වැස්සත් එක්ක අපේ පාටිය…..

ඔන්න ඊයේ අපේ ඔෆිස් එකේ හැමෝම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටිය දවසක් උදාවුනා. ඒත් ඉතිං කරුම වැස්සක් කඩාපාත් වෙලා ඒ සුන්දරත්වය ටිකක් විතර අඩුකලා. මං වැස්සට ආසා වුනාට හැමෝම එහෙම නෑනේ…. ඒක නිසා සහභාගීත්වයත් සෑහෙන අඩුවුනා. එහෙමයි කියලා අපි සැලෙනවද….

මහ ලොකු විස්තරයක් නම් නෑ… ලාවට මුළු සාදට ගැනම ලියන්නම්. මුලින්ම ඉතිං පෙරේදා රෑ වෙනකංම කලේ අපි කලින් ලෑස්ති කරගත්තු තෑගි භාන්ඩ ටික සාදය පවත්වපු හෝටලයට ගෙනිච්ච එක. බැලුම් පුම්බලා… ක්‍රේප් පටි ඇදලා, මල් වලින් සරසලා එහෙම ගියටම වැඩේ කරා. ඊට පස්සේ ඉතිං ඔන්න ඊයේ උදේ 9.30ට විතර මාත් ගියා වැඩේ මං නැතුව හරියට කෙරෙනවද කියලා බලන්න… මං යනකොටම බඩුහරි… වෙනදට උදේ 8.30 වෙද්දී පිරිලා ඉතිරෙන සාදය පවත්වන ශාලවටම හිටියේ තුන් දෙනයි. 550ක් එන්න නියමිත වෙලා තිබ්බ සාදයට ඒ වෙනකොට ඇවිත් තිබුනේ 3න් දෙනයි කියන්නේ ඉතිං… සාදයේ ඉතුරු කොටස ගැන ටිකක් විතර බයත් හිතුනා.

ඒ ඔක්කොටම වගකියන්න ඕනේ… වැස්ස. ඒත් ඉතිං වැස්ස පායද්දී කට්ටිය එන්න ගත්තා.  අනිත් සාද වල වගේ නැතුව අපේ සාදේ හැම පාරකම කරන්නේ පොඩි අයගේ පුංචි තරගයක් තියලා තෑග්ගක් දෙකක් දීලා… ඊට පස්සේ තමා පොල් තෙල් පහන පත්තු කරන්නේ. ඊට පස්සේ අපේ ආයතනයේ ප්‍රධානියා වගේම තවත් කට්ටියක් එකතු වෙලා පොල් තෙල් පහන පත්තු කලා. පොල් තෙල් පහනත් ටිකක් වෙනස් විදියට හැදුවේ… නුවරඑළියේ ඉඳන් ගෙන්නපු ලිලී මල් හා තවත් මල් වර්ග රැසකින් අපි අලංකාර කරලා, සුදු කපුරු මල් ටිකකුත් වටේට ගහලා පට්ටම ලස්සනට හදලා තිවුනේ. අන්තමේ සාදය ඉවර වෙද්දී බිරින්දෑවරු කට්ටිය පොල් තෙල් පහන වටේ මරාගන්න එව්වා එහෙම අපි නොදැක්ක වගේ හිටියා…

ඊට පස්සේ ඉතිං කියන්න තරං දෙයක් නෑ… පොඩි අයගේ පොඩි පොඩි තරග රැසක් තිබ්බා. තෑගිත් දුන්නා. අපිටත් ඉතිං හරි මහන්සියි. කොහොමහරි තරග වලින් ගොඩක් ඉවර වෙලා තිබුනේ ඒ වෙද්දී. පස්සේ ඉතිං අපිටත් විටමින් ටිකක් ගන්නා නොහිතුනාම නොවේ… ඔන්න ඉතිං ඒ වෙලාවෙදී ගත්ත පින්තූරයක් වැරදිලා බ්ලොග් පෝස්ට් එකට වැටෙනවලු. කරුමේ කියන්නේ අපේ උං කියන්නේම ස්ට්‍රෝන්ග් හොඳායි…, කාල්ස් බර්ග් හොඳා…..යි කියලනේ… ඉතිං ඒකම ගන්න වුනා. අනික ඉතිං වැස්ස වෙලාවනේ…..

පස්සේ ඉතිං ආයේ ගියා සාදය තිබ්බ ශාලාවට. එතකොට කෑම වෙලාව. මාත් ඔන්න ඔහේ ඇඹුල් තියලුයි, චිකනුයි, ඉස්සොයි, බිත්තරයි ඔක්කොම බෙදාගත්තද කොහෙද… අපි ඉතිං කන දේවල් මතක තියාගෙන කන්නේ නෑනේ. කාලා ඉවර වෙලා පිඟාන වටේ කියෙන නෂ්ටාවශේෂ බලලා තමා කාපුව තීරණය කරන්නේ…. ඊට පස්සේ අතුරු පස අවස්ථාව. අපෝ මට නම් එපාවෙනම වැඩේ තමා ඕක. මොකද මං හැමදාමත් වටලප්පමුයි අයිස්ක්‍රිමුයි මික්ස් කරගෙන කන්නේ… ඉතිං හැමදාමත් මුල් පාර කන්න ගත්තම අයිස්ක්‍රිම් වැඩිපුර ඉතුරු වෙනවා, ඊට පස්සේ ආයේ වටලප්පම් දාගන්නවා… ඊට පස්සේ ඉතිං ආයේම අයිස්ක්‍රිම්… දෙතුන් පාරක් ට්‍රයි කරලා තමා ඔය වැඩේ යන්තං ගොඩදාගන්නේ….

පස්සේ ඔන්න කාලා බීලා ඉවර වෙලා අපි ගියා අපේ උත්සව ශාලාවට එහා පැත්තේ තිවුන  මහා ගංගා රාජයා ආසන්නයට. වැස්ස නිසා මාර කූල්. පස්සේ ඉතිං ෆොටෝ කෑලි ටිකකුත් ගත්තා… එව්වා ඉතිං මේකෙ ප්‍රසිද්ධ කරනවා කියන්නේ මට හිරේ යන්න වෙන වැඩක්. අපිට ඉතිං ඉන්නේ ඔක්කොම වැදගත් යාළුවොනේ ඒකයි. එතෙනත් පිස්සු නටලා නටල‍ හවස තුන විතර වෙලා. ඊට පස්සේ ඔන්න පොඩි අයව පැත්තකට කරලා ලොකු අය නටන්න කියලා පටන් ගත්තා. ඒක තමා බලන්න වටින නැටුම. මෙලෝ සංසාරෙකට දැකලා නැති නර්තන විලාශත් දැක්ක නෙව. සමහරු කකුල් හතරෙනුත් නැටුවා. මොකද… කවුදෝ පන්ඩිතයෙත් අතීතයෙදී කියල තියෙනවලුනේ බීලා බීලා නැටුවම වෙරි බහිනවා කියලා… ඉතිං අපේ උනුත් ‍ගෙවල් වලට යන්න ඕනේ නිසා වෙරි හින්දා ගන්න නටනවා…. නැත්තං ඉතිං වයිපර් නැතුව ආපු උංව ගෙට ගන්නේ නැහැලුනේ.

ඊට පස්සේ තෑගි එහෙම බෙදා දීලා, ඇන්ටන් ජූඩ් මහත්තයගේ සහභාගීත්වයෙන් පොඩි අයට විශේෂ වැඩසටහන් කිහිපයකුත් පවත්වලා… අපේම කොල්ලන්ට සිංදුකියන්න, නටන්න අවස්ථාත් ලබාදීලා ඒවට තෑගිත් දීලා බොහොම සාමකාමීව අපේ වාර්ෂික ප්‍රිය සාදය අවසන් වුනා.

මේ වගේ දේකින් ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ ආයතනයේ වැඩ කරන අයගේ මානසික තෘප්තිය හා සහයෝගය වැඩි දියුණු කිරීම තමා. ඇත්තටම ඉතිං ඒක ඒ විදියටම සිද්ධවෙන එක ගැන මටත් හදපත්ලෙන්ම සතුටුයි.  නැත්තං ඉතිං මටත් ඔය කෙල්ලෝ කීප දෙනෙක් එක්කම ඉඳලා ෆොටෝ ගහන්න ඇහැක් වෙයියැ…!

%d bloggers like this: