ගෑණු ළමයින්ට හායි කියන එක එක ක්‍රම…

මේ ක්‍රම ටික කියල දුන්නයි කියල ගෑණු ළමයි මාව අනුභව කරනවා එහෙම නෙවෙයි. අනික ඉතිං දැන් මෙතෙන බබා වෙන්න හැදුවට මේ හැම ක්‍රමේකටම ගෑණු අය අහුවෙලා තියෙනවනේ. වැදගත්ම කාරනේ තමා, අනිත් එවුන් මගේ මූනේ දැලි ගාන්න කලිං කියන්නේ… මාත් මේ ක්‍රම කීපයක් අනුගමනය කරලා තියෙනවා.

මං පටන් ගන්නං මට මතක පරණම ක්‍රමේ ඉඳන්. ඒ තමා ස්කෝලේ යද්දී. ඉතිං ඒ දවස් වල කෙල්ලෙකුට හිත ගියා කියන්නේ ‍ගොඩක් වෙලාවට යුද්ධයකට මුලපිරීමක්. ඒත් ඉතිං එහෙම කියලා බැහැනේ… ඒක නිසා ඔන්න කෙල්ල තමන්ගෙම ස්කෝලේ නම් ඒ කෙල්ලගේ පන්තියේ, කෙල්ලගෙත් ෆිට් එකක් වෙන යාළුවෙක් අල්ල ගන්නවා. ඊට පස්සේ ඉතිං එයා මාර්ගෙන් අපේ පණිවුඩේ කියලා ප්‍රතිචාරය ලබා ගන්නවා. ප්‍රතිචාරය පොසිටිවු නම් එදා ඉඳන් කෙල්ලගේ යාළුවා එක්ක තියෙන ආස්සරේ අඩු කරනවා. නැත්තං ඉතිං කෙල්ල පවුනේ. පස්සේ ඕං දවසක් දාගෙන කෙල්ලට හායි කියනවා….

ඒ වගේම ප්‍රතිචාරය නෙගටිව් නම් තව දුරටත් කෙල්ලගේ යාළුව එක්කම ප්‍රශ්නේ විසඳන්න ට්‍රයි කරනවා. සමහර විට ඒ වෙද්දී වෙන පස්නයක මුල පටන් අරගෙන වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙල්ලට බායි කියලා, යාළුවට හායි කියනවා. ඒ ගැන විස්තර සඳහා අකේලේ හම් – දිනේෂ්ට හරි බ්ලොග් ගඩොල් පූසන්ට හරි කතා කරානම් හරි.

අනිත් ක්‍රමේ තමා ලංකාදීප ලහිපිට. කිසි කතාවක් ඕනේ නෑ නවම් අයියා දන්නවා දැන්වීම දාන තැන ඉඳන් කෙල්ලන්ගේ ගෙවල් ගානේ ගිහිං දවල් වේල පිරිමහ ගන්න හැටි වෙනකං විස්තරේ. මේ ක්‍රමේදී ඉතිං වයස, උස, වතුපිටි ඉඩ කඩම් අරවා මෙව්වා ඔක්කොම බලලා සැටිස් නම් අම්මලා තාත්ලා එක්කම ගිහිං කෙල්ලට හායි කියනවා. හැබැයි කෙල්ලට හායි කියලා කෙල්ලගේ අක්කව බඳින්න වෙද්දී නම්, අපරාදේ හායි කිව්වේ කියලා හිතෙන වෙලාවලුත් තියෙනවලු.

ඊට පස්සේ නූතන ක්‍රම කිහිපයක් බලමු. ඒ කියන්නේ අන්තර්ජංජාලේ ආශ්‍රිත ක්‍රම. ආවු… කට්ටියකට හිනාත් යනවා… ඒ ඉතිං ෆේස් බුක් හින්දනේ… ඒ වුනාට මාක් අයියගේ තාත්තගේ ඇ*ත් නැති කාලේ තිබ්බ ක්‍රම තියෙනවා ඊට කලින්.

එකක් තමා සිංහලයා චැට් රූම් එක. ඒකෙදි ඉතිං උදේම ලොග් වෙලා බලාගෙන ඉන්නවා කෙල්ලෙක්ගේ නමක් තියෙන මොකෙක් හරි එනකං. ආපු ගමන් කට්ටිය වැඩ පැත්තක තියලා ඔන්න යවනවා පර්සනල් මැසේජ්… Hai sweety, good morning…. කියලා එකෙක් කියද්දී තව එකෙක්… nice name dear… කියලත් යවනවා. කෙල්ලගේ නම ඤානවතී, සිරියාවතී වගේ වුනත් අපේ වුන්ට නයිස් නේම්. (හැබැයි ඒ කතාවත් ඇත්ත තමා… ඒ නම් දැං ඉතිං කොෆිලා, උචාලා, සුමාචලී, ඇඩ්‍රියානා,  වගේ නම් වලට වැඩිය නම් නයිස් තමා. දැං තියෙන එව්වා කියන්න දෙතුන් පාරක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ)

අනිත් එක තමා තමාට එන ඊමේල් වල ෆෝවර්ඩ් ලිස්ට් එකේ කෙල්ලන්ගේ ඇඩ්රස් වලට ඊමේල් යවන එක. ආයෙ නෑ කෙලින්ම යවන්නේ Hai dear කියලා… ඊට පස්සේ ඉතිං ගෑණු ළමයි බලන්නෝන…. පැණි මුට්ටිය හලාගෙන බලාගෙන ඉන්නේ ඇඹලයා එනකං….

අන්න ඊට පස්සේ එනවා අපි කවුරුත් දන්න ක්‍රමේ. ඒ තමා ෆේස් බුක් චැට් එක. මේ ක්‍රමේ ගැනනම් කියන්නත් ලැජ්ජයි මොකද මාත් දැං ටික දවසකට කලිං බලාගෙන හිටියනේ කෙල්ලෙක් මට හායි කියනකං… කෝ ඉතිං තාමත් නෑ… ඇත්තටම මේ ක්‍රමය තමා දැනට තියෙන හෙනම විස්වාසවන්ත ක්‍රමය. සැක කරන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. මොකද ඉතිං ගොඩක් විස්තර ප්‍රොෆයිල් එකේ තියෙවනේ. මුලින්ම හායි කියනවා ඊට පස්සේ ස්කයිප් අරං හෙලෝ කියනවා… අන්තිමටම මොබයිල් නම්බර් එක අරගෙන මැසේජ් කරනවා, කෝල් කරනවා… ඊට පස්සේ නම් මං දන්නෙ නෑ.

ඊට පස්සේ තියෙන්නේ මොබයිල් සීන් එකක්. ඒ තමා නොදන්න නම්බ්ර්ස් වලට රින්ග් කට් කිරීම. ඇත්තෙන්ම මේ ක්‍රමේට නම් අපේ උං ගොඩ දෙනෙක් ගොඩ ගියා. සමහරු බයිට් කරන්න කියලා දෙන නම්බර් වලට හායි කියලා ඔන්න දැන් බඳින්නත් ඉන්නවා. අන්තිමේ බලාගෙන යද්දී කොල්ලා බයිට් වෙලා. කොහොමහරි මුලින්ම කෝල් කරලා ඊට පස්සේ රෑ පුරා මැසේජ් කරනවා. දවල්ට නිදා ගන්නවා. ගොඩක් වෙලාවට මේ ක්‍රමේ උපයෝගී කරගන්නේ රාත්‍රි මුර සේවයේ යෙදෙන අය.

තව එක සුපිරි ක්‍රමයක් තියෙනවා. හැබැයි මේක නම් හෙන කට්ටක් කාගෙන කරන්න ඕනේ. මේ ක්‍රමේට ගොඩ ගිය එකෙකුත් ඉන්නවා. ක්‍රමේ තමා මුලින්ම කෙල්ලගේ මව් තුමිට හායි කියන එක. ඒක ඉතිං නිකං කරන්න බෑ… අනිත් හැම ක්‍රමයකටම වඩා අධික ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන තමා මේ ක්‍රමේට යන්න ඕනේ. ඊට පස්සේ ටික දවසකින් කෙලි පොඩ්ඩගේ මවුතුමී සමහරවිට කොල්ලට හායි කියයි. නැත්තං ඉතිං කෙලින්ම කෙල්ලම ඇවිත් හායි කියයි. මේ ක්‍රමෙන් ගොඩ ගියා එකා ගැන කියන්න බැහැ. මොකද උගේ ශරීර සෞඛ්‍යයට මේ ටිකේ අහිතකර ස්වභාවයක් තමා පෙන්නුම් කරන්නේ…. ඒක නිසා.

ඉතිං ඔය මං ලිව්වේ කොල්ලෝ කෙල්ලන්ට ආයි කියන විදියනේ. මං නොදන්න තව ක්‍රම ‍ගොඩක් ඇති. දන්න අය ඉන්නවනම් කියන්න. ඉතිං ඔය කාට හරි අක්ක කෙනෙකුට හරි නංගියෙකුට හරි නරකද ඔයාලා කොල්ලන්ට හායි කියන විදිය ලිව්වනම්. මොකද මං දන්න දෙතුන් දෙනෙක්ම ඉන්නවා බ්ලොග් ලියන එහෙම අය… ඒ ගොල්ලන්ගේ නම් සම්පූර්නයෙන් කියන්න බෑ, මුල් අකුරු විතරක් කියන්නම් පුළුවන්නම් හොයාගන්න…. එක්කෙනෙක්ගේ නම පටන් ගන්නේ පි යන්නෙන්.... අකුරු 4යි. තව කෙනෙක් ජ යන්නෙන්.... එයාට අකුරු දෙකයි. ඊට පස්සේ ම යන්නෙන්.... එයාට අකුරු තුනේ චවන දෙකයි. ආයෙම තව කෙනෙක් ඉන්නවා හ යන්නෙන්… එයාට අකුරු දෙකයි..

දැන් ඉතිං ගෑණු ළමයි හෙන උඩින් ඉන්නේ.එයාලා හිතාගෙන ඉන්නේ එයාලගෙන් තොරව අපිට ලියන්න දෙයක් නෑ කියලා. හික්… ඒ ඉතිං හිතාගෙන ඉන්න හැටි තමා. සත්තයි මං ලබන සතියෙ ගෑණු ළමයි ගැන එක වචනයක් ලියන්නේ නෑ… මුංට කියලා දෙන්න ඕනේ අපිට තව වැඩ තියෙනවා කියලා. නැත්තං කෙල්ලෝ බලයි මුං මහ ලොකුවට කියෙව්වට කෙල්ලෙක්ගෙන් තොර පෝස්ට් එකක් වත් දාගන්න බැරුව බොරුවට කියවනවා කියලා. ලබන සතියේ මගේ රජ කතාවේ කෑල්ලක් ලියන්න හිටියේ ඒක ලියන්නෙත් නෑ… බලන්නකෝ බොරුනම්…. ඒත් ඉතිං ඔය සිංදුවක් ගැන හෙම ලියද්දී ලියවෙන්න ඉඩ තියේලු ඈ…

%d bloggers like this: