කඳුළු බිංදුවට… වැහි බිංදුව හෝ පහන් දැල්ල රිප්ලේස් කල හැකිද…?

මේක පුංචි තර්කයක් වගේ එකක්. මං ලියන කතා අස්සේ එක දවසක් ලිව්වා මතකද… පහන් ටැඹක් නැවකට නක්කලේ දාන හැටි ගැන කියවෙන සිංදුවක් ගැන.  නෞකාවකි ඔබ ඈත සමුදුරේ – මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ කියලා තියෙන්නේ. ඉතිං මේ ලිපියත් ඒ වගේ එකක්.

මං ස්කෝලේ යන දවස් වල අපේ සිංහල සාහිත්‍ය පොතක තිබුනා ලස්සන කවි පන්තියක්. ඒක ලියලා තියෙන්නේ දයාසේන ගුණසිංහ මහත්මයා. කවි පංතිය නම් කරලා තිබුනේ එතෙර ගිය පොඩි දුවට කියලා. ඒ කියන්නේ පුංචි දුවව වෙන රටකට කවුරු හරි කෙනෙක් එක්ක ගෙන යනවා හෝ රැකියාවක් සඳහා පිටත් වෙලා යනවා. කවි පේලිය හා සම්බන්ධ ලිපියක ඈඳුමක් මං පහලින් දාලා ඇති එත‍නින් ගිහින් මුළු කවි පන්තියම කියවන්න පුළුවනි. ඉතිං මට ඕ‍නේ වුනේ මේ මුළු කවි පංතියෙම තියෙන පේලි දෙකක් ගැන විතරක් ටිකක් හිතන්න විතරයි. මොකද අපිට මේ කවිපන්තිය තේරුම් කරලා දුන්න ගුරුමහතා කිව්ව විදියට… “මේක බොහොම ප්‍රබල යෙදුමක්”  වෙනවා. ඒ දවස් වල ඉතිං ඔව්වා සත පහකට ගනන් ගත්තේ නෑනේ. අපිට මොකෝ මොන මගුලක් වුනත් කියලා හිතාගෙන හිටියට වයසින් මෝරද්දී අපි ඉගෙන ගත්ත දේවල් ගැන අපේ තියෙන අදහසුත් වෙනස් වෙලා.

අර අපේ ගුරුතුමා කිව්ව බොහොම ප්‍රබල යෙදුම අදටත් මගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ගුරුතුමා ‍එහෙම කිව්වේ මෙන්න මේ කවියේ අන්තිම පේලි දෙක තේරුම් කරන ගමන්.

මතු යම් දිනෙක සිතිවිල්ලෙන් සිටින සඳ

දෑතක පහස සිහිනෙක මෙන් දැනේ විද

සිතියම් පොතින් ලොව විමසා බලන සඳ

කඳුළක හැඩය මහ සයුරේ දකී විද

ඇත්තටම ඒක මටත් හිතෙන විදියට සෑහෙන හිතට වදිනවා. ලෝක සිතියම් පොතක් අරං බැළුවොත් අපිට ලංකාව පේන්නේ පුංචි කඳුළු බිංදුවක් වගේ තමයි. ඉතිං අපිත් ඒ දවස් වල ඔය වගේ කවියක් අහුවුනාම කියවලා විභාගෙට එනවා නම් විතරක් පාඩම් කරගන්නවා නැත්තං අල්ලලා දානවනේ. හැබැයි මේ කවියේ කි‍යවෙන අදහස නම් මටත් මතක හිටියා.

ඉතිං දැන් තමා මං මේ කවිය දකින විදිය දිගාරින්න හදන්නේ. මේක දයාසේන ගුණසිංහ මහත්මයාට කරන අපහසයක්වත්, මේ කවිය වැරදියි මේක වෙනස් වෙන්න ඕනේ කියලා කියන්න හදන දෙයක් වත් නෙමේ. නිකංම නිකං මගේ හිතට දැනෙන අදහසක් විතරයි. අනික මේ කවියේ කියලා තියෙන අර ප්‍රබල යෙදුම ගැන කිසිම තර්කයක් නෑ … ඒක සීයට සීයක් හරියටම හරි…

ඒත්…

අපේ රට අපි පුංචි කඳුළු බිංදුවක් විදියටම හැමදාමත් දකින්න ඕනෙද…? එහෙම නැතුව මේ කඳුළු බිංදුවක් කියලා හිතාගෙන ඉන්න රට සීතල, සාරවත්, පිරිසිදු වැහි බිංදුවක් කියලා දකින්න බැරිද…? එහෙමත් නැත්තං නිවි නිවී දැල්වෙවී, නොනිවී ඉන්න උත්සාහ කරන… හැමෝටම එලිය දෙන පුංචි පහන් දැල්ලක් විදියට දකින්න බැරිද…? මොකද කඳුළු බිංදුවේ හැඩේ වගේම තමා වැහි බිංදුවේ හැඩෙයි… පහන් සිලේ හැඩෙයි… දෙකම. ලෝක සිතියම් පොත අරගෙන “මේ තියෙන්නේ පුංචි පහන් දැල්ලක් වගේ රටක්…. මේකට තමා ශ්‍රී ලංකාව කියන්නේ” කියලා කව්රු හරි කෙනෙක් කියල තමන්ගේ දරුවන්ට කියල දෙද්දී කාටද ආඩම්බර හිතෙන්නේ…?

මට හිතුනේ මෙච්චරයි…  මං කොයිතරම් දුරට සාධාරනද දන්නේ නෑ… මට හිතෙන විදියේ වැරැද්දක් නැති නිසා තමා මේ පෝස්ට් එක දැම්මේ.

ඒ වගේම ගිනිකුරුල්ල තමා මං මේ කවි පන්තිය ගැන කිව්වම විස්තර ටික හොයලා දුන්නේ. මෙන්න අර මං කවි පන්තිය ගත්ත තැන. මෙතෙන තියෙනවා තවත් මහත්මයෙක් මේ කවි පෙලට සපයපු ලස්සන විග්‍රහක්….

%d bloggers like this: