මගේ කාමරේටම ආවා. හිහ්… මේං වැඩක් මේකි අපේ අම්මට ඇන්ටි නොකියා අම්මලු. ඒ මදිවට කියන කියන වචනයක් ගානේ ඇඹරෙනවා…

මං කුමාරයටත් ඉතිං හිනා යන්න එනවා… හා ඉතිං… අපේ අම්මා මොනාද කිව්වේ…?

මුකුත් කිව්වේ නෑ…… අම්මලා එද්දි මං නිදාගෙන හිටියේ. අම්මා ඇවිත් අඹ ටික දීලා කිව්වා අයියා දුන්නා කියලා…

මට ඉතිං ලැජ්ජත් ව‍ගේ… අපේ අම්ම ගම කාලනේ. කමක් නෑ මට ලකුණු ටිකක් වැටුනනේ… ඊට පස්සේ ඕන්න එනවා නඩුකාරි….

ආ… ළමයා… එදා අම්මලා අතේ එවපු අඹ ටික එක දවසට ඕං ඉවර කලා…

කවුද….?

කවුද ඉතිං ඔය ඉන්නේ… ඔයාගේ පෙරේත නංගි…

බලාගෙන යද්දි යශෝධරාව මට දෙවෙනි නෑ,… මං කොහොමත් ඔය අඹ ටික ඉවර කරන්නේ දවස් හතරකින් විතර. මෙයා එක දවසින් ගේම දීලා…  හොඳයි ඉතිං බැන්ද දාට පලතුරු කඩයක් තමා දාගන්න වෙන්නේ….! මවුතුමී එහෙම කියනකොට බලන්න ඕනේ යශෝධරාවගේ මූන… හරියට හොඳට ඉදිලා රෝසපාට වෙච්චි මී අඹ ගෙඩියක් වගේමයි….! ආසාවේ බෑ රත්තරං පාට මූනු පොඩ්ඩ….

ඔහොම ඉඳලා ඉඳලා… මාත් අන්තිමේ ආපහු මගේ මාලිගයට එන්න පිටත් වෙලා එන ගමන්… කන්ථකව අරගෙන… මේ අඹ නංගි…. ගාලා ටිකක් සද්දෙන් කතාකරලා… මම යනවා… අඹ ඇට ටික පැලකරන්න කිව්ව…

මේං ඊළඟ මොහොතේ එනවා… දූවිලා විසරුවාගෙන පොළොව ගුගුරවාගෙන මගේ ඉස්සරහට…

මොකද්ද කිව්වේ….

ඉතිං මට කට උත්තර නෑ… හිත චුට්ටක් රිදිලා තියෙන වෙලේ තවත් රිද්දන්න බැහැ මට. අනික මං බයම දේ තමා යශෝධරාවගේ හිත රිද්දන එක… ඒක නිසා ඉතිං කට පියාගෙන බලෙන්ම වගේ පැමිණිල්ලේ වරදකරු මං වෙලා ඒ පාරත් නඩුවේ දිනුම එයාටම දුන්නා…

හ්ම්… එනව මෙතෙන මට නම් දාන්න…. කියලා මගේ කනත් අර චූටි ඇඟිලි වලින් මිරිකලා…

දැන් පරිස්සමින් යන්න…. කියලා තරහා ඔක්කොම නිවාගෙන හෙන ආදරෙන් කියනවා. ඒ වෙලාවට ඉතිං ගෙදර යන්න හිතෙන්නේ නෑ … මොනා කරන්නද යන්න වෙනවනේ….! ඉතිං අ‍ායෙමත් අර අන්තිම මොහොතේ හම්බුවෙච්ච මතකයත් එක්ක මං කුමාරයා මගේ මාලිගයට එනවා.

දැන් නං ඉතිං මං අරගෙන එන අඹ කන්න කවුරුත් නෑ… ඒවා ඔක්කොම කන්නේ මං කුමාරයාම තමා. අඹ වල‍ට පෙරේත කෙනා නැහැනේ ඉතිං… ඒක නිසා වැඩිවෙලා අහක යන එව්වා ඔක්කොම ගිරවුන්ට, මයිනන්ට තමා…

එයාටෙල් උජාරුව…

දැං මේ කතාව කියද්දිත් නිකං මොකද්ද වගේ… ඒත් ඉතිං මේක ලියන මං වගේම අනිත් ‍ගොඩ දෙනෙකුත් මේ බෝට්ටුවෙම නිසා වැඩිය අවුලක් නෑ,..

යාළුවෝ දන්නවනේ එයාටෙල් කියන්නේ මොකද්ද කියලා… ඉන්දියාවේ ජයටම ජය වී ගෙන යන මොබයිල් කනෙක්ෂන්ස් දෙන තවත් එක් ආයතනයක්. ඉතිං දැනට අවුරුදු 2කට විතර කලිං එයාටෙල් සේවාව ලංකාවටත් ආවා. මේ කියන්නේ එයාටෙල් ලංකාවෙට එන්න කලින් එයාටෙල් ගැන තිබ්බ තත්ත්වේ තමා.

මං හිතන හැටියට මෙතුවක් කාලෙකට දුරකථන සමාගම් වලින් කරපු ප්‍රචාරන ව්‍යාපෘති වලින් හොඳම හා සාර්ථකම ව්‍යාපෘතිය. ඒ දවස් වල කවුදෝ මන්දා සෙට් එකක් කටකතාවත් ගෙනිච්චා එයාටෙල් කියන්නේ චන්ද්‍රිකා තාක්ෂනය උපයෝගි කරගෙන දුරකථන සේවා ලබාදෙන සමාගමක්ය… මුළු ඉන්දියාවටම තියෙන්නේ එයාටෙල් දුරකථන කුළුනු හයයි ය කියලා… එහෙම කියලා ඒ මදිවට කියනවා ලංකාවේ ඉන්දන්නේ අර ඉන්දියාවේ තියෙන කුළුනු වගේ එව්වැයින් භාගයක් උස එක කුළුනක්ය කියලත්…

ඔව් ඉතිං අච්චර ලොකු ඉන්දියාවම කුළුනු හයකින් කවර් කරන්න ඇහැක් නම් ලංකාවට පොඩි ඒරියල් කෑල්ලක් තිබුනත් බැරියෑ… හැබැයි ඉතිං ඔය කිසිම දෙයක් මට නෙට් එකෙන් නම් දැක බලාගන්න පුළුවන් කමක් වුනේ නෑ,..

හරි… ඒ ‍ඔක්කොමත් අතාරිමුකෝ… මේක‍නේ සිරාම සීන් එක… ඔය එයාටෙල් සමාගමේ ශාඛාවක්  ලංකාවේ පිහිටුවලා ප්‍රචාරණ ව්‍යාපාරය ජයටම ගෙනියන ගමන්… අත්පත්‍රිකා එහෙමත් බෙදාහැරියා… ඉතිං ඊට කලින් ඇති කරපු ප්‍රචාරණ විප්ලවය නිසා අන්ති‍මේදී අර අත් පත්‍රිකා එතකොට තමන්ටත් සිම් පතක් ඉල්ලුම් කිරීමේ ඉල්ලුම් පත්‍ර එහෙම හිඟ වුනා.  කොහොම හරි මගේ යාළුවෙක් අපිට ඇප්ලිකේෂන් ගේන්න කොළඹ ගිහිං අරගෙන ආවේ එක ඇප්ලිකේෂන් එකයි… ඒක් ෆොටෝ කොපි කරගෙන තමා අපි විසි දෙනක් විතර ඉල්ලුම් කරේ.

ඒ ඉල්ලුම් කිරීමේදීත් මාර ජෝක් තමා තිබුනේ. එව්වා ඒ දවස් වල නම් ජෝක් වුනේ නෑ… ඒත් දැං තමා හිතෙන්නේ අපි අහු‍වුනේ හෙන ‍විහිළුකටනේ කියලා… ඔය එයාටෙල් ඇප්ලිකේෂන් එකේ තිබුනනේ අපිට කැමති නොම්මර අපිට ලබාදෙනවා කියලා… එකක් නම් කමක් නෑ කියමුකෝ, අපි කැමති දුරකථන අංක 3ක් හරි 5ක් හරි වෙනකං අපිට ඉල්ලුම් කරන්න අවස්ථාව ලැබුනා…

පස්සේ ඉතිං මාත් මගේ තියෙන නොම්බරේම එයාටෙල් වර්ෂන් එකකුයි, කලින් තිබ්බ නොම්මරේ එයාටෙල් වර්ෂන් එකකුයි ඇතුලුව තවත් අංක කීපයක් ඉල්ලුම් කලා. මං විතරක් නෙමේ අපේ ඔෆිස් එකේ ගොඩක් දෙනා කලෙත් එහෙම තමා… අපේ ඔෆීස් එකේ විතරක් නම් මොකද අනිත් ඔෆිස් වලත් එහෙම්ම තමා…

පස්සේ අපේ කට්ටියට හම්බුනේ එක ඇප්ලිකේෂන් එකයිනේ… ඒක නිසා ඉතිං ඒක තැපැල් කරන්න තියෙන්නේ කොහෙටද කියලා එකෙක්ටත් නිච්චියක් නෑ… ඊට පස්සේ තමා අපි කම්පනා කරලා කරලා… අපිට ලඟම එයාටෙල් ප්‍රාදේශීය මධ්‍යස්ථානයට ගිහිං අපේ අත්වැලින්ම ඇප්ලිකේෂන් එක භාරදීලා කොහොමහරි කරලා චන්ද්‍රිකා තාක්ෂනයෙන් යුතු අසමසම ‍ඉන්ටර්නෙට් වේගයකින් යුතු එයාටෙල් සිම්පතක් ලබාගන්න හිතුවේ. ඉතිං අපිට ආසන්නම ප්‍රාදේශිය මධ්‍යස්ථානය වුනේ පානදුර හොරණ පාරේ තිබ්බ ශාඛාව තමා. ඒ පාර මමයි මගේ තවත් යාළුවෙකුයි ගියා ලස්සන අත් අකුරින් ගෑණූ ළමයින්ට කියලා පුරෝගත්ත ඇප්ලිකේෂන් විස්සක් විතර අරගෙන භාරදෙන්න… එතකොට වෙලාව ඇති රෑ හතට විතර… කොහොම හරි ඇප්ලිකේෂන් පෝලිම දිගයි මීටර් 50ක් විතර. පස්සේ ඉතිං ‍මේ අවස්ථාව මග ඇර ගන්න බැරි නිසාම අපිත් පෝලිමේ අන්තිමට සෙට් වුනා. හැබැයි අපි අන්තිම වුනේ තත්පර දෙක තුනකට විතරයි… කොහොම හරි අපි ඇප්ලිකේෂන් පෝලිමට රෑ හතට සෙට් වෙලා ඇප්ලිකේෂන් එක භාරදෙනකොට වෙලාව 9.55යි. අන්තිමේ ගෙදර යාගන්න විදියක් නැතුව ඒ.සී බස් එකක ගියේ…

ඕං ඔහොමයි එයාටෙල් ලංකාවේ ස්ථාපනය වෙන්න කලිං තිබ්බ එයාටෙල් උජාරුව… ඉතිං එයාටෙල් ලංකාවට ආවා ටික දවසකින්. අපි ඉතිං සිම් පත් එහෙම ගන්න ගියේ නෑ… මොකද ඉතිං අපි සිම් පත් වල අපිට අවශ්‍ය නොම්මරේ ඉල්ලලා ඉල්ලුම් පත්‍ර දැම්මනේ, ඒක රෙජිස්ටර් කරලා ගෙදරට ලියුමක් එවනව කියලත් කිව්වනේ… ඒක නිසා ඉතිං අපිට කලබල වෙන්න දෙයක් තිබුනේ නෑ,.. පස්සේ ඉතිං ඔය එයාටෙල් ගැන ඒ අස්සේ එක එක කතා ඇහැන්නත් ගත්තා.

ගොඩක්ම තිවුනේ අනේ එයාටෙල් වැඩක් නෑ බං… සිග්නල් නෑ බං… කියන එක තමා. මට හිතෙන්නේ අර හයිකරනවා කියපු එකම එක කුලුනට හෙනයක් වත් වදින්න ඇති කියලා තමා. පස්සේ ඉතිං බලාගෙන යද්දී එයාටෙල් දුවන්නෙත් අර මී වදේ හැඩේට ටවර් ගහලා ඒවාට ඇතුලත් වෙන ෂඩාස්‍රාකාර සෙල් ආකෘතියටම තමා… ඉතිං එහෙව් එකේ අපිටත් එයාටෙල් ගැන තිබ්බ උනන්දුව අඩුවෙලා ගියා… පස්සේ ඉතිං හැමදාමත් ගෙදර ගිය ගමන් බලන්නේ එයාටෙල් සිම් එක ගන්න එන්න කියලා ලියුමක් ආවද කියලා… කෝ දැන් අවුරුදු දෙකක් විතර වුනා තාම ආවේ නැහැනේ ලියුම…!

ඊටත් පස්සේ මාස තුනකින් විතර කවුදෝ එකෙක් කියනවා ඇහුනා එයාටෙල් කියන්නේ හුලං ටෙල් කියලා…! මොනා කරන්නද ඉතිං අපිත් හැමදාමත් වගේ මේ පාරත් රැවටුනා නෙව…

ඉතිං මට මේ හුලං ටෙල් ගැන ලියන්න වුනේ මගේ යාලුවෙක් හම්බුනා අර එදා එයාටෙල් පෝලිමේදී මුනගැහුන… පොරව ම‍ට අන්තිමට මුන ගැහුනේ එදා ඊට පස්සේ දැන් දවස් කීපයකට පස්සේ… ඉතිං ‍මෑන්ස් තමා එයාටෙල් මතකය අවදි කලේ… වැඩේ කියන්නේ ඌට ඇවිල්ලත් නැහැනේ අර සිම් එක ගන්න එන්න කියලා එනවයි කිව්ව ලියුම….!

දැන් නම් කවරේජ් එක ටිකක් හොඳයිලු. ඒත් එනිත් එව්වා තරං නෑ. මේකට ලු ප්‍රත්‍යය දාන්න උවමනාවක් නෑ… මොකද අපේ මලයාත් එයාටෙල් එකක් තියාගෙන බැන බැන ඉන්නවා. හැබැයි ඉතිං පොඩි පොඩි වාසි තියෙනවලු. ඒක නිසා ඉතිං පොර ඒක පැත්තකට දාන්නෙත් නෑ,.. ඒ වගේ තමා මං දන්න හුඟ දෙනෙකුට… කිරි නිසා විසික් කරන්නත් බෑ… උණු නිසා බොන්නත් බෑ….!

මං මේ එයාටෙල් ගන්න එපා කියනව නෙමෙයි… මට ‍මොකද මොක පාවිච්චි කලත් මං මේ කිව්වේ මං රැවටිච්චි හැටිගැන. අනික කොළඹ හා තවත් නගර රැසකට එයාටෙල් සිග්නල් ලෙසටම තියෙනවා… තව ටික කාලයක් යද්දී අනිත් පැති වලටත් අළුත් අළුත් වාසි එක්ක එයාටෙල් සිග්නල් ඒවි….!

 

ආහ්… මේ ඔයාලා කවුරු හරි කෙනෙක් නැගලා තියෙනවද දුරකථන කුළුනකට…? මං නම් නැගලා තියෙනවා…. මට හිතන්නේ මීටර් 60ක් විතර උසයිද කොහෙද… අපේ ගෙවල් කිට්ටුව ඉඳන් කළුතර නගරෙට කිලෝමීටර් 8ක් විතර තියෙනවා. ඉතිං අර කුළුනට නැග්ගම කළුතර ටවුන් එකයි චෛත්‍යයි එහෙමත් දැක්කා… අපි නැග්ගේ ටිකක් හවස් වෙලා… චෛත්‍යයේ ලයිටුත් දාලා තිබ්බේ… මාරම හැඩයි.

%d bloggers like this: