අයියේ ඔයා මුස්ලිම්ද…?

ඊයේ ඉතිං ඉරිදානේ… ඔය කැම්පස් යන සමහර නංගිලාට වගේ අපිට සතියේ දවස් හයක් නිවාඩු නැහැ. ඒ කෙල්ලගෙන් ඇහුවොත් කොහෙද නංගි ඉන්නේ කියලා… ගෙදර කියලා ඒ මදිවට හිනාත් වෙනවා. ඉතිං අපිට කොහෙට හරි යන්න කරන්න, පොඩි ජොලියක් ගන්න තියෙන්නේ ඉරිදා විතරයි. ඒක නිසා ඕං මායි මගේ ෆිට් යාලුවෙකුයි…. එයාගේ යාළුවෙක්ගේ ගෙදර යන්න කියලා ගියා.

ඩෙස්ටිනේෂන් එක තියෙන්නේ නුවර වැව රවුමට ටිකක් උඩහින්. ඉතිං අපි උදේ පාන්දරම නැගිටලා දත් මැදලා… මූන හෝදලා .. අලුත් ඇඳුම් ඇඳලා එහෙම ගමනට ලෑස්ති වුනා. දැන් ඉතිං නුවර යන්න ඕනේ කොළඹට ගිහිංනේ… ඒක නිසා ඕං අපි කතා වෙච්ච විදියටම පාන්දර හය වෙද්දී පිටකොටුවේ බෝගහ ගාවට සෙට් වුනා. පස්සේ ඔන්න ගිහිං නැග්ග මහනුවර බස් එකට. අපි දෙන්නට එකට වාඩි වෙන්න නම් සීට් එකක් තිබ්බේ නෑ… අපි ඉතිං මුලිං ටිකක් අප්සට් සීන් එකට. මොකද මගේ යාලුවා කනිෂ්කයි මායි සෙට් වුනේ මාස ගානකින්.

ඉතිං අපිට කතා කරන්නත් දේවල් නැතෑ… උගේ වෙන්ඩ කෙල්ල ගැන තමා වැඩිපුර කියවන්නේ. ඒත් ඉතිං කයියක් දාන්න විදියක් නෑ… අපි දෙන්නා ඉන්නේ සීට් දෙකක නිසා. පස්සේ ඉතිං බස් එක අද්දලා ටික දුරක් යද්දී… බස් එකට මගින් නැග්ගා කෙල්ලෙකුයි අම්මෙකුයි. හරි සුවිට් කෑල්ල. කිලෝ පනහේ සිමෙන්ති කොට්ටයක් වගේ සයිස් එක. ඒ වුනාට ඉතිං ඉටි කිරිස් රූපේ.

ඊට පස්සේ අම්මයි දුවයි මගෙ ගාවටම ඇවිත් හිට ගත්තා. ඇත්තට ඒකිට වෙන යන්න තැනක් තිබුනේ නැද්ද මංදා. (කමෙන්ට් එකකින් වැටෙන්න කලිං මංම කිව්වා ඕං) ගෑණු ළමයා ඇවිත් මං වාඩිවෙලා ඉන්න සී‍ට් එකේ උඩ බාර් එකෙනුයි, මට ඉස්සරහ තියෙන සීට් එකේ බාර් එකෙනුයි තමා අල්ලගෙන හිටියේ.  කට්ටියට හිතා ගන්න පුළුවන්නේ කෙල්ල හිටිය විදියයි මං හිටිය විදියයි. පස්සේ අම්මා දුවටත් එක්ක සල්ලි දෙන ගමන් පිටිපස්සේ කවුරු හරි ටිකක් සද්දෙන් කියවනවා ඇහිලා ඒ පැත්ත පෙන්නුවා. එතකොට ඉතිං මටත් නිකමට වගේ බැලුනා බස් එකේ  පිටි පස්ස. ඊට පස්සේ ඉස්සරහ බලනවත් එක්කම….

චටාස්…

කට නිකං කලන්නේ වගේ. ඊට පස්සෙ හීනෙන් වගේ ඇහෙනවා…

අනේ සොරි අයියේ…. සොරි අයියේ… කියා කියා කෙල්ලෙක් කෑමොර දෙනවා. මට හිතාගන්නත් බෑ මක්කෙයි වුනේ කියලා… බලාගෙන යද්දී අර කෙල්ල බෑග් එකේ මොකද්ද මගුලක් හොයන්න යද්දී ඒකිගේ සුදුමුදු අත්ල මගේ කම්මුලට ටිකක් හයියෙන් පතිත වෙලා. සෝයි පාර… කම්මුලට රිදෙන්න වැදුනත් ඒ වගේ අතකින්……….! මටත් ඉතිං සීන් එකට හිනා… ඇයි හත්දෙයියනේ ඔය කෙල්ලෙක්ගෙන් කම්මුල් පාරක් කෑවමනේ…

ඊට පස්සේ මං අර කෙල්ලගේ බෑග් එකත් ඉල්ල ගත්තා. නැත්තං ඉතිං කියන්න බැහැනේ. ඊළඟ පාර පොල් ටොක්කක්වත් ඇන්නොත් එහෙම. පස්සේ ඉතිං ටික දුරක් යනවා මටත් ඒ අස්සේ තනියම හිනා. පස්සේ ඕං බස් එක නැවැත්තුවා උදේ ලන්ච් එකට. ඊට පස්සේ මං නැගිටලා කනිෂ්ක එක්ක බස් එකෙන් බහින ගමන් අර ගෑණු ළමයට කිව්වා…

ටිකක් වාඩි වෙලා ඉන්න… කියලා. ඒකිත් ඉන්න පැන්න ගමන් ජබොස් ගාලා වාඩි වුනා. මං බස් එකෙන් බැහැලා කනියට කිව්වා… අඩෝ මේ දැං කෑල්ලක් සෙට් වුනා බං කියලා… ( බලහංකෝ අර ඉස්සර පුරුද්ද… කෙල්ලෙක් හිනා උනාම ඒක මට කැමැතියි කියලා කියනවා වගේ) ඊට පස්සේ ඉතිං කනියටත්  සීන් එක ගැන පොඩි විස්තරයක් කියන ගමන්ම කෑම කෑවා. පස්සේ කෑම කාලා එද්දීත් කෙල්ල ඉන්නවා වාඩිවෙලා. පවුනේ ඉතිං මොනා වුනත් ගෑණු ළමයෙක්නේ කියලා හිතද්දී මගේ පපු කැනැත්ත හෝස් ගාලා පත්තු වෙන්න ගත්තා. (අම්මප ඕක තමා මට හැදිලා තියෙන දරුණුම ලෙඩේ) දැන් ඉතිං ගින්දර ඇවිලෙනවා හොස හොස ගාලා. හරියට නිකං අර පරන දරලිප් වල වගේ. ඒ අස්සේ මං එතෙන්ට ආවා කියලා දැනගත්ත කෙල්ල ආ… අයියේ වාඩි වෙන්න කියලා නැගිට්ටා. පවුනේ ඉතිං… මං කිව්වා… ඔහොම ටිකක් යමු… කියලා.

අම්බෝ බලන්න ඕනේ කෙල්ලගේ මූනේ එවේලේ ඇතිවෙච්ච වෙනස්වීම. අනිවා ඒකි මට හිතින්  බැන බැන ඉන්න ඇත්තේ ඕකව දාලා බස් එක ගියොත් නම් හොඳයි, මට එතකොට දිගටම වාඩි වෙලා යන්න පුළුවන් කියලා… ඒක නිසා තමා මූන ඇඹුල් වෙලා හෙනම හෙන දුක් බර පාටක් ආවේ. කෙල්ලට මං ගැන අනුකම්පා හිතෙන්න ඇති. පස්සේ ඉතිං ආයෙමත් වාඩි වෙලා එයාගේ බෑග් එක ඉස්සරහින් තියාගෙන මගේ බෑග් එක පපුවට තුරුළු කොරගෙන යනවා කියමුකෝ ගමන.

ඔන්න ඊට පස්සේ මගේ අතට තට්ටු කරලා අහනවා… වාඩිවෙනවද කියලා. ඒ වෙනකොටත් මං හිතහදාගෙන හිටියේ… නුවරට යනකම්ම ඒකිට වාඩි වෙලා යන්න දීලා මං හිටගෙනම යනවා කියලා. ඒ පාර මං ආයෙම කිව්වා කමක් නෑ ඔයා ඔහොම යන්න කියලා. ඔය වෙලාවේ තමා මගේ සිකුරා උච්ච උනේ. කෙල්ල ආයෙමත් පැනි හිනාවක් දාලා… එහෙම ආයෙමත් ඉස්සරහා හැරුනා. මෙන්න ඊට පස්සේ කිලෝමීටරයක් යන්න උන් නෑ කෙල්ලට එහා ‍පැත්තේ වාඩිවෙලා හිටිය එක්කෙනා නැගිට්ටා. පස්සේ ඉතිං කෙල්ල කකුල් දෙක පැත්තකට හරවලා මගේ දිහා බලලා වාඩි වෙන්න කිව්වා. මාත් ඉතිං ටික දුරක් හිටගෙන ආපු එකේ වාඩි වෙලා මගේ බෑග් එකත් ගත්තා.

ටික වෙලාවකින් කෙල්ල හෙනම බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ දැනුනා මගෙත් එක්ක කතා කරන්න. මට ඇත්තටම කතා කරන්න වුවමනාව තිබ්බත් කතා නොකර ඉන්න තමා හිතාගෙන හිටියේ. මොකද මං එයාගේ බෑග් එකත් අරගෙන ඇවිල්ලා, ඊට පස්සේ එයාට සීට් එකත් දීලා පස්සේ මං දැන් කතාවට ගියොත් එහෙම ඒකිගේ හිතේ මං ගැන ඇතිවෙච්චි හොඳ සිතුවිලි ටික දියවෙලා යන්න ඉඩ තිවුන නිසා. මං කතා කලානම් එහෙම හිතන්නේ… ආහ්… මෙයා මේකට තමා මේ මගේ බෑග් එකත් ඉල්ලගෙන, වාඩි වෙන්න සීට් එකත් දුන්නේ කියලා වගේ වැරදියට. ඒක නිසා මගේ ක්ෂණිකව ඇතිවෙච්ච ප්‍රතිරූපයට හානි කරගන්න බයේ මං එතෙන හොඳ කොල්ලා වගේ උන්නා. කොහොමත් ඉතිං මං හොඳයිනේ. අනික දැන් එකා එක‍ා කියයි මූට යන යන තැන කෙල්ලෝ කියලා… ඔව් බොලව් මට යන යන තැන කෙල්ලෝ තමා… ඒ ඉතිං මං ටිකක් විතර හොඳ නිසා. (ඒ හරිය නම් ඉතිං කියන්න දෙයක් නෑ.)

පස්සේ ඒ ළමයා බැග් එකත් තුරුළු කරගෙන නිදි. අනේ මන්දා ව්‍යංගෙන් වෙන අදහසක් කිව්වද කියලා. ඉතිං ඔහොම යද්දී බස් එක වංගු ගන්න කොට එහෙම මගේ වම් උරහිසට හරි සනීපයි. කොහොමද සිමෙන්ති කොට්ටයක් ඇ‍ඟට තද වෙන කොට තියෙන සනීපේ. මාව චප්ප වෙයිද කියලා සිය සැරේකට වැඩිය හිතුනා. ඊට පස්සේ මේං ළමයා නැගිට්ටා…

බස් වලත් මහ අමාරු කා‍රයෝ ඉන්නවා නේද…?

හෑ… ඒ පස්නේ කෙල්ල මගේ දිහා බලලා කෙලින්ම මගේ මූනටම ඇහුවා. හත්තිලව්වයි, මගේ අතින් වැරැද්දක්වත් වුනාද, කොහෙවත් නොහොබිනා තැනක අතවත් වැදුනද… කියලා… කම්පනා කොරලා එහෙම මං ආයෙම ඇහුවා…

ඇයි එහෙම කිව්වේ…? කියලා…

පස්සේ අපේ සීට් එකට (දැන් ඒක අපේ සීට් එක වුනාලු ඈ…) ඉස්සරහින් හිටිය මිනිහාව පෙන්නලා කියනවා… කකුල හං‍ගගෙන මං හිටියේ කියලා. බැලින්නම් පොර කෙල්ලගේ කකුල පාගලා. ඉතිං මටත් ආවා කටට කියන්න රටක් වටින උත්තරයක්. ඒත් ඉතිං කිව්වේ නෑ, තද කරගෙන හිටියා. ඒ කෙල්ල අහවල් එකටද මට ජ‍නේලේ අයිනට  යන්න කියලා ඒකි මෙහා පැත්තේ හිටියේ… ඒකි ඒ පැත්තට ගියා‍නම් කිසිකරදරයක් නැතුව ජනේලට හේත්තුවෙලා නින්දක් දාන්න තිබ්බනේ. ඒත් ඉතිං පන්ඩිත කමට මහ ලොකුවට මට යන්න කිව්වේ… දැන් හරිනේ ඉතිං.

පස්සේ ඉතිං ආයෙමත් අර ලෙඩේ හැදුනා. මං ඒ පාර කිව්වා … එහෙනම් ඔයා මේ පැත්තට එන්න කියලා. එතකොට නම් ලස්සනට පිපුන පේරාදෙනිය මල් වත්තේ මලක් වගේ හිනා වෙලා… හ්ම්… කිව්වා. මට ඔය කෙඳිරිය නම් එච්චර ඇල්ලුවේ නෑ… හරියට නිකං මං ඒකිගේ මිනිහා ‍වගේ කියලා හිතාගෙනද දන්නේ නෑ එහෙම කිව්වේ. පස්සේ ඉතිං ඔන්න පැති දෙක මාරු කරගෙන යනවා. ඒ යන ගමන් තමා කෙලි පොඩ්ඩ කතා කරන්න ගත්තේ.

අයියා කොහේද යන්නේ…?

මං මේ ආර්ටිකල් එකකට ෆොටෝ වගයක් ගන්න පේරාදෙණිය ගාඩ්න් එකට යනවා. (ඔයත් එනවද කියලා අන්නත් හිතුනා)

මොකද්ද…. ඇහුනේ නෑ…. කියලා ඒකිගේ කන මගේ මුනට ලං කරා. කන හපන්නත් හිතුනා. ඒ වගේ මස් කෑල්ලක් ආයෙ කවද කන්නද…? පස්සේ ඉතිං මං ආයෙමත් අර දීපු උත්තරේම දුන්නා.

ආහ්… එහෙමද…. තනියම?

ඔවුනේ…. මං කිව්වා.

ආ….. මට ඇහුනෑ නෑ අනේ…

මේක හරි කෙලියක්නේ… මේකි අර අන්දරේගේ ගෑණි වගේද බීරිද දන්නේ නෑ…. කියලා හිතද්දීම…

අයියේ ඔයා මුස්ලිම්ද…?

ඈ….. මං කොහෙද බොල මුස්ලිම් මේ තියෙන්නේ කෑලි බෑලි කොන් ඔක්කොම අඩු නැතුව කියලා කියන්නත් හදලා….. ආයේ නිකං හිටියා.

පස්සේ මං ඇහු‍වා ඇයි මං මුස්ලිම්ද කියලා ඇහුවේ…? කියලා….

ඒ පාර කියනවා… නෑ අයියා කතා කරන සමහර වචන පැහැදිලි නැහැ කියලා. හරි පස්න තමා ඒකිටත් තියෙන්නේ…. මං බය වුනා… ඇයි යකෝ මුස්ලිම් වෙනවා කියන්නේ ලේසි වැඩක්යෑ. ආදරෙන් බලා ගත්ත අනාගතේ, කුට්ටි කරන්න වෙනවනේ. පිස්සු හැදෙයි. කොහොම හරි මේ ඒ පස්නෙට උත්රයක් ‍නොදී හිනාවක් දාලා සේප් වුනා. කියන්න බැහැනේ වැරදිලා ඒ කටේ හැටියට… මං මුස්ලිම් නෙමේ කිව්වම… එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න කියලා කියන්නත් ඉඩ තියෙනවනේ. මල කෙලියක්නේ වෙන්නේ එතකොට… බස් එකේ එවුන් මට ගල් ගහයි.

පස්සේ ආයෙමත්….

අයියා ජොබ් එකක් කරනවද…?

මේක මල මගුලක්නේ බොල අපේ අම්මවත් අහන්නේ නෑ පුතේ උඹ අද වැඩට ගියාද කියලා… ඒකට මේං….

හ්ම්… මං **** එකේ….

ආහ් ඇත්තද…. නියමයිනේ… මාත් අයියේ නුවර නෙමේ අම්පාරේ. මේ ඉන්ජෙක්ෂන් එකක් විදින්න නුවරට යන ගමන්…

ඒ පාර නම් මාව ක‍රකෝලා අතෑරියා වගේ… ඇයි ඉතිං අම්පාරේ කෙල්ලෙක් කොළඹින් නුවර බස් එකක නැගලා නුවරට යනවා කියද්දි….. ඒ අස්සේ මටත් විකාර කල්පනා එනවා. මේකිට හැබෑට පිස්සුවද්ද දන්නෙත් නෑ…. එහෙම නැත්තං ‍මොකක් හරි සබ්ජෙක්ට් එකක විශාරදයෙක්ද දන්නෙත් නෑ… වගේ එව්වා මෙව්වා ගොඩයි.

පස්සේ මං ඉතිං මගේපස්නේ යොමු කලා එයාට…

ඔයා අම්පාරේ නම් ඇයි කොළඹ ඉඳන් යන්නේ..? කියලා.

ඊට පස්සේ කිව්වා එයාගේ මල්ලිගේ මොකද්ද මන්දා ඇක්සිඩන්ට් කේස් එකක්. මට ඒකනම් මතක නෑ. පස්සේ ඉතිං මං මාත් එක්ක හෙන කතාව. කරුමෙක මහත කියන්නේ… මගේ තියෙනවා ෆෝර්වඩ් කෙල්ලන්ව දිරවන්නේ ගතියක්. ඉතිං මෙයාටත් ඒක එහෙම්ම අදාලයි. ඇත්තටම මට ඒ වෙද්දී කෑල්ල වදයක් වෙලා. කච කච කච කච ගාලා කියෝනවා කියෝනවා… ඉවරයක් නෑ… ඒ අස්සේ අම්පාර පැත්තේ විස්තර වගේකුත් කිව්වා.

ඕං ගෙවල් තියෙන්නේ අම්පාරේ රෝහලක් ගාවින් හැරෙන්න තියෙන පාරේ කිව්වා. පස්සේ ඒ පාර මං දන්න එකම එකක් ඉන්නවා අම්පාරේ, උගේ නම කියලා ඇහුවම … උගේ නම අහල පුරුදුයිලු. මට ඉතිං පුදුම වෙන්න දේකුත් නැහැනේ. ඕකා කරන වැඩවල හැටියට.

ඒ අ‍ස්සේ මං බහින්නත් ලංවෙලා… පස්සේ ඉතිං කනිෂ්ක රින්ග් කට් එකක් දුන්නා. දැන් මල් කැඩුවා ඇති යන්න ලෑස්ති වෙය කියන්න. මොන… ෆෝන් එක අතට ගත්තා විතරයි…

ආ… අයියේ ඔය වගේ ෆෝන් එකක් තමා මයෙ ගාවත් තියෙන්න කියලා… මේකිත් ෆෝන් එක අදිනවා. හික් මටත් කියන්න හිතුනා ආහ්…ඇත්තද… මේ වගේ ෆෝන් එකක් තමා මට මේ රින්ග් කට් එක යවපු එකා ගාවත් තියෙන්නේ කියලා. ආයෙ ඉතිං මං තනියම හිනාවෙලා ඒකත් නොකියා හිටියා.

පස්සේ ඉතිං මං නොම්මරේ දෙනකං හරි, ඒකිගේ නොම්මරේ මං ඉල්ලනකං හරි කට ඇරගෙන බලං ඉන්නවා. ඒවා කොහෙද මාත් එක්ක…. කියලා හිතද්දී ආයෙත් අර වස්සා රින්ග් කරනවා. ඒ පාර නම් ඉතිං මං අර ගෑණු ළමයට අපි ඉස්සරහින් බහිනවා කියලා නැගිටලා ආවා. ඒ එද්දීත් කෙලි පොඩ්ඩගේ මූන රතු වෙලා… ලැජ්ජාවටද මන්දා…. දුකේ බෑ අප්පා… සුදු සෝස පාට මූනු පොඩ්ඩ… ආයේ ඉතිං කවද දකින්නද…?

පස්සේ යන ගමන් මට හිතෙනවා… අනේ අපිත් මෙහෙම සුළු වෙලාවකට හිත පැහෙදෙන පැහැදෙන කෙල්ලන්ට කතා කරන්න ගියානම් කීදෙනෙකුට කියලා කතා කරන්නද කියලා… එහෙම වුනානම් එහෙම ස්කෝලේ යද්දී හිත පැහැදිච්ච එව්වට තාම කතා කරනවා. ඊට පස්සේ ඉතිං යාන්තං පේරාදෙණියෙන් බැහැගත්තා. ඊට පස්සේ නම් ටිකක් විතර දුකත් හිතුනා. අපරාදේ නේද කියලා. ඉතිං ඒ සිතුවිල්ල යටපත් කරගත්තේ….

නෑ නෑ…. අපරාදේ නෑ… ඒ කෙල්ලගේ නොම්මරේ මං ගත්තනං හරි, මං ඒකිට නොම්මරේ දුන්නං හරි, කෙලවෙන්නේ මටමයි කියලා. ඇයි ඉතිං එක්කෝ මං මගේ ෆෝන් එකට කාඩ් දාන්න ඕනේ නැත්තං ඒකට රී ලෝඩ් දාන්න ඕනේ. ඒ වගේද කාලය. ඇයි යකඩෝ මාසෙකට පාරක්වත් අම්පාරට යන්න ගියාම. එහෙම හිතලා ඉතිං අර ඇතිවෙච්ච දුක සන්තාපය ඔක්කොම නැති කරගත්තා.

ඒ වුනාට කමක් නෑ … අර අම්පාරේ මල්ලියේ උඹට පුළුවන්නම් මට ඒකිගේ විස්තර ටිකක් හොයලා දියන්. මං උඹට මං දන්න ටික කියන්නම්.  හැබැයි පුතේ මං නමවත් ඇහුවේ නම් නෑ. ෆේස් බුක් ඉන්නවද කියලා නම් ඇහුවා… ඒකි නෑ… කියාල … මගෙන් ඇහුවා ඇස් දෙකත් ලොකු කරගෙන අයියේ ඔයා ඉන්නවද කියලා…. ඒක අහපු විදිය හරියටම කියනවනම්…. අයියේ ඔයා මැජික් දන්නවද කියලා….. අහනවා වගේ තමා…

ඔන්න ඕකයි මං මුස්ලිම්ද කියලා කෙල්ලෙක් අහපු කතාව. ඒ මදිවට ඒකි මට කම්මුල් පාරකුත් ගහලනේ ගේම පටන් ගත්තේ…. බලන්න  ඉතිං කවද කාපු කම්මුල් පාරවල්ද….? ඒ වගේම තාමත් වෙන මූනකට රිප්ලේස් කරගන්න බැරි මූනක් නිසා මට ලැ‍බෙන ඔක්කොම චාන්සස් මිස් කරගන්නවදෝ කියලත් වෙලාවකට හිතෙනවා. ඇන්ඩ් මේකලු මගේ දිගම පෝස්ට් එක…. ෆොන්ට් සයිස් 12 දාලා A4 පිටු වලින් ගත්තොත් පිටු හතරක් පිරෙන්න තියෙනවා.

%d bloggers like this: