හොඳට හිටි එකාට… වෙච්චි දෙයක්….

අනේ ඇත්තට කොහොමට හිටිය එකෙක්ද මූ…? ඉස්සර හරි අහිංසකයි. කිසිදවසක ස්කෝලෙදීවත් වැරැද්දක් කරලා අම්මව එක්කන් එන්න කියලා තියෙනවද,…? නැහැනේ… ඒත් දවස් දෙක තුනක් නම් සිංහල මිස් කතා කරලා කිව්වා,

ඔයාගේ පුතාගේ සිංහල හැකියාව නම් දුරුවලයි කියලා.

ඔව් ඉතිං ඒ සිංහල මිස් දන්න තරම තමා. මිස් හොරෙන් ඉන්ටවල් එකට ඇවිත් අහගෙන හිටියනම් එහෙම අපි කතාවෙන එව්වා… හිහ්… මිස්‍ට අදහගන්න බැරිවෙනවා… මොකද ඉතිං ඒ දවස් වල සිංහල වචන දෙකක් ඇර සුද්ද සිංහල වචනයක් සුවර්නේ. සමහර එව්වයේ තේරුම් මෙලෝ පොතක නෑ. එව්වා අපිම හදාගත්ත සුපිරිසිදු අදහස් ප්‍රකාශ වෙන වචන. සිංහල මිස්ලා දන්නේ සාම්ප්‍රදායික සිංහල පොත් වල තියෙන වචන විතරනේ. අපි වගේ අළුත් නිර්මානය කරන්න යන එකක්යැ. ඊටත් එයාලට ඔව්වට වෙලාවත් නැහැනේ.

ඒත් ඉතිං අර දුරුවලයි කිව්වේ… මගේ සිංහල ලිවීමේ හා කියවීමේ හැකියාව නම් නෙමේ. මොකද ඒ දවස් වල ඉඳන්ම අර එක්කෙනෙක්ගේ ආච්චි අම්මා කිව්ව විදියට මං හෙන චැටර් බොක්ස් එකක්ලු. මං දුරුවලයි කිව්වේ… රචනා ලියන්න, කවි පාඩම් කරන්න වගේ එව්වට තමා. කාටද අප්පා පුළුවන් කවි 10ක් විතර එක පාඩම් කරගන්න. ඒ මදිවට එව්වයේ තේරුමත් මතක තියාගන්න ඕනේ.

වැරදිලා හරි කවිය මතක හිටියොත්, ඊට වැඩිය අමාරුයි තේරුම මතක තියාගන්න. ඇයි ඉතිං කවිය ග්‍රීක් වගේ… තේරුම සංස්කෘත වගේ. ඒක නිසා කවි පාඩම් කිරිල්ල මට තිත්තයි. දැන් ඉතිං කියන්න දෙයක් නැහැනේ කවි ලිවීම ගැන. කවියක් පාඩම් කරගන්න බැරි එකෙක්ට කවියක් ලියන්න පූළුවන්ද…?

දවසක් ඔන්න මං පහ වසරෙදි අපේ මල්ලි දෙක වසරේ. මට ස්කෝලේ ඇරෙනකං මල්ලිත් ඉන්නේ මගේ පන්තිය වටේ කැර කැවී කැවී තමා. ඔය පුරුද්දම තමා පස්සේ කාලෙක මල්ලිගේ පන්තියේ හිටිය ලස්සන බෝල ඇස් තියෙන කෙල්ලටත් ආවේ…  ඉතිං ඔන්න මට විභාගේ දවසක මල්ලී ඇවිත් ඉන්නවා පංතියේ දැලේ එල්ලි‍ලා. අපේ මිසුත් මල්ලිව දන්න නිසා ඌට යන්න කියන්නේ නෑ. පොරත් ඉතිං අපේ ජෝක් බල බල ඉන්නවා.

එදා අපිට තිබුනේ සිංහල. මල මගුලයි…. ඊළඟට පන්තිය ඉස්සරහට ගිහිං කවියක් කියන්න තියෙන්නේ මට. දැන් ඉතිං මං දහඅතේ කල්පනා කරනවා කියන කවිය ගැන.

ආහ්… මං කියනවා ඔන්න මලේ ඔය නාමල කවිය… කියලා හිතාගෙන මනසින් පොඩි ටෙස්ටින් පාරක් දාද්දා ඒක ටිකක් අවුල් වගේ. තුන්වෙනි පදේ මතක නෑ… දැන් ඉතිං මොකෝ කරන්නේ…

ඊට පස්සේ තව කවියක් මතක් වුනා. තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා… ඒකෙත් මතක මුල් පදය විතරයි. කොටින්ම ඒ දවස් වල සිංහල‍ පොතේ තිබිච්චි එක කවියක් වත් මට මතක නෑ. අර දෙරියන් සහ හතර රියන් කවිටික වත්, කළුවා ද මොකද්ද කියලා තිබ්බ හරකෙක් ගැන කවිපන්තියවත්… චිරි චිරි චිරි… චිචිරි චිචිරි කියන වැස්ස ගැන කවි පන්තියෙන් කවියක්වත් මතක නෑ කියමුකෝ. දැන් ඉතිං මං මක්කෙයි පන්තිය ඉස්සරහට ගිහිං කියන්නේ…?

ඔහොම හිත හිත ඉද්දී එක පාරට මතක් වුනා මොන්ටිසෝරි කාලේ කිව්ව කවියක්. ඒක නම් මට යන්තං පාඩම්. අර අම්බලමේ පිනා වලං කදක් ගෙනා කවිය. මාත් ඉතිං ඊට පස්සේ ආපු මගේ වා‍රයේදී ඉස්සරහට ගිහිං ගට අරගෙන දුන්නා සවන් පත් ඉරාගෙන යන්න. දැං ඉතිං මට හරි හැපී. මෙච්චර කාලෙකට කවියක් කියාගන්න බැරි මං කවියක් කිව්වානේ. ඒත් ඉතිං කවිය කියලා ඉවරවුනා විතරයි මගේ පශ්චත් බාගය ඉරාගෙන යන්න වැදුන්නැතැ වේවැල් පාරක්. අම්මේ සනීපේ.

දනගහනව ඔහොම… පොඩි එකා වෙන්න එනව මෙතෙන.

ඇයි මී……ස්….? (කොල්ලගේ මූන රතු වෙලා ඇස්යට ඉදිමිලා ආවම මිස්ටත් දුකයි)

ඇයි මිස් කියන්නේ දරුවෝ, බලන්න ඔයා එක කවියක් වත් පාඩම් කරගෙන නැහැනේ…

ඒ අස්සේ අපේ මල්ලිටත් මං ගැන දුක හිතිලා. ඌත් දැලේ එල්ලිලා වව්ලා වගේ ඉන්නවා. අඩුගානේ ඌට තිබුනා මට කවියක් මතක් කරන්න. දුෂ්ටයා… මටත් ඉතිං තිබුනා උගෙන් අහන්න. කොහෙද ඉතිං ඔව්ව කම්පනා වෙනවැයි. ඒ අස්සේ අපේ මිස් මල්ලිට කියනවා…

පුතේ, අද ගෙදර ගිහිං කියන්න අම්මට අයියව මං දනගැස්සුවා කියලා…. කියලා. ඈ… මිස් හදන්නේ මට මෙහෙත් පනිෂ් කරලා ගෙදරිනුත් ඉල්ලලා දෙන්න. මල්ලිත් ඉතිං ඔලුවා වනලා හාං කියනවා. සහෝදර කැක්කුමක් කියලා නැති හැටි මූට. මූව මේ ලෝකෙට ගෙනවෛත් මං නිසා. මට සෙල්ලං කරන්න මල්ලියෙක් ඕනේද කියලා තාත්තා අහපු වෙලේ මං එපා කිව්වනං එහෙම මූ නෑනේ . දැන් එනව මෙතෙන මටම ෂොට් එක දෙන්න. එව්වා කොහෙද මාත් එක්ක. අහුවෙයන්කෝ හවසට ස්කූල් වෑන් එකේදී.

ඔන්න ඉතිං ගෙදර යන ගමන් මල්ලිගේ ඔලුව අතගගා… හොඳ පැට්ටනේ ඔයා අම්මට කියන්න එපා හොඳද… කියලා මාත් කියද්දී මූ ඒකටත් හා ලු. පස්සේ ඉතිං ගෙදර ගිහිං බත් කන කොට මූ කතාව අම්මට කියලා. අම්මා ඇවිත් මගෙන් සීන් එක ඇහුවම ඉතිං මටත් අඬන ගමන් කියන්න වුනා. එදා ඉඳන් ඉතිං මං කවි පාඩම් කිරිල්ල අනිවාර්යයි. ඒත් එහෙම කරලත් විභාගෙට කවි ඇරෙන්න අනිත් ඔක්කොම පස්න වලට උත්තර ලියලා තමා ලකුණු 70ක් 80ක් සේප් කරගන්නේ.

ඔහොම යද්දී ඔන්න අපිට සිංහල සාහිත්‍ය කරන්න වුනා. ඉතිං අම්මගේ යාළුවෙක් ගාවට පන්ති ගියා. සැළලිහිණි සංදේශය එහෙම කියවන්න වුනේ ඔය තැන් වලදී. ඒක නම් ටිකක් අමුතුයි වගේ. මං අර ආසම සබ්ජෙක්ට් එකක් තියෙනවනේ නැචුරල් බියුටි ස්ටඩින්ග් කියලා. ඒක උප‍රිමේටම තියෙනව සිංහල සාහිත්‍යයෙදී. ඉතිං කොහොම හරි ඔය හර බර වචන දාලා ලියලි තියෙන කවි වල තේරුම් ටික අර තියෙන ආසාම නිසාම මට යාන්තං වගේ මතක හිටියා. පස්සෙ ඉතිං ඔන්න කවි ලියන්නත් හිතුනා. ඒ පාර ලිව්වා…

ඒ අස්සේනේ අර පිළිකාවක් හැදුනේ. ඉතිං අර නැචුරල් බියුටි ගැන ලිව්ව කවි වල සවරූපය වෙනස් වෙලා එව්වා ඔක්කොම හාට් ‍ෆ්‍රීසින් බියුටි වුනා. හදවත කූල් වෙන කූල් වෙලා ගල් වෙලා මිදිලා, කුට්ටි වෙන හැඟීම් ගැන ලියන්න ගත්තා. එව්වටත් ඉතිං හොඳ හොඳ ප්‍රතිචාර හම්බුනා.

ඔහොම යද්දී යද්දී මේං කවි නැතුව අමුතුම මෙව්වා වගයක් ලියවුනා. එව්වාට කියන නම දැනගත්තේ පස්සේ කාලෙක. අර නිසදැස් කියන්නේ… අන්න එව්වා. ඊට පස්සේ ඕං බුකියේ ග්රූප් එකක් එහෙම පටන් අරං ලොමු දැහැ ගැන්වෙන නිසදැස් කවි ලිය ඉද්දී ටැංකියක් හදාගෙන කතා ලියන්න ගත්ත‍ා. ඊට පස්සේ එක එක වර්ගේ කතා ලිව්ව‍ා. ඒ අස්සේ සමාජ පස්න, එතකොට ඩබල් මීනින්… පොඩි කාලේ කොරපු වැඩ, කෙල්ලෝ ගැන…. එහෙමත් ලියාගෙන යනවා. දැන් ඉතිං ඔන් ලයින් ටියුටෝරියල් සෙට් එකකුත් යනවනේ.

ඉතිං බලන්න ඉස්සර කවියක් මතකේ තියාගන්න බැරුව හිටිමට වෙච්ච වින්නැහිය. ලියනවා ලියනවා ඉවරයක් නෑ. ඒ අස්සේ ලියන්න එව්වා නැතුව ර‍ට වටේ ඇවිදලත් ලියන්න එව්වා හොයනවා. ඒ යන ගමන් වලදී වෙන අතුරු කතා තමා ඔක්‍කොටම වැඩිය සෝයි. ඉතිං එව්වත් ලියනවා. අනේ මන්දා මං කොහෙන් නවතියිද කියලා…. ඕනේ තැනක නැවතුනාවේ ඔන්න ඔහේ ලියනවා.

%d bloggers like this: