වයර් මාරු වෙච්ච ආධ්‍යාත්මය

මේක නම් කතාවක්ම නෙවෙයි, ඒත් ඉතිං කතාවක් විදියට ලියන්න වෙනවා. බ්ලොග් කියවන අයට මතක ඇතිනේ පහුගිය දවස් ටිකේ අපේ බ්ලොග් ලියන යාලුවෝ කීපදෙනෙක් විසින් ආගම් ගැන පොඩි මතවාදයක් පටන් ගත්තා. මාත් ඉතිං අහෙං මෙහෙං කමෙන්ට් කලා. මොකද නොදන්න දෙයක් දැනගන්න එක ගැන සතුටු වෙන්නත් එපැයි.

ඉතිං මං හිතන්නේ දැන් ඒ මතවාද ඉවර ඇති. ඇත්තටම මට ලිනක් දෙක දාගන්න ඕනෙ වුනත් කරන්න විදියක් නෑ… ලැපී අසනීපෙන් නිසා. කාටහරි පුළුවන්නම් මට ඒ ලින්ක් දෙක එවන්න. දැන් ඉතිං මං මේ ලියන්නේ ඒ දෙන්නගේ පෝස්ට් වල සහ අනිත් අයගේ කමෙන්ට් වලට පොඩි පසුවදනක්…. දැන් ඉතිං කවුරු හරි කියයිද දන්නේ නෑ… “පෙර වදනක් නැතී… අප පෙම් පුරාවතට, තව කුමටද මට පසු වදනක්, ඔබගෙන්….” කියලා. ඒකට කමක් නෑ බලන්නකෝ මට හිතෙන දේ ආගම් ගැන.

කොහොමත් ඉතිං මං ආගම් අතර ඇති වෙන සම්මිශ්‍රණයකට මුල ඉඳන්ම කැමති බව කට්ටිය දන්නවනේ. අනික මං අද වෙනකං කවදාවත් වෙන ආගමක කෙනෙකුට හිත රිදෙන්න කතා කරලා නෑ. ඒ වගේම මට වෙනත් ආගම් වල යාළුවෝ කීපදෙනක් අදටත් ඉන්නවා. ඒක නිසා ඕන කෙහෙම්මලක් වෙච්ච දෙන් කියලා මට මේ ‍පෝස්ට් එක ලියන්න පුළුවන්. ඉස්ලාම් ආගමේ කෙනෙකුට අඩෝ තම්බියා කියලවත් දෙමළ කෙනෙකුට අඩෝ දෙමළා කියලවත් තරහෙන් කවදාවත් මං කතා කරලා නෑ. විහිලුවට නම් ඉතිං මෙතෙන කියන්න බැරි ඒවත් කියනවා. ඒ ඉතිං ෆිට් එකටනේ.

හරි මේකයි කතාව. අර උඩින් කියපු විහිළු ටික අතෑරලා දාලා මේ කතාව ගැන පොඩ්ඩක් සිරියස් හිතන්න. ඒ ගමන්ම කව්රුවත් මගෙන් ගේම ඉල්ලන්න එපා. මොකද මේ කරුණු ටික හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒක නිසා ඔයාලා අහන හැම ප්‍රශ්නෙකටම පිළිතුරු මගේ ගාව නැති වෙන්න පුළුවන්.

මං නම් හිතන්නේ ලෝකේ දැනට තියෙන ආගම් හැම එකක්ම තියෙන්නේ, ඒ ආගම අදහන අයව යහමගට ගන්න මිසක් වැරදි පැත්තට යොමු කරන්න නෙවේ. හැබැයි ඒ ආගම් වල පසු කාලීනව ඇතිවූ නිකායවල් තියෙනවා, ඒවායින් නම් එක එක විකාර වැඩ සිද්ධ වෙනවා.  ඔය විවිධ නිකාය වල ප්‍රශ්නෙ නම් හැම ආගමේම තියෙනවා මං හිතන්නේ. මං ඉතිං බෞද්ධනේ, ඒක නිසා බෞද්ධ ආගමේ තියෙන්නේ ප්‍රධාන නිකායවල් දෙකයි. එකක් තේරවාද අනික මහායාන. තේරවාද කියන්නේ සුපිරිසිදු බුදු දහම… මහායාන කියන්නේ අර කලින් කිව්වා වගේ පසු කාලීනව වෙනස් වෙලා විවිධ දුර්මත එකතු වෙච්ච නිකායක්. මං දන්න තරමින් මහායාන ආගමේ හාමුදුරුවරුන්ට කසාද බඳින්නත් පුළුවන්.

ඒ වගේම මං හිතන විදියට ගොඩක් ආගම් වල තියෙන්නේ පොඩි පොඩි වෙනස් කම් වලින් විතරක් යුක්ත වූ එකම ආකෘතියක හොඳ දේ උදෙසා හැඩගැස්වීමේ කලාවක්. උදාහරණ කීපයක් විදියට, මුලින්ම බලමු… ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථයේ තැනක සඳහන් වෙනවා “ඔබලා සියළු දෙනාම එකම ජීවයකින් මවා ඇත. එයට අයත් ජෝඩු වශයෙන් මවා එම දෙදෙනාගෙන් පුරුෂයන් හා ස්ත්‍රීන් බෝකර ලදී(4:1)” කියලා. ඉතිං මැවීම ගැන පැත්තකින් තියමු. ඒක ඒ අයගේ විශ්වාසය. ඒ පිළිඹඳ කිසිම දෙයක් දැනගන්නවා ඇරෙන්න ඒ දේවල් වලට විරුද්ධව කතා කරන්න අපට අයිතියක් තියෙනවා කියලා මං නමං හිතන්නේ නෑ…. මොකද බුදු දහමේ කොහෙවත්කියලා නෑනේ අනිත් ආගම් ගැන නින්දා කරන ඇසින් බලන්න කියලා. හ්ම්… දැන් ඉතිං අර කියමන ගැන බලමු. ඇත්තටම ඒ ඉස්ලාම් දහමේ එන කියමන ගොඩක් දුරට බුදුදහමේ කියවෙන සමානාත්මතාවය කියන සංකල්පයට ගොඩක් සමානයි. ඔබලා සියළු දෙනාම එකම ජීවයකින් මවා ඇති කියන්නේ අපි හැමදෙනාම සමානයි කියන එකනේ.

ඊට පස්සේ තව තැනක තියෙනවා “අනුන්ට අයත් වස්තුව ඒ අයටම බාර කරන්න(4:58) කියලා. ඔය කියන්නේ වෙන මොකවත් නෙමේනේ, අනුන්ගේ දේ සොරකම් කිරීමෙන් වලකින්න කියන පංචශිලයේ එන ශික්ෂා පදයම තමා.

මං ඒ පෙන්නුවේ ඉස්ලාම් දහමේ සහ බුදුදහමේ තියෙන එකම සමාන තැන් දෙක නෙමේ. තව ඕනේ තරම් තියෙනවා. ඒ වගේම කිතු දහමෙත් සමාන තැන් ඕනෙ තරම් තියෙනවා. හින්දු දර්ශනය ගැනනම් මං දන්නෙම නැති තරම්. ඒ නිසා ඉතිං ඒ ගැන නම් කතා කරන්න බැහැ.

දැන් බලන්න… ඇයි අපි මේ අපිව හදන්න තියෙන, අපිට පාර පෙන්වන ආගම් අතර කියැවෙන දේ අනුව එක එක ප්‍රශ්න ඇදගන්නේ. මං අදහන ආගමම මගේ යාළුවෝ ඔක්කොම අදහන්න ඕනේ කියලා නීතියක් කිසිම ආගමක් දාලා නැහැනේ. ඒ වගේම මට දැනෙන විදියට ආගම් අතර ගැටුමක් ඇතිවුනොත් ඒක තමා ඇතිවෙන දරුණුම යුද්ධය. මොකද ආගම් අතර ඇතිවෙන ගැටුමකදී මිනිසුන් හැසිරෙන්නේ තම තමන්ගේ උද්දච්ච කම් පිරිමහා ගන්න. එතකොට රටක් වෙනුවෙන් වත් යම් අයිතියක් වෙනුවෙන් වත් ඇති වෙන ගැටුමකට වඩා ඒක වෙනස් වෙයි. මොකද ආගම අතර ඝට්ටනයකදී ඇතිවෙන්නේ තම තමන්ගේ හැඟිම් වලට අනුව තනි තනිව කෙරෙන සටනක්. ඒ වගේ අවස්ථාවකදී මට හිතෙන විදියට මිනිස්සු කිසිම කෙනෙක් යුධ උපායවලින් සටන් කරන එකක් නැහැ. තනිකරම තමන්ගේ මහා ලොකු මතවාද වෙනුවෙන් ඉස් මුදුනින් පිළිගන්න ආගම් වෙනුවෙන් තමන්ගෙම වර්ගයාව මරාගෙන මරාගෙන යයි. කිසිම ආගමක ඒ වගේ දෙයක් කියලා නැති වුනත් මිනිස්සුන්ගේ පුහු සංකල්ප නිසා මිනිස්සු මරාගනියි. එතකොට ඒ වගේ යුද්ධයකදී ඉන්නේ රණවිරු‍වෝ නෙමේ… මොලේ කළඳක් නැති හිතන්න ශක්තියක් නැති වන සත්තු කොට්ටාසයක්. ඇත්තෙන්ම ඒක ජීව ආයුධ සටනකටත් වැඩිය, පරාමාණු ආයුධ සටනකටත් වැඩිය… විශාල විනාශයක් කරන යුද්ධයක්. මොකද මෙතෙන ක්‍රියාත්මක වෙන්නේ වයර් මාරු වෙච්ච ආධ්‍යාත්මයක් නිසා.

ඒ වගේම අන්තිමට කියන්නේ මට හිතෙන දේ… අපිට වෙන ආගමක කෙනෙක්ගෙන් එයා අදහන ආගම ගැන දැන කරුණු දැන ගැන දැනුමින් පෝසත් වෙනවා මිසක්, අපිට කිසිම අයිතියක් නෑ ඒ  වෙනත් ආගමක කෙනෙක්ගේ ගති පැවැතුම්, චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් හාර අවුස්සලා හෝ අපි අදහන ආගමක් ගැන බොරු වර්ණනා කරලා හෝ වෙනත් ලාභ සත්කාර ලබා දීල හෝ ඒ අදාල කෙනාව අපේ ආගමට නැඹුරු කරගන්න හෝ ඒ ආගමේ අඩුපාඩු කියලා පහර ගහන්න. ඒ කෙනා අපේ ආගම ගැන තමන් විසින්ම හදාරලා දැනගෙන අපේ ආගමකට එක්වෙනවා නම් ඒ දේ නවත්වන්නත් අපිට බැහැ. මොකද ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න. කොටින්ම කියනවා නම් කිසිම ආගමක් පහත් කරලා සලකන්න අපිට බැහැ. ඒ හැම ආගමකම අ‍පි අදහන ආගමත් එක්ක නොගැලපෙන තැන් ඕනෙ තරම් ඇති.

ඒත් ඒ වගේ දෙයකට මොළයෙන් වැඩුන මිනිස්සු වෙන අපි ගහ මරාගන්න ගන්න එක හරිද…?  අපි කාටවත් වෙන කිසිම ආගමකට ගරහන්න බැහැ. අනික අපිව හොඳ මගට ‍ගේන්න තියෙන ආගමක් නිසා අපි අපිම නරක් වෙන එකේ තේරුමක් තියෙනවාද…? එහෙම කලොත් අපි ඒ ආගම හරියට අදහනවද කියලත් ප්‍රශ්නයක් ඇතිවෙනවා නේද…? ටිකක් හිතන්න… අපි හැමෝම මිනිස්සු නම්, හැමෝම හොඳින් ජීවත් වෙන්න කැමතිනම්.., ඇයි අපි අනුන්ගේ කුණු ඇදගෙන අපේ රෙද්ද අස්සේ දාගෙන ගඳයි කියන්නේ…? මං හිතන හිටියට නම් අපි අනිත් ආගම් එක්ක පුළුවන් තරම් සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනේ. එතකෙට අපිට නොදැනීම අපේ ලෝකය ලස්සන වෙයි…

අන්තිමටම කියන්නේ කාට හරි මේ පෝස්ට් එක නිසා කේන්ති ගියට මං සමාව ඉල්ලන්නේ නෑ. මොකද මේ මං හිතන හිටි…. මං හිතන විදිය කවුරු කිව්වත් මං වෙනස් කරන්නේ නෑ. මොකද මම දැනුවත්ව මං මේ හිතන විදියෙන් කාටවත් කරදරයක් වෙන්නේ නෑ…

දැන් ඉතිං සමහරු කියයි උඹ උඹේ වැඩක් බලාගනින් අපි අපේ වැඩ කරගනින් කියලා. මං ඒ කියමනට හිස නමා ආචාර කරනවා… මොකද ඉස්ලාම් ආගමේ තියෙනවා “කවුරු සෘජු මාර්ගයේ යයිද ඔහු සෘජු මාරුගයේ යෑම ඔහුටම වේ… කවුරු හෝ වැරදි මාර්ගයේ යයිද ඒ වැරදි මග ඔහුටම වේ… තවද එක ප්‍රානයක් තවත් ප්‍රානයක බර නොඋසලයි…(17:15)” කියලයි…

මං අදහන බුදු දහමේ තියෙනවා… “තමන් කරන කුසල් හෝ අකුසල් තමාටම වේ … කෙනෙකුට තමන් කරන පවක් හෝ පිනක් වෙනත් කෙනෙකුට දිය නොහැකිය” කියලත්….

%d bloggers like this: