තැන්ක් යූ අංකල්….

මේ සීන් එක වුනේ පෙරේදා රාත්තිරියේ කොටුව ස්ටේෂන් එකේදී. අර මං ඊයේ කිව්වේ අපේ ඇනුඅල් පාටියට තෑගි ගන්න කොළඹ ගියා කියලා… ඉතිං ඔය ගමනට අපේ ඔෆිස් එකේ යුනියන් එකේ සභාපති තුමාත් ආවා. පොර නැතුව බැහැනේ ඉතිං. මොකද හැම ‍සේවකයෙක්ගෙම වුවමනා එපාකම් දන්නේ පොරනේ. ඒක නිසා ඉතිං අපිත් වැඩි අකමැත්තකින් තොරව මෑන්ව එක්කගෙන ගියා.

ඔන්න ඉතිං අපි පොඩි වුංට සෙල්ලම් බඩු තෝරද්දී පොර ඇවිල්ලා උදැල්ල දානවා, අවුරුදු 4-6 කාන්ඩෙට කතාකරන බෝනික්කෙක් ඕනෙයි කියලා. ඇත්තට මූ වෙන එකක් වත් ගන්න දෙන්නේ නෑ… මලම වදයක් වුනා. අන්තිමේ කඩේ මුදලාලි නානාව පැත්තකට එක්කං ගිහිං මංම කිව්වා… නානා මෙහෙමයි, අපේ සභාපතියා එන විදිය හොඳ නෑ… ඒක නිසා බෝනික්කෝ ස්ටොක් නෑ කියාපිය කියලා. මුදලාලි නානත් බිස්නස් එක කියලා බැළුවේ නෑ, බෝනික්කෝ නෑ කිව්වා. ඊට පස්සේ වෙන වෙන අයිටම් වගයක් පෙන්නුවා. එව්වා ඉතිං ටිකක් චා වගේ. ඒ පාර තමා අර පිපෙන පරවෙන මල් වාස් 6ක් අරගෙන වෙන කාන්ඩෙක තෑගි වලට සෙට් කලේ.

දැන් ඉතිං සභාපති අයියා අපිවත් ඇදගෙන හැම කඩේකටම රිංගනවා. කරුමේ කියන්නේ කතාකරන බෝනික්කෝ නෑ…. පස්සේ ඉතිං අපිට මහන්සියි. ඒ පාර දවල් ලන්ච් එක කෑවා. ඒ ගිහිල්ලත් සභාපති අයියා කඩේ මුදලාලි නානාගෙන් අහනවා… මේ මුදලාලි මහත්තයා, මේ හරියේ කතා කරන බෝනික්කෝ තියෙන කඩයක් එහෙම නැද්ද කියලා…. මුදලාලිත් හිනා වෙලා එහෙම නෑ කිව්වා…. පස්සේ ආයෙ මූ කියනවා… එහෙම කරන්න එපා මහත්තයා කියලා මුදලාලි නානාට වඳිනවා කතාකරන බෝනික්කෙක් හොයාගන්න. පස්සේ මුදලාලි නානා සද්ද නැතුව කඩේ ඇතුලට ගියා. අපි හිමීට මාරු වුනා. මොකද ඉතිං කියන්න බැහැනේ අපේ සභාපති අයියට මීට පස්සේ සිකුරාදාට පල්ලි යන්න වැඩක් සෙට් කරන්න ගියාද දන්නේ නෑනේ….

පස්සේ ඉතිං ගියා බෑග් කඩේකට. මේ ගස් ගෙම්බා එතනත් කතාකරන බෝනික්කෝ හොයනවා… ඇත්තටම සභාපතියට මොකක් හරි ලොකු *කේ අමාරුවක් තියෙන වග අපිට තේරුනේ එතකොට. පස්සේ අපි අරං ගියා පොඩි එව්වොන්ගේ ලෑස්තුව බලද්දී මේං බොල පොරගේ දුවගේ නම තියෙනවා 4-6 ලිස්ට් එකේ… පස්සේ අපේ වෙන එකෙකුට මල පැනලා…. මේ සභාපති අයියේ තමුසෙගේ දූ බෝනික්කන්ට ආසා වුනාට ස්කෝලෙ යන අනිත් ළමයි ආසා මැග්නටික් බොක්ස්, බැට්මින්ටන් වගේ ඒවාට. ඒක නිසා අපි ගන්නේ ඒවා. තමුසෙට ඕනෙනම් තමුසේ වෙනම අතින් සල්ලි දීලා එකක් ගන්නවා වෙන වෙලාවක ඇවිල්ලා … කියලා ඇරලා දැම්මම සභාපති අයියගේ කට වැහුනා. සභාපතිට මාර නෝන්ඩිය වුනේ… අපි තව තුන්දෙනෙකුයි, කොහේදෝ මන්දා ඉඳන් ආපු අපේ එච්.ආර් මැනේජර් ලොක්කයි සේරෝම ඉස්සරහා සභාපතිගේ සායම හෝදලා දැම්මම, මං නං හිතුවේ කැන්ටර් එකකටවත් පනියි කියලා… ඒත් කොහේද ඉතිං… ඕනෑම පස්නෙකට මුහුණ දීමේ හයිය තියෙන යුනියන් සභාපති කෙනෙක් විදියට පොර එහෙම දෙයක් කොරගත්තේ නෑයි කියමුකෝ. ඊට පස්සේ නම් අපිත් එක්ක සහයෝගෙන් වැඩකලා. හැබැයි ඒ වෙනකොට බෝනික්කෝ හොයලා හොයලාම රෑ වෙලා ති‍බුනේ… ඊට පස්සේ ඉතිං අපි ගත්ත බඩු වල බිල් ටික ගෙවලා බඩු ටික පැක් කරලා තියන්න කියලා ගෙදර එන්න කියල කොටුවෙන් කෝච්චියට නැග්ගා…

එතෙන තමා මරුම සීන් එක වුනේ. අපි යන්න හිතාගෙන හිටියේ 7.30 ගාල්ල කෝච්චියේ නිසා, පානදුරේට ටිකට් අරගෙන එහෙම කලින්ම ආපු කෝච්චියට නැග්ගා. නැගලා දැන් වාඩි වෙලා ඉද්දී හරියටම 7.30ට යන්න පිටත් වෙද්දී ෆ්ලැට් ‍ෆෝර්ම් එකෙන් නැතුව එහා පැත්තේ රේල් පීල්ල දිගේ ඇවිත් අපි ඉන්න පෙට්ටියට නගින්න හදන අයියා කෙනෙක්ගේ අතේ තඩි ඇඳුම් බෑග් එකක්. පස්සේ ඉතිං ඕක දැක්කා අපේ සභාපති අයියා… පොර ජනේලෙන් ඔලුව දාලා… කෝ දෙන්න මල්ලී බෑග් කියලා කිව්වම…

ආ .. අංකල් , මොරටුවට විතරක් තියාගන්න කිව්වා….

අපේ සභාප අයියා , අර මෑන්ට මල්ලී කියද්දී පොර සභාපති අයියට අංකල්ලු…. ඉතිං අපිට ‍පොඩ්ඩක් වත් හිනා ගියේ නෑලු. අපි සභාපති අයියට දෙන නෝන්ඩිය බලාගෙන වටේ හිට ගෙන හිටිය එවුනුත් හිනා වෙනවා. දැන් සභාපති අයියට කොරගන්න දෙයක් නෑ… නැගිටලා බහින්නත් බෑනේ…

ඊට පස්සේ ටික වෙලාවකින් තත්ත්වය සමනය වුනා. පස්සේ අපි වැල්ලවත්ත හරියට එද්දී සභාපති අයියා බොහොම අමාරුවෙන් මුහුද පැත්තට හැරිලා බර කල්පනාවක. පස්සේ අපේ වෙන අයියා කෙනෙක් ඇහුවා… මොකෝ….? කියලා පොඩි තට්ටුවකුත් දාලා… පස්සේ මූ කියනවා… නෑ බං… අර කොල්ලාට මං මල්ලි කිව්වම, ඌ කොහොමද බං මට අංකල් කියන්නේ… ඊටත් බං මේ කරුවලේ මගේ ඩයල් එක ඌ දැක්කේ කොහොමද…?

අපි අර හිනා වෙලා වෙලා, බොහොම අමාරුවෙන් නවත්ත ගත්ත හිනාව පටන් ගන්න ගියේ සුළු කාලයයි. අපේ සභාපතිතුමා මෙච්චර වෙලා මුහුද දිහා බලගෙන කම්පනා කොරලා තියෙන්නේ අර අයියා සභාපති ලොක්කගේ මූන, කළුවරේ හරියටම දැක්කේ කොහොමද කියලා… පව් අප්පා පොර….

පස්සේ ඔන්න මොරටුවේ ස්ටේෂන් එකේ නැවැත්තුවම අර බෑග් එකේ අයිතාකාරයා ආවා. දැන් ඉතිං අපි කට ඇරං බලන් ඉන්නවා, සභාපති අයියා බෑග් එක ගත්තා වගේම, බෑග් එක දෙන්නේ මොනා කියලද කියලා. …… ටික වෙලාවක් ගියා සභාපති අයියා බෑග් එක අතේ තියාගෙන ඉන්නවා, ඒත් කිසි දෙයක් කියන්නේ නෑ… මොකද මේ පාර මොනා අහගන්න වෙයිද දන්නේ නෑනේ ඒක නිසා. ඔන්න ඊට පස්සේ අයිතිකාරයා එළියෙන් ඇවිල්ලා බෑග් එක  ගත්තා අයෙමත්, තැන්ක් යූ අංකල් ……. කියලා කියාගෙනම.

%d bloggers like this: