ස්කූල් වෑන් එකේ….කඩවුන පොරොන්දුව…

මං අර කලින් දවසක කිව්වා වගේ මං ගිය ස්කූල් වෑන් එකේ හරි හරි වැඩ තිවුනා. ඉතිං අක්කලා ගහෙන් වැටිලා ජම්බු මතක් කරද්දී අපිව කන්න පැන්න හැටි කලින් කතාවෙ කිව්‍වනේ. අද කියන්න යන්නේ වෑන් එකේ නංගිලාගේ කේස් එකක්.

මේකට නම් මම කෙලින්ම සම්බන්ධයි. ඉස්සර අපේ පන්තියේ හිටි‍යා මගේ ෆිට් එකක් අරුණ කියලා. ඌත් එක්ක ග‍ඟේ නාන්න ගිහිං තමා මගේ කලිසම මාරු වෙලා අම්මට මාට්ටු වුනේ. ඒ දවස් වලට පස්සේ තමා මේ සීන් එක වුනේ. අරුණට ඇත්තෙන්ම මාළු ගැන තිබුනේ මාර දැනුමක්. ඒ දවස්වල තියා දැනටත් අපිට මාළුන්ගේ ගෑණු පිරිමි අඳුරගන්න හෙන අමාරුයිනේ. ඒත් අරුණට එහෙම නෑ…. ඌට මාළුවා දැක්ක ගමන් කියන්න පුළුවන් ගෑණූද පිරිමිද කියලා. අනේ මන්දා කොහොම හොයනවද කියලා… මොකද ඉතිං මනුෂ්‍යයින්ගේ වගේ එක එක ගැජට් කෑලි එල්ලෙනවා, පැද්දෙනවා කියලයෑ… හැබැයි  මූ ගැහැණු මාළු කියලා දෙන එවුන්ව අනිවාර්යෙන් පැටව් ගහන්න සෙට් වෙනවා. ඒක නිසා ඉතිං පොර බොරු කියනවා කියලා හිතන්නත් බෑ…

පස්සේ ඉතිං දැන් වගේම ඒ දවස් වලත් මට ලාවට මාළු පිස්සුව ගහලා තිබ්බ කාලේ. ස්කෝලේ යන කාලේ දැන් වගේ මාළු ගන්න සල්ලි නැහැනේ. ඒක නිසා ඉතිං අරුණට කිව්ව ගමන් ටක් ගාලා උඩ හඳයෝ හරි ගප්පි ටිකක් හරි, ප්ලේටි ටිකක් හරි ගෙන්න ගන්න පුළුවන්‍. පොර ගාව වැඩියෙන්ම හිටියේ උඩ හඳයෝ. මම නම් ඒ නම ඇහුවෙත් උගෙන් විතරයි. උඩ හඳයා කියන්නේ… ඒ මාළුවගේ ඔළුව උඩ අඩ හඳක් වගේ කහ පාටට සලකුණක් තියෙන නිසා. උන් වැඩියෙන්ම ඉන්නේ ස්කෝලේ අයිනෙන් බැහැගෙන ගිහිං ගඟට යන වතුර කාණුවේ. ඒක නිසා ඉතිං අරුණගේ වැඩේ ස්කෝලේ ඇරිලා ගියා ගමන් පුංචි දැල් කෑල්ලක් හොයාගෙන ඕකෙන් උඩ හඳයෝ අල්ලන එක තමා. ඊයා…..මට නම් අප්පිරියාවේ බෑ… සමහරවෙලාවට ඒ කානුවේ 18 පල්ස්  රබර් බැළුම් එහෙමත් ගහගෙන යනවා.

ඒත් ඉතිං මාළුවා මාර ගති. හරියට නිකං ගුරාමි වගේ තමා. අනික ඉතිං කෝමත් අරුණ මට මාළු ගෙනත් දෙන්නේ උංව සබන් ගාලා හෝදලනේ… ඒකත් හැ‍මෝටම කරන්න බැහැලු. බේබි සබන් නැත්තං මාළු මැරෙනවා කිව්වේ… කොහොම හරි කමක්නෑ… මට උඩ හඳයෝ ගෙනත් දුන්න දාට ඌයි මායි කැන්ටිමෙන් මොනා හරි කනවා. පස්සේ ස්කෝලේ ඇරුනම අරුණ මාළු දාගෙන ආපු ජෑම් බෝතලේ වතුර ටිකත් එක්කම මාළුන්ව වෙන ෂොපින් බෑග් එකකට දානවා. ඊට පස්සේ තමා මගේ අතට එන්නේ මාළු ටික. අම්මෝ බලන්න ලස්සනයි… මාළු 10ක් විතර බෑග් එකේ එහෙ මෙහෙ දඟලන ලස්සන….!

පස්සේ ඉතිං මාත් හෙන පොර වගේ ඔය මාළු ටික අරගෙන නගිනවා ස්කූල් වෑන් එකට. මුලින්ම නගින්නේ මම නිසා අවුලක් නෑ. ඊට පස්සේ ඔන්න පානදුරේ වටේම කැරකිලා කැරකිලා අනිත් ළමයින්ව අරගෙන අපිව ගෙවල් වලට දාන්න යනවා. ඔය යන ගමන් ඉතිං අපි එක එක එව්වා කතාකරනවා. අක්කලා අපිත් එක්ක ෆිට් වුනාට, මං මාළු ගෙනාපු දාට උංට මාවත් එක්ක අප්පිරියයි. මොනා කරන්නද ඉතිං… එහෙම වුනයි කියල මායි අනිත් කොල්ලෝ ටිකයි තනිවෙන්නේ නෑ… අක්කලා තරහා වුනාට නංගිලා හයක් හතක් ඉන්නවානේ…

පොඩි කෙල්ලෝ ටික වැඩියෙන්ම ආසා මාළුන්ට, ලේන්නුන්ට වගේ උංට තමා. මං මාළු ගෙනාපු දාට, වෙනදට වචනයක් කතා කරන්නේ නැති කෙල්ලෝ ඔක්කොම මගේ දෙපැත්තේ. මං ඉතිං අත රිදෙනකං මාළු බෑග් එක අල්ලං ඉන්නවා කෙල්ලෝ ටික මාළුන්ට ඇඟිල්ලෙන් ඇන ඇන ෆන් ගන්නවා. අන්ති‍මේ ගෙදර යද්දී මගේ අතට අංශභාගේ හැදිලා වගේ යන්නේ.

ඉතිං ඔහොම මං මාළු ගෙනිච්චි දවසක… වෑන් එකේ හිටිය, සූකිරි බෝ‍ලේ වගේ නංගියෙක් කියනවා…

අයියේ………. හෙට මට මාළු පැටවු දෙන්නෙක් ගෙනත් දෙන්නකෝ….. කියලා. අනේ ඉතිං එහෙම ඇදලා පැදලා නැලවිලා කියන කොට කාටද බැහැ කියන්න පුළුවන්…. ඉතිං මාත් ඇහුවා…

මොක්කුද ඕනේ….? කියලා… මේකි ගත් කටටම‍‍‍…

මට ඕනි…. ගෝල්ඩ් ෆිෂ් දෙන්නෙක්ව… ගෙනත් දෙනවා නේද මට…? කියලා මහ කෑදර බැල්මකුත් දැම්මා. ඒ දවස් වල ‍ගෝල්ඩ් ෆිෂ් එකෙක් ගන්නවා කියන්නේ දවස් දෙක තුනක් නොකා ඉන්න වෙන වැඩක්… ඒත් ඉතිං අවුලක් නෑ… අරුණගාව ඕනේ මාළුවෙක් ඉන්නවනේ. ඒත් ඉතිං හෙට ගේන්නනම් අද කියන්න ඕනේ නිසා, ඒ නංගිට සීන් එක කියලා… මාළු දෙන්නව අනිද්දට ගේන්න පොරොන්දු වුනා.

පස්සේ ඉතිං ගෙදර ගිහිල්ලත් මට හෙන හැපී… පොඩි කාලෙම මාලියක් සෙට් වුනා තමා කියලා මං හිතුවේ. මොනා කරන්නද ඉතිං වැරදි වයසනේ. පස්සේ ඉතිං ඊට පස්සෙන්දා අරුණට ගිහිං සීන් එක කිව්වම මූ කියනවා…

අඩෝ බං… මගේ ගාව ගෝල්ඩ් ෆිෂ් නෑ බං… ප්ලේටි ජෝඩුවක් දෙන්නං…. කියලා.

පිස්සුද යකෝ බොට…? මං අර කෙල්ලට පොරොන්දු වුනා බං…

ඉතිං බං මගේ ගාව නැත්තං කොහොමද බං දෙන්නේ…?

ඇත්ත තමා ඉතිං… අරුණ ගාව නැත්තං මොනා කරන්නද? ඌට මාළුන්ව සබන් දාලා හෝදන්න පුලුවන් වුනාට මාළු මවන්න බැහැනොවැ. ඒක නිසා මට තමා අන්තිමේ පස්නේ වුනේ.

පස්සේ ඔන්න දවස් දෙකකට පස්සේ වෑන් එකේ නැගලා යද්දී මං තීරණය කලා මොකක් හරි කේස් එකක් දාගෙන නංගිලා ඔක්කොමලා එක්ක තරහා වෙන්න. ඒ ඉතිං වෙන කරන්නම දෙයක් නැති නිසා මගේ බේරුමට. අනික මගෙන් මාළු ඉල්ලපු කෙල්ලට තමා හොඳටම මල පයින්නේ… ඒක නිසා වැඩේ ලේසියි.

ඉතිං මාත් ගිහිං කඩදාසි බෝලයකින් ගහලා එහෙම ගේම පටං ගත්තා. දැන් ඔන්න පිටිපස්සේ සීට් වලින් මාර සේනාව නැගී ගෙන එනවා. ඒත් වෙනදට එන නායිකාව නෑ… ඒකි ඉන්නවා සීට් එකෙන් ඉස්සිලා මගේ දිහා බලාගෙන. මං මාළු දෙනකං තමා ඒ….

ඒත් ඉතිං මාළු කොහෙන් දෙන්නද මං…? පස්සේ මෙන්න මේකි අර අනිත් කෙල්ලෝ ඔක්කොමලාව තල්ලු කරගෙන මගේ ගාවට එනවා නැගිටලා… ඒ පාර නං මං ලාවට භය වුනා.

අයියේ……… (අම්මේ තො‍ඳොලේ) මාලු ගෙනාවද…? (ඇස් දෙක දිලිසෙනවා… මැණික් කැට දෙකක් වගේ)

ඔව් මගේ වස්තුවේ…. ගෙනාව…. එන්න මගේ ගාවට… ඇවිත් උම්මා එකක් දෙන්න කම්මුලට… මගේ හොඳ මැණික….. කියලා කියවෙන්න ගියාට, එත‍නින් එහාට වෙන එව්වා දන්න නිසා කියන්න ගියේ නෑ….

මොන මාළුද… යාළුවා ගාව මාළු නෑ… කියලා මාත් හෙන අමාරුවෙන් වචන ගැටගහලා කිව්වම අර සෝස පාට මුහුන සතූ…. වුනා…. මෙන්න බොල මේකි අඩනවා… දැන් ඉතිං මොනා කරන්නද… මල  මගුලයි. මාත් කොරගන්න වැඩ. පස්සේ මගේ වටේට උන්න අනිත් එවුනුත් ඩිම් වෙලා. මොකද මේකි ගෙදර ගිහින් කිව්වොත් එහෙම අපි නරක වැඩක් වත් කොරා කියලා… කම්මුතුයි නෙව ඔක්කොමලා…

පස්සේ ඔන්න කෙල්ල බහින තැන කිට්ටු වුනා. මූන රතු වෙලා…. ඉදිමිලා. බෑග් එකත් අමාරුවෙන් කරේ දාගෙන මාවත් පාස් කරගෙන ඉස්සරහට ගිහිං…

කතා කරන්න එපා ආයේ මාත් එක්ක….. කඩවුන පොරොන්දු දෙනවා… තරහයි මං ඔයත් එක්ක…. කියලා ඔරෝලා එහෙම බැහැලා ගියා. කෙල්ලෙක් ඔරෝනවා කියන්නේ ඒ දවස් වල හෙන හොල්මන් කේස් එකක්… දැන් නං ඉතිං ඔලුවෙන් හිටගත්තත් අපි නම් බලයි.

පස්සේ ඉතිං වෑන් එක එයාගේ ගේ පාස් කරනකං ඉඳලා….

අඩෝ මොනාද බං කෙල්ලන්ට කඩ වුන පොරොන්දු දෙන්නේ…? චී චී මචං ලැජ්ජයි බං… ෂික් බලපංකෝ බං කාඩ් කුඩුනේ… කියලා අපේ උං මට කින්ඩි දානවා. උං මෙච්චර වෙලා නිල් වෙලා හිටියේ… කෙල්ල බැස්සා විතරයි මුං ටික ෆෝම් වෙලා.

පස්සේ ඉතිං මොනා කරන්නද අර අක්කලා ටිකත් උංට සෙට් වෙලා මාව බයිට් කරනවා. මටත් ඉතිං කියාගන්න දෙයක් හිතාගන්න බෑ…. වලියක් ගහගන්නත් බෑ… මොකද 10ක් විතර ඉන්න තැනක මට චන්ඩියා වෙන්න බෑනේ. අනික මගේ තියෙන්නෙත් ඇට කටු ටික විතරයි, ඒ ටිකත් කුඩු වුනාම…. කියලා කම්පනා කරලා කටවහගෙන ඔරෝගෙන අහගෙන හිටියා. පස්සේ ඔන්න ටික ටික කට්ටිය සේප් වෙන්න එනවා කරේ අත එහෙම දාගෙන…

හරි හරි බං ඒක ඉවරයි… දැන් ඉතිං ජෝක් ඇති … කියලා අනිත් එවුටත් කියාගෙනම.

මගේ හොඳ වෙලාවට ඊළගට බහින්නේ මම…. ඒකත් ගේ ගාවින් නෙමෙ ඊට මෙහා තියෙන තුන්මං හන්දියෙන්…. වෑන් එක නැවැත්තුව ගමන් අරංගේ අත් ඔක්කොම ගසගා බසලා දාලා පට පට ගාලා බැහැලා දිව්වා ගෙදට්ටම….

පස්සෙන්දා ඉතිං අර ළමයා මාත් එක්ක හිනා වුනා… එත‍කොට ඉතිං තරහා නැති වෙලා… කොහොම හරි පස්සේ දවසක මං ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් ගිහිං දුන්නා. ඒ දුන්නයි කියලත් වැඩි වෙනසක් නෑ බොලව්. එදා හිනා වෙලා කතා කරා, ඊට පස්සේ මුකුත් නෑ… මං හිතුවේ ඉතින් හැමදාම කතා කරගෙන යාළු ෆිට් එ‍ෙක් ඉඳියි කියලා… ම්හු… එව්වා වානා කිව්වේ… අනේ මන්දා කෙල්ලෝ ඔහොම්මයි…

* අද කතාව ටිකක් විතර අස්පට් ඇති,  මොකද මූඩ් එකත් චා වෙලා… ඒ එක්කම අළුත ගත්ත කැමරාවෙන් එක එක සීන් කරගෙන යන නිසා හිත තියෙන්නේ ඒකෙ… ඉතිං හෙන අමාරුවෙන් තමා හිත එක්තැන් කරගෙන මේ පෝස්ට් එක දැම්මේ….

%d bloggers like this: