ජම්බු අක්කා…. 12+ (අක්කලාගේ ජම්බු සීන් වලට මල්ලිලා පලිද…?)

මේක නම් අපි පුංචි කාලේ යාළුවෝ එක්ක දඟ කර කර විනෝදෙන් හිටිය කාලේ වෙච්චි දෙයක්. හැබැයි මේ සිද්ධියට අදාල අයගේ නම් ගම් වෙනස් කරලා තමා මං ලියන්නේ.

එතකොට අපි 9 වසරේ විතර ඇති. ඒ දවස් වල මගේ ප්‍රාන්තෙන් මං ගිය ස්කෝලේට ගියේ මං විතරයි. දැන් නම් ඉන්නවා හැත්ත බුරුත්තක්ම. ඉතිං ඒ දවස් වල ස්කූල් වෑන් එක මුලින්ම එන්නෙ අපේ ස්කෝලෙට. මාව මුලින් අරගෙන තමා අනිත් අයව ගන්න යන්නේ. ඒ වගේම තමා උදේටත්… මං නිසා අනිත් උංට හෙන පාන්දරින් නැගිටින්න වු‍නා. මොකද ඉතිං මාත් අඩුම ගානෙ ස්කෝලේ පටන් ගන්න විනාඩි 20ක් වත් තියලා යන්න එපැයි. ඒක නිසා….

කොහොම කොහොම හරි ඉතිං ස්කෝලේ ඇරුනම මාව අරං එනකං අනිත් ස්කෝල වල උං ක්‍රිකට් ගහනවා බට්ටා පයිනවා… අරකයි මේකයි ඔක්කොම කරනවා. මට ඒ චාන්ස් එක නෑ… පස්සේ ඉතිං වෑන් එකේ එන ගමන් කට්ටිය එක්ක පච හල හල එනවා. ඉතිං අපේ ඔය කඩය ඇරගත්තම අවට ඉන්න අක්කලා තුන් හතර දෙනෙකුත් සෙට් වෙනවා. අපිත් බොරු කියෝනවා… උනුත් අහගෙන උඩ පැන පැන හිනාවෙනවා.

අනේ මන්දා ඒ දවස් වල අක්කලා අපිව බයිට් කරලා ෆන් ගත්තද කියලා. ඉතිං ඔය කයිය අස්සේ අපේ අක්කලා හිටි ගමන්… මල්ලී අර රඹුටන් ගහක්…. මල්ලී මල්ලී අර පේර ගහක්… කිය කියා වෑන් එකේ යන ගමන් පාර අයිනේ වතු වල තියෙන එක එක ගස් වර්ග පෙන්නනවා. එව්වෑ හැදෙන ගෙඩි කවදාවත් කඩන්න නම් උනේ නෑ… මොකද ඉතිං වෑන් එකේ අංකල්ට කොච්චර කිව්වත් පොර නවත්තන්නේ නෑ… ඒත් හැබැයි මේ අක්කලා කවදාවත් රතු පාටට ලයිට් දාලා වගේ… ජම්බු පිරිලා තියෙන ගහකට…. මල්ලි අර ජම්බු ගහක් කියලනම් කිව්වේ නෑ…  අනේ මන්දා ඇයි කියලා…

හැබැයි අපේ සමහර උං නම් දැනගෙන හිටියා ඇයි කියලා. මාත් ඉතිං ලාවට වගේ දැනන් හිටියා. ඉතිං අපි ජම්බු ගහක් දැක්ක ගමන්… අක්කේ අර ජම්බු ගහක් කියලා අක්කගේ අතිනුත් ඇදලා පෙන්නනවා… අප්පේ ඒ වෙලාවට බලන්න ඕනේ අක්කලාගේ මූනේ තියෙන ලැජ්ජාව… ඒ මදිවට ලඟ ඉන්න අක්කලා වැලමිටිවලිනුත් ඇනගන්නවා. හරි ජර මර ඉතිං. අපිත් ඉතිං කිසි දෙයක් නොදන්න එවුන් ‍වගේ හිමීට අක්කලාව බයිට් කරලා ෆන් එකක් ගන්නවා. යකෝ හරි කෙලියක්නේ ජම්බු ගහෙන් වැටුනා කියලා ජම්බු කියන්නේ බය වෙන්න ඕනේද‍‍‍‍…?  ඒත් මෙයාලා මාරයි….. ජම්බු කියනවා තියා ජම්බු ගහක් දැක්කමත් අහක බලාගන්නවා. ඒ මදිවට හිටි ගමං අපිටත් ඔරෝනවා. ඇයි දෙයියනේ අපිද අක්කලාව ගහෙන් බිමට ඇදලා දැම්මේ… උං මයි තව ටිකක් ඉවසලා ඉන්නේ නැතුව තියෙන හදිස්සියට පහ හය වසර වෙද්දීම ජම්බු ගස් ගානේ බඩගාන්නේ… ඒකටත් අන්තිමට පලි අපිමයි.

ඉතිං ඔහොම යද්දී ජම්බු හැදෙන කාලෙක අපි යන හරියේ තැනින් තැන ගස් වල ජම්බු පිරිලා. අපේ ගෙදර ජම්බු ගහක් නැති වුනාට සමන්ලාගේ ගෙදර තිබ්බා පෙරිය සයිස් ගහක්. ඉතිං මේ කියන දවසේ මූ අක්කලාට කිංඩියටත් එක්ක අරගෙන ආවේ නැතෑ ජම්බු බෑග් එකක්. මූ ඒක උදේ ස්කෝලේ යද්දී බෑග් එකේ දාගෙන ගිහිං හවස එන ගමන් තමා එලියට ගත්තේ…

බලන්නෝන එවෙලේ අපේ උංගේ මූනේ තිව්ව සංතෝසේ…. ඉතිං කොහොම කොහොම හරි වෑන් එකේ අංකල්ටත් දීලා… තව ඉන්න චූටි නංගිලාටත් දීලා … ඔන්න අපේ යාළුවෙක් ජම්බු බෑග් එක අර අක්කලා ඉන්න සීට් එක පැත්තට දික් කලා… ඊට පස්සේ ජම්බු බෑග් එක දිහා බලාගෙන හිටිය අක්කා කෙනෙක්….

තමුසෙට පිස්සුද ඕයි…..? අපිට ජම්බු දෙන්න…..

කියලා කෑගැහුවා. හරියට අපි පොලිඩෝල් බෝතලක් දුන්න වගේ… දැන් ඉතිං ජම්බු එක දික් කරපු ඉෂාරට හීන් දාඩිය දාලා, මේ මක්කෙයි මේ වුනේ කියලා… අපිත් ඩිම් වෙලා. අර  පොඩි නංගිලා ටිකත් බය වෙලා. මොකද ඒ අක්කා ඇත්තටම හරිම හොඳයි. අපිට හරි ආදරෙයි. ඒත් ඇයි මේ එකපාරටම….??????

දැන් ඉතිං හැමෝටම මාර පස්නේ. ඉෂාරට ඇඩෙන්න වගේ. වගේ නෙමේ උගේ ඇස් වල කඳුළු. ඔන්න ඊට පස්සේ අර අනිත් අක්කලා දෙන්නගෙන් එක්කෙනෙක් ජම්බු බෑග් එක ගත්තා.

හරි මල්ලී… අපි ටිකක් අරං දෙන්නම්… කියලා, ඕං ටික වෙලාවකින් ජම්බු බෑග් එක අපිට දුන්නා. ඒත් ඉතිං අපිට ජම්බු කන්න තිබ්ච්ච ආසාව නැත්තටම නැතිවෙලා තිබු‍නේ. ඇයි ඉතිං අපි දන්නේ නෑනේ මේ අක්කා ජම්බුත් එක්ක මෙච්චර තරහයි කියලා…. එහෙම දන්නවනං අපි ජම්බු නොදී අලිගැට පේර හරි දිවුල් හරි නාරං හරි ගෙනත් දෙනවනේ….

පස්සේ ඉතිං අපිට ජම්බු කන්න හිතෙන්නම නැති පාර සමන්, ඉෂාරගේ අතින් ජම්බු බෑග් එක උදුරලා අරං වෑන් එකේ වීදු‍රුවෙන් එලියට දැම්මා. සික්‍… අපරාදේ එල ජම්බු ටික. ඒත් ඉතිං අපිට කන්න විදියක් නැහැනේ, අපිත් එක්ක ගොඩක්ම යාළු අක්කා කෙනෙක් තරහා වුනානේ….

පස්සේ ඉතිං එක එක්කෙනා බැහැලා ගියා. මුලින්ම අර චූටි නංගිලා…. ඊට පස්සේ එක අක්කා කෙනෙක්. ඊට පස්සේ තමා ජම්බු අක්කයි අනිත් අක්කයි. පස්සේ ඕං ජම්බු අක්කට බහින්න වෑන් එක නැවැත්තුවම … එයා වෑන් එකෙන් බැහැලා….

සොරි මල්ලී… මට ඔලුව කැක්කුමක් හැදිලා තිබුනේ ඒකයි කේන්තිගියේ… කියලා මූන ඥාව් කරගෙන හෙන දුක් සීන් එකක් අපි ඉස්සරහා මවා පාලා වෙනදට වැඩිය අමාරුවෙන් අඩිය තිය තිය එයාලාගේ ගුරු පාර දිගේ ඇවිද ගෙන ගියා. පස්සේ ඉතිං අපිට තව පස්නයක්… ඇයි යකඩෝ ඔලුව කැක්කුමනම් අමාරුවෙන් අඩිය තියන්නේ මොකටැයි…? මො‍කෝ ඔලුව තියෙන්නේ කකුල් දෙකේයෑ……

පස්සේ ඉතිං මෙච්චර වෙලා කට පියාගෙන මලිත් කට ඇරියා. මේ…. අක්කලා ටිකක් ලොකු වෙද්දී එහෙම තමා බං. අපේ අක්කත් සමහර දාට ඔලුව කැක්කුමයි කියලා ඇඳට වෙලා ඉන්නවා. ඒත් කවදාවත් පැනඩෝල් එකක් බොනවවත් බෙහෙත් ගේන්න යනවවත් මං දැකලා නෑ බං කිව්වා…. ඈ…. ඒ කියන්නේ ජම්බු ගහෙන් වැටුනම එහෙම වෙනවද බං? ඒ ගමන සමන් අහනවා…. මලියාගෙන්….

ඔව් ඕයි…. මාසෙකට පාරක්ද දෙකක්ද එහෙම වෙලවලු.

ඔන්න ඊට පස්සේ ඔය සෙට් එකේ හිටිය මහා ප්‍රඥානවන්තයා කට ඇරියා… අප්පට සිරි එහෙනම් තනුජා අක්කට අද ඒ දවස වෙන්න ඇති බං…. ඒකනේ අර ඔලුව කැක්කුමයි කිව්වේ……

පස්සේ ඉතිං අපි තනුජා අක්කට කිව්වේ ජම්බු අක්කා කියලා. ඉතිං ඒ නම කියන කොට අපි දිහා ඔරෝලා බලලා අයෙත් ලැජ්ජාවෙන් හිනා වෙනවා. ඔය මකන කෑල්ලක් කටර් එකක් වගේ දෙයක් අතට අහුවෙන මානෙ තිබුනොත් ඒකෙන් අපිට නෙලන්න අමතක කලේත් නෑ…  

අනේ මන්දා ඉතිං අක්කලටත් තියෙන පස්න….

%d bloggers like this: