බබා වේල්ල බලන්න ගිය හැටි….

අද නම් ඕං හුරතල් කතාවක්. අර සමහර තැන් වල තියෙන්නේ සූර තල් මසුන් විකිනීමට ඇත…. කියලා. අන්න ඒ වගේ.

‍අර දඟකාර, නිර්භිත පොඩි පැටියෙක් ගැන කිව්වේ මතකද…? අර නර්ස් ආන්ටිට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එහෙම එල්ල කලේ… අන්න ඒ පොඩි බබා එයාගේ අම්මත් එක්ක ට්‍රිප් එකක් යන්න ලෑස්ති වුනා. එතකොට බබාට වයස අවුරුදු 3ක් විතර ඇති. ඒ දවස් වල නම් පූස් පැටියා වගේ අහිංසකයි. දැන් තමා… කෙල්ලෙක් ලඟින් යන්නේ නෑ බයයිලු. කොහොමත් ඒ දවස් වලම අම්මා කිව්වා, ඉෂාරා අක්කා අතේ හුරතල් වෙද්දී… මූ ලොකු වෙද්දී මීයෝ දෙන්නා දෙන්න අල්ලයි කියලා… අනේ ඉතිං පොඩි එකාට ඔව්වා ඒ දවස් වල තේරුනේ නැහැනේ…

ඔන්න ඉතිං පුංචි පැට්ටා ඇඟිලි ගැන ගැන බලන් හිටිපු දවස උදා වුනා. ඒ තමා අම්මයි අනිත් අක්කලයි එක්ක ට්‍රිප් එක යන එක. අර ඇඟිලි ගැනපු කතාවක් කිව්වනේ… ඉතිං ඔය ට්‍රිප් එකක් යනවා කියලා දැනගත්ත දා ඉඳන් පොඩි එකාගේ වැඩේ මනෝ පාරක් දාගෙන ට්‍රිප් එක ගැන හිතන එකලු. ඉතිං ඔහොම බැරූරුම් දෙයක් ගැන හිතද්දි හපන්නත් මොනා හරි තිබ්බනම් කෝමද..? පොඩි එකාට ඉතිං හපන්න දෙයක් අම්මගෙන් ඉල්ලන්න බැහැනේ… ඒක නිසා ඉතිං ඒකත් බබාම කරගත්තලු. කොහොම හරි බබාව ට්‍රිප් එකට කලින් දවසේ නියපොතු කපන්න හොයද්දී මුගේ නියපොතු නෑ… අර මනෝ පාර අස්සේ මූ ඒ ටිකට තමා වැඩේ දීලා තියෙන්නේ…

ඉතිං ඔන්න කෝම හරි බාබවයි අම්මවයි උදේ පාන්දරම තාත්ත ගෙනත් බැස්සුවා බස් එක ගාවට. පස්සේ ඉතිං අම්මා කොලු පැටියාව දුන්නා අක්කා කෙනෙක් අතට. වෙන කාගෙවත් අතට යන්නේ නැහැනේ ඉතිං… ඒක නිසා ඉෂාර අක්කා අතටම තමා. එතෙනින් එහාට වෙන එව්වා කියන්න ඕනේ නැහැනේ… බබා චුට්ටක් කලු නිසා හොඳා… නැත්තං ඉතිං කම්මුල් දෙක රතු වුනාම අම්මා දැක්කොත්….!

පස්සේ දැං ඕං ගමන යනවා…. බස් එක ඇතුලේ එක විකාරයයි. සිංදු කියනවා, අප්පොඩි ගහනවා… තාලම්පටකුත් කොහොන්දෝ මන්දා වදිනවා. ඉතිං පොඩි කොල්ලා කරන්නේ අම්මගෙයි ඉෂාර අක්කගෙයි මැද්දෙ… සීට් එකේ හිටගෙන උගේ චූටි ඇස් දෙකෙන් වටේටම ස්කෑන් කරනවා. දැන් නම් ඉතිං රබර් ඇහැ දාන්නේ වෙන දේකට වුනාට එදා හෙව්වේ ස්ලිං ස්ලිං සද්දේ එන්නේ කොහෙන්ද කියලා… තාලම්පට තියෙන තැන අන්තිමේ හොයාගත්තා. පස්සේ ඉතිං ඒක ඌට දෙන්නත් වුනා….

ඔහොම ගිහිං ගිහිං මෙන්න කට්ටියම ආවා වික්ටෝරියා වේල්ල බලන්න. ඉතිං ඒ යන පාරේ අයිනේ ලස්සනට මල් වවලා. පස්සේ ඉතිං ඔන්න කොල්ලට ලඟ පාත ඉන්නේ කෙල්ලෝ මල් කඩලා දෙනවා. සීතලට හැදෙන මල්නේ… පාට පාට.. එක එක සුවඳ…. ඉෂාර අක්කනම් කරන්නේ මල් ගත්ත ගමන් පුංචි එකාගේ කන උඩින් ගහනවා.. ඉකේ… මාර ලැජ්ජාව එතකොට. හරියට නංගි කෙනෙක් වගේ කියන්නේ… තාම බබා ගාව තියෙනවා කහපාට මලක් ගහලා ගත්ත පොටෝ කෑල්ලක්. එව්වා ඉතිං මේවෑ දාන්න බෑ නොවැ.

ඕං ඊට පස්සේ යාන්තං කිට්ටු කොලා වේල්ලට. අම්මට හුඩු අන්න තියෙනවා එල භාන්ඩයක්. බබාට සෙල්ලං කොරන්න කියාපු භාන්ඩේ… චූටියි… හුලුබුහුටියි… සෝයි… අනේ අම්මේ මට අරක ඕනේ… අනේ අනේ…. මට අරක අරං දෙන්න…. කියලා මෙන්න මූ විලාප තියනවා….

මොකද්ද…

අල තියෙන්නේ අම්මේ… අල කාපාට….

කොහෙද පැටියෝ…

අල තියෙන්නේ අනේ…. අල පාල උඩ…

ආච්චිට හාල් ගරන්න මූ ඉල්ලන්නේ අර පෙරිය සයිස් ක්‍රේන් එක නේද දෙයියනේ… කියලා බබාගේ අම්ම හිතුවට කිව්වේ නෑලු.

ඒක අපිට ගන්න බෑනේ පුතේ… ඒක කොහොමද ගන්නේ…

ඇයි අනේ… ඒක චුටියිනේ…

ඒ ඔයාට පේන හැටි… ඒක ගොඩක් ලොකුයි පුතේ…

අනේ… බෑ… බෑ… ඒක ඕනිමයි…. ඉහි…ඊ…. ඊ…..

දන්නවනේ පොඩි බබාලා බොරුවට අඩන හැටි. මූන බෙරි කරගෙන, තොල් දෙක අනිත් පිට හරෝගෙන… අත්දෙකෙන් චූටි ෂොට් දිදී… ඒත් කඳුළු නැතුව….

දැන් ඉතිං කෝමද මුගෙන් බේරෙන්නේ කියලා හිත හිතා බබාගේ අම්මා ලතවෙනවලු… අනේ දැං කොල්ලත් නිකං අඩන සයිස්ලු. ‍පොඩි එවුන් දන්නවැයි පර්යාවලෝකනය ගැන. දැන් ඉන්න සමහර අලියොත් නොදන්න කොට. ඉතිං කොලුවාට හි‍ෙතන්නෙම අර වාහනේ චූටි‍යි කියලා… ඊටත් හෙන හොට් කලර් එකක්නේ…ආසා හිතෙන්නේ නැද්ද ඉතිං… අනික ඔය කොල්ල ඉස්සරත් දැං වගේමලු හෙනම මුරන්ඩු කොල්ලලු. දැන් නම් ලඟදිම දවසක කොල්ලව ගෙදරින් පන්නන සම්භාවිතාව සෑහෙන වැඩියිලු.

ඊට පස්සේ…. ඒ වගේ එකක් ඔයා ලොකු උනාම ගන්න. දැන් අම්මට ඉන්න දීලා එන්න මෙහෙට… කියලා අර මෝඩ අක්කා අත් දෙක දික් කලාම කෝමද දෙයියනේ නොගිහින් ඉන්නේ… බෝනස් හාදුත් හම්බුවෙනවනේ….

අනේ ඉතිං කොල්ලා ක්‍රේන් එකේ හීනය අතෑරලා ගියාලු අක්කාගේ අත් දෙකට… ඒ ගියා… ගියාමලු අද වෙනකං ඊට පස්සේ වික්ටෝරියා වේල්ල බලන්න යන්න බැරිවුනාලු. දැං ඉතිං කෝමද බොල මං ඒ ක්‍රේන් එකෙන් සෙල්ලං කරන්නේ‍‍‍…? මේ ලඟදී හම්බුවෙච්ච පින්තූර වගයක් නිසා බබාට ඔය කතාව ආයෙම මතක් වුනා. ඒක නිසා ඕං හුදී ජන හිත සුව පිණිස ලියලා දැම්මා… අර බබාගේ අම්ම හිතුව වගේ මටත් දැං හිතෙනවා මෙහෙම…

ආච්චිගේ රෙද්ද කොහොමද යකෝ මේක හුදී ජන හිත සුව පිණිස වෙන්නේ…! මාත් ඉතිං ඕක හිතුනට අහන්න යන්නේ නෑ… නිකං ලියනවා විතරයි. ඒකයි පස්නාර්තේ නැතුව ආශිර්වාද ලකුණ දැම්මේ… නිකං මොකටද ඉල්ලං කන්නේ…?

 

%d bloggers like this: