මහේෂ්ගේ බෙරව නයියා….

හප්පට සිරි අද පොසොන් පෝය නේද… මං මේ හෙන කුනුහබ්බ කතාවක් ලියන්න කියලා හිතුවා විතරයි.  දැන් ඉතිං මොනා කරන්නද… ඔන්න ඔහේ කමක් නෑ ලියලා දානවා. ඔය අවුරුදු දාසය දාහතේ ඇටිකිත්තෝ ඉන්නවනම් දුවපල්ලා අහකට. මාතෘකාව බලලා කට ඇ‍රගෙන එනව මෙතෙන පෝය දවසෙත් කුණුහබ්බ කියවන්න….

මේ කතාව මං ස්කෝලේ යන කාලේ වෙච්ච දෙයක්. ඒ දවස් වල ඉතිං නාහෙට අහන්නේ නැති කාලෙනේ. අපේ අම්මා නම් කිව්වේ කොල්ලෝ ‍උඹේ නහරයක් වැඩි ඇති කියලා. අනේ මන්දා අද වෙනකං නම් එහෙම ගතියක් දැනුනේ නෑ. ඒ දවස් වල ඉතිං දැනට වැඩිය යාළුවෝ ගොඩක් හිටියා. පන්තියේ යාලුවෝ 40යි… අල්ලපු පන්ති දෙකේ 80යි ඔක්කොම 120යි. ඉතිං ඔය කොච්චර යාළුවෝ හිටියත් මාත් එක්ක මොන්ටිසෝරියේ ඉඳන්ම ආපු එවුන් හිටියේ තුන් දෙනයි.

ඒ කොල්ලෝ දෙන්නයි  තව එක කෙල්ලෙකුයි. ඉතිං ඔය කොල්ලෝ දෙන්නගෙන් එකෙක් ගැන මං කියලා තියෙනවා කලිං. මෑන්ගේ නම මහේෂ්… එදා ඕකා මකරට බයේ දිව්වට අද ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්යය බලකායේ ඉන්නේ. පොර අදටත් හෙන යාළුවා. හැබැයි හම්බුවෙන්නේ අවුරුද්දකට පාරයි.

මං හිතන්නේ මේ කතාව වෙද්දී අපි අට වසරේ විතර ඇති. අපි කෝමත් අටට පටන් ගන්න ස්කෝලේට යන්නේ හතයි තිහට විතර. වෑන් එකේනේ යන්නේ ඒක නිසා කලිං යැවෙනවා. ගිහිල්ලා ඉතිං අපි පාඩම් කරනවා කියලා එකක්යැ…. කට්ටියම සෙට් වෙලා පඩිපෙලේ ඇන්ද උඩට වෙලා දානවා චැටක්. පන්ති අතුගාන එව්වා එහෙම ඔක්කොම කරන්න ගෑණු ළමයි හිටිය නිසා ඉතිං අපිට අවුලක් නෑ.

මහේෂ් තමා අපේ ස්කෝලෙට ලඟින්ම හිටියේ. ඒ කියන්නේ රතිඤ්ඤා දෙකයි හූවයි දුර. කොහොම හරි පොරගේ තාත්තට තිබුනා මැක්සා කුඹුරු පොඩ්ඩක්. අපිට නිවාඩු තියෙන දාට ඉතිං අපි ඕකෙමයි. එක එක පාට කොක්කු… සමනලයෝ…. (දැන් ඉතිං කින්ඩි දාන්න එපා කුඹුරු වල සමනලයෝ කොහොන්ද කියලා… මුගේ කුඹුරේ සමනලයෝ හිටියා) මුගටි… තලගොයි.. දියනයි… දියබරි… අරුං මුං ඔක්කොම ඉන්නවා. ඒ කුඹුර හරියට නිකං පොඩි සත්තු වත්තක් වගෙයි. මහේෂුත් වෙලට ගියාම අනිවා ඒක සත්තු වත්තක්. මොකද ඕකට අඩුවෙලා හිටියේ වලස් තඩියෙක් විතරයි.

දැන් ඉතිං අර කලින් කිව්වා මහේෂ් ස්කෝලෙට ලඟින්ම හිටියට මූ තමා පරක්කු වෙලාම ස්කෝලෙට එන්නේ… ඒ එන්නෙත් නිදිමතේ‍. ඉතිං ඇවිල්ලා ටිකක් වෙලා යද්දී තමා පොර පියවි ලෝකෙට එන්නේ… ඉතිං අපිත් පඩි පෙලේ බැම්මට වෙලා කියෝ කියෝ බලාගෙන ඉන්නේ මූ එනකං. මොකද පොර එන්නේ නිදි මතේනේ… ඉතිං ඒක දකිද්දී අපිට හරි ආතල්… හැබැයි මේ කියන දවසේ මූ එනවා පස්ස පැත්තට පෙට්‍රල් ගහපු මොකෙද්ද එකෙක් වගේ. වෙනදට තාලෙට පැද්දි පැද්දී එන පොර අද එනවා මැර ඩයල් එකක් වගේ. ඒ මදිවට අපිව දැකපු ගමන් උගේ කටේ දෙකෙලවර කනට චුට්ටක් පහලට වෙන්න තමා නැවතිලා තියෙන්නේ… ඇවරිය දිලිසෙනවා.

ඉතිං අපිටත් හෙන සාංකාව මොකද මූට වුනේ කියලා. වෙනදට නැලවෙන පොර අද වෙනස්. ඉතිං මූ ආපු ගමන් පොත් බෑග් එක බිමින් තිබ්බා….

අඩෝ… මචං…. (කාට කිව්වද දන්නේ නෑ… හතර වටේ බල බල කිව්වේ)

අපේ ව්..ව්…ව්… වෙලේ හිටියා න්…න්….න්….නයෙක්….

හික්… ඒ ටික මූ කිව්ව විදියට අපිට ලාවට හිනා ගියා. මොකද මේ යකාට කිසිම ගොතයක් මේ වෙනකං තිබ්බේ නෑ… හැබැයි මූට සතුට වැඩි කමට ගොත ගැහැනෙවා. අනික නයෙක් හිටියම මෙච්චර සතුටු ඇයි කියලා හිතාගන්න බෑ,… සාමාන්‍යයෙන් ඉතිං නයෙක් දැක්කම කට්ටිය බය වෙලානේ ඉන්නේ. ඒ වුනාට මේකාට හෙන ෆන්….

පස්සේ කවුරු හරි ඇහුවා….

ඉති බං …. උඹලව කෑවද කියලා…..

මහේෂ් කියනවා…‍

පිස්සුද යකෝ … ඌ මාව අරගෙන හිමාලෙට යන්න ආපු එකෙක්….

මොකක්….

ඔව් බං… මාව අරං හිමාලෙට යන් ආපු නයෙක්…

ඒ දවස් වල ඉතිං මොනා හරි කිව්වම කට්ටිය ටිකක් විතර සිරා ගන්නවා. අනික මේ වගේ සුපර් හීරෝ ස්ටෝරියක් ඉතිං කවද අහන්නද… ඒක නිසා හරස් ප්‍රශ්න වලට උත්තර දිදී මෙන්න පොර කතාව කියාගෙන යනවා….

නයා කෝමද බං උඹව අරං යන්නේ…? අනික නයාට කොහෙන්ද බොල පාස්පොට්(කව්රු හරි එකෙක්)

නෑ ඕයි… ඌ ප්ලේන් එකේ නෙමේ යන්නේ… ඌ යන්නේ සර්දියෙන්….

මොකෙන්…?

සර්දියෙන්…

සර්දියෙන් කියන්නේ මොකෙන්ද බං….?

ඇයි බං අර මුගලන් හාමුදුරුවෝ උඩින් යන්නේ බං…

ඕයි ඒ සර්දිය නෙමේ බොල… ඉර්දිය…. (ඉර්දිය කියලා ලියන්නේ මෙහෙමනේ “සෘද්ධිය”…. අ‍පි ඉතිං ඒ දවස් වල අටේ නිසා ඔය වචනෙ පොඩ්ඩක් ටැපලිලා…)

පස්සේ ඉතිං විස්තර අහන කොට මූ කියනවා…

අඩෝ අපේ සීයා බං කිව්වේ…. මේ නයා නිකං නයෙක් නෙවේ බෙරව නයෙක් කියලා. මූ ලොකු උනාම පිහාටු ඇවිල්ලා පියාඹලා හිමාල කන්දට යනවා කිව්වා… ඒ යනගමන් පිං වැඩ කලොත් මාවත් අරං යනවා කිව්වා…. ඉතිං බං ඒක නිසා මං අද ඉඳන් උදේ පාන්දරම නැගිටිනවා…. කියලා හේන හෑල්ලක් කිව්වා…

කොහොමහරි වෙලා තියෙන්නේ මුගේ සීයා මූට නයෙක් යනලා. නිකං නං කමක් නෑ කියමුකෝ හෙන කොන්දේසි ගොඩකුත් එක්ක. ඒ උදේම නැගිටීම, දවල් ආපු ගමන් නෑම…. හවසට බුදු පහන තිබීම… රෑට කාලා දත් මැදීම… වගේ කොන්දේසි ගොඩයි… ඒ ඔක්කොම නයි ටික මුගේ සීයා‍…. මූට ඇරලා තියෙන්නේ මූ හොඳ වැඩ කලොත් හිමාලෙට යන්න පුළුවන් කියන නයත් එක්කම. අනේ ඉතිං අ‍පේ එකා හිමාලෙට යන්න ආසාවෙන් සීයා ඇරපු නයාව කකුලේ පටලෝ ගෙන වැඩ කරනවා හෝයියට.

දැන් ඉතිං ටික දවසක් යද්දී අපේ රොයිටර් එවුන්ට පිං සිද්ධ වෙන්න මුළු ස්කෝලෙම දැනගත්තා මුගේ වෙලේ තඩි බෙරවා නයෙක් ඉන්නවා කියලා. එත‍කොට ඕනේ ගුරුවරයෙක් දන්නවා බෙරවා නයා කිව්ව ගමන් පොර කව්ද කියලා… ඒ අස්සේ මූට පෙම් හිතක් පහල වුනා. ඊට පස්සේ මට මතක විදියට හිමාලෙ ගමන කැන්සල් කලා. ඒත් ඊට පස්සේ පොර හෙන වේලාසනින් ස්කෝලේ ආවා…. ඉතිං ඒ මොකටද කියලනම් මං දන්නේ නෑ ඕං. ඒත් අපි එනකොට මහේෂ් ඉන්නවා පැනි පෙරාගෙන… කම්මුල් දෙක පුම්බ ගෙන… සේප් එකේ මනෝ පාරකුත් දාගෙන.

ඉතිං ඔහොම ගිහිං ගිහිං අපිටත් ආසා හිතුනා මුගේ බෙරවා නයා බලන්න යන්න. කියන්න බැහැනේ මූට එක පාරට හරිගියේ මේ නයියා හින්දද කියලා. එක් නිසා ඉතිං අපි පස්සේ දවසක නයියා බලන්න යන්න අහද්දී මූ කියනවා…

ඌ ගිහිං බං… අපේ සීයට කියලා ගිහිං තියෙන්නේ… මං කියනදේ අහන්නේ නැති නිසා යනවා කියලා….

මල මගුලයි… මුගේ සීයා මූට තව නයෙක් ඇරලා… ඌත් ඇදිලා ගිහිං තියෙන්නේ කකුල වටේ එතිලා. ඒ මදිවට සීයාට, මුනුපුරා ගැන සිංහලෙන්ම කියලා ගිහිං තියෙන්නේ කියන් ඕනේ ටික. දැන් පොර හෙන දුකින් ඉන්නේ… ඒත් ඉතිං මොනා කරන්නද… ආයෙ ඒවි කියලයෑ… අන්තිමේ පොර තීරණය කරා ගිය හකුර නාඩන්නේ ලැබෙන්න ඉන්න හකුරට කැපවන්නේ කියලා. ටික දවසක් යද්ද අපිටත් ‍තේරුනා මුගේ කල්කිරියාව දැන් හොඳටම නාකයි කියලා… ඉතිං එහෙම එකේ නම සර්දි බල තියෙන නයියට නොතේරෙයිද ඔව්වා. අනික ඌට අනාගතෙත් පේන්න ඇතිනේ‍.

ඕං මහේෂගේ බෙරවා නයියගේ කතාව ඉවරයි. දැන් ඉතිං බයින්න එපා මේ මොන කුනුහබ්බයක්ද කියලා. මං දන්නවා කොහොමත් කුනුහබ්බයක් කියපු ගමන් මේස පුටු පෙරලන් ආපු බව. ඒත් ඉතිං අද වගේ උතුම් දිනයක කුනුහබ්බ අහන්න ලැජ්ජ නැද්ද බොලව්… අපි සැදැහැවත් බෞද්ධයෝ නේද… කතාව කියෝලා ඉවරනං අන්න රේඩියෝ එකේ බන යනවා ඒ ටික අහන්න…

%d bloggers like this: