අරෑ මට ඇන්නනං එහෙම….

දැන් ඉතිං මේ ගෙවෙන්නේ පොසොන් මාසනේ… ඉතිං මමත් ඔය දැන් චූටි චූටි නෝටි වැඩ කලාට පොඩි කාලේ හෙන හුරතල් එකා. බොරු නෙමේ බොල ඇත්ත.  වැඩිය ඕනේ නෑ තුන වසරේ ඉඳන් දහම් පාසලුත් ගියා. ඉතිං හිතා ගන්න පුළුවන්නේ මං කොයි තරම් උපාසකයෙක්ද කියලා….

ඔය දහම් පාසල් ගමනත් මරු. මුලින්ම තුන වසරෙදි එක පන්සලකට ගිහින්, ඒකෙදි කොල්ලෙක්ගේ ඔලුව පලපු නිසා අම්මලා මාව වෙන පන්සලකට දැම්මා. එදා ඉඳන් හැම දාම උදේට මට ෂෝට අන්දලා, ඊට උඩින් සරම අන්දලා ඒ මදිවට බෙල්ට් එකකුත් දාලා තමා යවන්නේ. කියන්න බැහැනේ ඉතිං තියෙන දාංගලේට සරම ගැලවුනොත් එහෙම අහල පහල අක්කලා නංගිලාට නූල් බඳින්නනේ වෙන්නේ…. සරම පුරුදු නැතිවුනාට අවුලක් නෑ… තාත්තා හැමදාම උදේට ගිහිං ඇරලවනවා…. ඊට පස්සේ 12ට ඇවිත් මාව පික් කරනවා….

ඉතිං ඔය දෙවෙනියට ගිය දහම් පාසලේ තමා මං එකොලහ වසරට වෙනකම්ම ගියේ. හරි ආසයි ඉතිං ඒ දවස් වල පන්සල් යන්න. ඇයි කියල නම් අහන්ට එපා, මොකද උත්තර දෙන්න විදියක් නෑ… මේ මගේ ගෑණු ළමයි විරෝදී  සතියනේ… ඒක නිසා. ඉතිං ඔහොම හය වසරට විතර යද්දී… අපිවත් පන්සලේ භක්ති ගීත කණ්ඩායමට තේරුනා. තේරුනා නෙමේ බලෙන් ඇදලා අරං, සවසට සවසට පන්සලට ගෙන්න ගෙන බලෙන්ම භක්ති ගීත කියෙවුවා. ඒ ගමනත් ඉතිං එච්චර අවුලක් නෑ… හැම ඉරිදම සුදු ළමාසාරිය ඇඳගෙන එන අයව වෙන වෙන පාට ඇඳුම් වලින් බලන්න වෙන්නේ ඔය දවස් වලට විතරක් නිසා.

ඉතිං ස්කෝලේ ගිහිං ආපු ගමන් නෑවා…. කෑවා… ඇඳගත්තා… ගියා… ගිහිං ඉතිං නිකං ඉන්නවා කියලයැ… රිංගනවා අස්සකට ඉතිං කියෝනවා ගීත ටික. දවස් දෙක තුනක් කොලේ බලාගෙන කියද්දී අන්තිම දවස වෙද්දී ගීත 6න් තුනාමාරක් විතර පාඩම්. කොහොම කොහොම හරි පොසොන් පෝය දාට තමා භක්ති ගීත පටන් ගන්නේ… එතෙන ඉඳන් දවස් තුනක්…

ඉතිං ඔය භක්ති ගීත කියද්දී අත් දෙක වන වන කියන්න බෑ නොවෙ. ඒක නිසා අපි හදාගන්න ඕනෙ නෙළුම් මල් කූඩුවත් මිටකුත් එක්ක. අලවන්නේ රතු පාටින්. ඔක්කොමත් හරි කියමුකෝ… ඊළඟට තියෙන බැරෑරුම්ම පස්නේ තමා කූඩුව හදන්න බට හොයන එක. අපේ පැත්තේ වෙසක් එකට කූඩු හදන්න බට කැපුවම ආයේ බට වැවෙන්නෙ ඊළඟ වෙසක් එකට. ඒක නිසා අපි කරන්නේ කොහේ හරි ගමෙන් පිට තැනකින් බට හොයන එකතමා.

ඉතිං මේ සීන් එක වෙද්දී මං දහය වසරේ. ඒ දවස් වල ඉතිං බටගහක් අතට ගෙනත් දුන්නත්… ඕක උඹම තියාගන්… කියලා අපිම ගිහිල්ලා අනුන්ගේ වතු වලට පැනලා හොරෙන් තමා බටකපන කාලේ. හෙන චන්ඩිනේ ඒ දවස් වල. ඔන්න ඉතිං මාත් ගියා මගේ ස්කෝලේ යාළුවෙක් එක්ක බට හොයන්න… බට හොයන්න කිව්වට ගියේ තව තව එව්වා හිතේ තියාගෙන…

මගේ යාළුවගේ නම සුරාජ්. පොර පානදුර පැත්තේ. ඉතිං මූ පොඩි දවස් වල ඉඳන්ම මාව අවුස්සනවා උගේ ගම ගැන කිය කිය. පොර වැඩිහරියක්ම කියන්නේ ඌ වෙල දිගේ ගිහින් බට පඳුරු අස්සෙන් රිංගලා ඇඟ කහ කහ කිරල ගස් වලට නැගලා කිරල කඩන හැටි එහෙම තමා. ඒ කතාව කොයිතරම් ඇහුවත් මට එපාවෙන්නේ නෑ…. ඉතිං මටත් හෙන ආසාවක් තිවුනා මූ මේ කියන වෙලයි, බට පඳුරුයි බලාගන්න. ඒක නිසා ඉතිං මං සුරාජ්ට ඇත්තම කතාව කියලා කිව්වා මාව එක්කගෙන පලයන් ඔය මහ ලොකු වෙලයි ගස් වැලුයි බලන්න කියලා. මූත් ගත් කටටම හා කිව්වා…

දැන් ඉතිං වැඩේ හරි. ඔන්න දවසක් දා හවසක ස්කෝලේ ඇරිලා මෑන් එක්ක ගියා උගේ ගෙදරට. ගිහිල්ලා බත් එහෙම කාලා, මාව එක්ක ගෙන ගියා බට කපලා දෙන්න… ඉතිං වෙලා ගාවට ගිහිං මූ මට කියනවා…

උඹ ඔහොම හිටපං… මං ගිහිං බට අත්තක් කපාගෙන එන්නං…. කියලා….

ඇයි බොල ඌරෝ තෝ දන්නවැයි මට ඕනේ බට අත්තේ ප්‍රමාණය… කියලා මං කිව්වම… හා එහෙනං යමං… හැබැයි මග මී හරක් ඉන්නවා… බලාගෙන යමන් කිව්වා.

ඒ දවස් වලත් හෙන පන්ඩිත කමනේ… කියන දෙයක් අහන එකෙක්යෑ… ඉතිං ගියා… සුරාජ් යනවා මට ඉස්සරහින්… ආෆ්ටර් යූ කියලා මං උගේ පිටිපස්සෙන්.

කොහොමහරි අක්කර දෙකක් විතර වෙලක් මැද්දෙන් මාව එක්කගෙන ගියා මුගේ කතා වල කියැවෙන බට පඳුරු ගාවට. දුරට පේනනේ කෑලෑව් වගේ… තද කොල පාටයි….එව්වා තමා බට… මං ඒ වගේ බට ඊට පස්සේ දැක්කේ එකම එක පාරයි, ඒ පේරාදෙණිය මල් වත්තෙන්… මට මතක විදියට එව්වැයි නම යෝධ උණ… උණ බට කිව්වට ඒ බට කොල පාටයි.  ඒ උණ ගහකින් පොඩි නෙළුම් මල් කූඩු සීයක් විතර හදන්න පුළුවන්. තව ඉතුරුත් වෙනවා… මට ඉතිං ඒ තරම් ලොකු එව්වා ඕනේ නැහැනේ… ඒක නිසා පොඩි අඟල් තුනක් විතර වට ප්‍රමාණයක් තියෙන අඩි 4ක විතර කෑල්ලක් කපා ගත්තා. පස්සේ ඉතිං කිරල ගස් බලන්න යනවා නම් මඩ නාගෙන යන්න ඕනේ. ඒ ගමන හෙන ඇඩ්වෙන්චර් ගමනක්. සුරා කිව්ව විදියට උඩින් තනකොල වැවිච්ච මඩ වලවල් එහෙම තියෙනවලු. ඉතිං ඔව්වා අස්සේ රිංගන්න ගිහින් මඩ නාන්න උනාම කව්ද මගෙ ඇඳුම් හෝදන්නේ…? අම්මා ඇඳුම් ටික නම් හෝදයි ඒත් දෙයියනේ අහන්න වෙන බැනුම් ටික….!

ඒක නිසා ඒ අදහස අතෑරියා. පස්සේ ඉතිං ඔන්න ආපහු වෙල මැද්දෙන් එනවා. මෙන්න බොල එනකොට මී හරක් රංචුවක්. ඉස්සරහින්ම එන එකාගේ අං දෙක අංසක 120ක් විතර ඇඹරිලා. හෙන තේජස් පෙනුමයි. මං හිතන්නේ ඌ තමා නාකිම එකා. පස්සේ සුරාජ් කිව්වා…

අඩෝ අරූ එන පොට හොඳ නෑ වගේ දුවන්න බලාගෙන හිටපිය කියලා…

මාත් හා… කියලා බට කෑල්ලත් හයියෙන් අල්ලාගෙන ඉද්දීම….

අපේ අම්මා මගෙන් අහනවා…  තෝ කොහෙද රිංගුවේ… මෙහෙමද බස් එකේ ආවේ…? දැන් කව්ද මේ ඇඳුම් වල මඩ හෝදන්නේ….? වගේ පස්න ගොඩක්…  ඒ අස්සේ මී හරකා කුලප්පු වෙලාද කොහොද ඌ එනවා අපේ පැත්තට… නිකං කාලෙකින් දැක්ක සහෝදරයෝ බලන්න දුවගෙන එන පොඩි මල්ලියෙක් වගේ… ඔය වගේ වෙලාවට අපිත් අරියි…. කකුල් දෙකට වඳින්න නම් වෙලාවක් වුනේ නෑ…. දිවුවා දිවිල්ලක්… අපේ අම්මට ඕනේ දෙයක් කොරගන්න කියලා. … පස්සේ ඕං යන්තං වෙල් නියර දිගේ දුවලා දුවලා ඇවිත් කලිසම දිහා බලද්දී… ෂා… එක මඩ පැල්ලමක් වත් නෑ….

හරී ලස්සනයි… නිකං වටු කුරුල්ලෙක් වගේ…. කලි‍සමේ පිටිපස්සයි, ෂර්ට් එකේ පිටිපස්සයි දෙකම බතික් කරලා වගේ. මට ඉතිං ආස‍ා‍වේ බෑ… ගෙදර ගියාම අම්මගෙන හම්බුවෙන සංග්‍රහය ගැන මතක් වෙද්දී… ආව්… කන් දෙක දැම්මං කූං කූං ගානවා.

ඊට පස්සේ වෙලාවට සුරාජ් ලගේ ගෙදරින් රෙදි කෑල්ලක් පොඟවලා මඩ ටික ලාවට වගේ හෝදගෙන, බස් එකක නැගලා ගෙදර ගියා. ගිය ගමන් මං බලාපොරොත්තුවෙන් හිටි සංග්‍රහය. ඒක ගැනනම් කියන්න බෑ… නිකං මොකටද මංම මගේ මූනේ දැලි ගාගන්නේ… ඒක නිසා හිතාගන්නලා අපේ අම්මා මට බැන්නේ නෑ කියලා හරිය…. අනික ඔය මොනා වුනත් මං අර කතාවලින් අහලා තිවුන බට කැලෙයි… වෙලයි දැක්කනේ… ඒ මදෑ…. ඒත් සත්තලනේ අරෑ මට ඇන්නනං එහෙම…. අපේ අම්මට මේ වගේ වටිනා කියන උපාසක පුත්‍ර රත්නයක් ආයේ හොයන්න වෙයිනේ….

පස්සේ ඉතිං දවස් දෙකක් විතර මහන්සි වෙලා කූඩුව හදාගෙන භක්ති ගීත කිව්ව‍ා. එක දවසක් නම් මොකෑ… දවස් තුනක්…. අන්තිම දවසේ වෙනකොට පන්සලට, අනිත් දවස් දෙකට වැඩිය කට්ටිය එනවා. ඒ නිසා ඉතිං සංදර්ශනය දෙපාරක් තියනව‍ා. හරියට අර මගේ යශෝධරාවට වුනා වගේ. ඒ කියන්නේ අපි භක්ති ගීත හය දෙපාරක් කියනවා. ඒක නම් මහ එපා වෙන වැඩේ අප්පා… ඉතිං අන්න එහෙමයි අපි දහම් පාසල වෙනුවෙන් ඇප කැප වුනේ… දැන් ඉන්න එවුන් ආසාවට පන්සලක් පැත්තේ යනවද…? ඔය කිව්වට මාත් දැනට මාස දෙකකට විතර කලිං ගියාට පස්සේ අද හවසට තමා යන්න හිතාගෙන ඉන්නේ…. අද අන්තිම දවසනේ…. බලමුකෝ අපි කිව්ව විදියටම කට්ටිය කියයිද කියලා….

%d bloggers like this: