වයර් මාරු වෙච්ච ආධ්‍යාත්මය

මේක නම් කතාවක්ම නෙවෙයි, ඒත් ඉතිං කතාවක් විදියට ලියන්න වෙනවා. බ්ලොග් කියවන අයට මතක ඇතිනේ පහුගිය දවස් ටිකේ අපේ බ්ලොග් ලියන යාලුවෝ කීපදෙනෙක් විසින් ආගම් ගැන පොඩි මතවාදයක් පටන් ගත්තා. මාත් ඉතිං අහෙං මෙහෙං කමෙන්ට් කලා. මොකද නොදන්න දෙයක් දැනගන්න එක ගැන සතුටු වෙන්නත් එපැයි.

ඉතිං මං හිතන්නේ දැන් ඒ මතවාද ඉවර ඇති. ඇත්තටම මට ලිනක් දෙක දාගන්න ඕනෙ වුනත් කරන්න විදියක් නෑ… ලැපී අසනීපෙන් නිසා. කාටහරි පුළුවන්නම් මට ඒ ලින්ක් දෙක එවන්න. දැන් ඉතිං මං මේ ලියන්නේ ඒ දෙන්නගේ පෝස්ට් වල සහ අනිත් අයගේ කමෙන්ට් වලට පොඩි පසුවදනක්…. දැන් ඉතිං කවුරු හරි කියයිද දන්නේ නෑ… “පෙර වදනක් නැතී… අප පෙම් පුරාවතට, තව කුමටද මට පසු වදනක්, ඔබගෙන්….” කියලා. ඒකට කමක් නෑ බලන්නකෝ මට හිතෙන දේ ආගම් ගැන.

කොහොමත් ඉතිං මං ආගම් අතර ඇති වෙන සම්මිශ්‍රණයකට මුල ඉඳන්ම කැමති බව කට්ටිය දන්නවනේ. අනික මං අද වෙනකං කවදාවත් වෙන ආගමක කෙනෙකුට හිත රිදෙන්න කතා කරලා නෑ. ඒ වගේම මට වෙනත් ආගම් වල යාළුවෝ කීපදෙනක් අදටත් ඉන්නවා. ඒක නිසා ඕන කෙහෙම්මලක් වෙච්ච දෙන් කියලා මට මේ ‍පෝස්ට් එක ලියන්න පුළුවන්. ඉස්ලාම් ආගමේ කෙනෙකුට අඩෝ තම්බියා කියලවත් දෙමළ කෙනෙකුට අඩෝ දෙමළා කියලවත් තරහෙන් කවදාවත් මං කතා කරලා නෑ. විහිලුවට නම් ඉතිං මෙතෙන කියන්න බැරි ඒවත් කියනවා. ඒ ඉතිං ෆිට් එකටනේ.

හරි මේකයි කතාව. අර උඩින් කියපු විහිළු ටික අතෑරලා දාලා මේ කතාව ගැන පොඩ්ඩක් සිරියස් හිතන්න. ඒ ගමන්ම කව්රුවත් මගෙන් ගේම ඉල්ලන්න එපා. මොකද මේ කරුණු ටික හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒක නිසා ඔයාලා අහන හැම ප්‍රශ්නෙකටම පිළිතුරු මගේ ගාව නැති වෙන්න පුළුවන්.

මං නම් හිතන්නේ ලෝකේ දැනට තියෙන ආගම් හැම එකක්ම තියෙන්නේ, ඒ ආගම අදහන අයව යහමගට ගන්න මිසක් වැරදි පැත්තට යොමු කරන්න නෙවේ. හැබැයි ඒ ආගම් වල පසු කාලීනව ඇතිවූ නිකායවල් තියෙනවා, ඒවායින් නම් එක එක විකාර වැඩ සිද්ධ වෙනවා.  ඔය විවිධ නිකාය වල ප්‍රශ්නෙ නම් හැම ආගමේම තියෙනවා මං හිතන්නේ. මං ඉතිං බෞද්ධනේ, ඒක නිසා බෞද්ධ ආගමේ තියෙන්නේ ප්‍රධාන නිකායවල් දෙකයි. එකක් තේරවාද අනික මහායාන. තේරවාද කියන්නේ සුපිරිසිදු බුදු දහම… මහායාන කියන්නේ අර කලින් කිව්වා වගේ පසු කාලීනව වෙනස් වෙලා විවිධ දුර්මත එකතු වෙච්ච නිකායක්. මං දන්න තරමින් මහායාන ආගමේ හාමුදුරුවරුන්ට කසාද බඳින්නත් පුළුවන්.

ඒ වගේම මං හිතන විදියට ගොඩක් ආගම් වල තියෙන්නේ පොඩි පොඩි වෙනස් කම් වලින් විතරක් යුක්ත වූ එකම ආකෘතියක හොඳ දේ උදෙසා හැඩගැස්වීමේ කලාවක්. උදාහරණ කීපයක් විදියට, මුලින්ම බලමු… ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථයේ තැනක සඳහන් වෙනවා “ඔබලා සියළු දෙනාම එකම ජීවයකින් මවා ඇත. එයට අයත් ජෝඩු වශයෙන් මවා එම දෙදෙනාගෙන් පුරුෂයන් හා ස්ත්‍රීන් බෝකර ලදී(4:1)” කියලා. ඉතිං මැවීම ගැන පැත්තකින් තියමු. ඒක ඒ අයගේ විශ්වාසය. ඒ පිළිඹඳ කිසිම දෙයක් දැනගන්නවා ඇරෙන්න ඒ දේවල් වලට විරුද්ධව කතා කරන්න අපට අයිතියක් තියෙනවා කියලා මං නමං හිතන්නේ නෑ…. මොකද බුදු දහමේ කොහෙවත්කියලා නෑනේ අනිත් ආගම් ගැන නින්දා කරන ඇසින් බලන්න කියලා. හ්ම්… දැන් ඉතිං අර කියමන ගැන බලමු. ඇත්තටම ඒ ඉස්ලාම් දහමේ එන කියමන ගොඩක් දුරට බුදුදහමේ කියවෙන සමානාත්මතාවය කියන සංකල්පයට ගොඩක් සමානයි. ඔබලා සියළු දෙනාම එකම ජීවයකින් මවා ඇති කියන්නේ අපි හැමදෙනාම සමානයි කියන එකනේ.

ඊට පස්සේ තව තැනක තියෙනවා “අනුන්ට අයත් වස්තුව ඒ අයටම බාර කරන්න(4:58) කියලා. ඔය කියන්නේ වෙන මොකවත් නෙමේනේ, අනුන්ගේ දේ සොරකම් කිරීමෙන් වලකින්න කියන පංචශිලයේ එන ශික්ෂා පදයම තමා.

මං ඒ පෙන්නුවේ ඉස්ලාම් දහමේ සහ බුදුදහමේ තියෙන එකම සමාන තැන් දෙක නෙමේ. තව ඕනේ තරම් තියෙනවා. ඒ වගේම කිතු දහමෙත් සමාන තැන් ඕනෙ තරම් තියෙනවා. හින්දු දර්ශනය ගැනනම් මං දන්නෙම නැති තරම්. ඒ නිසා ඉතිං ඒ ගැන නම් කතා කරන්න බැහැ.

දැන් බලන්න… ඇයි අපි මේ අපිව හදන්න තියෙන, අපිට පාර පෙන්වන ආගම් අතර කියැවෙන දේ අනුව එක එක ප්‍රශ්න ඇදගන්නේ. මං අදහන ආගමම මගේ යාළුවෝ ඔක්කොම අදහන්න ඕනේ කියලා නීතියක් කිසිම ආගමක් දාලා නැහැනේ. ඒ වගේම මට දැනෙන විදියට ආගම් අතර ගැටුමක් ඇතිවුනොත් ඒක තමා ඇතිවෙන දරුණුම යුද්ධය. මොකද ආගම් අතර ඇතිවෙන ගැටුමකදී මිනිසුන් හැසිරෙන්නේ තම තමන්ගේ උද්දච්ච කම් පිරිමහා ගන්න. එතකොට රටක් වෙනුවෙන් වත් යම් අයිතියක් වෙනුවෙන් වත් ඇති වෙන ගැටුමකට වඩා ඒක වෙනස් වෙයි. මොකද ආගම අතර ඝට්ටනයකදී ඇතිවෙන්නේ තම තමන්ගේ හැඟිම් වලට අනුව තනි තනිව කෙරෙන සටනක්. ඒ වගේ අවස්ථාවකදී මට හිතෙන විදියට මිනිස්සු කිසිම කෙනෙක් යුධ උපායවලින් සටන් කරන එකක් නැහැ. තනිකරම තමන්ගේ මහා ලොකු මතවාද වෙනුවෙන් ඉස් මුදුනින් පිළිගන්න ආගම් වෙනුවෙන් තමන්ගෙම වර්ගයාව මරාගෙන මරාගෙන යයි. කිසිම ආගමක ඒ වගේ දෙයක් කියලා නැති වුනත් මිනිස්සුන්ගේ පුහු සංකල්ප නිසා මිනිස්සු මරාගනියි. එතකොට ඒ වගේ යුද්ධයකදී ඉන්නේ රණවිරු‍වෝ නෙමේ… මොලේ කළඳක් නැති හිතන්න ශක්තියක් නැති වන සත්තු කොට්ටාසයක්. ඇත්තෙන්ම ඒක ජීව ආයුධ සටනකටත් වැඩිය, පරාමාණු ආයුධ සටනකටත් වැඩිය… විශාල විනාශයක් කරන යුද්ධයක්. මොකද මෙතෙන ක්‍රියාත්මක වෙන්නේ වයර් මාරු වෙච්ච ආධ්‍යාත්මයක් නිසා.

ඒ වගේම අන්තිමට කියන්නේ මට හිතෙන දේ… අපිට වෙන ආගමක කෙනෙක්ගෙන් එයා අදහන ආගම ගැන දැන කරුණු දැන ගැන දැනුමින් පෝසත් වෙනවා මිසක්, අපිට කිසිම අයිතියක් නෑ ඒ  වෙනත් ආගමක කෙනෙක්ගේ ගති පැවැතුම්, චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් හාර අවුස්සලා හෝ අපි අදහන ආගමක් ගැන බොරු වර්ණනා කරලා හෝ වෙනත් ලාභ සත්කාර ලබා දීල හෝ ඒ අදාල කෙනාව අපේ ආගමට නැඹුරු කරගන්න හෝ ඒ ආගමේ අඩුපාඩු කියලා පහර ගහන්න. ඒ කෙනා අපේ ආගම ගැන තමන් විසින්ම හදාරලා දැනගෙන අපේ ආගමකට එක්වෙනවා නම් ඒ දේ නවත්වන්නත් අපිට බැහැ. මොකද ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න. කොටින්ම කියනවා නම් කිසිම ආගමක් පහත් කරලා සලකන්න අපිට බැහැ. ඒ හැම ආගමකම අ‍පි අදහන ආගමත් එක්ක නොගැලපෙන තැන් ඕනෙ තරම් ඇති.

ඒත් ඒ වගේ දෙයකට මොළයෙන් වැඩුන මිනිස්සු වෙන අපි ගහ මරාගන්න ගන්න එක හරිද…?  අපි කාටවත් වෙන කිසිම ආගමකට ගරහන්න බැහැ. අනික අපිව හොඳ මගට ‍ගේන්න තියෙන ආගමක් නිසා අපි අපිම නරක් වෙන එකේ තේරුමක් තියෙනවාද…? එහෙම කලොත් අපි ඒ ආගම හරියට අදහනවද කියලත් ප්‍රශ්නයක් ඇතිවෙනවා නේද…? ටිකක් හිතන්න… අපි හැමෝම මිනිස්සු නම්, හැමෝම හොඳින් ජීවත් වෙන්න කැමතිනම්.., ඇයි අපි අනුන්ගේ කුණු ඇදගෙන අපේ රෙද්ද අස්සේ දාගෙන ගඳයි කියන්නේ…? මං හිතන හිටියට නම් අපි අනිත් ආගම් එක්ක පුළුවන් තරම් සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනේ. එතකෙට අපිට නොදැනීම අපේ ලෝකය ලස්සන වෙයි…

අන්තිමටම කියන්නේ කාට හරි මේ පෝස්ට් එක නිසා කේන්ති ගියට මං සමාව ඉල්ලන්නේ නෑ. මොකද මේ මං හිතන හිටි…. මං හිතන විදිය කවුරු කිව්වත් මං වෙනස් කරන්නේ නෑ. මොකද මම දැනුවත්ව මං මේ හිතන විදියෙන් කාටවත් කරදරයක් වෙන්නේ නෑ…

දැන් ඉතිං සමහරු කියයි උඹ උඹේ වැඩක් බලාගනින් අපි අපේ වැඩ කරගනින් කියලා. මං ඒ කියමනට හිස නමා ආචාර කරනවා… මොකද ඉස්ලාම් ආගමේ තියෙනවා “කවුරු සෘජු මාර්ගයේ යයිද ඔහු සෘජු මාරුගයේ යෑම ඔහුටම වේ… කවුරු හෝ වැරදි මාර්ගයේ යයිද ඒ වැරදි මග ඔහුටම වේ… තවද එක ප්‍රානයක් තවත් ප්‍රානයක බර නොඋසලයි…(17:15)” කියලයි…

මං අදහන බුදු දහමේ තියෙනවා… “තමන් කරන කුසල් හෝ අකුසල් තමාටම වේ … කෙනෙකුට තමන් කරන පවක් හෝ පිනක් වෙනත් කෙනෙකුට දිය නොහැකිය” කියලත්….

Advertisements

25 Responses to “වයර් මාරු වෙච්ච ආධ්‍යාත්මය”

  1. මධුරංග Says:

    අයියා උබ නම් එලකිරි කොල්ලෙක්. හැම ආගමක් ම නරකක් කියලා දෙන්නේ නෑනේ. හොදමනේ කියන්නේ. ඒ නිසා ඒ ඒ ආගම් වලට ගරහන්න හොද නෑ. ගරු කිරීමයි කලයුතු වන්නේ.

    මාලු අයියාගේ නත්තලයි වෙසක් සංකල්පය එල. මාත් ඕක අදහන සංකල්පයක් !!!!

    • ගෝල්ඩ් fish Says:

      ආගම කියන්නේ බං මිනිහෙක්ට ජීවත් වෙන්න කියලා දෙන දෙයක්…

  2. Kasun Chanaka Says:

    එල කිරි අයියා, වටින අදහස් ටිකක්. කමෙන්ට් එකක් දැම්මත් ඔය ටිකම තමයි කියන්න වෙන්නෙ.

  3. නිල් අහස Says:

    100%ක් ම එකගයි ..මචං.
    මමත් ජිවත් වෙන්නේ සිංහල අයට වඩා මුස්ලිම්..දෙමල..ක්‍රිස්තියානි කියන වර්ග කිපයකටම අයත් මිනිසුන් සමුදායක් එක්ක.
    අපි පුංචි කාලේ ඉදන් හරිම සහයෝගයෙන් තාම ඉන්නවා. අපි එයාලගේ මගුලට ..මරනෙට යනවා වගේම එයාලත් අපේ ඒවට එනවා. අමච්චර කාලයක් ගිහිල්ලත් ඒ සම්භන්ධතාවයන් අඩු නොවී තාම අපි අකර තියෙනවා. හැබැයි ..මචං..අපි එයාලගේ ආගම් ගැන නොදන්න දේ ඉගෙන ගත්තා මිසක්..අපේ ආගම තමයි හරිම ආගම කියලා එයාලගේ හිත රිදවන්න ගියේ නෑ. අපි ඒ ආගම් වලටත් බුද්ධාගමට වගේම ගරු කලා.තාමත් එහෙමයි. අපි අදටත් හරිම සහොදර බැම්මකින් වෙලිලයි ඉන්නේ.

    • ගෝල්ඩ් fish Says:

      ඒක තමා මචෝ වෙන්න ඕනේ… සතුටුයි මචං උඹ ගැන…

  4. deeps Says:

    මාත් එකඟයි. පස්සේ පස්සේ ආපු විවිධ නිකායන් නිසා වෙන්න ඕනේ අද කාලේ මේ විදියට රන්දඩු වෙන්නේ මිනිස්සු. මම උ.පෙ. කරලා ඉවර වෙලා ටික කාලයක් වැඩ කළා ක්‍රිස්තියානි ආයතනයක. සමහරු බය වුනා එතන අය මාව ඒ ආගමට හරවා ගනී කියලා. නමුත් එහෙම කිසිම දෙයක් නැහැ. එතනින් අදුනගත්ත අය තාමත් මගේ යාළුවෝ. ඒ මගේ තත්වය. ඒ වුනාට මම අඳුරන අක්කා කෙනෙක් නුවර පැත්තේ තියන පල්ලියකින් කරන හොස්ටල් එකක නැවතුනා ඉස්කෝලේ කාලේ. එතනින් අයින් වෙනකොට එයා ක්‍රිස්තියානි. ඉස්කෝලේ ගුරුවරු එහෙම නම් අදටත් කියන්නේ ඒ අක්කාව එයාලගේ ආගමට හරවා ගත්තා කියලා ඒක ඒක තෑගී , අරවා මේවා දීලා කියලා . ඇත්ත මොකක්ද දන්නේ නැහැ. මට එයාගෙන් අහන්න හිතුනේ නැහැ කවදාවත්, ඒ මාත් මාළුවා වගේ හිතන නිසා .

    • ගෝල්ඩ් fish Says:

      අපේ ගමේත් ඔය සීන් එක නැගලා ගියා දැනට අවුරුදු 5කට විතර කලිං. ඒ දවස වල හැම ඉරිදටම පල්ලිය ගානේ ගමේ ගෙවල් වලට කෑම පිඟානක් එවනවා. ඒක පිඟානක් නෙවේ… සවාන් එකක් වගේ…

  5. නවම් Says:

    ආගම ආගමක්ම විදියට අදහනවනම්, පිළිගන්නවනම් කිසිම ගැ‍ටුමක් නෑ. ඒත් ඔතනට බලය, සමාජීය තත්ව, දේශපාලනය ගෑවුනොත් ගැ‍ටුමක්, ඒ ගැ‍ටුම තියෙන්නෙ ලොකු පු‍ටුවල මිසක් වැඳගෙන, දණ ගහයෙන පපුවෙ කුරුසෙ අඳින, නළලෙ අළු ගානෙන ඉන්න යටි පෙලේ නෙමෙයි. හැබැයි ලොකු පු‍ටුවලට පුළුවන් ඒක බිම් මට්ටමට කාන්දු කරන්න. ඊට පස්සෙ කිඹුල් කඳුළු හලන්නත් පුළුවනි.

    මේකටම සමාන නොවුනත් පොඩ්ඩක් විතර ලඟින් යන සටහනක් මේ බ්ලොග් එක පටන්ගන්න කාලෙ මගෙ අතින් ලියවුනා.

    http://nawammawatha.wordpress.com/2010/12/13

    මික්ස් කල්චරයට ජය !

    • ගෝල්ඩ් fish Says:

      අන්න ඒ කාන්දු කිරිල්ල තම දැන් මේ පැතිරිලා ගිහිං තියෙන්නේ…

  6. indika27 Says:

    වීජ ගතිතයෙදි වගේම ගොඩක් තැන්වලදි එකතු කරන්න හෝ අඩු කරන්න පුලුවන් වෙන්නෙ සජාතීය පද විතරයි..විජාතීය පද සන්සන්දනය කිරීම විහිලුවක්…අපි කතාකරන්න ඕනි දේවල් තියෙනව නැත් දේවල් තියෙනව…මේ වාගෙ දේවල් කතා නොකල යුතුයි කියලයි මම හිතන්නෙ…අපේ කෝණයෙන් බැලුවොත් බයිබලය පටන් ගන්න තැනම තියෙන්න පට්ට ආතල් දේව කතාවක්….මිනිසුන් මැවීම ගැන…අපි විශමයි කියන්න ඕනි උනාම එක තැන් ටිකකුත් සමානයි කියන්න ඕනි උනාම වෙන තැන් ටිකකුත් පාවිච්චි කරනව…බයිබලයෙ සහ ත්‍රිපිටකයෙ…
    මොහොට්ටිවත්තේ ගුනානන්ද හාමුදුරුෙවා වාද වලදි ගහන හයේ පාරවල් දැක්කම පැහැදිලිවම හිතෙනව…දේව ආගම් කියන්නෙ කොයි තරන් මුලාවක්ද කියල…
    මම පුදුගලික ව හිතන දෙයක් තමයි සාමාන්‍ය බහුතර මනුශ්‍යයින්ට තේරෙන දිරවන ගතිය අතින් දේව ආගම් ඉදිරියෙන් ඉන්නවා…ඒ ත් බොහෝදේ පැහැදිලි කල හැකි සෛදාන්තික පැත්තෙන් බුද්ධාගම ඉස්සරහින් ඉන්නවා…

    බුදු දහමෙ සමහර තැන් ඇත්තෙන්ම ගැඹුරුයි අනික් ආගම් වලට වඩා….ඒ ගැඹුරු බවම සමහර තැන්වලදි මනුශ්‍යයා වැරදි අවබෝධයට පොඵඹනව…

  7. මලිය Says:

    නවම් සහෝදරයා කිවා වගේ මික්ශ් කල්චරේට ජය!

  8. sabith Says:

    ඔය ඔක්කොම අනවබෝදයන්ට හේතුව එකිනෙකාව හරි හැටි ආශ්‍රය කරන්න වාතාවරනයක් නොමැති කම හා වැඩිහිටියන් විසින් ඇතිකරලා තියන විචිකිච්චාව…කොලඹ සමහර ප්‍රදෙශවල,ජාත්්‍යන්තර පාසල්වල ඔය තත්වෙ දැන් නෑ…මං ගියේ කතොලික පාසලකට…එකේ බෞද්ධ උනුත් හිටියා කතොලික උනුත් හිටිය අපිත් ආතල් එකෙ එකට බොක්ක පලාගෙන හිටියා…හුගක් ඉස්කොලවල එහෙම මික්ස් වෙන්න තරම් ලමයි අතර අනුපාතයක් පවත්වාගන්නෙ නෑ ඇතුලත් කර ගනිද්දි!එතන නිවැරදි කරන්න පුලුවන් නම් ගොඩ!

    • ගෝල්ඩ් fish Says:

      උඹ මේකට කමෙන්ට් කරපු එක ගැනනම් හෙනම හැපී බං…

  9. අපරාජිතයා :::: Aparajithaya Says:

    අනිවා බං ගොඩක් ආගම් වලින් කියන්නේ එකම එක දෙයක් වෙනස ප්‍රකාශන හැකියාවන් විතරයි එක එක ශාස්තෘවරයාගේ….

  10. කල්හාර Says:

    එල එල කොල්ලා දැන් දාර්ශනිකයෙක් වෙලා ……….
    නියමයි මලයා නියමයි ………..

    • ගෝල්ඩ් fish Says:

      එක එක කාලෙට එක එක අදහස්නේ කල්හාර අයියේ….. ඒ වුනාට මේ අදහස නම් වෙනස් වෙන්නේ නෑ බං.

  11. roshibaba Says:

    niyamai malu aiye.
    aiyage adahas walata math ekagai.

    • ගෝල්ඩ් fish Says:

      හොඳ ළමයා….වැඩිහිටියො කියන දේ අහන එක හොඳයි තමයි… ඒත් ඔයත් මේකට එකඟ වෙන්න කලින් චුට්ටක් වටෙන් පිටෙන් විපරම් කරලා බලන්න මේ කියන එව්වා ඇත්තද කියලා.

  12. බුද්ධි Says:

    ආගමික සහජීවනය තියෙන්න ‍ඕනෙ අනිවාර්යයෙන්ම. ඒකෙ කතා දෙකක් නෑ! බුදු රජා‍නන් වහන්සෙ ජිවමාන කාලයේ ඉන්දියාවේ ආගම් එකසිය හතලිස් ගා‍නක් තිබුනාලු.

    ‍ඒකට හොදම උදාහර‍නය අපේ අම්මත්, නංගිත් කතෝලික. මම බෞද්ධ.

    හැබැයි හැම ආගමක්ම ගැඹුරින් හැදෑරුවොත් අවසාන අරමුණ වෙනස්.

    උදාහරණයක් හැටියට සිල්වත් අබෞද්ධ සැදැහැවතුකෙට යන්න පුලුවන් උපරිම තැන එක්කෝ දෙවියෙක්, නැත්තම් බ්‍රහ්මයෙක්. හැබැයි බෞද්ධයෙකුගේ අවසානය නිර්වාණය (ආනන්ද මෛත්‍රී ස්වාමින් වහස්සෙ – අපිට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ පොතෙන්)

    ඒ වගේ තව ගොඩක් දේවල් ගැන දැනගන්න කියවන්න

    http://www.budurashmiya.net/

    • ගෝල්ඩ් fish Says:

      බුද්ධි අයිය නියමයිනේ… ලින්ක් එකට ස්තූතියි.

  13. මිස්ටර් අන්දමන්ද Says:

    ඉන්දික 27 උඹ හරි මචං , පානදුරාවාදය ගැන මමත් අහල තියෙනව..මාලුව උඹ ජීවත් වෙන්න ඕනෙ විදිය දන්නවා ..”අයෙක් සල් දරින් ගිනි අවුලයි ,තවත් අයෙක් කෙසෙල් පරඬැලින් දර අවුලයි , ඒත් නැගෙන්නේ එකම දුමය” බුදු හාමුදුරුවො මෙහෙම කිව්වෙ කුළ භේදය ගැන. ආගම ගැනත් එහෙමයි ..හැබැයි ඒ සියල්ල මූලික කරුණු කීපයක් ගැන විතරයි ..නිකමට හිතල බලපන් මචං ආයෙමත් උපදින්නෙ නැහැයි කියල හිතෙන මිනිහෙක් ට වරදින්න පුලුවන් තැන්

    • ගෝල්ඩ් fish Says:

      ජීවත් වෙන්න ඕනේ විදිය ටිකින් ටික තාම ඉගෙන ගන්නවා….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: