ලෝකේ තුන්වෙනියට ජනප්‍රිය… සුමිහිරි පානේ….

අපි කව්රුත් දන්න ජලය හා (කළු) තේ වලට පස්සේ තමා මේ කියන සුමිහිරි පානේ තියෙන්නේ. කවුරුත් ඉතිං මේක බිව්වට වැඩිය හිතන්නේ නෑ… අපි මේ බොන්නේ ලෝකේ තුන්වෙනියට ජනප්‍රිය ඒ වගේම සෑහෙන ලොකු ඉතිහාසයකට හිමිකම් කියන බීමක් කියලා….

ඉතිං මේ බීම ගැන ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 9500 දක්වා ඈත‍ට දිව යනවා. ඒ වගේම මේ බීම නිපදවීම කාලයත් සමග දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර දාඩිය පෙරාගෙන දඟල දඟල කරපු බීම නිෂ්පාදන කටයුතු හිමින් හිමින් යාන්ත්‍රානුසාරයෙන් කරන්න පටන් අරං තියෙනවා. ඒ වගේම අපි නොදන්නවා වුනාට මේක ශාක සාර ද්‍රව්‍ය වලින් නිපදවන බීමක්. වැඩිපුරම යොදාගන්නේ බාර්ලි කියන ධාන්‍ය වර්ගය. ඔව්වම තමා බෞද්ධ සාහිත්‍යයේ සමහර තැන්වල යව ධාන්‍ය කියල කියවෙන්නේ…. ඊට පස්සේ වතුර, බීර මල් කියන එව්වා එහෙම දාලා  ඊස්ට් මගින් පැසවීමට ලක් කරලා තමා මේ බීම හදන්නේ. ඒ පැසවීමේ සීන් එකත් මරු. මුලින්ම උණු වතුර හා බාර්ලි එකට දාලා බාර්ලි තැම්බෙන්න අරිනවා. ඉතිං ඒ ක්‍රියාවලියට පැයක් දෙකක් විතර කාලයක් ගන්නවා. ඒ අතර කාලෙයෙදී බාර්ලි පැනි රස තත්ත්වයට හැරෙනවා. ඒ කියන්නේ නිකං සීනි වගේ වෙනවා. ඊට පස්සේ අර බාර්ලි පුංචි පහේ ඇඹරුමකට ලක්කරනවා. ඒ කරන්නේ බාර්ලි වල තියෙන පෝෂක කොටස් එතකොට සියළුම සාරය ලබාගැනීමේ අදහසින් තමා. පස්සේ ඒ ද්‍රාවනය පෙරීකමකට ලක්කරනවා. එහෙම කරන්නේ බාර්ලි රොඩු කොටස් ඉවත් කරලා පිරිසිදු දියරයක්ලබාගන්න. ඊටත් පස්සේ ඕං බීර මල් කියන  කොල පාට ගෙඩි විශේෂයක් දාලා ආයෙම අර සීනි රසැති සාරය රත්කරනවා. ඒ කරන්නේ පැනි රස ගතිය අඩුවෙලා තිත්ත රසක් එන්න.  අනේ ඇත්තට පැනි රස තිබ්බනම් මොකද…? ෆැන්ටා වගේ ඇදලා අරින එකනේ තියෙන්නේ….

දැං ඉතිං ඔහොම ගිහිං ගිහිං… අන්තිමේ ඒ තිත්ත රසති බීමට එකතු කරනවා ඊස්ට්… එතනදී තමා නියම පැසවීමක් සිද්ධවෙන්නේ… ඒ ක්‍රියාවලිය මගින් තමා බීමේ තියෙන මධ්‍යසාර ගතිය වැඩි කරගන්නේ….

ඒ වගේම මේ රත්තරං පාට රත්තරං වටින බීමේ පාට තීරණය වෙන්නේ බාර්ලි වලින් තමා. වෙන වෙන දේවල් එකතු කිරීමෙන් රතු පැහැති, තද දුඹුරු පැහැති හා ලා කහ  පැහැති බීම වර්ගත් දැං වෙළඳ පොලේ තියෙනවා. දැං කිව්වට ඉතිං ඉස්සර පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාරය එතකොට මෙසපො‍තේනියානු ශිෂ්ඨාචාර පැවති දවස් වල ඉඳන්ම තමා මේ බීම පැවත ගෙන එන්නේ කලිං කිව්වත් ව‍ගේ. ඒ මදිවට ඒ දවස් වලත් දැන් වගේම මේ බීම හදන්න වෙනම චූටි චූටි කොම්පැනි තිබිලා තියෙන ඒ නගර ආශ්‍රිතව. බොරු නෙමේ… කැණීම් කරපු උන්දලා තමා කියලා තියෙන්නේ, මෙව්වා යොදාගෙන තියෙන්නේ එව්වා හදන්න කියලා.

ඉතිං මේවගේ යම් ප්‍රමාණයකට ඇල්කොහොල් චුට්ටකුත් අඩංගුයි…. ඒ ප්‍රමාණය එකින් එක වර්ග වලට අනුව වෙනස් වෙනවා. අනේ මන්දා ලංකාවේ තියෙන ඔක්කොගෙම 8%යි…. හැබැයි එක වර්ගයක නම් ටිකක් වැඩියි වගේ… මේ බීම එක ටිකක් හෙලෙව්වම ඒකෙන් නාන්න තරමට පෙන එන්නේ මේ බීම ඊස්ට් එක්කරලා ක්ෂුද්‍ර ජීවීන්ගේ පැසවීමේ ක්‍රියාවලියට යොදවලා පස්සේ මේ බීමට කාබන් ඩයොක්සයිඩ් වායුව එකත් කරන නිසයි. ඒකනේ වීදුරුවකට දාද්දි වුනත් වතුර දානවා වගේ නැතිව වීදුරුවේ බිත්තිය දිගේ හිමීට වැක්කෙරෙන විදියට දාගන්නේ…

අනිත් එක තමා මේ බීම වර්ගය කාමර උෂ්නත්වයේ තියන්න පුළුවන්. ඒත් ඉතිං නිෂ්පාදකයා අනුමත කරන විවිධ උෂ්නත්ව පරාස වල බීම වර්ගය රඳවා තියලා පාවිච්චියට ගන්නවනම් පට්ටම ෆන්ලු. ඒ කතාවනම් කොහොමත් ඇත්ත වෙන්න ඕනේ… මොකද කූල් කරපු එකක් බොන කොට තියෙන ගතිය දන්නේ බොන එවුන්ම තමා. එහෙම නැතුව කූල් නොකරපු හරි, කූල් එක අඩු වෙලා ගිය හරි එකක් බොනකොට …. ඊයා … නිකං පනු බේත් බොනවා වගේ. පනු බේත් වලටත් වැඩිය ක්‍රියාකාරීයි සමහර වෙලාවට.

මේ බීම ජාතිය ලංකාවේ කාන්තාවන් අතර අඩුවෙන් ජනප්‍රිය වුනාට, හෙන ඈත අතීතේ ඉඳන්ම කාන්තාවනුත් මේ බීම හදන්න සහයෝගය දීලා තියෙනවා. ඒ වගේම බටහිර රටවල් වල නම් මේක ගැහැණු අයගේ බීමක් කියලලු හඳුන්වන්නේ… ඒකට කමක් නෑ.. අපේ කලිසම ගෑණු අඳිනවනම් අපි බීම බිවුවම මක්ක වෙනවද…? (එහෙමවත් කියමු නැත්තං බේරුමක් වෙන්නේ නෑ… පිරිමි බොන එව්වා බොන්න කියලා) අනිත් එක තමා පිට රට වල මේ බීම වර්ගය බොන තරඟත් තියෙනවා. අපේ රටේත් සමහරවිට ඇති. මං ඒ ගැන නම් දන්නේ නෑ… අපේ රටේ තිබුනොත් තියෙන්නේ ඉතිං පිටි නාගෙන සතේ හොයන තරඟයක් හරි ඇස් දෙක බැඳලා ඉඳා… පොල්ල… ගිහිං ගහපිය…. කියලා කියන තරඟ තමා. ඔය වගේ වැදගත් තරඟ ‍කොහෙන්ද අපේ රටේ…

ඒ වගේම මේ පානයේ ශරීරයට අහිතකර ස්වාභාවක් පෙන්නනවා වගේම මධ්‍යසාර අඩු බීම වලින් පිළිකා නසන සෛල වර්ධනය වෙනවා කියලත් වෛද්‍ය කණ්ඩායම් විසින් පරීක්ෂන කරලා හොයාගෙන තියෙනවා. ඒක නිසා ඉතිං වැඩියම බය වෙන්න දේකුත් නෑ. මමත් දන්න තරමින් බඩේ අමාරුවක් හැදුනම අපේ පැරැන්නෝ මීට වැඩිය සැර දේවල් වලින් චුට්ටක් දා ගත්තට කමක් නෑ කිව්වලු. එහෙව් එකේ බඩගිනි වදින ගතියකුත් අන්තර්ගත වෙලා තියෙන මේ බීම ජාතියෙන් කෑමට කලින් ‍වීදුරුවක් නමා ගත්තම මක් වෙනවද…?

දැං ඉතිං ඔය මස් මාළු නොකන අය…. අඩේ මේක සෝක් බීමක්නේ…. තනිකර ශාකසාර බීමක්නේ කියලා එහෙම බෝතලේ කටේ ගහගන්නවා නෙමෙයි. මොකද මේක මධ්‍යසාර සහිත බීමක්නේ ඒකයි. දැන් ඉතිං කවුරුත් දන්නවා මොකද්ද මේ බීම කියලා… දන්නේ නැතුව වගේ ඉන්න බබාලත් ඉන්නවනේ… ඒක නිසා ඉතිං මංම කියන්නම්…. මේ තමා අපේ දුකට සැපට සුමිතුරු බියර්….. මෙච්චර කල් කටේ ගහන් බිව්වට මේක මේ තරම් වැදගත් බීමක් කියලා දැනන් උන්නේ නෑනේ… දැන් දන්නවනේ ඉතිං මේකට කොච්චර ඉතිහාසයක් තියෙනවද, මේක හදන්නේ මොනවායින්ද කියලත්…. දැන් ඉතිං වෙල් ෆැන්ටා, සඳරුගේ මුල්ල පටස් වගේ හැකරැල්ලෝ, බිලිං පල්ලෝ, කටු කම්බි, මදුරු කොයිල් වගේ ජරාව දාලා හදන බීමක් නෙමේ මේ…. සුපිරිසිදු තත්ව යටතේ නිපදවන පෞරානික වැදගත් කමක් තියෙන බීමක් තමා මේ….

මේක කියවලා මීට කලින් බියර් බීලා නැති එකෙක්වත් බොන්න යන්න එපා. මොකද මේක තිත්තම තිත්තයි. ඒ නැතත් මං ඔයාලව බීමට පෙළඹෙව්වා කියලා පවු පිරෙයි. ඒක නිසා ඉතිං මධ්‍යසාර වලින් ඈත් වෙන එක කෝකටත් හොඳ නිසා බියර් බීමක් ගැන හිතන්න එපා. මේ කරුණු ටික දැම්මේ බියර් බොන හා ‍නොබොන හැමෝගෙම දැනගැනීම සඳහා විතරයි. මොකද ඉතිං අපි අවට සමාජයේ තියෙන දෙයක් ගැන දැනගැනීම වැරැද්දක් නෙමෙයිනේ…..

%d bloggers like this: