පොඩි එව්වොන්ට තෑගි… තාත්තලට කෑලි…..?

ඊයේ දවසම මං හිටියේ කොළඹ පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ තියෙන සෙල්ලමු බඩු කඩ වල. මේ දවස් වල  ඉතිං අපේ ඔෆිස් එකේ ඇනුඅල් පාටියට ලක ලෑස්ති වෙනගමන්, බොහොම කාර්ය බහුල වෙලා තමා ඉන්නේ. ඉතිං ඊයේ ගිහිං… මල් වත්ත පාරේ ටිකක් එහාට යද්දී තියෙන සෙල්ලම් බඩු කඩ පේළියකින් තමා අපි සෙල්ලම් බඩු තෝරගත්තේ….

අප්පේ වින්ද වදයක්…. සේල්ලම් බඩු ගේන්න ගියේ මමයි, ඔ‍ෆිස් එකේ අයියලා තුන් දෙනෙකුයි. ඕං ඉතිං ගිහිං තෝරනවා…. එක එක වයස් කාන්ඩ වලට ළමයින්ව ඇතුලත් කරලා ඒ ඒ වයස් කාන්ඩ වලට හරියන තෑගි තමා ගන්නේ. කොහොමත් අපි හැමදාම පාටිඑකට කරන්නේ ‍එහෙම්ම තමා. ඉතිං මුලින්ම ගියේ මල්වත්ත පාරේ කෙරවලේ තියෙන නිකි එකට.

ඒකෙ තියෙන සෙල්ලම් බඩු ගොඩ. අපි හදාගෙන ගිය ලිස්ට් එකේ හැටියට මුලින්ම තෑගි ගන්න ඕනේ වෙලා තිබ්බේ වයස අවුරුදු 1ට අඩු පුංචි පැටවුන්ට. ඒ අයට ඉතිං මහ ලොකු කාර් බාර් දිලා වැඩක් නැති නිසා අපිට නිකි එකෙන් වැඩක් වුනේ නෑ… මොකද එතෙන ගොඩක් තියෙන්නේ අවුරුදු දෙකෙන් වගේ ඉහල අයට. මරු අයිටම් වගයක් තිබුන‍ා… ඒව ඉතිං අපේ අනිත් කාන්කා හා ටිකක් ලොකු අයගේ තරඟ වලට ගත්තා. මට හිතගිය මැක්සම භාන්ඩෙ තමා… විදුලියෙන් පිපෙන පරවෙන මල් පොකුර… ඒක ඇත්තටම ක්‍රියාකරන්නේ ගෘහස්ත විදුලියෙන්. හැබැයි වැඩි විදුලි ප්‍රමාණයක් වැය වෙන්නේ නම් නෑ… මෝටර් එකක් ආශ්‍රිත යාන්ත්‍රනයකින් තමා ක්‍රියාත්මක වෙන්නේ… මාරම ලස්සනයි….

ඊට පස්සේ ඉතිං අපි ගියා සිටි ට්‍රේඩ් සෙන්ටර් එකට. අප්පේ එතෙන තියෙන්නේ නිකි එකේ තිබුනට වැඩිය හපන් එව්වා. එතනින් ‍තෝරගත්තේ බිත්තර දාන කිකිලියි… තාරාවයි…. ඒක වැඩ කරන්නේ බැටරි වලින්. ඒ සෙල්ලම් බඩුවේ… අපි කියමුකෝ තාරාව‍ගේ කියලා… උගේ පිට උඩින් තියෙන පියන ඇරලා පොඩි ප්ලාස්ටික් බිත්තර තුනක් ඇතුලට දැම්මට… තාරාව කෑගගහා සිංදුවකුත් කිය කිය ටිකක් දුර ගිහින්, කෙකර ගාගා බිත්තරයක් දානවා… ආයේ තව ටිකක් දුර ගිහිං තව එකක් දානවා… ඒක නම් සුපිරි. ඒක අපි තෝරගත්තේ අයව අවුරුදු 2-3 වයස් කාන්ඩෙට.

ඊට පස්සේ ඕං අපි ගියා ප්‍රින්ස් වීදියේ තියෙන පෙන්ගුයින් සෙල්ලම් බඩු කඩ සෙට් එකට. ඇත්තටම මං දැකපු ලොකුම සෙල්ලම් බඩු එකතුව තියෙන්නේ එතෙන. තට්ටු බිල්ඩිමක සම්පූර්ණයෙන් තට්ටු දෙකක් පිරෙන්න සෙල්ලම් බඩු…. ඕනෙ තරම් තියෙනවා තෝරගන්න. තෑගි දෙන්න පුළුවන් හැම දෙයක්ම එතෙන තියෙනවා කිව්වොත් තමා හරි.

පුංචි මල් වාස් එකේ ඉඳන් හැමදෙයක්ම තියෙනවා. පාසල් වලට අවශ්‍ය පොත්, පෑන්… ආදි පාසල් යන පොඩි අයට දෙන්න පුළුවන් ගොඩක් දේවල් එක එක ගානට එක එක ප්‍රමාන වලින්… විවිධ පාටන් ඕනේ තරම් තියෙනවා. ඊට පස්සේ  ඡායාරුප සඳහා විවිධ වර්ගයේ රාමු… එතකොට වීදුරු වලින් හදපු විවිද තෑගි භාන්ඩ ඕනේ තරම්… ඊට පස්සේ එක එක වයස් කාන්ඩ වලට ගැලපෙන තෑගි භාන්ඩත් තියෙනවා ගමකට ඇතිවෙන්න.

ඉතිං තාමත් අපේ තෑගි තේරිල්ල ඉවර නෑ… අදත් යනවා…. තව තෑගි සෑහෙන්න ප්‍රමානයක් ගන්න තියෙනවා. ඉතිං මේ පෝස්ට් එක දැම්මෙත් යන්න කලින් ලැබුන පුංචි ඉඩේදී…. දැන් ඉතිං මේ මගුල ලිව්වේ කඩ ටික ප්‍රමෝට් කරන්න නෙමේ… කාට හරි තෑග්ගක් ගන්න යනන හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවනම් කම්මැලි කම පැත්තක දාලා ඔය කඩ ටිකට ගියොත් ඔයාලා හිතාගෙන ඉන්නවට වැඩිය හොඳ තෑග්ගක් හිතාගෙන ඉන්න ගානට වැඩිය සෑහෙන අඩුවෙන් මේ කඩ වලින් ගන්න පුළුවන්. පෙන්ගුයින් එකට ගියොත් නම් දවසක් දෙකක් විතර පරන සෙල්ලම් බඩු තමා හම්බුවෙන්නේ… මොකද ඒ කඩේට එන සෙනගත් එක්ක දන්න තරමින් එයාලගේ ගබඩාවේ ඉඳන් හැමදාම සෙල්ලම් බඩු ලොරියක් එනවා. ඒකෙ සෙල්ලම් බඩු පල් වෙවී තියෙන්නේ නෑ….

අනිත් විශේෂම දේ තමා පුංචි පැටවුන්ට තෑගි ගන්න යනව නම්… එයාලව එක්කගෙන යන්න එපා. මොකද ගියොත් එහෙම අහවල් එකත් උකස් ති‍යලා තමා එන්න වෙන්නේ… පුංචි එවුන් සෙල්ලම් බඩු ඉල්ලලා කරදර කරද්දී දාලා එන්න හිතෙන්නේ නෑ… ඒ වගේම අම්මලා කෙසේ වෙතත් තාත්තලා ගියොත් නම් පොඩි අය එක්ක, තාත්තලත් පොඩි අය වෙන එක වෙනවා ඒ වගේ තැන් වලදී….  ඒක නිසා තාත්තලව පාලනය කරගන්න අම්මලත් යන එක හොඳයි.

ඉතිං අද තමා තෑගි ටික ඔෆිස් එකට අරගෙන එන්නේ… ඒ ඔය තෑගි අස්සේ තියෙනවා හුරුබුහිටි දුරස්ථ පාලක වලින් වැඩ කරන සෙල්ලං කාර්.. එතකොට වහලේ බිත්ති වල යන සෙල්ලං කාර්…. අර ට්‍රාන්ෆෝමර් මූවි එකෙන් පස්සේ හදපු ට්‍රාන්ස්ෆෝමේෂන් කාර්… ඊට පස්සේ කතා කරන බෝනික්කෝ… පොඩි අයට ඉංග්‍රිසි දැනුම වැඩි කරගන්න උදව්වෙන… කතා කරන ලැප් ටොප්…

ආහ්… තව එල භාන්ඩයක් තියෙනවා… ඒක ඇත්තටම ගිරවෙක් විදියට තමා හදලා තියෙන්නේ. ඒ ගිරවව ඔන් එකලා ඌට ඇහෙන්න වචනයක් කිව්වම ඌත් ආයෙමත් නට නට ඒ වචනේ කියනවා. ඒක නම් නියමයි. මාරම ලස්සනයි… පොඩි අයට කියාපු සෙල්ලම් බඩුවක්…

ඉතිං ඔය මොනා කරත්, පොඩි‍එව්වොන්ට කොච්චර තෑගි දුන්නත්… ටික දවසකින් තාත්තලට කෑලි තමා එව්වයේ අහුලන්න වෙන්නේ… එහෙම තමා කොහොමත් සිංහල පොඩි එවුන්. උංට තියෙන දාංගලේ කුතුහලය වෙන ජාති වල පොඩි අයට නැහැ. ඒක නිසා මං නම් ඒකෙ වැරැද්දක් දකින්නේ නෑ… සෙල්ලම් බඩුවක් පොලොවේ ගහලා කැඩුවත් ආයෙ ටික වෙලාවකින් එයාම සෙල්ලම් බඩුව නැවත හදාගන්න දරන උත්සාහය තමයි පුංචි කෙනාගේ මොලේ වර්ධරනය කරන්නේ… ඒක නිසා ඉතිං සෙල්ලම් බඩුවක් කැඩුනම ඒක වෙනුවට අළුත් එකක් ගෙනත් දෙනවට වඩා පරන එකම පොඩි එකා එක්ක හදන්න ට්‍රයා කරනවනම් ඒක තමා වටින්නේ… ඒක ආයේ හදාගන්න බැරිවෙයි…. ඒත් ටිකක් ට්‍රයි කරන්න, පුංචි පැටියා විතරක් නෙමේ ඒක හදන්න ට්‍රයි කරන ලොකු අයත් ඒකෙන් යමක් ඉගෙන ගනියි.

අඩුම ගානේ ඇන ටිකක් වැඩි වුනාම…. අපේ මේ චීන්නු මහ මෝඩයි… මෙච්චර ඇන ඕනද මේකට…? මේ අපි හැදුවේ කෑලි අඩුවෙන් වැඩකරන්න කියලවත් කියන්න බැරියෑ…..!

%d bloggers like this: