හොඳට හිටි එකාට… වෙච්චි දෙයක්….

අනේ ඇත්තට කොහොමට හිටිය එකෙක්ද මූ…? ඉස්සර හරි අහිංසකයි. කිසිදවසක ස්කෝලෙදීවත් වැරැද්දක් කරලා අම්මව එක්කන් එන්න කියලා තියෙනවද,…? නැහැනේ… ඒත් දවස් දෙක තුනක් නම් සිංහල මිස් කතා කරලා කිව්වා,

ඔයාගේ පුතාගේ සිංහල හැකියාව නම් දුරුවලයි කියලා.

ඔව් ඉතිං ඒ සිංහල මිස් දන්න තරම තමා. මිස් හොරෙන් ඉන්ටවල් එකට ඇවිත් අහගෙන හිටියනම් එහෙම අපි කතාවෙන එව්වා… හිහ්… මිස්‍ට අදහගන්න බැරිවෙනවා… මොකද ඉතිං ඒ දවස් වල සිංහල වචන දෙකක් ඇර සුද්ද සිංහල වචනයක් සුවර්නේ. සමහර එව්වයේ තේරුම් මෙලෝ පොතක නෑ. එව්වා අපිම හදාගත්ත සුපිරිසිදු අදහස් ප්‍රකාශ වෙන වචන. සිංහල මිස්ලා දන්නේ සාම්ප්‍රදායික සිංහල පොත් වල තියෙන වචන විතරනේ. අපි වගේ අළුත් නිර්මානය කරන්න යන එකක්යැ. ඊටත් එයාලට ඔව්වට වෙලාවත් නැහැනේ.

ඒත් ඉතිං අර දුරුවලයි කිව්වේ… මගේ සිංහල ලිවීමේ හා කියවීමේ හැකියාව නම් නෙමේ. මොකද ඒ දවස් වල ඉඳන්ම අර එක්කෙනෙක්ගේ ආච්චි අම්මා කිව්ව විදියට මං හෙන චැටර් බොක්ස් එකක්ලු. මං දුරුවලයි කිව්වේ… රචනා ලියන්න, කවි පාඩම් කරන්න වගේ එව්වට තමා. කාටද අප්පා පුළුවන් කවි 10ක් විතර එක පාඩම් කරගන්න. ඒ මදිවට එව්වයේ තේරුමත් මතක තියාගන්න ඕනේ.

වැරදිලා හරි කවිය මතක හිටියොත්, ඊට වැඩිය අමාරුයි තේරුම මතක තියාගන්න. ඇයි ඉතිං කවිය ග්‍රීක් වගේ… තේරුම සංස්කෘත වගේ. ඒක නිසා කවි පාඩම් කිරිල්ල මට තිත්තයි. දැන් ඉතිං කියන්න දෙයක් නැහැනේ කවි ලිවීම ගැන. කවියක් පාඩම් කරගන්න බැරි එකෙක්ට කවියක් ලියන්න පූළුවන්ද…?

දවසක් ඔන්න මං පහ වසරෙදි අපේ මල්ලි දෙක වසරේ. මට ස්කෝලේ ඇරෙනකං මල්ලිත් ඉන්නේ මගේ පන්තිය වටේ කැර කැවී කැවී තමා. ඔය පුරුද්දම තමා පස්සේ කාලෙක මල්ලිගේ පන්තියේ හිටිය ලස්සන බෝල ඇස් තියෙන කෙල්ලටත් ආවේ…  ඉතිං ඔන්න මට විභාගේ දවසක මල්ලී ඇවිත් ඉන්නවා පංතියේ දැලේ එල්ලි‍ලා. අපේ මිසුත් මල්ලිව දන්න නිසා ඌට යන්න කියන්නේ නෑ. පොරත් ඉතිං අපේ ජෝක් බල බල ඉන්නවා.

එදා අපිට තිබුනේ සිංහල. මල මගුලයි…. ඊළඟට පන්තිය ඉස්සරහට ගිහිං කවියක් කියන්න තියෙන්නේ මට. දැන් ඉතිං මං දහඅතේ කල්පනා කරනවා කියන කවිය ගැන.

ආහ්… මං කියනවා ඔන්න මලේ ඔය නාමල කවිය… කියලා හිතාගෙන මනසින් පොඩි ටෙස්ටින් පාරක් දාද්දා ඒක ටිකක් අවුල් වගේ. තුන්වෙනි පදේ මතක නෑ… දැන් ඉතිං මොකෝ කරන්නේ…

ඊට පස්සේ තව කවියක් මතක් වුනා. තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා… ඒකෙත් මතක මුල් පදය විතරයි. කොටින්ම ඒ දවස් වල සිංහල‍ පොතේ තිබිච්චි එක කවියක් වත් මට මතක නෑ. අර දෙරියන් සහ හතර රියන් කවිටික වත්, කළුවා ද මොකද්ද කියලා තිබ්බ හරකෙක් ගැන කවිපන්තියවත්… චිරි චිරි චිරි… චිචිරි චිචිරි කියන වැස්ස ගැන කවි පන්තියෙන් කවියක්වත් මතක නෑ කියමුකෝ. දැන් ඉතිං මං මක්කෙයි පන්තිය ඉස්සරහට ගිහිං කියන්නේ…?

ඔහොම හිත හිත ඉද්දී එක පාරට මතක් වුනා මොන්ටිසෝරි කාලේ කිව්ව කවියක්. ඒක නම් මට යන්තං පාඩම්. අර අම්බලමේ පිනා වලං කදක් ගෙනා කවිය. මාත් ඉතිං ඊට පස්සේ ආපු මගේ වා‍රයේදී ඉස්සරහට ගිහිං ගට අරගෙන දුන්නා සවන් පත් ඉරාගෙන යන්න. දැං ඉතිං මට හරි හැපී. මෙච්චර කාලෙකට කවියක් කියාගන්න බැරි මං කවියක් කිව්වානේ. ඒත් ඉතිං කවිය කියලා ඉවරවුනා විතරයි මගේ පශ්චත් බාගය ඉරාගෙන යන්න වැදුන්නැතැ වේවැල් පාරක්. අම්මේ සනීපේ.

දනගහනව ඔහොම… පොඩි එකා වෙන්න එනව මෙතෙන.

ඇයි මී……ස්….? (කොල්ලගේ මූන රතු වෙලා ඇස්යට ඉදිමිලා ආවම මිස්ටත් දුකයි)

ඇයි මිස් කියන්නේ දරුවෝ, බලන්න ඔයා එක කවියක් වත් පාඩම් කරගෙන නැහැනේ…

ඒ අස්සේ අපේ මල්ලිටත් මං ගැන දුක හිතිලා. ඌත් දැලේ එල්ලිලා වව්ලා වගේ ඉන්නවා. අඩුගානේ ඌට තිබුනා මට කවියක් මතක් කරන්න. දුෂ්ටයා… මටත් ඉතිං තිබුනා උගෙන් අහන්න. කොහෙද ඉතිං ඔව්ව කම්පනා වෙනවැයි. ඒ අස්සේ අපේ මිස් මල්ලිට කියනවා…

පුතේ, අද ගෙදර ගිහිං කියන්න අම්මට අයියව මං දනගැස්සුවා කියලා…. කියලා. ඈ… මිස් හදන්නේ මට මෙහෙත් පනිෂ් කරලා ගෙදරිනුත් ඉල්ලලා දෙන්න. මල්ලිත් ඉතිං ඔලුවා වනලා හාං කියනවා. සහෝදර කැක්කුමක් කියලා නැති හැටි මූට. මූව මේ ලෝකෙට ගෙනවෛත් මං නිසා. මට සෙල්ලං කරන්න මල්ලියෙක් ඕනේද කියලා තාත්තා අහපු වෙලේ මං එපා කිව්වනං එහෙම මූ නෑනේ . දැන් එනව මෙතෙන මටම ෂොට් එක දෙන්න. එව්වා කොහෙද මාත් එක්ක. අහුවෙයන්කෝ හවසට ස්කූල් වෑන් එකේදී.

ඔන්න ඉතිං ගෙදර යන ගමන් මල්ලිගේ ඔලුව අතගගා… හොඳ පැට්ටනේ ඔයා අම්මට කියන්න එපා හොඳද… කියලා මාත් කියද්දී මූ ඒකටත් හා ලු. පස්සේ ඉතිං ගෙදර ගිහිං බත් කන කොට මූ කතාව අම්මට කියලා. අම්මා ඇවිත් මගෙන් සීන් එක ඇහුවම ඉතිං මටත් අඬන ගමන් කියන්න වුනා. එදා ඉඳන් ඉතිං මං කවි පාඩම් කිරිල්ල අනිවාර්යයි. ඒත් එහෙම කරලත් විභාගෙට කවි ඇරෙන්න අනිත් ඔක්කොම පස්න වලට උත්තර ලියලා තමා ලකුණු 70ක් 80ක් සේප් කරගන්නේ.

ඔහොම යද්දී ඔන්න අපිට සිංහල සාහිත්‍ය කරන්න වුනා. ඉතිං අම්මගේ යාළුවෙක් ගාවට පන්ති ගියා. සැළලිහිණි සංදේශය එහෙම කියවන්න වුනේ ඔය තැන් වලදී. ඒක නම් ටිකක් අමුතුයි වගේ. මං අර ආසම සබ්ජෙක්ට් එකක් තියෙනවනේ නැචුරල් බියුටි ස්ටඩින්ග් කියලා. ඒක උප‍රිමේටම තියෙනව සිංහල සාහිත්‍යයෙදී. ඉතිං කොහොම හරි ඔය හර බර වචන දාලා ලියලි තියෙන කවි වල තේරුම් ටික අර තියෙන ආසාම නිසාම මට යාන්තං වගේ මතක හිටියා. පස්සෙ ඉතිං ඔන්න කවි ලියන්නත් හිතුනා. ඒ පාර ලිව්වා…

ඒ අස්සේනේ අර පිළිකාවක් හැදුනේ. ඉතිං අර නැචුරල් බියුටි ගැන ලිව්ව කවි වල සවරූපය වෙනස් වෙලා එව්වා ඔක්කොම හාට් ‍ෆ්‍රීසින් බියුටි වුනා. හදවත කූල් වෙන කූල් වෙලා ගල් වෙලා මිදිලා, කුට්ටි වෙන හැඟීම් ගැන ලියන්න ගත්තා. එව්වටත් ඉතිං හොඳ හොඳ ප්‍රතිචාර හම්බුනා.

ඔහොම යද්දී යද්දී මේං කවි නැතුව අමුතුම මෙව්වා වගයක් ලියවුනා. එව්වාට කියන නම දැනගත්තේ පස්සේ කාලෙක. අර නිසදැස් කියන්නේ… අන්න එව්වා. ඊට පස්සේ ඕං බුකියේ ග්රූප් එකක් එහෙම පටන් අරං ලොමු දැහැ ගැන්වෙන නිසදැස් කවි ලිය ඉද්දී ටැංකියක් හදාගෙන කතා ලියන්න ගත්ත‍ා. ඊට පස්සේ එක එක වර්ගේ කතා ලිව්ව‍ා. ඒ අස්සේ සමාජ පස්න, එතකොට ඩබල් මීනින්… පොඩි කාලේ කොරපු වැඩ, කෙල්ලෝ ගැන…. එහෙමත් ලියාගෙන යනවා. දැන් ඉතිං ඔන් ලයින් ටියුටෝරියල් සෙට් එකකුත් යනවනේ.

ඉතිං බලන්න ඉස්සර කවියක් මතකේ තියාගන්න බැරුව හිටිමට වෙච්ච වින්නැහිය. ලියනවා ලියනවා ඉවරයක් නෑ. ඒ අස්සේ ලියන්න එව්වා නැතුව ර‍ට වටේ ඇවිදලත් ලියන්න එව්වා හොයනවා. ඒ යන ගමන් වලදී වෙන අතුරු කතා තමා ඔක්‍කොටම වැඩිය සෝයි. ඉතිං එව්වත් ලියනවා. අනේ මන්දා මං කොහෙන් නවතියිද කියලා…. ඕනේ තැනක නැවතුනාවේ ඔන්න ඔහේ ලියනවා.

පිහිට වන්න… මරණිය පිළිකාවකින් පීඩා විඳිමි…



පුංචි කාලේ ඉඳන් තිබ්බ දාංගලේ එක පාරටම අඩුවෙලා යද්දී….
ක්‍රියාශීලී ගතිය අඩුවෙලා ගිහිං,
නිද්‍රාශීලි ගතියත් සමග කල්පනා කරන ගතියත් අරෑඪ වෙද්දී….
ගෙදර කිසිවෙකුටත්, අඩුම ගානේ මටවත්…
හිතුනේ නෑ මේක පිළිකාවක් මූලික ලක්ෂණයක් කියලා.

දැං ඉතිං මොනා කරන්නද…?
සුව කරන්න බැරි තරමටම පිළිකාව උඩු දුවලා.
වෙන පිළිකාවක් නම් සැත්කමක් කරලා,
අයින් කරන්න හරි පුළුවන්….
ඒත් මේක…
එහෙම කරන්නත් බැහැලු…
කොහේ ඉඳන් පැතිරෙනවද කියලවත්,
හොයාගන්න බැහැලු.
තාම නිට්ටාවට සුවවෙන බේතකුත් නැහැලු.

මට හිතාගන්නවත් බෑ…
හොඳට හිටිය මට ඇයි මෙහෙම වුනේ….?
හිතාගන්නවත් බැරි කාල නිමේෂයකදී,
පිළිකා සෛල වර්ධනය වෙලා…
ලේ සමග මුහු වෙලා සිරුර පුරා දුවනවා…
ඒක මට දැනෙනෙවා….
ඒත් කරන්න කිසිම දෙයක් නෑ…

පිළිකාව අයින් කරන්න නම්…
සිරුරයි, ආත්මයයි විච්ඡේදනය කරන්න ඕනෙලු.
ඒත් විශ්වාස කරන්න බැහැලු….
සමහරවිට ආයෙමත් සිරුරක් ලැබුනම,
පිළිකා සෛල ආයෙමත් වර්ධනය වෙන්න ඉඩ තියෙනවලු.

වෙන කරන්න කිසිම දෙයක් නැහැ…
අතීත මතකයන් පෝෂණ මාධ්‍යය කරගෙන…
සෙනෙහෙබර හැඟීම්, සිතුවිලි විසිරුම් මාධ්‍යය කරගෙන,
රතු රුධිර සෛල… රෝස පැහැ කරමින්…
මගේ සිරුර පුරා පැතිරීයන….

ආදරය
කියන මේ පිළිකාවත් එක්ක…
තවත් කොච්චර කල් මං හුස්ම ගන්නද…?
 

අයියේ ඔයා මුස්ලිම්ද…?

ඊයේ ඉතිං ඉරිදානේ… ඔය කැම්පස් යන සමහර නංගිලාට වගේ අපිට සතියේ දවස් හයක් නිවාඩු නැහැ. ඒ කෙල්ලගෙන් ඇහුවොත් කොහෙද නංගි ඉන්නේ කියලා… ගෙදර කියලා ඒ මදිවට හිනාත් වෙනවා. ඉතිං අපිට කොහෙට හරි යන්න කරන්න, පොඩි ජොලියක් ගන්න තියෙන්නේ ඉරිදා විතරයි. ඒක නිසා ඕං මායි මගේ ෆිට් යාලුවෙකුයි…. එයාගේ යාළුවෙක්ගේ ගෙදර යන්න කියලා ගියා.

ඩෙස්ටිනේෂන් එක තියෙන්නේ නුවර වැව රවුමට ටිකක් උඩහින්. ඉතිං අපි උදේ පාන්දරම නැගිටලා දත් මැදලා… මූන හෝදලා .. අලුත් ඇඳුම් ඇඳලා එහෙම ගමනට ලෑස්ති වුනා. දැන් ඉතිං නුවර යන්න ඕනේ කොළඹට ගිහිංනේ… ඒක නිසා ඕං අපි කතා වෙච්ච විදියටම පාන්දර හය වෙද්දී පිටකොටුවේ බෝගහ ගාවට සෙට් වුනා. පස්සේ ඔන්න ගිහිං නැග්ග මහනුවර බස් එකට. අපි දෙන්නට එකට වාඩි වෙන්න නම් සීට් එකක් තිබ්බේ නෑ… අපි ඉතිං මුලිං ටිකක් අප්සට් සීන් එකට. මොකද මගේ යාලුවා කනිෂ්කයි මායි සෙට් වුනේ මාස ගානකින්.

ඉතිං අපිට කතා කරන්නත් දේවල් නැතෑ… උගේ වෙන්ඩ කෙල්ල ගැන තමා වැඩිපුර කියවන්නේ. ඒත් ඉතිං කයියක් දාන්න විදියක් නෑ… අපි දෙන්නා ඉන්නේ සීට් දෙකක නිසා. පස්සේ ඉතිං බස් එක අද්දලා ටික දුරක් යද්දී… බස් එකට මගින් නැග්ගා කෙල්ලෙකුයි අම්මෙකුයි. හරි සුවිට් කෑල්ල. කිලෝ පනහේ සිමෙන්ති කොට්ටයක් වගේ සයිස් එක. ඒ වුනාට ඉතිං ඉටි කිරිස් රූපේ.

ඊට පස්සේ අම්මයි දුවයි මගෙ ගාවටම ඇවිත් හිට ගත්තා. ඇත්තට ඒකිට වෙන යන්න තැනක් තිබුනේ නැද්ද මංදා. (කමෙන්ට් එකකින් වැටෙන්න කලිං මංම කිව්වා ඕං) ගෑණු ළමයා ඇවිත් මං වාඩිවෙලා ඉන්න සී‍ට් එකේ උඩ බාර් එකෙනුයි, මට ඉස්සරහ තියෙන සීට් එකේ බාර් එකෙනුයි තමා අල්ලගෙන හිටියේ.  කට්ටියට හිතා ගන්න පුළුවන්නේ කෙල්ල හිටිය විදියයි මං හිටිය විදියයි. පස්සේ අම්මා දුවටත් එක්ක සල්ලි දෙන ගමන් පිටිපස්සේ කවුරු හරි ටිකක් සද්දෙන් කියවනවා ඇහිලා ඒ පැත්ත පෙන්නුවා. එතකොට ඉතිං මටත් නිකමට වගේ බැලුනා බස් එකේ  පිටි පස්ස. ඊට පස්සේ ඉස්සරහ බලනවත් එක්කම….

චටාස්…

කට නිකං කලන්නේ වගේ. ඊට පස්සෙ හීනෙන් වගේ ඇහෙනවා…

අනේ සොරි අයියේ…. සොරි අයියේ… කියා කියා කෙල්ලෙක් කෑමොර දෙනවා. මට හිතාගන්නත් බෑ මක්කෙයි වුනේ කියලා… බලාගෙන යද්දී අර කෙල්ල බෑග් එකේ මොකද්ද මගුලක් හොයන්න යද්දී ඒකිගේ සුදුමුදු අත්ල මගේ කම්මුලට ටිකක් හයියෙන් පතිත වෙලා. සෝයි පාර… කම්මුලට රිදෙන්න වැදුනත් ඒ වගේ අතකින්……….! මටත් ඉතිං සීන් එකට හිනා… ඇයි හත්දෙයියනේ ඔය කෙල්ලෙක්ගෙන් කම්මුල් පාරක් කෑවමනේ…

ඊට පස්සේ මං අර කෙල්ලගේ බෑග් එකත් ඉල්ල ගත්තා. නැත්තං ඉතිං කියන්න බැහැනේ. ඊළඟ පාර පොල් ටොක්කක්වත් ඇන්නොත් එහෙම. පස්සේ ඉතිං ටික දුරක් යනවා මටත් ඒ අස්සේ තනියම හිනා. පස්සේ ඕං බස් එක නැවැත්තුවා උදේ ලන්ච් එකට. ඊට පස්සේ මං නැගිටලා කනිෂ්ක එක්ක බස් එකෙන් බහින ගමන් අර ගෑණු ළමයට කිව්වා…

ටිකක් වාඩි වෙලා ඉන්න… කියලා. ඒකිත් ඉන්න පැන්න ගමන් ජබොස් ගාලා වාඩි වුනා. මං බස් එකෙන් බැහැලා කනියට කිව්වා… අඩෝ මේ දැං කෑල්ලක් සෙට් වුනා බං කියලා… ( බලහංකෝ අර ඉස්සර පුරුද්ද… කෙල්ලෙක් හිනා උනාම ඒක මට කැමැතියි කියලා කියනවා වගේ) ඊට පස්සේ ඉතිං කනියටත්  සීන් එක ගැන පොඩි විස්තරයක් කියන ගමන්ම කෑම කෑවා. පස්සේ කෑම කාලා එද්දීත් කෙල්ල ඉන්නවා වාඩිවෙලා. පවුනේ ඉතිං මොනා වුනත් ගෑණු ළමයෙක්නේ කියලා හිතද්දී මගේ පපු කැනැත්ත හෝස් ගාලා පත්තු වෙන්න ගත්තා. (අම්මප ඕක තමා මට හැදිලා තියෙන දරුණුම ලෙඩේ) දැන් ඉතිං ගින්දර ඇවිලෙනවා හොස හොස ගාලා. හරියට නිකං අර පරන දරලිප් වල වගේ. ඒ අස්සේ මං එතෙන්ට ආවා කියලා දැනගත්ත කෙල්ල ආ… අයියේ වාඩි වෙන්න කියලා නැගිට්ටා. පවුනේ ඉතිං… මං කිව්වා… ඔහොම ටිකක් යමු… කියලා.

අම්බෝ බලන්න ඕනේ කෙල්ලගේ මූනේ එවේලේ ඇතිවෙච්ච වෙනස්වීම. අනිවා ඒකි මට හිතින්  බැන බැන ඉන්න ඇත්තේ ඕකව දාලා බස් එක ගියොත් නම් හොඳයි, මට එතකොට දිගටම වාඩි වෙලා යන්න පුළුවන් කියලා… ඒක නිසා තමා මූන ඇඹුල් වෙලා හෙනම හෙන දුක් බර පාටක් ආවේ. කෙල්ලට මං ගැන අනුකම්පා හිතෙන්න ඇති. පස්සේ ඉතිං ආයෙමත් වාඩි වෙලා එයාගේ බෑග් එක ඉස්සරහින් තියාගෙන මගේ බෑග් එක පපුවට තුරුළු කොරගෙන යනවා කියමුකෝ ගමන.

ඔන්න ඊට පස්සේ මගේ අතට තට්ටු කරලා අහනවා… වාඩිවෙනවද කියලා. ඒ වෙනකොටත් මං හිතහදාගෙන හිටියේ… නුවරට යනකම්ම ඒකිට වාඩි වෙලා යන්න දීලා මං හිටගෙනම යනවා කියලා. ඒ පාර මං ආයෙම කිව්වා කමක් නෑ ඔයා ඔහොම යන්න කියලා. ඔය වෙලාවේ තමා මගේ සිකුරා උච්ච උනේ. කෙල්ල ආයෙමත් පැනි හිනාවක් දාලා… එහෙම ආයෙමත් ඉස්සරහා හැරුනා. මෙන්න ඊට පස්සේ කිලෝමීටරයක් යන්න උන් නෑ කෙල්ලට එහා ‍පැත්තේ වාඩිවෙලා හිටිය එක්කෙනා නැගිට්ටා. පස්සේ ඉතිං කෙල්ල කකුල් දෙක පැත්තකට හරවලා මගේ දිහා බලලා වාඩි වෙන්න කිව්වා. මාත් ඉතිං ටික දුරක් හිටගෙන ආපු එකේ වාඩි වෙලා මගේ බෑග් එකත් ගත්තා.

ටික වෙලාවකින් කෙල්ල හෙනම බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ දැනුනා මගෙත් එක්ක කතා කරන්න. මට ඇත්තටම කතා කරන්න වුවමනාව තිබ්බත් කතා නොකර ඉන්න තමා හිතාගෙන හිටියේ. මොකද මං එයාගේ බෑග් එකත් අරගෙන ඇවිල්ලා, ඊට පස්සේ එයාට සීට් එකත් දීලා පස්සේ මං දැන් කතාවට ගියොත් එහෙම ඒකිගේ හිතේ මං ගැන ඇතිවෙච්චි හොඳ සිතුවිලි ටික දියවෙලා යන්න ඉඩ තිවුන නිසා. මං කතා කලානම් එහෙම හිතන්නේ… ආහ්… මෙයා මේකට තමා මේ මගේ බෑග් එකත් ඉල්ලගෙන, වාඩි වෙන්න සීට් එකත් දුන්නේ කියලා වගේ වැරදියට. ඒක නිසා මගේ ක්ෂණිකව ඇතිවෙච්ච ප්‍රතිරූපයට හානි කරගන්න බයේ මං එතෙන හොඳ කොල්ලා වගේ උන්නා. කොහොමත් ඉතිං මං හොඳයිනේ. අනික දැන් එකා එක‍ා කියයි මූට යන යන තැන කෙල්ලෝ කියලා… ඔව් බොලව් මට යන යන තැන කෙල්ලෝ තමා… ඒ ඉතිං මං ටිකක් විතර හොඳ නිසා. (ඒ හරිය නම් ඉතිං කියන්න දෙයක් නෑ.)

පස්සේ ඒ ළමයා බැග් එකත් තුරුළු කරගෙන නිදි. අනේ මන්දා ව්‍යංගෙන් වෙන අදහසක් කිව්වද කියලා. ඉතිං ඔහොම යද්දී බස් එක වංගු ගන්න කොට එහෙම මගේ වම් උරහිසට හරි සනීපයි. කොහොමද සිමෙන්ති කොට්ටයක් ඇ‍ඟට තද වෙන කොට තියෙන සනීපේ. මාව චප්ප වෙයිද කියලා සිය සැරේකට වැඩිය හිතුනා. ඊට පස්සේ මේං ළමයා නැගිට්ටා…

බස් වලත් මහ අමාරු කා‍රයෝ ඉන්නවා නේද…?

හෑ… ඒ පස්නේ කෙල්ල මගේ දිහා බලලා කෙලින්ම මගේ මූනටම ඇහුවා. හත්තිලව්වයි, මගේ අතින් වැරැද්දක්වත් වුනාද, කොහෙවත් නොහොබිනා තැනක අතවත් වැදුනද… කියලා… කම්පනා කොරලා එහෙම මං ආයෙම ඇහුවා…

ඇයි එහෙම කිව්වේ…? කියලා…

පස්සේ අපේ සීට් එකට (දැන් ඒක අපේ සීට් එක වුනාලු ඈ…) ඉස්සරහින් හිටිය මිනිහාව පෙන්නලා කියනවා… කකුල හං‍ගගෙන මං හිටියේ කියලා. බැලින්නම් පොර කෙල්ලගේ කකුල පාගලා. ඉතිං මටත් ආවා කටට කියන්න රටක් වටින උත්තරයක්. ඒත් ඉතිං කිව්වේ නෑ, තද කරගෙන හිටියා. ඒ කෙල්ල අහවල් එකටද මට ජ‍නේලේ අයිනට  යන්න කියලා ඒකි මෙහා පැත්තේ හිටියේ… ඒකි ඒ පැත්තට ගියා‍නම් කිසිකරදරයක් නැතුව ජනේලට හේත්තුවෙලා නින්දක් දාන්න තිබ්බනේ. ඒත් ඉතිං පන්ඩිත කමට මහ ලොකුවට මට යන්න කිව්වේ… දැන් හරිනේ ඉතිං.

පස්සේ ඉතිං ආයෙමත් අර ලෙඩේ හැදුනා. මං ඒ පාර කිව්වා … එහෙනම් ඔයා මේ පැත්තට එන්න කියලා. එතකොට නම් ලස්සනට පිපුන පේරාදෙනිය මල් වත්තේ මලක් වගේ හිනා වෙලා… හ්ම්… කිව්වා. මට ඔය කෙඳිරිය නම් එච්චර ඇල්ලුවේ නෑ… හරියට නිකං මං ඒකිගේ මිනිහා ‍වගේ කියලා හිතාගෙනද දන්නේ නෑ එහෙම කිව්වේ. පස්සේ ඉතිං ඔන්න පැති දෙක මාරු කරගෙන යනවා. ඒ යන ගමන් තමා කෙලි පොඩ්ඩ කතා කරන්න ගත්තේ.

අයියා කොහේද යන්නේ…?

මං මේ ආර්ටිකල් එකකට ෆොටෝ වගයක් ගන්න පේරාදෙණිය ගාඩ්න් එකට යනවා. (ඔයත් එනවද කියලා අන්නත් හිතුනා)

මොකද්ද…. ඇහුනේ නෑ…. කියලා ඒකිගේ කන මගේ මුනට ලං කරා. කන හපන්නත් හිතුනා. ඒ වගේ මස් කෑල්ලක් ආයෙ කවද කන්නද…? පස්සේ ඉතිං මං ආයෙමත් අර දීපු උත්තරේම දුන්නා.

ආහ්… එහෙමද…. තනියම?

ඔවුනේ…. මං කිව්වා.

ආ….. මට ඇහුනෑ නෑ අනේ…

මේක හරි කෙලියක්නේ… මේකි අර අන්දරේගේ ගෑණි වගේද බීරිද දන්නේ නෑ…. කියලා හිතද්දීම…

අයියේ ඔයා මුස්ලිම්ද…?

ඈ….. මං කොහෙද බොල මුස්ලිම් මේ තියෙන්නේ කෑලි බෑලි කොන් ඔක්කොම අඩු නැතුව කියලා කියන්නත් හදලා….. ආයේ නිකං හිටියා.

පස්සේ මං ඇහු‍වා ඇයි මං මුස්ලිම්ද කියලා ඇහුවේ…? කියලා….

ඒ පාර කියනවා… නෑ අයියා කතා කරන සමහර වචන පැහැදිලි නැහැ කියලා. හරි පස්න තමා ඒකිටත් තියෙන්නේ…. මං බය වුනා… ඇයි යකෝ මුස්ලිම් වෙනවා කියන්නේ ලේසි වැඩක්යෑ. ආදරෙන් බලා ගත්ත අනාගතේ, කුට්ටි කරන්න වෙනවනේ. පිස්සු හැදෙයි. කොහොම හරි මේ ඒ පස්නෙට උත්රයක් ‍නොදී හිනාවක් දාලා සේප් වුනා. කියන්න බැහැනේ වැරදිලා ඒ කටේ හැටියට… මං මුස්ලිම් නෙමේ කිව්වම… එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න කියලා කියන්නත් ඉඩ තියෙනවනේ. මල කෙලියක්නේ වෙන්නේ එතකොට… බස් එකේ එවුන් මට ගල් ගහයි.

පස්සේ ආයෙමත්….

අයියා ජොබ් එකක් කරනවද…?

මේක මල මගුලක්නේ බොල අපේ අම්මවත් අහන්නේ නෑ පුතේ උඹ අද වැඩට ගියාද කියලා… ඒකට මේං….

හ්ම්… මං **** එකේ….

ආහ් ඇත්තද…. නියමයිනේ… මාත් අයියේ නුවර නෙමේ අම්පාරේ. මේ ඉන්ජෙක්ෂන් එකක් විදින්න නුවරට යන ගමන්…

ඒ පාර නම් මාව ක‍රකෝලා අතෑරියා වගේ… ඇයි ඉතිං අම්පාරේ කෙල්ලෙක් කොළඹින් නුවර බස් එකක නැගලා නුවරට යනවා කියද්දි….. ඒ අස්සේ මටත් විකාර කල්පනා එනවා. මේකිට හැබෑට පිස්සුවද්ද දන්නෙත් නෑ…. එහෙම නැත්තං ‍මොකක් හරි සබ්ජෙක්ට් එකක විශාරදයෙක්ද දන්නෙත් නෑ… වගේ එව්වා මෙව්වා ගොඩයි.

පස්සේ මං ඉතිං මගේපස්නේ යොමු කලා එයාට…

ඔයා අම්පාරේ නම් ඇයි කොළඹ ඉඳන් යන්නේ..? කියලා.

ඊට පස්සේ කිව්වා එයාගේ මල්ලිගේ මොකද්ද මන්දා ඇක්සිඩන්ට් කේස් එකක්. මට ඒකනම් මතක නෑ. පස්සේ ඉතිං මං මාත් එක්ක හෙන කතාව. කරුමෙක මහත කියන්නේ… මගේ තියෙනවා ෆෝර්වඩ් කෙල්ලන්ව දිරවන්නේ ගතියක්. ඉතිං මෙයාටත් ඒක එහෙම්ම අදාලයි. ඇත්තටම මට ඒ වෙද්දී කෑල්ල වදයක් වෙලා. කච කච කච කච ගාලා කියෝනවා කියෝනවා… ඉවරයක් නෑ… ඒ අස්සේ අම්පාර පැත්තේ විස්තර වගේකුත් කිව්වා.

ඕං ගෙවල් තියෙන්නේ අම්පාරේ රෝහලක් ගාවින් හැරෙන්න තියෙන පාරේ කිව්වා. පස්සේ ඒ පාර මං දන්න එකම එකක් ඉන්නවා අම්පාරේ, උගේ නම කියලා ඇහුවම … උගේ නම අහල පුරුදුයිලු. මට ඉතිං පුදුම වෙන්න දේකුත් නැහැනේ. ඕකා කරන වැඩවල හැටියට.

ඒ අ‍ස්සේ මං බහින්නත් ලංවෙලා… පස්සේ ඉතිං කනිෂ්ක රින්ග් කට් එකක් දුන්නා. දැන් මල් කැඩුවා ඇති යන්න ලෑස්ති වෙය කියන්න. මොන… ෆෝන් එක අතට ගත්තා විතරයි…

ආ… අයියේ ඔය වගේ ෆෝන් එකක් තමා මයෙ ගාවත් තියෙන්න කියලා… මේකිත් ෆෝන් එක අදිනවා. හික් මටත් කියන්න හිතුනා ආහ්…ඇත්තද… මේ වගේ ෆෝන් එකක් තමා මට මේ රින්ග් කට් එක යවපු එකා ගාවත් තියෙන්නේ කියලා. ආයෙ ඉතිං මං තනියම හිනාවෙලා ඒකත් නොකියා හිටියා.

පස්සේ ඉතිං මං නොම්මරේ දෙනකං හරි, ඒකිගේ නොම්මරේ මං ඉල්ලනකං හරි කට ඇරගෙන බලං ඉන්නවා. ඒවා කොහෙද මාත් එක්ක…. කියලා හිතද්දී ආයෙත් අර වස්සා රින්ග් කරනවා. ඒ පාර නම් ඉතිං මං අර ගෑණු ළමයට අපි ඉස්සරහින් බහිනවා කියලා නැගිටලා ආවා. ඒ එද්දීත් කෙලි පොඩ්ඩගේ මූන රතු වෙලා… ලැජ්ජාවටද මන්දා…. දුකේ බෑ අප්පා… සුදු සෝස පාට මූනු පොඩ්ඩ… ආයේ ඉතිං කවද දකින්නද…?

පස්සේ යන ගමන් මට හිතෙනවා… අනේ අපිත් මෙහෙම සුළු වෙලාවකට හිත පැහෙදෙන පැහැදෙන කෙල්ලන්ට කතා කරන්න ගියානම් කීදෙනෙකුට කියලා කතා කරන්නද කියලා… එහෙම වුනානම් එහෙම ස්කෝලේ යද්දී හිත පැහැදිච්ච එව්වට තාම කතා කරනවා. ඊට පස්සේ ඉතිං යාන්තං පේරාදෙණියෙන් බැහැගත්තා. ඊට පස්සේ නම් ටිකක් විතර දුකත් හිතුනා. අපරාදේ නේද කියලා. ඉතිං ඒ සිතුවිල්ල යටපත් කරගත්තේ….

නෑ නෑ…. අපරාදේ නෑ… ඒ කෙල්ලගේ නොම්මරේ මං ගත්තනං හරි, මං ඒකිට නොම්මරේ දුන්නං හරි, කෙලවෙන්නේ මටමයි කියලා. ඇයි ඉතිං එක්කෝ මං මගේ ෆෝන් එකට කාඩ් දාන්න ඕනේ නැත්තං ඒකට රී ලෝඩ් දාන්න ඕනේ. ඒ වගේද කාලය. ඇයි යකඩෝ මාසෙකට පාරක්වත් අම්පාරට යන්න ගියාම. එහෙම හිතලා ඉතිං අර ඇතිවෙච්ච දුක සන්තාපය ඔක්කොම නැති කරගත්තා.

ඒ වුනාට කමක් නෑ … අර අම්පාරේ මල්ලියේ උඹට පුළුවන්නම් මට ඒකිගේ විස්තර ටිකක් හොයලා දියන්. මං උඹට මං දන්න ටික කියන්නම්.  හැබැයි පුතේ මං නමවත් ඇහුවේ නම් නෑ. ෆේස් බුක් ඉන්නවද කියලා නම් ඇහුවා… ඒකි නෑ… කියාල … මගෙන් ඇහුවා ඇස් දෙකත් ලොකු කරගෙන අයියේ ඔයා ඉන්නවද කියලා…. ඒක අහපු විදිය හරියටම කියනවනම්…. අයියේ ඔයා මැජික් දන්නවද කියලා….. අහනවා වගේ තමා…

ඔන්න ඕකයි මං මුස්ලිම්ද කියලා කෙල්ලෙක් අහපු කතාව. ඒ මදිවට ඒකි මට කම්මුල් පාරකුත් ගහලනේ ගේම පටන් ගත්තේ…. බලන්න  ඉතිං කවද කාපු කම්මුල් පාරවල්ද….? ඒ වගේම තාමත් වෙන මූනකට රිප්ලේස් කරගන්න බැරි මූනක් නිසා මට ලැ‍බෙන ඔක්කොම චාන්සස් මිස් කරගන්නවදෝ කියලත් වෙලාවකට හිතෙනවා. ඇන්ඩ් මේකලු මගේ දිගම පෝස්ට් එක…. ෆොන්ට් සයිස් 12 දාලා A4 පිටු වලින් ගත්තොත් පිටු හතරක් පිරෙන්න තියෙනවා.

සාධාරණ කොටා…

මේ කතාවත් අපේ ඔෆිස් එකේ ඉන්න රජ පොරක් ගැන. කලිනුත් කිව්වනේ… ක‍ෆීර් දෙක බිම දාන්න තරම් කටක් තියෙන අයත් අපේ ඔෆිස් එකේ ඉන්නවා කියලා. ඇත්තෙන්ම මේ අයියා නම් මොන භාසාවෙන් කිව්වත් කියන්න වෙන්නේ …. එල පොරක් කියලා තමා. දැන් ඉතිං හිතන්න එපා මං මේ ඒ අහිංසකයට මඩ ගහන්න හදනවා කියල එහෙම හරිය… අපි පොර අයියට සමන්ත කියමු. බැරි වෙලාවත් මේ පෝස්ට් එක මොකෙක් හරි දැක්කොත් මං ඉවරයි.

ඉතිං අර කිව්වත් වගේ සමන්ත අයියා වචනයේ පරිසමාප්තියෙන්ම පොරක්. සමන්ත අයියා ටිකක් මිටියි. ටිකක් කියන්නේ අඩි හතරයි අඟල් හයක් විතර…. හැබැයි පොරට තියෙන සම්බන්ධකම් නම් අහසටත් වඩා උසයි. ඕනෙම දේකට ඕනෙම වෙලාවක මිනිහාට කෝල් එකක් දුන්නනම් අපිට දැන ගන්න ඕනේ විස්තර ටික පැයක් ඇතුලත හොයාගන්න පුළුවන් තරමටම සමන්ත අයියගේ නෙට් වර්ක් එක පැතිරිලා තියෙන්නේ…

හිතන්නකෝ ධර්ම දේශණාවකට රටම පිළිගත් හාමුදුරු කෙනෙක් වඩම්මවා ගන්න ඕනේ කියලා. අපිට කරන්න තියෙන්නේ සමන්ත අයියේ…. අහවල් හාමුදුරුවෝ අපිට වඩම්මවා ගන්න ඕනේ, මොකද කරන්නේ…? කියලා අහන එක විතරයි. ඊට පස්සේ …. ආ… එහෙමද…? කොහොදට…? කීයටද…? කවදද…? කියලා අවශ්‍ය කරන විස්තර ටික ඔක්කොම අහගන්නවා… පැත්තකට ගිහිං කෝල් එකක් දානවා… එච්චරයි…

ඊට පස්සේ තව චූටි වෙලාවකින් හාමුදුරුවන්ට එදාට එන්න පුළුවන්ද බැරිද… කියන එකේ ඉඳන් ධර්ම දේශනාව දවසට ලෑස්ති කරන්න ඕනේ කලමනා වෙනකම්ම සියළුම විස්තර පොරගෙන් ගන්න පුළුවන්.

මං දන්න තරමින් මෑන් ගෙවල් කිට්ටුව තියෙන හැම සමිතියකම වගේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ ලේකම් හරි මොකක් හරි පට්ටමක් තියෙනවා… ඊට පස්සේ පන්සල් කීපයකම කාරක සභාවේ ඉන්නවා… ඒ කොහොමද කියන්න නම් දන්නේ නෑ… ඒක නිසා දානෙකට බනකට හාමුදුරු කෙනෙක් වඩම්මව ගන්න එක සිම්පල්. හාමුදුරුවරුත් පොරව හොඳට දන්නවා. මොකද ගොඩක් වෙලාවට මෑන් පොඩි අයත් එක්ක පෝය දාට සිල් ගන්නත් යනවා. ඒ මදිවට හැම පොලිසියකම එක ලොක්කෙක්ව හරි දන්නවා. ඒක නිසා මෑන් එකක් කොහෙවත් යන්න බය නෑ,…

අනික තමා වැදගත්ම කාරනේ… දැං මේ උෂ්නෙ තියෙන කොල්ලන්ට කියන්නේ… අඩෝව්, එකෙක්වත් සමන්ත අයියගේ නොම්මරෙ ඉල්ලලා එහෙම කෑගහනවා නෙවෙයි හරිය… එව්වට ආවොත් ‍පොර ගාව ඒවටත් බෙහෙත් තියෙනවා…. මං දන්න තරමින් මූ හෙනම සමාජ සේවකයෙක්. කසාද බඳින්න කලින් එක්ස්පිරීයන්ස් ගන්න අවශ්‍ය උන්ට ඒ අවශ්‍ය ස්ථාන සෙට් කරන්නත් මෑන්ස්ට බලය තියෙනවා. ඒ වගේම විශේෂ වට්ටම්, එතකොට විශේෂිත වෙන් කිරීම් කරන්නත් පොරට පුළුවන්. අවුරුදු 20 සිට ඕනෑම වයස් කාන්ඩෙකින් ඉල්ලුමට අනුව සැපයුම දෙන්න තරමට සමන්ත අයියට කනෙක්ෂන් තියෙනවා.

තව අමතර සේවයක් වශයෙන් වශී ගුරුකම් කරන ගුරුන්නාන්සෙලාවත් සෙට් කිරීමේ කටයුත්තකුත් තියෙනවා. එවුව වැරදිලා මැරුම් කන්න වුනොත් පොර අඳුරන මල්ශාලා කීපයකුත් තියෙනවා…. එව්වට කියලා ඩිස්කවුඩ් දාලා පෙට්ටියේ වැඩේ කරගන්න පුළුවන්.

ඒ වගේම තමා, කවුරු හරි ඇමති කෙනෙකුව හම්බු වෙන්න ඕනේ නම්… මිනිහාට කිව්වම කොහෙන් හරි විස්තර හොයලා හම්බුවෙන්න පුළුවන් වෙලාවල්…. ස්ථාන අරවා මෙව්වා විස්තර ඔක්කොම දෙනවා. හරියට නිකං ලෝකල් විකිපීඩියා වගේ තමා. ඔන් ලයින් චැනලින් සේවාවත් තියෙනවානේ….

ඒ වගේම පොර හරිම හොඳයි. මං හිතන්නේ මිනිස්සු ආශ්‍රය කරලම ලබාගත් අත්දැකීම් අනුව තමා ඒ. ඕනෙ කෙනෙකුට ඕනෙ වැඩකට උදවු කරනවා…. ඉතිං ඔය සාධාරණා කොටා කාඩ් එක ගහලා තියෙන්නෙත් ඒකමයි.

ඒ අස්සේ මූට දැන් පුතාලම තුන් දෙනෙක් ඉන්නවා. පොරට වයස අවුරුදු 45ක් විතර ඇති. පොඩිම පුතාට වයස මාස දෙකයි. බලන්න ඉතිං තාම ෆිට් පොරක්නේ. එච්චරනම් කමක් නෑ කියමුකෝ…. මූ කියනවනේ දූ පොඩ්ඩක් හදාගෙන මිසක් ගේම අත්හරින්නේම නෑ කියලා….

නෞකාවකි ඔබ ඈත සමුදුරේ…! ඔව් ඉතිං…..?

කට්ටිය දන්නවා  නේද… ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගෙයි, ප්‍රදීපා ධර්මදාස මහත්මිය‍ගෙයි ලස්සන සිංදුවක් තියෙනවා…. සුපෙම් හැඟුම් ඔබෙන් එපා…. මිතුරු දම් විනා…. කියලා…. ඉතිං දවසක් දා බස් එකේ යද්දී ඔය සිංදුව ඇහුනා. අනේ මන්දා මං එදා ඇ‍ඳෙන් නැගිට්ට පැත්ත වැරදිද කියලා, මට හිතෙන්නෙම පහන් ටැඹ කියන දේට විරුද්ධව ගේම ඉල්ලන්නමයි. ඒ කියන්නේ මට නෞකාව වෙන්න ඕනේ කියන එකයි.  දැන් ඉතිං කට්ටිය හිතන්න එපා මේක මේ සිංදුවට කරන අපහසයක් කියලා… ඒ වගේම මේ ගයනා කරන දෙපලටවත් ලිව්ව ඇත්තොන්ටවත් කරන අපහසයක් නෙමේ මේ… මොකද මාත් මේ සිංදුවට හෙන ආසයි. ඒ වගේම මේ ලියාගෙන යන්නෙත් නිකමට මට හිතිච්චි එව්වා.

සිංදුව මතක නැත්තං අහලම ඉන්න.

ඉතිං ඔය සිංදුවේ පහන් ටැඹ කියනවනේ… නෞකාවකි ඔබ ඈත සමුදුරේ, මා පහන් ටැඹයි මෑත ගොඩබමේ කියලා… ඉතිං මං අහන්නේ කොහොමද බොල පහන් ටැඹ කතා කරන්නේ…? අනික … බලන්න දැන්…. එයා පහන් ටැඹ වෙලා මාව නෞකාවක් කරලා…. ඒ මදිවට මං මුහුදේ යන එක තැනක ඉන්නේ නැති ගානට කතාව. හරි සෝක්…. කොටින්ම කියන්නේ මට එක හිතක් නැති නොසංඩාලයෙක් කියලනේ…  එත‍කොට පහන් ටැඹ හරී…. හොඳ එක්කෙනා…. එයා කිසි දෙයක් කරන්නේ නෑ… එක තැනකට වෙලා මට ලයිට් ගගහා ඉන්නවා…. මං අහන්නේ… ඔය ලයිට් පත්තු වෙන්නේ මං යද්දී විතරද…?

මං හැර වෙනත් නැව් මේ පහන් ටැඹ දිහා බලාගෙන යන්නෙ නැද්ද…? ඒ යන අනිත් නැව් වලට ලයිට් ගහන්නේ නැද්ද…?  ඊටත් වඩා පහන් ටැඹක අගේ තියෙන්නේ රෑටනේ… ඒ කියන්නේ ඉතිං ඔය ලයිට් එක ගහන්නේ රෑටනේ. ලැජ්ජා නැද්ද තනි පංගලමේ මුහුදේ යන නැව් වලට වෙරල අයිනට වෙලා ලයිට් ගගහා ඉන්න… ඈ…? ඔය හැදිච්ච පහන් ටැඹක හැටිද…? එව්වට උත්තර නෑ…. එනව මෙතෙන මාව විතරක් වැරදි කාරයා කරන්න… එව්වා කොහෙද මාත් එක්ක….

ඒ මදිවට මට කියනවා… සුපෙම් හැඟුම් මගෙන් එපාලු…. සුවර් එකට එහෙනං වෙන නැවක් ඇතිනේ. ආපු දෙන්කෝ ඕකා. ඌ දන්නේ නෑ මං හෙන යුධ නැවක් කියලා. යවනවා අන්ඩර් වෝටර් මිසයිල් එකක්. පහන් ටැඹ දන්නේ නැති වුනාට මයෙ ගාව තියෙනවා මරු රේඩාර් සිස්ටම් එකක්. පහන් ටැඹ පේන මානෙට කෙල හලාගෙන එනකොට මං දෙනවා…. ඩිෂුම් … ඩිෂුම්… ඩෝං …. ගාන්න.

‍කොහොම කිව්වත් යන්නේ නෑ…. නෑ…. නෑමයි මේ පහන් ටැඹ දාලා. හ්ම්…. මිතුරු දමින් හිටියා දැන් ඇති…. දැං මං දෙන්නෙම සුපෙම් හැඟුම්… එපා කිව්වට අහන්නේ නෑමයි මං… කොහොමත් පහන් ටැඹ.., ඔයාට බැහැනේ මාව දාලා දුවන්න… ඔයා ඉන්නේ එක තැනකනේ…

මං හෙන අඳුරේ ඉද්දී පහන් ටැඹ තමා මට ලයිට් ගහලා පාර පෙන්නුවේ… මට පහන් ටැඹ ගාවටම එන්න බැරිවෙයි තමා…. ඒත් පහන් ටැඹ ලඟ වෙරලට වෙලා මං නැංගුරම් දානවා හිතුනොත් හෙම. හිත ගොඩක් තද කරගෙන ඉවසගෙන ඉන්නේ… සුපෙම් හැඟුම් එපා කිව්වට. හ්ම්… දැන් එනවා බබා වෙන්න. සුපෙම් හැඟුම් එපා නම් මොන මගුලටද මට ලයිට් ගහලා පාර‍ පෙන්නලා දුන්නේ. මං යන පාර වෙනස් කරේ. පාඩුවේ හිටියනම් ඉවරයිනේ…. මට මං යන පාරේ යන්න දීලා. ලයිට් ගහලා ගහලා මාව මඤ්ඤං කරලා දැන් එනවා සුපෙම් හැඟුම් එපා කියන්න. මං ආයෙ කියන්නේ නෑ ඕං…. කවුරු කිව්වත් මං මගේ හීනය අතාරින්නෙත් නෑ….

කොච්චර කිව්වත් ඉතිං තේරෙන එකක්යැ. යකෝ පහන් ටැඹ, උඹ නැතුව නැවට පාලුයි…

මං කියන්නම් වැඩක්…. පහන් ටැඹ මට විතරක් පේන්න චූටියට ලයිට් ගහන්න. එතකොට වෙන නැව් වලට පේන්නේ නැහැනේ… මං පහන් ටැඹ ලඟටම වෙලා බලාගෙන ඉන්නම් ලයිට් එලිය දිහා. හැබැයි එතකොට් මට කිව්වොත් එහෙම… නෞකාවකි නුඹ ඇත සමුදුරේ කියලා… සත්තයි අන්ඩර් වෝටර් මිසයිල් එක ලෝන්ච් කරනවා මං.

මං දන්නවා මං පහන් ටැඹට සැර වුනත්… කොයි තරම් කෑගහලා පහන් ටැඹම සුපෙම් හැඟුම් එපා කිව්වත්…. පහන් ටැඹ බලන් ඉන්නේ මේ නැව දුර ඈත ක්ෂිතිජයෙන් මතු වෙනකං කියලා. ඒත් මොන මගුලටද එහෙනම් ඔය ලයිට් එක හැමෝටම ගහන්නේ… මාව දැක්කම විතරක් ලයිට් ගැහුවම ඇතිනේ. ඊටත් මං අනිත් නැව් එක්ක එන්නෙත් නැහැනේ… තනියමනේ එන්නේ… ඒක නිසා හොඳ පහන් ටැඹ වගේ මාව දැක්කම විතරක් ලයිට් ගහන්න හොඳද…?

නැත්තං මං හයියෙන් ඇවිල්ලා පහන් ටැඹේ හැප්පිලා, පහන් ටැඹත් බිම දාගෙන මාත් පවුඩර් වෙනවා. පහන් ටැඹ නැතුව මට ඉඳලා වැඩක් නෑ. ඊටත් මේ පටන් ටැඹ අනිත් එව්වට වැඩිය හොඳයි…… තේරුනාද පහන් ටැඹට…?

එකවර දෙපිට…. අන්තිම නෑම

නෑම ගැන කට්ටිය දන්නවනේ… ඉතිං මාත් ඔය අනිත් අය වගේම නෑන එකෙක්නේ. බීම සහ බීමෙන් පසු නෑම ගැන මටත් කතා කීපයක් හැදුවා ලෝකයා. එයින් දෙකක් මං කලින් දැම්මා…

මේං එක….

මේං දෙක…

ඉතිං මේ හතරවන සහ අවසන් නෑම…. තව නෑමක් මේ ළඟදී නාගත්තා. ඒක ඉතිං කාටවත් ඇනයක් නොවුන නිසා ඒක හරිහමං නෑමක් කියන්න බෑ… ඉතිං මෙහෙමයි මේ නෑම ආරම්භ වෙන්නේ. අපේ ඔෆිස් එකේ අයියා කෙනෙක්ගේ අම්මා නැතිවෙලා… මළගෙදර තියෙන්නේ ගිනිගත්හේනේ… දැං ඉතිං කට්ටියම මළගෙදර යන්න ලෑස්ති වෙද්දී මාත් ඉතිං ඕනෙ රෙද්දක් ලියලා ටී ෂර්ට් එකක් එහෙම අරගෙන ගිහිං වාහනේ යන ලිස්ට් එකට නම ඔබා ගත්තා.

පස්සේ ඕං හවස 4.30ට වැඩ ඉවරවෙලා එහෙම කට්ටිය යනවා. ඒ මං හිතන්නේ ජනවාරි මාසේ. ජ

නවාරි වල තමා අපේ ලොක්කගේ බර්ත් ඩේ එක තියෙන්නේ. ඉතිං කට්ටියම කතා වෙලා ගියේ බර්ත් ඩේ පාර්ටි එකත් මේ ගමන්ම ගමු කියලා. යන්න මළ ගෙදරක තමා… ඒත් ඉතිං යන ගමන් පාර දිගේ අඬ අඬ යන්න පුළුවනෑ… ඒක නිසා කට්ටිය ඒක මතිකව තීරණය කලා යන ගමන් හිනා වෙවී ගිහිං… මළ ගෙදරට ගිහිං ඇතිවෙන්න අඬනවා කියලා. ඒක නිසා ඕං කොට්ටාව හරියේ වයින් ස්ටෝස්ර් එකක් ගාව වාහනේ නැවැත්තුවා. දැං ඉතිං අරිෂිටේ වර්ග ඔක්කොම අපේ බොස් ගානේ…. පිං කොක් තමා….

පස්සේ දැන් ‍හැමෝගෙම තීරණය බ්‍රැන්ඩි. සික්… විතරක් මං නම් ඔව්වා අ‍ායේ කටේ තියන්නේ නෑ… අම්මපා බියර් එකක්වත් බොන්නේ නෑ කියලා තමා හිතාගෙන උන්නේ… ඒත් ඉතිං මක් කොරන්නද….?

මල්ලී උඹට මොනාද….? ඒ මහේෂ් අයියා…

මට එපා බං‍‍‍‍‍‍…..

අනේ මේ බොරු නැතුව ඉක්මනට කියපං මොනාද ඕනේ කියලා…..

ඔච්චර පෙරත්ත කරද්දී නොබී ඉන්න පුළුවනෑ… එතකොට ඉතිං හිතන්නේ මුගේ හෙන ඔළුව කියලනේ… ඒක නිසා මාත් ඔන්න ඔහේ….

බි

යර් එකක් ගන්න…. කිව්වා.

ඌ ඉතිං මගෙන් බ්‍රෑන්ඩ් එකක් ඇහුවෙත් නෑ… පස්සේ ඔන්න අරගෙන ආවා බ්‍රැන්ඩි 8යි බියර් එකයි.

ආ මේං… උඹේ බියර් එක… මේක තනියම බොන්න ඕනේ හරිද…. ඉතුරු කලොත් එහෙම තෝව නාවනවා….

මහේෂ් අයියා හිතුවේ ගිය පාර පිරිත් ගෙදරදී චා උන නිසා මේ පාර නොබී ඉඳියි කියලා. එව්ව කොහෙද ඩෝ මාත් එක්ක. අනික ස්ට්‍රෝන්ග් හරි කාල්ස් බර්ග් හරි… ගෝල්ඩ් බ්‍රෑන්ඩ් එකෙන්. බෝතලය රුපියල් 320ක් විතර තමා වෙන්නේ…. මොකෝ ඉතිං අපේ අතින් යන එකක්යෑ… ලොක්කගේ කාඩ් එකෙන්නේ….

ඊට පස්සේ ඉතිං ඕං කට්ටිය සිංදු කියනවා… ඒ අස්සේ ලොක්කත්‍‍‍…. පුතා මේං බයිට් කියලා චිකන් වගේකුත් මගේ දිහාට දික් කරා. ඔව්වා එපා කියන්න පුළුවනෑ… ඒකත් ගත්තා…. පස්සේ හිමීට හිමීට

සීතල බියර් එක කටේ තියාගෙනම උගුර උගුර බොනවා… අනිත් එවුන් නම් රිසයිකල් කප් වගයක් අරගෙන….

පස්සේ ඉතිං ඕං සෑහෙන දුරකට ආවා. කොයි හරියෙද කියන්න මතක නෑ… මතක තියෙන්න විදියක් කොහොත්ම නෑ කොහොමත්… අර බියර් එක නම් සුපිරි. ආයේ මොනාද, හුළං පාර වදිද්දී…. මාර සනීපයි ඇඟට. නිකං පාවෙනවා වගේ…. පස්සේ කොහොමහරි බීලා බීලා අපේ කට්ටියට හාවෙක් අල්ලන්න ඕනෙ කියලා ආයෙම නැවැත්තුවා වයින් ස්ටෝර්ස් එකක් ගාව. ආයෙම මහේෂ් අයියා….

බෝතලේ දියන් මෙහාට… දැන් මට හෙන අප්සට්, මූ කොහොමද මගේ බියර් එක ඉවර බව දන්නේ කියලා….

දියන් යකෝ… බෝතලේ දීලා තව එකක් ගේන්න….

අප්පට සිරි අර ලැජ්ජ වෙවී තිබ්බ හිත එකපාරටම බෝතලේට මූඩියත් ගහලාම දුන්න මහේෂ් අයියට….

මූඩිය උඹ කාපන්… කියලා ඌ ආයෙම මට ඒකෙන් ගැහුවා. පස්සේ ඉතිං ඕං එනවා අපේ දිව්‍ය පුත්‍ර මහේෂ් … මගේ බියර් එකත් අරං…

ආ මෙන්න…. එල බ්‍රෑන්ඩ් එකක්…. කියලා වෙන මොනාද මන්දා බ්‍රෑන්ඩ් එකක් ගෙනත් දුන්නා…. බ්‍රෑන්ඩ් එක මතක නෑ… මොකද ලේබල් එක බැළුවට අකුරු ටික කියෝ ගන්න ටිකක් අපහසු වුනා. පස්සේ ඔන්න ආයම ගමනේ යා… ඉතිං ඔහොම කඳු පල්ලම් බැහැගෙන යද්දී හම්බුනා වංගු පාරක්….

ටික

වෙලාවයි ගියේ.. මෙන්න එකෙක්…. වෑන් එකෙන් එලියට ඔලුව දාගෙන …. ඕක්… ඕක්… ගානවා.

අපේ අයියලගේ හොඳකම කියන්නේ කවදාවත් බීලා වැඩිවුන එකෙකුට උං විහිළු කරලා තවත් අජ කරන්නේ නෑ…. කබරයා නාගන්නේ නැතිව සේෆ්ලි පිට කරන්න පුළුවන් තරම් සපෝට් එකක් දෙනවා මිසක්. ඉතිං ඕං පැය භාගෙක විතර හෙන මෙහෙයුමකින් පස්සේ යන්තං සේප්.

ඒ එක්කම වෑන් එක නැවැත්තුවා‍‍‍‍…. ඒ ඉතිං මළ ගෙදර යන්න… දැන් නං ඉතිං කට්ටියගේ මූන අඬන සයිස් එකට අමුතුවෙන් මේකප් කරන්න ඕනේ නෑ… කොහොමත් ඇ‍ඬෙන සයිස්. වැඩිය ඕනේ නෑ… වයසක සීයා කෙනෙක් දැක්කත්, අනේ සීයේ දැම්ම අපිව දාලා යන්න එපෝ කියලා විලාප තියල ඇ‍ඬෙන ගානට කට්ටිය සෙන්සිටිව් වෙලා.

වෙද්දී මගේ බියර් එක තුන් කාලක් ඉතුරුයි. කබරයාත් ෂේප්. කොල්ලත් කෙලින්… පස්සේ තවත් අමාරු වෙන්න කලින් කට්ටිය එකක් ගිහිං මළ ගෙදර අයට ආචාර කරලා, ටිකක් වෙලා කතා කරලා එහෙම ආයෙම එන්න පිටත් වුනා….. අනේ ඉතිං ආයෙම එන්නත් ඕනේ අර වංගු පාරෙන් … ඒ මදිවට මං ඉතුරු බියර් තුන් කාලෙන් භාගයක්ම බීලා….

පස්සේ ඔන්න ආයෙමත් මට ඕක් ඕක් වගේ…. ඒත් වාසනාව කියන්නේ… අපේ සීට් එකේම අනිත් කෙලවරේ හිටිය අමද්‍යප අයිය කෙනෙකුත් වාහනෙන් එලියට ඕක්… ඕක්… බැලුවම පොරට වංගු වල යන්න බැහැළු. කබරයා පයිනවා. ඒ අතින් අපි හොඳයි කියලා හිතන කොටම මටත් ඕක්…. දැන් නම් බඩු හරි කියලා දැම්ම ඔලුව එලියට… ආයෙත් දැනවා බැටේ හිටු කියලා….

ඔහොම ටික දුරක්

යද්දී තව අයියා කෙනෙක් අපි දෙන්නගේ මැද්දෙන් ඉඳගෙන අපේ දෙන්නගෙම පිටවල් අතගානවා. ඔය සීන් එක දැක්ක කියහංකෝ ඉස්සරහ සීට් එකේ හිටියා අපේ ලොක්කා… මෑන්ට අම්බානෙට හිනා…. අපිට ඉතිං හිනා වෙනවා තියා පාං කියාගන්න බැරුවනේ හිටියේ… ඒක නිසා මොකද සෑර් හිනාවෙන්නේ කියලවත් අහගන්න විදියක් නෑ…

පස්සේ ඕං ලාවට

වගේ ඇහුනා…. ආ අනුර…. එක වර දෙපිට වගේ නේද…. කියලා, අපේ ලොක්කගේ හිනා හඩ අස්සෙන්ම. අනේ මන්දා කව්ද කියපු එක‍ා කියලා, සමහරවිට ලොක්කමද දන්නෙත් නෑ….

පස්සේ ඉතිං එදා ඉඳන් මමත් එක වර දෙපිට සෙට් එකේ සාමාජිකයෙක්. ඔය අහෙන් මෙහෙන් එක එක එව්වා කියලා කෑගැහුවට මං නම් තඹ සතේකට ගනන් ගන්නේ නෑ…. ඔව්වා ඉතිං ඉරිසියාවට කියන කතානේ.

කොල්ලන්ට පමණයි… හිතගිය ඇත්තිගේ ආදරේ රැකගන්න විදිය…

කරුණාවෙන් සවන්දෙන්න…. මේ ලිපිය පිරිමි ළමයින්ට පමණක් බව සලකන්න. ගෑණු ළමයි මේක බලලා…. තමන්ගේ උරුමක්කාරයින්ට වදයක් වෙනවට වඩා මේක නොබල ඉන්න ඇඟට ගුණයි.

දැන් ඉතිං ටික දවසක ඉඳන් මං කියාගෙන ආවනේ ගෑණු ළමයෙක්ට හිත ගියොත් එයා බැඳලද නැද්ද, එතකොට වෙන්ඩ අයිතිකාරයෙක් ඉන්නවද නැද්ද කියලා හොයාගන්න හැටි එහෙම. ඉතිං ඒ ලිපියට තරමක් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා ඒකෙම තව කෑල්ලක් දැම්මා කෙල්ල සිංගල් නම් අකමැති වුනත් කැමති කරගන්න පුළුවන් ටක්ටෙකම හරියන වශිගුරුකමක් ගැන කියලා. පස්සේ ඉතිං ඒකටත් සතුටුදායක පිලිතුරු ටිකක් තිබ්බ නිසා තුන්වෙනි කොටසක් දැම්මා ගෑණු දැරිවිගේ ආදරේ වැඩි කරගන්න හැටි ගැන.

ඉතිං මේ අද කියන්න යන්නේ මුලින් කිව්ව ඔක්කොම කරගත්තාට පස්සේ ලැබෙන ආදරේ තව දුරටත් රැකගෙන තවත් ආදරේ වැඩි කරගන්න හැටි ගැන. දැං මේක නිකං පන කඩාගෙන ගෑණු ළමයෙක්ව සෙට් කරගන්න ට්‍රයි කරන සහ කරගත්ත වුන්ට දෙන ඔන් ලයින් ටියුටෝරියල් එකක් වගේ. මුලින්ම කියන්න ඕනේ … ගොඩක් කට්ට කාලා ගන්න ආදරේ වුනත් ලේසියෙන්ම ලැබෙන ආදරේ වුනත් වටිනාකමක් දැනෙන්නේ ඒක ආයෙමත් නැති වුනොත් විතරයි. ඒත් ඒ ආදරේ කවදාවත් නැතිනොවී තව තවත් වටිනා කමක් එකතු වෙලා ලස්සන වෙනවනම් ඒක තමා සැබෑ ආදරේ කියන්නේ…. අනිත් එක තමා ඒ ලැ‍ෙබන ආදරේ රැකගන්න එක ටිකක් අමාරු දෙයක්.

දෙන්නට දෙන්න හොඳ ඉවසීමකින්, දෙන්න ගැන හොඳ විශ්වාසයකින්… හොඳ පැහැදීමකින් කටයුතු කරනවා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් කෙල්ල/කොල්ලා ගේ ආදරේ නැති නොවෙන්න රැක ගන්න, ආදරේ දෙන්න කොල්ලා/කෙල්ල දැනගන්න ඕනේ.

මේ කියන්න යන්නේ තමන් ආදරේ කරන කෙනාට හිතේ පිරෙන ආදරේ කියාගන්න ලැජ්ජයි වගේ නම්, ඒ ආදරේ තෑග්ගකට හරවලා කෙල්ලට දීලා… ඒ තෑග්ග දැක්කම කෙල්ලගේ මූනේ ‍ඇ‍ඳෙන සතුටු හිනාව දැකලා කොලු පැටියට සතුටු වෙන්න පුළුවන් විදිය. බැන්දට පස්සෙ නම් බය වෙන්න දෙයක් නෑ… හිතේ තියෙන ආදරේ රාත්‍රි කාලයට පැය දෙක තුනකින් කියන විදියක් තියෙනවලුනේ. එව්වා ඉතිං මං දන්නේ නෑනේ. මං දන්නේ මෙච්චරයි….

හිතන්න ඔයාලට ආදරේ කරන ගෑණු ළමයා දිනපතාම මුන ගැහැනෙවා කියලා… එතකොට නම් ඉතිං ආදරේ ඒ තරම් වටිනාකමක් තේරෙන්නේ නෑ… කමක් නෑ කොහොම වුනත් … ඒ ගෑණුළමයට මාසයකට පාරක් වත් පුංචි තෑග්ගක් දෙන්න පුළුවන්නම්… කෙල්ල කොල්ලට නොකිව්වට කෙල්ලට කොල්ලා ගැන ලොකු ආදරයක් ඇතිවෙයි. හැබැයි ඒ තෑග්ග හැමෝම දෙන තෑග්ගක් නොවෙන්න වග බලාගන්න ඕනේ. මොකද කෙල්ලෝ සෙට් එකක් එකතු වුනාම එයාලා කතාකරනවා එයාගේ අයිතිකාරයෝ ගැන…. ඉතිං ඒ අස්සේ අනිවා ඩෙෆා ඔය හම්බුවෙන තෑගි ගැනත් කතා කරනවා ඇති. ඉතිං ඒ වගේ වෙලාවක කිසිම කෙනෙකුට හම්බුනොවිච්ච තෑග්ගක් තමාට හම්බුවෙලා තියෙනවා කියලා, යාළුවෝ මැද්දේ ආඩම්බරෙන් කියන්න පුළුවන් තෑග්ගක් දෙනවා නම් ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ. ඒක නිසා හැම තිස්සෙම වෙනස් විදියට හිතන්න. වෙනස් දෙයක් ලස්සන දෙයක් තෑගි කරන්න.

දැන් ඉතිං අහන්න එපා කොහෙද ඒ වගේ තෑගි තියෙන්නේ කියලා… තමන්ට ඇත්තටම වුවමනාවක් තියෙනවා නම් පාරේ අයිනේ පදික වේදිකාවල පවා තියෙනවා. නැත්තං බුක් ෂොප් වල, එම්. සී එකේ දෙවෙනි තට්ටුවෙ… ලිබර්ටි එකේ…. ද ලවර්ස් ෂොප් වල…. ෆැෂන් බග්…, නෝ ලිමිට්… එතකොට කේ සෝන්… වගේ තැන්වලත් තියෙනවා. ඇත්තටම අවශ්‍ය වෙන්නේ ගෑණූ ළමයගැන තියෙන ආදරයයි, තෑග්ගක් දීමේ වුවමනාවයි විතරයි.

ඊට පස්සේ පූලුවන්නම් හිත ගිය ඇත්තගේ කැමත්තත් ඇතුව දවල් වෙලාවක හරි සැන්දෑ වෙලාවක හරි කෙල්ලව භෝජන සංග්‍රහයකට එක්ක‍ගෙන යන්න. ටිකක් විතර අඳුරු, විදුලි බුබුලු වලින් ආලෝකවත් වෙන තැනකට යන්න පුළුවන් නම් මැක්සා. මොකද දවල්ට දැනෙන රස්නය නැතිවෙලා සුවදායක විදියට කෑම වේලක් ගන්න තියෙනව කියන්නේ ඇත්තෙන්ම ලොකු දෙයක්. දැන් ඉතිං මේක කියවන්නේ කොල්ලෝ විතරයිනේ… ඒක නිසා මං පොඩි දෙයක් කියන්නම්… ඔයාලා බලන්න යම් කෑමක් ඕඩර් කරද්දී ගෑණූ ළමයා කැමතිම දෙයක් ගන්න. ඔයාලා ඒ කෑමට අකමැති නම් ඔයාලට වෙන දෙයක් ගන්න… මොකද ඉතිං කෙල්ලගේ බඩ පුරෝලා අපිට බඩගින්නේ ඉන්න පුළුවනෑ… ඉතිං ඒ කෑම කන ගමන් පොඩ්ඩක් කෙලි පොඩ්ඩගේ මූන දිහා බැළුවනම් සමහරවිට ඔයාලගේ බඩ පිරෙයි… ගෑණු ළමයාගේ මූනේ තියෙන සතුට දැකලා.

අම්මට සිරි මට කලිං කියන්න බැරි වුනා… මේ කිසිම දෙයක් කෙල්ලට කලිං දැනුම් දෙන්න එපා. එතකොට ගේම් එක ටිකක් අප්සට් වෙනවා. ගෑණු ළමයට විවේකයක්  තියෙනවා නම් ක්ෂණිකව තීරණය කරන්න. කලිං නොදන්වා කරන මේ වගේ දෙයකින් මං හිතන විදියටනම් කෙල්ලෙක්ගේ හිතේ කොලුවෙක් ගැන තියෙන ආදරේ ගොඩක් වැඩිවෙනවා. ඒ වගේම, යාළු‍වනේ උඹලා හිතන්න එපා මේ කරන්නේ කෙල්ල වෙනුවෙන් ඔයාලගේ දතක් ගලෝගන්නවා කියලා… ඇත්තටම තමන්ගේ අනාගත සහකාරිය වෙන්න ඉන්න කෙනාට ආදරෙන් සලකන එක, රැකබලා ගන්න එක, සතුටු හිතෙන දෙයක් දීලා පුදුමයට පත්කරන එක දතක් ගලවා ගැනීමක් නෙවෙයි මං නම් හිතන්නේ… ඒත් ඉතිං ස්පෙයාර් වීල් වලටනම් සල්ලි වියදම් කරන්න එපා. තේරුමක් නැහැනේ… තාවකාලික සතුටක් වෙනුවෙන් ඔය තරම් මැරෙන්නේ මොකටද…

ඉතිං දැං කොයි තරම් එපා කිව්වත් කෙල්ලොත් මේක බලනවනේ… ඒක නිසා ගෑණූ ළමයින්ට තමා මේ ටික… මේ වගේ දේවල් නොදුන්නා කියලා ඔයාලගේ අයිතිකාරයා ඔයාලට ඇත්තටම ආදරේ නම් ඒක හදවතට දැනේවි. එයාලගෙන් කිසිම වෙලාවක මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නවත්, ඉල්ලන්නවත් යන්න එපා. එතකොට ඒ ආදරේ වැඩක් නැති වෙනවා. ඒ වගේම ඔයාලට විවේක වෙලාවක සමහරවිට ලොකු පුදුමයක් වෙනුවෙන් විතරක් බලාසිටින්න… කියන්න බැහැනේ… චූටි අද රෑට අපි ඩිනර් එකකට යමුද කියලා ඇහුවොත්…?

අනිත් වැදගත්ම එක තමා… මේ වගේ ආදරණීය හැඟිමක්  එක්ක වෙනත් හැඟීමකට ඉඩ දෙන්න එපා. ආදරය කියන එක හොඳින් විඳලා ඉන්න වෙනත් දේවල් වලට යන්න කලින්. නැත්තං ඒක ආදරය නෙමේ වගේ වෙනවා. ඔහොම කිව්වට ‍තේරෙන්නෙ නැති බබාලට කියන්නේ… යකුනේ රොමැන්ටික් කියන එකයි ලස්ට් කියන පටවලා ගන්න එපා. එහෙම වුනොත් ඉතිං අනේ මන්දා කොහොන් නවතීයිද කියලා…. ඉතිං ඒ වගේම තමා ….. මේ ක්‍රමය ස්පෙයාර් වලට අදාල නැහැ. ස්පෙයාර් වීල් වලට මේ ක්‍රමේ අත්හදා බලන්න ගිහිං එව්වා ඔරිජිනල් වීල් වුනොත් එහෙම මං නෑ ඕං….

%d bloggers like this: