සෙල්ලං බඩු නිසා ගෘහස්ථ ප්‍රචන්ඩත්වය… වගකිව යුත්තෝ නිදිද…?

ගිය ඉරිදා, වැහැ පොදකුත් එක්කම අපේ ඔෆිස් එකේ වාර්ෂික සතුටු සාදය තිබ්බනේ. ඉතිං ඒකෙදී පුංචි අයට තෑගි දුන්නයි කියලා මං පහුගිය පෝස්ට් එකක දැම්මා. අපේ ඔෆිස් එකේ සහ කර්මාන්ත ශාල‍‍ාවේ වැඩ කරන හැම කෙනෙක්ගෙම, අවුරුදු 12න් අඩු දූ දරුවන්ට තෑගි හම්බුනා. ඉතිං දැන් මේ කියන්න යන්නේ ඒ දුන්න තෑගි වලට මේ වෙන කොට වෙලා තියෙන දේවල්…

තෑගි වලට වෙලා තියෙන දේවල් අස්සේ පො‍‍ළොව නුහුලන අපරාදත් තියෙනවා. ඒක නිසා සෙල්ලං බඩු ගැන සංවේදී හිත් ඇති අය මේ පෝස්ට් එක කියවීමෙන් වැලකී සිටින්න. නැත්තං වැරදිලා හරි හාට් ඇටෑක් එකක් හැදුනොත් මාව තමයි අහුවෙන්නේ.

මුල්ම කේස් එක… අපි පුංචි පිරිමි ළමයින්ට දුන්නේ රිමෝට් කන්ට්‍රෝල් කාර්. ඒ කාර් එක මාර ලස්සනට හැන්ඩ්ල් කරගෙන ස්මූත්ව යවන්න පුළුවන්. කහයි රතුයි පාට දෙකෙන්ම දුන්නා. ඉතිං ඒ වයස් කාන්ඩෙම ගෑණු ළමයින්ට දුන්නේ හෙනම ලස්සන පුලුං ගොඩවල් වගේ සුමුදු ටෙඩි බෙයාර්ස්ලා වගයක්. කෙල්ලෝ ඉතිං කොහොමත් කැමති පුලුං ගොඩවල් වලටනේ.

දැන් තමා කේස් එක පටං ගන්නේ…ඔන්න එක පවුලක ඉන්නවා අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි. අයියට හම්බුනේ රිමෝට් කාර් එකක්. නංගි ඊට වැඩිය වයසින් අඩු වුනත් එයාට ලැබුනේ අයියගේ වයස් කාන්ඩෙටම දුන්න ටෙඩියව. දැන් ඉතිං නංගි ටෙඩියව හුරතල් කරන අතරේ අයියා, එයාගේ රිමෝට් කාර් එක ගේ පුරාම යවනවා. පුංචි නංගිට මේක මැජික් වගේ. මොකද අයියා නංගි ගාවට වෙලා ඉද්දී, අයියාගේ කාර් එක ගේ පුරාම රවුම් ගහනවා. පස්සේ ඉතිං නංගි මේ සීන් එක අයියගෙන් ඇහුවලු….

කෝමද… ඒක තනියම යන්නේ…?

අයියත් ටිකක් ගනන් උස්සලා…. ඒක එහෙම තමා, කාර් එක යන්නේ මට ඕනේ විදියට,… මැජික් කාර් එකක්….. කිව්වලු. බොහෝම පොඩි කාලෙකදී නංගි ටෙඩියව පැත්තකින් තියලා වාඩිවෙලා හිටි තැනින් නැගිට්ටලු, දුවගෙන ගිහිං කාර් එක අතට ගත්තලු, ඊට පස්සේ සිං ගාලා ගිහිං අම්මා රෙදි පෙඟෙන්න දාපු බේසමට දැම්මලු…. ඔන්න ටික වෙලාවකින් වතුරේ මැදක් හරියේ තියෙන රෙදි ගොඩ උඩ නතර වෙලා කුරු .. කුරු… ගාලා සද්දයක් එහෙම දාලා කාර් එකේ මැජික් වැඩ ටික ඉවර වුනාලු.

පස්සේ නංගි ඇවිත් අයියට කියනවලු… ඒක මැජික් කාර් එකක් නම් වතුරෙත් යවන්න කියලා. ඊට පස්සේ ඉතිං නංගිට අයියාගේ  ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට එරෙහිව නැගී සිටින්න සෑහෙන ගේමක් දෙන්න වුනාලු. කොහොමද අපි දීපු මැජික් කාර් එක…? ඇත්තට අපිට ඕක වතුරේ යනවද නැද්ද කියලා බලන්න බැරි වුනානේ.

පස්සේ කොහොම හරි අපේ බාස්ලා ටික එකතු වෙලා කාර් එක ආපහු හදලා දුන්නා. වැඩිය ඕනේ නෑ මායි මල්ලියි නම් කොච්චර මරාගෙන ඇද්ද සෙල්ලං බඩු වලට… එහෙව් එකේ ඔව්වා මොනාද…

ඊට පස්සේ තව කාර් එකක් දුන්නා බිත්තිවල, වහලේ එහෙම යන එකක්. ඒක වැඩ කරන්නේ කාර් එක යට තියෙන හුලං ඇදලා අරගෙන උඩින් පීඩනයකට ලක්කරලා පිට කිරීම මගින්. කාර් එක යට තියෙන වාතය ඇදලා ගනිද්දී කාර් එක නිකංම ඒ මතුපිටට තද වෙනවා.. ඊට පස්සේ කාර් ‍එකේ උඩින් වාතය පිට වෙද්දී ආයම පාරක් කාර් එක රෝද තියෙන පල්ලෙහ පැත්තට ආයෙම තද වෙනවා… පස්සේ ඉතං රෝද කැරකෙද්දී  භාන්ඩේ එයාට මෙ‍හාට යනවා. හැබැයි අපි දීපු කාර් එක යන්නේ වහලේ හා බිත්ති වල විතරමලු. නිකංම ආසාවටවත් සාමානය විදියට බිම තියලා යවන්න බැහැලු. දැන් ඉතිං මල මගුලයි… මොකද අර පීඩනය නිසා කාර් එක පොළොවට ඕනෙවට වැඩිය තද වෙලාලු තියෙන්නේ… ඒකට ඉතිං මක්ක කොරන්නේ…? කොහොමහරි ඒ වැරැද්දත් අපේ කරපිට….

ඊට පස්සේ කතාව තමා ලස්සනම. අපි තව වයස් කාන්ඩෙකට දුන්නා කී බෝඩ් වගයක්. ඔයිට කලිනුත් හැම පාරකම එක එක ප්‍රමාණයේ විවිධ වර්ගයේ කී බෝඩ් දීලා තියෙනවා. ඉතිං අපේ එක අයියා කෙනෙකුගේ පුංචි පුතෙකුට ජයග්‍රාහි පස්වෙනි පාරටත් විදුලි ඕගන් එකක්ම හම්බුවෙලා. දැන් ඉතිං අර අයියා ඇවිල්ලා අපිට කියනවා…

අපේ ගෙදර තියෙවා බං ස්වර තිස්පහක කීබෝඩ් එකක් … කියලා. බලාගෙන යද්දී, අයියාගේ පොඩි එකාට අවුරුදු 5කට කලින් හම්බුවෙච්ච කී බෝඩ් එකත් හෙනට පරිස්සම් කරගෙන ති‍යාගෙන ඉන්නවලු. කොහොමත් ඔය සෙල්ලං කී බෝඩ් වල, එක කීබෝඩ් එකක තියෙන ස ස්වර්යේ සංඛ්‍යාතය නෙමෙයි අනිත් කීබෝඩ් එකේ ස ස්වරයේ තියෙන්නේ… ඉතිං එහෙම බැළුවම… අර කීබෝඩ් පහම පෝලිමට තියලා ප්ලේ කරද්දී ස්වර මූලික ස්වර තිස්පහක් තමා තියෙන්නේ… ඉතිං කොහොම හරි ඒ වැරැද්දත් අපිටමයි…

ඊට පස්සේ ගිය අවුරුද්දේ තෑගි හම්බුවෙලා මේ අවුරුද්දේ තෑගි හම්බුවෙච්චි නැති, ඒ කියන්නේ දැන් අවුරුදු 13ක් වෙන ළමයෙක්ගේ… තාත්තා කෙනෙක් ඇවිත් අර ඔක්කොමලා එකතු වෙලා අපිට දාපු දෝස් මුර අහගෙන ඉඳලා කියනවා… ඔහොම තමා මල්ලි ඔව්වා… මේකෙ ඉන්නවා බං කොච්චර පුදලවත් සතුටු කරන්න බැරි එවුන්…. කියලා…. ඒක කිව්වෙත් අහක බලාගෙන අම්බානෙට දුකින්… හරියට නිකං තමාගේ සිතුවිලි පාපොච්චාරනේ කරා වගේ…

%d bloggers like this: