පුංචි දිව්‍ය ලෝකයක්….!

හැම තැනින්ම ඇහෙන්නේ කුරුළු කිචි බිචිය විතරමයි. ඒ අස්සෙන් හිඳ හිට ඇහෙන රැහැයි නාදයත් එක්ක වටේටම වැවිලා තියෙන මහා රෑස්ස ගස් නිසා මේ පුංචි බිම් පෙදෙසට එකතු වෙලා තියෙන කළුවර ගතිය හරිම ගාම්භීර ගතියක් මවා පෙන්නනවා.

කොළඹ ඉඳන් කොළඹ – නුවර අධිවේගී මාර්ගය ඔස්සේ කිලෝමීටර් 112ක් විතර එනකොට තමා මේ පුංචි පාරාදීසයට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන පේරාදෙණිය නගරයේ තමා මේ කියන රාජකීය උද්භිත උද්‍යානය පිහිටලා තියෙන්නේ. හැමෝම දන්න විදියට කියනව නම් පේරාදෙනිය මල් වත්ත.

මල් වත්තට ඇතුළු වන තැනම තියෙන ප්‍රවේශපත් කවුලුවෙන් රුපියල් 50ක් ගෙවලා ගන්න ප්‍රවේශපත්‍රයට අනුව බැළුවම අපිට ලබන්න පුළුවන් සතුට නම් අතිවිශාලයි.  මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 450කට වැඩි උසකින් පිහිටලා තියෙන මේ සොඳුරු භූමී භාගයේ පැතුරුම් ප්‍රදේශය අක්කර 145ක් විතර වෙනවා. ඒ වගේම මේ මල් උයන මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ තුන්වල වික්‍රමභාහු රජතුමා 1371 දී විතර තමා. ඊට පසුව විවිධ රජවරුන්ගෙන් සැලකුම් ලබන ගමන්ම වෙනත් ආක්‍රමණිකයින් අතින් විවිධ වූ කරදර හිරිහැර වලටත් ලක්වෙලා තියෙන මේ මල් වත්ත ආයෙම වතාවක් 1873දී නැවතත් ආරම්භකරලා තියෙනවා. පසුව 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පටන් අරගෙන මේ සුන්දර මල් උයනේ පාලන කටයුතු පවරාගන්නවා.

ඊට පස්සේ තමා මහජනතාවට වඩාත් සුන්දර ආකා‍රයෙන්, හරියටම කියනවනම් පුංචි දිව්‍ය ‍ලෝකයක් වගේ තරම් ලස්සන මේ මල් වත්ත බලන්න අවස්ථාව උදාවෙන්නේ. ඇත්තටම මේ අක්කර 145ක් වෙන ඉඩ ප්‍රමාණයේ පැතිරිලා තියෙන විවිධ වූ මල් වර්ග ප්‍රමාණය නම් අති මහත්. සාමාන්‍ය ගෙවත්තකදී දැකගන්න බැරි විවිධ වර්ගයේ මල් සෑහෙන ප්‍රමාණයකින් අනූන මෙම ප්‍රදේශය සතියේ දින 365න් දින 200ක් පුරාවටම පුංචි පුංචි වැහි බිංදු වලින් දවස පුරාම සැලකුම් ලබනවා. හිටි හැටියේ කඩා වැටෙන වැස්සට මල් වත්ත බලන්න ගිය මමත් මගේ යාළුවනුත් මැදි වුනා. ඇත්තටම දුවලා ගිහිං හැංගෙන්න තරම් වැස්සත් මල් වත්ත මැද්දෙදී නම් දුවන්න වුවමනාවක් වෙන්නේ නෑ… මොකද අපිට ඉහලින් මහා රෑස්ස ගස් තම අතුපතර දසත විහිදුවාගෙන ඉන්නේ හරියට ලොකු කුඩයක් ඉහල ගෙන ඉන්නවා වගෙයි. ඒ වගේම ඒ වැස්සට තෙමෙන්දී කිසිම පීඩාවක් දැනෙන්නේ නැති තරම්.

ඔය රෑස්ස ගස් අස්සේ… බෙහෙත් පැලෑටි වලින් සමන්විත ඖෂධ උයනක්… ඒ වගේම ලංකාවේ තැනින් තැන දක්නට ලැබෙන තනකොල පැල එකතුවක් එහෙමත් තියෙනවා. ඇත්තටම සමරහ තනකොල අපේ ගෙවතු වල තියෙන පයට පෑගෙන තනකොල වුනත් මෙතෙනදී ඒවාට වටිනාකමක් අරෑඩ කරලා ඒ තනකොල වර්ගය හඳුන්වන නමක් සහිත නාම පුවරුවකුත් ගහලා තියෙන්නේ…. අපි මේ නිතර දෙවේලේ පාග පාග යන තනකොල වලට නමකුත් තියෙන බව අපිට මතක් කරමින්.

ඒ වගේම විවිධ ආහාර රසවත් කිරීමට ගන්න කුලුබඩු වර්ග… එහෙමත් තියෙනවා. ගොඩක් දුර්ලභ, අපිට සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන කුලුබඩු වර්ග රැසකුත් නාම කරණය කරලා මහජන ප්‍රදර්ශනයට පවත්වාගෙන යනවා.

ඒ වගේම තමා හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම යන ඕකිඩ් නිවහන, මෙහි ඕකිඩ් වර්ග රැසක් අපිට බලාගන්න පුළුවන්. කැන්ඩියන් ඩාන්ස් කියන උඩරට නැට්ටුවෙක්ගේ ස්වරෑපයක් පෙන්නුම් කරන ඕකිඩ් විශේෂය විසින් අනිත් හැම ආකාරකම ඕකිඩ් වර්ග වල ලස්සන අපේ ඇස් වලින් පැත්තකට විසික් කරලා දාලා තමා දිහාට විතරක්ම අපේ ඇස් ඇද ගන්නේ ආත්මාර්ථකාමී විදියට. කැන්ඩියන් ඩාන්ස් ඕකිඩ් විශේෂය ඇරෙන්න තවත් විශේස රැසක් අතුරින් පේරාදෙනිය මල් වත්ත තුලදීම දෙමුහුම් කරපු තවත් ඕකිඩ් විශේෂ කීපයකුත් අපිට දැකගන්න පුළුවන්. ඒ හැරෙන්න මුළු උද්භිත උද්‍යානය පුරාමත් විවිධ වර්ගයේ ඕකිඩ් වර්ග පැතිරිලා තියෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් ප්‍රමාණයෙන් 300 ඉක්මවන තරම් ඕකිඩ් විශේෂ මෙහි තියෙනවා.

පසුව අපිට දැකගන්න පුළුවන් වෙනවා උද්‍යානය තුල ඇති පොකුණක්. රතු නෙලුම් වලින් අලංකාර වෙලා තියෙන මේ පොකුණ ශ්‍රී ලංකාවේ හැඩයට තමා නිමවලා තියෙන්නේ. ඒක නිසාම මේ පොකුණ ලංකා පොකුණ කියල නම් කරනවා. පොකුණ වටේට විවිධ මල් ගස් වලින් අලංකාර කරලා තියෙනවා. ඒ අතර අපි හැම තැනම දකින ‍බෝගන් විලා මල් පඳුරු කීපයකුත් තියෙනවා. ඇත්තටම අපි හැමතැනම දකින බෝගන් විලා වලට වැඩිය මේ මල් වල වෙනසක් නැති වුනත් හිතට එකතු කරන සුන්දරත්වය නම් අකුරු වලින් මෙහෙමයි කියලා ලියන්න බැහැ.

පසුව තවත් ටිකක් ඈතට යන විට, සල් ගස් වලින් අලංකාර වෙච්ච සල් මාවත මුනගැහේවි. අපිට යන කොටත් සල් මල් වල සුවඳ සෑහෙන දුරක ඉඳලම නාස් පුඩු අස්සට රිංගගෙන ඒ පැත්තට යන්න අපිට කරදර කලා.

එතනින් එහාට පාල්ම් ගස් පේලියක්, තල් ගස් පේලියක් සහිත පාරවල් දෙකක්ද මුන ගැහේවි. රජ තල් මාවත නමින් හඳුන්වන උස තල් ගස් වලින් හැඩවෙලා ඉන්න පාර දිහා ඕනෙ තරම් වෙලා බලන් ඉන්න පුළුවන් තරමට ලස්සනයි.

ඉතිං මේ සුන්දර මල් මාවත් වල සතිය දින හැම එකකම වගේ පාසල් දරු දැරියන් අවට සිරි නරඹන දර්ශනය සුලබයි. ඒ වගේම මල් වත්ත පුරාම හැම තැනකදීම දකින්න පුළුවන් සුලබම දසුන තමා අත් වැල් පටලවාගෙන යන පෙම්වතුන්. ඇත්තටම මල් වත්තේ පිපිලා සුවඳ දෙන මල් වගේම පෙම්වතුන් පිරිසත් ටිකක් අමුතු ආකාරයේ සෞන්දර්යක් එකතු කරනවා.

පසුව තවත් ඈතට යද්දී මහවැලි ගඟ අයිනෙන් ගඟ අයි‍නේ පිහිටලා තියෙන යෝධ උන ගස් දැකගන්න පුළුවන්. මේ උණ ගස් කොල පාටින් යුක්තයි. ඒ වගේම ලංකාව ඇතුලේ ස්ථාන දෙක තුනක ඇරෙන්න දැකගන්න බැහැ. පස්සේ යෝධ උන ගස් වල සෙවන ලබමින් ඉදිරියට ඇදෙද්දී අවසානයේ හමුවෙනවා සංගිලි පාලමක්. එක්වරකට 6 දෙනෙකුට පමණක් ගමන් කරන ලෙස තමා පාලානාධිකාරයෙන් දන්වලා තියෙන්නේ. හේතුව විදියට සඳන් කරන්නේ පාලම පැද්දෙන කොට අනතුරු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත වෙන්න ඕනේ.

ඉතිං අපිට නම් සංගිලි පාලමේ යන්න වුනේ නෑ… මොකද අපි එතෙනට යනකොට තවත් ‍ලොකු පිරිසක් එතෙන්ට වෙලා හිටිය නිසා. පස්සේ ඉතිං අපි ආයෙමත් අග ඉඳන් මුලටම ඇවිද ගෙන ආවා. ඒ එන ගමනුත් අපිට මග ඇරිච්ච තැන් ගොඩක් බලාගන්න පුළුවන් වුනා. ඇත්තටම තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක පුංචි වෙනසකටත් එක්ක යන්න හොඳම තැනක් තමා පේරාදෙණිය මල් වත්ත. තාමත් නොගිය කට්ටිය ඉන්නවනම් පොඩියකට ගිහිං බැළුවනම්… අනිවාර්යෙන් ආයෙමත් යන්න හිතේවි. ආහ්… ඒ වගේම තමා මල් වලින් පේරාදෙණිය උයන පිරිලා යන්නේ මාර්තු අප්‍රේල් මාස වලදී තමා. ඒක නිසා ඒ මාස දෙකේ ගියොත් නම් ඇත්තටම දිව්‍යලෝකේ ගියා වගේ දැනෙයි.

%d bloggers like this: