ඇටේ එලියේ ඕයි…

ඉස්සර කාලේ ඉඳන්ම පෘථිවය බිහිවෙච්චි හැටි ගැන එක එක අදහස් තිබුනනේ… ඉතිං ක්‍රිස්තියානි ආගමේ හැටියට ලෝක‍ය බිහිවුනේ දෙවියන් විසින් ලෝකය මැව්ව නිසානේ. ඉතිං මේ දෙවියන් විසින් ‍ලෝකය මවද්දී ඇතිවෙච්චි පුංචි කලබලයක් ගැන, අපේ ඔෆිස් එකේ ක්‍රිස්තියානි අයියා කෙනෙක් කියපු කතාවක්. මේක ආගමකට කරන අපහසයක් එහෙම නෙවෙයි…. නිකං කතාවක් විතරයි.

ඉතිං දෙවියන් වහන්සේ විසින් ලෝකයේ තියෙන ගස් කොලන් එහෙම හරි හරියට මවාගෙන යන කාලෙලු. ඒ අතරේ .. පට්ට ලස්සන ගස් කොලන් මොනරා වගේ සිරාම සිරා කුරුල්ලෝ එහෙමත් මවනවලු. ඉතිං ඒ අස්සේ සමහර කුරුල්ලන්ට එක එක හඬවල් ලබාදීලා… එක එක පාට පිහාටු ලබාදීලා එහෙම ගානට මැවීම කරගෙන යන දවස් තමා මේ කියන කාලේ. ඒ ගමන්ම ඉතිං ලස්සන ලස්සන පාට පාට මල් අහෙ මෙහේත් මවනවලු. ඇත්තට මං දන්නේ නෑ මේ මැවීම ගැන නම් ක්‍රිස්තියානි ආගමේ හිටියට එක වර වුනාද එහෙම නැත්තං කාලයක් තිස්සේ වුනාද කියන්න. කොහොම හරි කතාවෙ හැටියට මේක කාලයක් තිස්සේ වෙලා තියෙනවා.

ඉතිං ‍ඔහොම මැවීම කරගෙන යද්දී… අපේ බුදුහාමුදුරුවන්ට හිටිය හතුරා දේවදත්ත වගේ දෙවියන් වහන්සේටත් අර සාතන් කියන යස්සයා බකට් එක දාන්න ලෑස්ති වෙනවලු. ඒ කියන්නේ මේ මැවීමට කෙලවන්න. ඊට පස්සේ දෙවියන් වහන්සේගෙන් කිසිම ඉඩක් නොලැබුන තැන සාතන් ඇවිල්ලා දෙවියෝ ගාව පිංසෙන්ඩු වෙනවලු….

අනේ දෙවියන් වහන්ස මටත් මොකෙක් හරි මවන්න ඕනෙය කියලා… පස්සේ දෙවියො ඉතිං මූගේ ඉල්ලීම කිසිම අභියාචනයකින් තොරව ප්‍රතික්ෂේප කරනවාලු. දැන් ඉතිං සාතන් යකා වුනත් පොරටත් අම්බානෙට දුකයිලු චෙව්වි සීන් එකට. මොකර පොර එච්චර කාලෙකට දෙවියන්ගෙන් ඉල්ලලා තියෙන එකම ඉල්ලීම එච්චරයිලු.

පස්සේ ඉතිං මූ උගේ වාස භවනෙට ගිහිල්ලා තනියම හිතනවලු මේකට ප්ලෑන් එකක්. එත් ඉතිං පොරට කිසිම සීන් එකක් මීටර් වෙන්නෙම නැහැලු. ඒ දවස් වල අරක්කු, රොකට් එහෙම තියෙන්න නැතුව ඇති. නැත්තං ඉතිං ඒක එච්චර ගේමක් වෙන්න විදියක් නැහැනේ… පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර සාතන් හිතාගත්තලු ආයෙම පාරක් දෙවියන් වහන්සේ ගාවට ගිහිං අඬලා වැලපිලා හරි එකම එක සතෙක් බැරිනම් ගහක්වත් මවන්න චාන්ස් එකක් ගන්නවා කියලා.

ඔන්න ඉතිං පහුවදා ආයෙමත් සාතන් ගියාලු දෙවියන්ගේ භවනෙට. ගිහිල්ලා මූ අඩනව අඩනවා ඉවරයක් නෑලු. පස්සේ ඔන්න ඉතිං දෙවියන්ටත් සාතන් ගැන අනුකම්පා හිතිලා… දෙවියෝ කිව්වලු…

හා එහෙනම්… උම මවපං එකම එක ගහක් කියලා… දැන් ඉතිං සාතන්ටත් හෙන හැපීලු. ඇයි ඉතිං උගේ ඇඬිල්ල ප්‍රයෝජනයක් තිබුනනේ… ඒක නිසා. ඊට පස්සේ ඔන්න සාතන් මැවුවලු කජු ගහක්.

මල මගුලයිලු…. දෙවියන්ට, මේ සාතන් මවපු ගහ ගැන අම්බානෙට කේන්ති ගිහිංලු. පස්සේ සාතන් අහනවලු… ඇයි දෙවියන් වහන්ස මොකද්ද පස්නේ කියලා… පස්සේ දෙවියෝ කියවලු… ඕයි … සාතන්…  මේ බලනව ඕයි තමුසේ ඔක්කොම හරියට කලාට මේකේ ඇටේ එලියෙනේ…. කියලා…

අප්පටසිරි බලාගෙන යද්දී කතාව ඇත්තලු… අනිත් ඔක්කොම ගෙඩි වල ඇට තියෙන්නේ ඇතුලේ, කජු ගහේ හැදෙන ගෙඩියේ විතරක් ඇටේ එලියෙලු. දැන් ඉතිං සාතන්ට හෙන නෝන්ඩියිලු සීන් එකට. ඒ පාර මූ ආයෙම වැඳලා වැඳලා තව අවස්ථාවක් ඉල්ලුවලු එකම එක සතෙක් මවන්න…. පස්සේ ඉතිං මූට තියෙන උන්නදුව ගැන හිතලා දෙවියො දුන්නලු තව අවස්ථාවක්…. සාතන්ට සතෙක් මවන් කියලා…

මෙන්න ඒ පාර මූ මැව්වලු වවුලාව. ඒ පාරත් වැඩේ අඤ්ඤ කොරොස්ලු… මොකද වවලු කන්නෙයි පහරන්නෙයි දෙකම කරන්නේ කටින්ලු…. ඒ පාර නම් දෙවියෝ කෝප වුනාලු. පස්සේ සාතන්ව එලෙව්වලු… තෝ තොගේ විමානෙට වෙලා හිටු, මේ පැත්ත පලාතේ එන්න එපා.. මං මේ මැවීම තනියෙං කොරගන්නං කියලා….

නොදන්න රෙද්දවල් වලට අතදාලා ගම කන එවුන් ඒ දවස් වලත් ඉඳලා නෙවෙ. ඒක නම් කමක් නෑ කියමුකෝ… මං මේ කතාව ඇහුවට පස්සෙයි දන්නේ වවුලා කන්නෙයි පහරන්නෙයි දෙකම කරන්නෙ කටින් කියලා… පස්සේ මේක කිවුව එකාව සුවර් නැතුව තවත් කීප දෙනෙක්ගෙන් අහලා බැලුවම වැඩේ ඇත්ත. වවුලා දෙකම කරන්නෙ කටින්….

*දැන්  ඉතිං මේක ආගමකට කරපු නින්දාවක් කියලා මාව ඩෙවල් දාන්න ලෑස්ති වෙන්න එපා හරිය. මේක මට කිවුවෙත් ක්‍රිස්තියානි අයිය කෙනෙක්. ඒක කිවුවෙත් ජෝක් එකට මිසක් ආගම පහත් කරන්න නෙමෙයි. අනික මං ආගමකට අපහස නොකරන බව දන්නවනේ… අර මිස්ක් කල්චර් සංකල්පය ගැන අහලා ඇතිනේ… අනිත් එක මේ අපේ බ්ලොග් ලියන සාතන් අයියා ‍එහෙම නෙවේ ඕං…. ඌ මැව්ව නං එහෙම… අප්පේ මට මතක් වෙද්දීත් හිනා… අනිවා මූ මවයි අපි රජ ඉබ්බෝ… හා හා හරි හාවා, ටොමි ඇන්ඩ් ජෙරී වගේ එල කාටුන් ටිකක්…. නැද්ද මචාං….?

%d bloggers like this: