හැම දෙයක්ම ඉගෙන ගන්න…

“හැම දෙයක්ම ඉගෙන ගන්න…” මේ පඬි වදන නම් මහා ලොකු පණ්ඩිතයෙක් කිව්ව එකක් නෙමේ. මගේ පණ්ඩිත පියාණන් තමයි හැම තිස්සෙම මේක කියන්නේ….

ඉතිං ටිකක් කල්පනා කරලා බැළුවම මේ කියන කතාව ඇත්ත. මොකද අපේ තාත්තා පොඩි කාලේ ඉඳන්ම අපි මොකක් හරි අන්ඩපාල වැඩක් කලාම, ඒ කියන්නේ අරං දීපු සෙල්ලං බඩුවක් කෑලි කරාම, රේඩියෝ එකක් ගැලෙව්වම එහෙම කවදාවත් අපිට බැන්නේ නෑ. අපි කිව්වේ මටයි මල්ලිටයි. හැමදාමත් අපි ඔය වගේ දෙයක් මකබාස් වැඩක් පටන් ගත්තම අම්ම කොච්චර කෑගැහුවත් තාත්ත අපිව ධෛර්‍යමත් කලා අපි කරගෙන යන වැ‍ඩේ දිගටම කරගෙන යන්න. ඒ එක්කම අම්ම තව තව ගෝරි දාන්න ආවොත් අම්මටත් කරුණු පැහැදිලි කරලා දීලා අම්මගේ සහයෝගයත් අපිට ලබාදුන්නා.

ඇත්තටම ඒ කාලේ හරි සුන්දරයි. අපි මොකක් හරි වැරද්දක් කරලා අම්මගෙන් බැනුම් අහන හැම වෙලාවකම තාත්තා අපිට කිව්වේ… ඕනේ දෙයක් කරපල්ලා, හැබැයි පරිස්සමින්… ඒ එක්කම ඒ කරපු දෙයින් යමක් ඉගෙන ගනිල්ලා කියලයි. අනේ මන්දා මට නම් ඒ දේ නිකංම කෙරෙනවා. සමහර විට අපි තාත්තාගෙ කටේ බලේට එහෙම හැඩ ගැහුන නිසා වෙන්න ඇති.

ඇත්තටම එදා තාත්ත කිව්ව දේ අපිට තේරුනේ නෑ. ඒත් වයසින් මෝරන්න මෝරන්න කිව්ව දේ ටික ටික පැහැදිලි වුනා. තාත්තා අපිට කිව්වේ හැම දෙයක්ම ‍ඉගෙන ගන්න කියලා. අපිට හොඳ දේම ඉගෙන ගන්න කියලා විතරක් සීමා පැනෙවුවේ නෑ… ඇත්තටම තාත්තා දන්නවා හැම හොඳ නරක දෙයක්ම අපිට කවද හරි ඕනෙ වෙන බව.

ඒ හැම දෙයක්ම කියලා එදා අදහස් කලේ අපිට පුළුවන් තරම් අත්දැකීම් වලින් සන්නද්ධ වෙන්න කියන එකයි. මං මුලින්ම බියර් එකක් බීපු දවසේ තාත්තට ඒක කිව්වට මට බැන්නේ නෑ… කිව්වේ… දැන් බියර් එක මොන වගේද කියලා දැනගත්තද කියලා…? විතරයි.

ඒක නිසා මට, මං හිතන විදියට ගොඩක් දේවල් ගැන විවෘතව බලන්න පුළුවන් වුනා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සමහර වෙලාවට වෙන කාටවත් නොලැබෙන අත්දැකීම් පවා මට ලැබුනා. ඒ හැම දෙයක්ම ලැබුනේ මගේ ජීවිතයට. කවුරු කිව්වත් මොකක් හරි දෙයක් කරන්න එපා කියලා… මට ඒක කරනකං නින්දක් නැති වුනා. ඒ දේ මුලින්ම නම් කරන්නේ මං ඒ වෙලාවට ලඟ ඉන්න කෙනා එක්ක රංඩු වෙලා හරි මට අවශ්‍ය අත්දැකීම් වින්දා.

2002 විතර නෙස්ටොමෝල්ට් අනුග්‍රහයෙන් තිබුනා මැරතන් එකක්. පානදුරේ ඉඳන් බණ්ඩාරගමට. මට ආසා හිතුනා ඒකට සහභාගී වෙන්න. අම්මා මට බැන්නත් එක්ක හාල් මැස්සා වගේ ඉඳගෙන මොන මැරතන්ද කියලා…. මං කොහොමත් ඒ දවස් වල ස්කෝලේ මීටර් 100, 200 කරනවා. දුර දුවලා තිබුනෙම නෑ. ඒත් තාත්තා… මට කැන්වස් සපත්තු දෙකකුත් ගෙනත් දීලා… මාව සූදානම් කරා මැරතන් එකට. තරගෙට සතියක් තියලා හැමදාම උදේට මාව ‍දිවෙව්වා. එයා බයිසිකලෙන් පස්සෙන් එනවා. මං දුවනවා. හෙන හීතලේ… සමහර දාට වැස්සත් එක්ක. ඒ දවස් පහ හය නම් මට අමතක වෙන්නේ නෑ…

ඊට පස්සේ මැරතන් දවස ආවා. මුළු දුර කිලෝමීටර් 15ක්. ඇත්තටම මට සැකයි…. මට ඒ තරම් දුරක් දුවන්න පුළුවන්ද කියලා. කොහොමහරි තාත්ත මගෙත් එක්ක හිටිය නිසා මං දිව්වා. අපි ඔක්කොමලා 1000ක් විතර දුවන්න ඇති. මං තරඟය ඉවර කලේ 998 විතර වගේ. අන්තිමේ මට හම්බුනේ නෙස්ටොමෝල්ට් කප් එකක් විතරයි.

ඒත් මට ඒ හම්බුන අත්දැකීම ගැන නම් කියන්න චවන නෑ. දුර දුවද්දී වතුර පාරක් ඇඟට වැදුනම තියෙන ෆිට් එක. ඒ වගේම කන්දක් නැගලා ඉවර වුනාම තියෙන සන්තෝසේ… තව කාව හරි පාස් කරගෙන ඉස්සරහට ඇදෙන කොට හිතට දැනෙන ආඩම්බරේ වගේ ගොඩක් දේවල් මං ඒ තරඟයෙන් ඉගෙන ගත්තා.  ඇත්තටම තාත්ත අපිව ධෛරමත් කරපු නිසා තමා ඒ. තාමත් එහෙම්මයි… මොකක් හරි අළුත් වැඩක් කරන්න ගත්තම එයාගේ අත්දැකීම් වලින් අපිට පුළු පූළුවන් විදියට සපෝට් එක දෙනවා.

ඊට පස්සේ  තව තව දේවල් කරන්න මට ආසා හිතුනා. ඇත්තටම කටක් ඇරලා කියන්න බැරි දේවල් පවා මං කරා. ඒත් ඒ හැම දේකින්ම අත්දැකීමක් ලබාගන්න හිතෙන් මිසක්, ඇබ්බැහි වෙන අරමුනකින් නෙවේ. සමහරු කියනවා එක සිකරට් එකක් බිව්වම හැමදාම ‍බොන්න හිතෙනවා කියලා. මං නම් කියන්නේ ඒක බොරුවක්. මං මුලින්ම සිකරට් එකක් බීලා ඊට පස්සේ ආයෙ එකක් බිව්වේ තවත් අවුරුදු 4කින් විතර. ඇත්තෙන්ම මං මුලින්ම සිකරට් බීපු දවසේ මට ඇතිවුන කැස්ස, දුම් ගඳ වගේ දේවල් මට තවම මතකයි. ඒවා මගේ අත්දැකීම් ලැයිස්තුවට ඇතුල් වෙලා තියෙන්නේ.

ඉතිං මම අනිත් අයටත් කියන්නේ තමන්ගේ සීමාවක ඉඳලා පුලුවන් තරම් අත්දැකීම් එකතු කරන්න. ඒවා කවදාවත් අප‍තේ යන්නේ නෑ… හැම වෙලාවෙම අළුත් දෙයක් කරන්න ට්‍රයි කරන්න..මගේ පණ්ඩිත පියතුමන් කිවුවා වගේ හැම දෙයක්ම ඉගෙන ගන්න. ඇත්තටම ඒ ඉගෙන ගන්න දේවල් කවදාවත් අපතේ යන්නේ නෑ… කොයි වෙලාවක හරි අපිට වැදගත් වෙනවා.

ඒ වගේම සමාජය වැරදියි කියලා තීරණය කරලා තියෙන දේවල් වල නම් අත්දැකීම් ගන්න යන එක තීරණය කරන්න ඕනේ අදාල කෙනාමයි. මොකද සමාජය විසින් ඒවා නරකයි කියන්නේ අපිට කලින් කවුරු හරි ඒ අත්දැකීම් විඳලා තියෙන නිසානේ. ඒකෙන් කාට හරි හානියක් වෙන නිසානේ. ඉතිං පුළුවන් තරං ඒ වගේ දේවලින් නම් ඈත් වෙන්න. නරක දේවල් ඇරෙන්න කොයි තරම් හොඳ අත්දැකීම් ලබාගන්න පුළුවන්ද මේ ලෝකේ… ඒවට යොමුවෙන්න. නිවාඩුවක් තියෙන හැම වෙලාවකම අළුත් දෙයක් කරන්න. ඒ හැම දේකින්ම පොඩි දෙයක් හරි ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට ඒ වගේ අවස්ථාවක් ආවම අපි දන්නවා කරන්න ඕනේ දේ… එහෙම නේද…?

ඒ වගේම… ඔය පුතාලා දුවලා ඉන්න තාත්තලා අම්මලා ඉන්නවනම්, ඒ අයත් තමන්ගේ පොඩි එවුන්ට අත්දැකීම් විඳින්න දෙන්න. ඒ ගමන්ම එයාලා පිටිපස්සෙන් ඉන්න, කරන්නේ මොනාද කියලත් බලන්න එපැයි. මොකද අපේ කාලෙට වැඩිය දැන් ඉන්න පොඩි එව්වෝ හෙන ඇඩ්වාන්ස්. කතාවට ගියොත් එහෙම අපි දන්න මගුලක් නැති ගානට තමා ‍පුංචි එවුන් හරි අපුරුවට වචන එකතු කරන්නේ…

%d bloggers like this: