මගේ දෙමළ ලව් එක ගැන කියන්න අමතක වුනානේ…

මේ සීන් එක නම් මට කොහොම අමතක වුනාද මන්දා. මොකද මං කොහොමත් කල්චර් එක මික්ස් කරගන්න කැමති නිසා, මේ කෙල්ලව මට මතක තියෙන්නම තිබුනා. ඒත් ඉතිං කරුමෙට අමතක වෙලා තමා තිබුනේ… මට ඉතිං බෝල ඇස් තියෙන මුස්ලිම් කෙලි පැංචියක් හිටියා. ඊට පස්සේ මාව අනාත නාත කරපු සිංහල කෙලි පැටික්කියක් හිටියා. මේ කියන්න යන්නේ හිත හිරිවට්ටපු දෙමළ කෙල්ල ගැන.

ඉතිං ඔන්න ඊයේ… මං ඔෆිස් ගිහින් හවස ගෙදර යන පිළිවෙල පොඩ්ඩක් වෙනස් කරලා වැල්ලවත්තට පොඩියක් ගියා යාළුවෙක් මුන ගැහෙන්න. ඉතිං ඒ වැඩේ කරගෙන එද්දී ටිකක් විතර රෑ වෙලා… ම්… හතට විතර ඇති ඒ වෙලාවේ. මමත් 141 බස් එකේ ඇවිත් වැල්ලවත්තෙන් බැහැලා ගාලු පාරේ හෝල්ට් එකට එද්දී… මෙන්න බොල හිමීට හිමීට වැහි බිංදු වැටෙනවා. මං ඉතිං කෝමත් ඔය වැහි පිනි කැට වලට පෙරේතයා නිසා කූඩේ බෑග් එකේ තියාගෙන තෙමී තෙමීම බස් හෝල්ට් එකට යනවා කියලා හිතා ගෙන ඉස්සරට ගියා. ම්හු… තව යන්න බෑ වැස්ස තදයි. ඒ පාර ඉතිං ලොතරැයි විකුණන කඩයක් අස්සට රිංගලා කූඩේ අරං දිග ඇරගෙන ගියා හෝල්ට් එක ගාවට. හ‍පෝ එතෙන්ට කිට්ටු කරන්නවත් බෑ…. වැස්සට සෙනග ඔක්කොම එතෙන්ට රොක් වෙලා…. ඉතිං මං හෝල්ට් එකට එලියෙන් හිටියා. මගේ එහා පැත්තෙන් ස්කෝලේ යන ගෑණු ළමයෙක්… දෙමළ එක්කෙනෙක්. පස්සේ මං නොදැක්ක ගානට ගිහිං ඉද්දී… මේ කෙල්ල මට පේන්න අර මහ වැස්සෙම කුඩෙත් ඉහලගෙන මගේ ඉස්සරහට ඇවිත් මට පිටුපාලා හිටගත්තා.

දැං ඉතිං මට හරි පස්නේ… මේ මොකාද මේ කියලා… පස්සේ එක පාරක් මගේ දිහා බැලුවා.

ඈ… මේ කෙල්ලව මං කොහෙදි හරි දැකලා තියෙනවනේ කියලා කම්පනා කරද්දී තමා මීටරේට වැටුනේ… කොහෙදීද මේ කෙල්ලව දැක්කේ කියලා…

ඒ 2008 අවුරුද්දේ මැයි මාසේ වෙසක් නිවාඩුවේ දෙවෙනි දවස. මායි මගේ ෆිට් එක ඉන්දිකයි… අපේ ගමේ ගිහින් ආපහු එන ගමන්… අපි නැග්ගේ මතුගම බස් එකක. තුනයි දෙක සීට් තියෙන එකක. අපි කොළඹින් නගිද්දි සෙනග හිටියේ නැති වුනාට බම්බලපිටිය හරියට එද්දී අපි වාඩි වෙලා හිටිය තුනේ සීට් එක ඇරෙන්න අනිත් ඔක්කොම පිරිලා ගියා. මිනිස්සු අපි දෙන්න දිහා බල බල ගියාට වාඩි වෙන්නේ නෑ… හරියට නිකං අපි දිහා බලන්නේ අපි ඒලියන්ලා කියලා හිතාගෙන වගේ….

පස්සේ ඔන්න වැල්ලවත්තට ආවම එතෙන හෝල්ට් එකෙන් නැග්ග දෙමළ ගැහැණු ළමයෙක්‍. එයා පන්ති ගිහිං ගෙදර යන ගමං. ඒ වෙලාව ටිකක් අවුව වෙලාවක්. අර ගෑණු ළමයා අපි හිටිය සීට් එකේ කෙරෝලට වෙන්න වාඩි වුනා‍. ඉන්දික වම් පැත්තේ මං මැද්දේ‍‍‍… කෙල්ල දකුණු පැත්තේ අයිනේ.

පස්සේ ටික වෙලාවක් යද්දී ඒ ළමයා සෑහෙන ගේමක් දෙනවා දැක්කා… එයාගේ අත්දෙක අව්වෙන් බේරගන්න. ගොඩක් සුදු ළමයෙක් නෙමේ… මට වඩා චුට්ටක් සුදුයි. ඒත් ඉතිං ඇත්තටම එයාට ඒ අව්ව ගොඩක් වේදනාකාරී වෙන්න ඇති. කෝමත් ඉතිං ඔය වගේ වෙලාවට මගේ හඳුන්පොතේ බයෝ එලාම් එක  වදිනවනේ… ඒක නිසා මං ඇහුවා…

අව්වයිනේ… ඔයා එනවද මෙතෙන්ට කියලා…

ඒ දුඹුරු පාට ඇස් දෙකෙන්… ම‍ගේ මූන දිහා බලාගෙන කට කොනකට හිනාවකුත් තියාගෙනම… ඔලුව දෙපැත්තට වනලා හා කියලා කිව්වා. පස්සේ ඉතිං මං අයිනට ගිහිං ළමයව මැද්දට දැම්මා. දැං නම් ෂෝයි… කෙල්ල හෙවනේ මං අව්වේ… කමක් නෑ පවුනේ කියලා හිතලා මාත් ඉතිං සද්ද නැතුව හිටියා.

ඒත් ඉතිං අර එලාම් එක තාම වදිනවා. ඒ පාර මං හිමීට ළමයගෙන් පස්නයක් අහන්න තීරණය කලා. මට ඉතිං බය වෙන්න දෙයකුත් නෑනේ… ඉන්දික එහා පැත්තේ ඉන්නවනේ…

ඔයා ක්ලාස් ගිහිං යන ගමන්ද…?

…………………………. උත්තරක් නැත. ඔලුවෙන් ඔව් කිව්වා විතරයි.

ආයෙමත් මං ඇහුවා… සිංහල පුළුවන්ද….? කියලා…

ඒකටත් ඔලුවෙන් ඔව් කිව්වා…

ඒ පාර මං කිව්වා…

එහෙනම් ඉතිං කතා කරන්නකෝ… ඔලුව වනන්නේ කියලා….

කෙල්ලට ඒකට හිනා ගියා…

අම්බෝ ඒ හිනාවේ ලස්සන. කෙල්ල ටිකක් කලු වුනාට ඒ හිනාව මුනේ තිබ්ච්ච අඳුරු පැහැය එවෙලේම නැති කරලා දැම්මා.

පස්සේ මං ඇහුවා… මොකද්ද ඔයාගේ නම…? කියලා…

ගීතාංජලී….

බොරු කියනවද දන්නෙත් නෑ… කියලා ප්‍රශ්නාර්ථයක් මුහුනේ තියාගෙන එයා දිහා බලද්දී….

මොකටද බොරු කියන්නේ… කියලා ඇහුවා‍‍‍‍…. ඊට පස්සේ ඉතිං අපි ගොඩක් දේවල් ගැන කතාකරා. එයාලට උගන්නවන විෂයන්… එතකොට සිංහල ඉගෙන ගත්ත හැටි… ඉන්නෙ කොහෙද, ස්කෝලේ…. ඔය වගේ ගොඩක් දේවල්…

ඉතිං අපි බහින්න කිට්ටු වෙලා… හැමෝම අහන දේ අහන්න මාත් අමතක කලේ නෑ…

ඔයා ‍ෆේස් බුක් ඉන්නවද…?

නැහැ… කියලා ඔලුවත් වැනුවා…

එහෙනම් ඊමේල් එකක්…..

ඒකත් නෑ…. කියලා වචනයෙන් නොකියා ඇස් වලිනුයි ඔලුවෙනුයි කිව්වා…

එහෙනම් තරහා නැතුව මොබයිල් නම්බර් එකක් දෙනවද…?

තාත්තාගාව තියෙන්නේ…..

දැං ඉතිං මොනා කරන්නද… කිසිම ඔප්ෂන් එකක් නැති පාර… හරි එහෙනම් පරිස්සමින් යන්න …. අපි ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා කිව්වමත්… අර ලස්සන ඇස් දෙක නටවලා… ඔලුවෙන්ම හා කිව්වා…

ඊට පස්සේ ඉතිං සතිදෙකක් විතර යනකං ඒ ළමයගෙන් ගත්ත තොරතුරු වලට අනුව හෙව්වා හෙව්වා… අන්තිමේ මං හිරවුනා. එයා යන ස්කෝලේ කළුතර තිබුනට ඒ ස්කෝලෙට යන කවුරුවත් නැති නිසා වැඩේ අතෑරලා දාන්න වුනා….

දැන් ඉතිං බලනවා ඇති මොන වැඩේද කියලා… වෙන මක්කෙයි… මගේ මික්ස් කල්චර් සංකල්පය ක්‍රියාවට නංවන්න තමා මං ට්‍රයි කරේ… ඒත් ඉතිං හරිගියේ නැහැනේ…. පස්සේ කෝම හරි ඔය සීන් එක අමතක වෙලා ගියා.

ඔන්න ඉතිං ආයෙමත් ඊයේ හවස ඒ ළමයව මට හම්බුනා. දැන් නම් මං හිතන්නේ ස්කෝලේ යන්නෙත් වැල්ලවත්තේ…. ස්කෝලේ සුදු ඇඳුමට එයා ‍ගොඩක් ලස්සනයි කියලා හිතුනා. පස්සේ ඉතිං එයා නැග්ග මතුගම බස් එකටම මාත් නැග්ගා. නැගලා ඉස්සරහ එයා ඉන්න තැනටම ගියා. මගෙ දිහා බලලා හිනා වෙලා මාව දාලා පස්සට ගියා. දැං ඉතිං මාත් පස්සට යන්නයැ… මොනා කරන්නද මැද පොල්ලේ එල්ලිලා මාත් ඉතිං පස්ස බලබල හිටියා… මං බලන හැම වෙලාවෙම ඒකිත් මගේ දිහා බලනවා… අර ලස්සන ඇස් දෙක මට තාමත් ඔච්චං කරනවා… මුළු හිතම… හරියට කළු කුහරයක් වගේ ඇදලා අරගන්නවා… හුස්ම ටිකත් නැවතී ගෙන ගියාද මන්දා. කොහොම හරි මොකක් නමුත් සික් එකක රෝග ලක්ෂන පෙන්නුම් කලා.

ආයෙමත් මට සඳුදාට වැල්ලවත්තට නම් යන්න හිතෙන්න එපා කියලා විතරයි මං මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ… ගියොත් මං ඒ දුඹුරු ඇස් වලට වශී වෙනවා. එතකොට මට තවත් අ‍‍ඳෝනාවක් ලියන්න වෙන්න ඉඩ තියෙන නිසා මට ආයේ වැල්ලවත්ත පැත්තට යන්න නං හිතෙන්න එපා…

ඒත් අවුරුදු දෙකකින් හම්බුවෙලත් ඒ ඇස් මාව අඳුන ගත්තනම්… මට ඒ කෙල්ලගේ නමත් මතක තිබුන නම්… අනේ මන්දා…………………………………………..

%d bloggers like this: