ඕයි… මේකේ සීට් නැත්තං මේක ලොරියක්නේ…

හොඳ කෑමක් සෙට් කරගන්න ගිහිං අනූ නවයෙන් බේරුන කතාවක් මේ‍. හැබැයි මේ සීන් එකේ අඳුරු සෙවනැලි තාම මගේ වටේ කැරකෙනවා. මං උදේට ඔෆිස් එන්නේ පොදු ප්‍රවාහන සේවයේනේ. වැඩිහරියක් ප්‍රයිවෙට් බස් වල තමා ගමන. ඉතිං දැං හැමෝම දන්නවනේ ඔය ප්‍රයිවෙට් බස් වල කොන්දා මල්ලිලාගේ කටේ සද්දේ ගැන. ඒ වගේම තමා කොන්දොස්තරලා කියන එව්වා….

බස් එකේ සෙනග ‍ලෝඩ් කරද්දී, ගාල්ල අම්බලන්ගොඩ…. පැත්තේ අය කෑගහන්නේ… ආ…එන්න ඉක්මනට ගොඩ වෙන්න …. ඉක්මනට ගොඩ වෙන්න කියලා. ගොඩ වෙන්න කියන්නේ ඉතිං… මගුල් බල බල ඉන්නේ නැතුව ඉක්මනට  බස් එකට නැගපං යකෝ කියලා කියන එක ක්‍රමයක්.

අපේ ගම් පලාතේ කියන්නේ… නගින්න පුංචි මහත්තයා… නගින්න ඉක්මනට… කියලා තමා. ඒකත් ඉතිං අර ඉක්මනට නැගපං යකෝ එකේම තව විදියක්. ඒ වගේම තමා මං දැං ඉන්න දිහාවේ… ඒ කොන්දලා නම් හරි ජොලි. බස් එක හෝල්ට් එකට එනකොටම කොන්දා බස් එකෙන් බිමට පැනලා බස් එකේ මැදක් හරියට දුවගෙන ඇවිත් ජනේලකින් ඇතුලට එබිලා…. ඔන්න පටන් ගන්නවා සංස්කෘත පාඩම. මේ ඔය – කොල පාට ඉරි ෂර්ට් එක ඇඳන් මහත්තයා… දෙපැත්තට වෙලා ඉඩ දෙන්නකෝ, ඔතෙන හරි කරගෙන ඉන්නේ… පස්සේ ඉතිං අර මහත්තයා දෙපැත්තට කෙසේ වෙතත් එක පැත්තකට වෙලා ඉඩදෙනවා. ඊට පස්සේ කොන්දා තව ටිකක් ඉස්සරහට ගිහිං ආයෙමත් ජනේලකින් එබිලා කෑගහනවා… ඔය මහත්තයා පොල්ල අල්ලගෙන ඔතෙන හිර කරගෙන ඉන්නේ‍ පොල්ල අතෑරලා ඉස්සරහට යන්නකෝ… කියලා… ඒ මහත්තයාත් ඉතිං පොල්ලක් ගැන කියලා ලැජ්ජ කොරපු නිසාම කට පියාගෙන සයිඩ් එකට වෙනව‍ා . එහෙමත් නැත්තං ඉස්සහට හරි පස්සට හරි යනවා. ඒ ඉතිං සාමාන්‍ය බස් රථ වල. ඊට පස්සේ වායුසමනය කරපුවෑ පටවන්නේ වෙන විදියකට. මුලින්ම කියන්නේ තව මෙච්චරකට කියලා ගානකුත් කියලා  වාඩිවෙලා යන්න පුළුවන් කියලා….  ඊට පස්සේ ඕං සමහර බස්වල නම් කියනවා ගමනාන්තයට මෙච්චර වෙලාවකින් යන්න පුළුවන්ය… අරක මේක කියලා…

ඊටත් පස්සේ තවත් සීන් එකක් තියෙනවා… මේක නම් අහලා දැකලා විඳලා තියෙන්නේ මාතර – කොළඹ බස් එකෙයි මහනුවර – කොළඹ බස් එකෙයි විතරයි. අනිත් එව්වෑ කොහොමද කියන්න ඉතිං ගිහිං තියෙන එකක්යැ. මේකයි සීන් එක. මාතර ඉඳන් කොළඹ එන බස් එකටයි නුවර – කොළඹ බස් එකටයි ඒ ස්ටෑන්ඩ් වල ඉන්නේ මාර සෙනගක්. ඉතිං එක බස් එකක් ගිහිං තව බස් එකක් එන කොටම පෝලිමේ මුල හරියේ අය බස් එකට නැගලා සීට් අල්ලගෙන ඉවරයි. එතකොට ඉතිං ගොඩක් අය දෙන්නා දෙන්නා යන නිසා අල්ල ගන්නේ ඩබල් හරි ට්‍රිබල් හරි සීට්. ඒ අස්සේ ඉන්නවනේ තනිකඩ උන්දලා…. ඉතිං ඒ අය වාඩි වෙන්නේත් අර ඩබල් සීට් වලම තමා. ඒත් ඒ අය තනිකඩ නිසා තව එක්කෙනෙකුට සීට් එකක් තියෙනවා. පස්සේ ඔන්න කොන්දා බස් එකෙන් බැහැලා කෑ ගහනවා… තනි සීට් මෙච්චරක් තියෙනවා… තව යන කවුරු ඉන්නවනම් නගින්න කියලා… එහෙම කෑ ගහද්දී ඉතිං තනියම ඉන්න වයසක අංකල්ලා එත‍‍කොට අයියලා එහෙම දුවගෙන ගිහිං නගින්නේ. ඇයි ඉතිං කෙල්ලෙක් එහෙම වාඩි වෙලා ඉන්න තනි සීට් එකක් හම්බුනොත් එහෙම යමින් ගමන් දෙන්නටම බඩල් වෙන්න බැරියෑ…. ඇත්තට ඒ තනි සීට් කේස් එකෙන් ගොඩ ගිය අය නම් හෙනට ඉන්නවා. මතකනේ මටත් ඔය තනි සීට් කේස් එක නිසා කෙල්ලෙක් සෙට් වුනා. අර අයියේ ඔයා මුස්ලිම්ද කියලා මගෙන් ඇහුවේ… ඒ වුනෙත් ඉතිං නුවර බස් එකේම තමා. ඒ වගේම ඔය අක්කලාව කැම්පස් ඇරලවලා එන අයියලා, එතකොට පවුලව ගමේ ඇරලවලා එන අයියල එහෙම තනි සීට් වලට ආසයි. වෙන මොකකටවත් නෙවේ ඩබල්, මල්ටි කරගෙන වෙනසක් අත්විඳින්න. මේවා කියලා මට කන්න වෙයිද දන්නේ නෑ….

ඒ ඉතිං කිව්වේ අද කතාවේ පසුබිම. කතාව නම් හෙන හෙන චුට්ටයි. මේකෙ තව ටිකක් තියෙනවා ඉතුරු හරිය කියන්න බෑ,.. මොකද එහෙම වුනොත් එහෙම මට ආයේ බ්ලොග් ලියන එකෙක්ගෙවත් මූන බලන්න බැරි වෙනවා…. ඒ තරම් පට්ටයි වෙච්ච දේ.

ඉතිං මේකයි කතාව දැනට මාස දෙකකට විතර කලිං අපේ බස් හෝල්ට් එකට එනවා මග ඉඳන් කොළඹ යන ඒ.සී බස් එකක්. ඇවිල්ලා අනිත් බස් වලට නවත්තන්න බැරි වෙන්න පාර හරස් කරගෙන නවත්තනවා. ඊට පස්සේ ඉතිං අනිත් බස් වලට නවත්තන්න විදියක් නැතුව එව්වා නොනවත්වාම යනවා පිඹගෙන. ඔය සීන් එකෙන් පාඩු වුනේ අපි වග් නැති බැරි සාමාන්‍ය බස් වල යන අසරනයින්ට. මොකද අර ඒ.සී එක අද්දන්නේ සෙනග භාගයක් විතර පිරුනම.  එතකොට ඉතිං අපිට යන්න තියෙන බස් ගොඩක් ගිහිල්ලා.

දැං ඉතිං දවස් දෙක තුනක් ඔහොම වුනා. මාත් එක්ක බස් එකේ යන තව යාළුවෙක් ඉන්නවා. පොරට තද වුනාම යකා වගේ තමා. දැන් ඉතිං දවස් දෙක තුනක්ම අර ඒ.සී බස් කාරයා නිසා ලේට් ටයිම් සෙට් වෙච්ච එකට මූ හෙන මලෙන් හිටියේ. පස්සේ ඔන්න එදත් අර බස් එක ඇවිත් කොන්දා බැහැලා බස් එක ‍ලෝඩ් කරන්න කෑගහනවා මෙහෙම…

නගින්න මහත්තයා… නගින්න සීට් තියෙනවා…. සීට් තියෙනවා… කියලා. දැං මාත් එක්ක ආපු එකාට මල උපරිමයි. මූ ටිකක් වෙලා දත්මිටි කකා ඉඳලා… මං නවත්තන්න හැදුවත් ‍මගේ අතත් ගසාදාලා ගියා අර කොන්දා ගාවට… ගිහිං…

ඕයි… <පරුෂ වචනයක් > මේකේ සීට් නැත්තං මේක ලොරියක්නේ <පරුෂ වචනයක් > කිව්වා. වටේ පිටේ හිටිය අයටත් හිනා මූ ඒක කිව්ව විදියට. ඇත්තනේ ඉතිං ඒ බස් එකේ සීට් නැත්තං ඒක ලොරියක්නේ. සීට් තියෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ ඉතිං මෙන්න කොන්දා එනවා අපිට නෙලන්න. දැං ඉතිං කාලා වරෙන්කෝ. මං නම් උදේට කිරි එක විතරයි බීලා හිටියේ. අනික හාල්මැස්සා වගේ ඉන්න මට උදේ පාන්දර පාරක් වැදුනම ඉතිං කියනන දෙයක් නැහැනේ දවසම කිරියෙන් පැනියෙන් ඉතිරෙනවා කියලා. පස්සේ ඔන්න ගහන්න පනිද්දී වටේ හිටිය අය අපි දෙන්නවා පැත්තකට ඇදලා දාලා කොන්දාගෙන් ගේම ඉල්ලනවා. කොන්දාට ඒ අස්සේ කව්ද එකෙක් හෙල්මට් එකකිනුත් ගහලා. ඒ වැඩේ කරේනම් කව්ද දන්නේ නෑ…. සමහරවිට කාව හරි හෝල්ට් එකට දාන්න බයික් එකක ආවා කෙනෙක් වෙන්න ඇති.

ඊට පස්සෙ ඔන්න බස් එකේ සෙනග කව්රුවත්ම නැතුව අම්බානෙට චාටර් වෙලා බස් එක ගියා. ඊට පස්සේ ඉතිං ගේම ඇදගත්තේ අපි දෙන්නනේ…. ඉතිං ඒකට අපිට අර බස් එකේ උං ගෙන් රිටන් එකක් හම්බුනේ එහෙම නෑලු. එදාත් යන්තං ත්‍රී වීල් පාක් එකේ ඉන්න දන්න කියන වුන් නිසා අතපය බේරගෙන යාළුවෝ දෙන්න ගෙදර ගියාලු. ඊළඟ අටෑක් එක ආයේ කවද වදීදද දන්නේ නෑ… ඒක නිසා මං දැන් ටිකක් උදෙන්ම තමා ඔෆීස් යන්නේ… ඒ වගේම ‍ගොම්මං කළුවර වැටිලා මාව අඳුර ගන්න බැරි වෙලාවට තමා මං ගෙදර එන්නේ…

ඔය අන්තිම අටෑක් එක එල්ල වුනේ මීට මාසෙකට විතර කලින්. ඊට පස්සේ අද වෙනකං නම් තාම වලියක් ගහගන්න සෙට් වුනේ නෑ… අනික මට මොන වලිද… ඔන්න ඔහේ ටිකක් රෑ වෙලාම ගෙදර එනවා කියලා හිතාගෙනම මං දිගටම කටයුතු කරන්න තියාගත්තා‍ එහෙම නැතුව බයකට එහෙම නෙවේ… කොහෙමත් මේවා අපේ අතපය නෙවේනේ… අපේ අම්මලා තාත්තලා මහන්සියෙන් හදපු අතපයනේ… මෙව්වට මොනාහරි වුනොත් එහෙම අපිට වැඩිය දුක් වෙන්නේ එයාලා‍.

ඕං ඔහොමයි බස් කොන්දන්ගේ හැටි… මතකනේ බස් එකේ සීට් නැත්තං ඒක ලොරියක්….. තව පුංචි කතාවක් තියෙනවා. දවසක් දා මගේ ගෑණූ යාළුවෙක්ගේ හස්බන්ඩට ෂර්ට් එකක් ගන්න ඕනේ වෙලා පොරගේ උපන් දිනේට දෙන්න. ඉතිං මාවත් ඇදගෙන නැග්ගා ඒ.සී එකකට. නැග්ග ගමන් කොන්දා කියපි… මේ කපල් එකට පස්සේ සීට් එකට යන්න ඉඩ දෙන්න කියලා ♥♥♥…. 😉 ආව් සෝයි නේ… ඒවගේ කොන්දොස්තරලා නම්….

%d bloggers like this: