බුලත් කහට වැදුන දත් අතර… රිදී සිනහවක් දුටුවෙමි…

ඔය කවුරුවත් දන්නේ නැති වුනාට වෙසක් දා උදේම මං ගියා කියමුකෝ මාතර දික්වැල්ලේ මගේ යාළුවෙක්ගේ ගෙදර. මොකෑ ඉතිං වෙනදත් මං යන හැම ගමනම කිය කිය ගිය එකක්යැ. එක ළමයෙක් නම් දැනගත්ත මං යන බව.

හරි කමක් නෑ… ඒ ඉතිං මාතර ගියේ විශේෂ හේතුවකට නෙමේ මගේ දිව්‍යක්ඥානෙට පිං සිද්ධ වෙන්න අපේ ගෙවල් පැත්තේ දන්සැල් නැහැයි කියලා දැනුන නිසා, දන්සැලක් කාලා… මූදේ නාලා පොඩි ෆන් එකක් ගන්න.

ඉතිං මෙහෙමයි ගමන. මං ඔය තට්ට තනියම මාතරින් එහාට ගියාමයි. දැන් නම් මොන ලෝකෙවත් යන්න බය නෑ මගේ නොකියා ෆෝන් රාජයා ඉන්නකං. රාජයි කිව්වට මූ පැටියා. ඒ වුනාට අවශ්‍ය මොහොතට ඉස්සතරම්. මොකද ඉතිං මං කොළඹ පැත්තේ පාරවල් ටිකක් දැනගෙන උන්නට ගාල්ල මාතර දිහිවේ එක පාරක්වත් දන්නේ නෑ… ඉතිං දෙයියනේ කියලා යන යන තැන අතරමං වෙන එකෙන් වැලකෙන්න කියලා හිතාගෙන ගූගල් මැප් ඔබාගෙන ඉන්නවා ෆෝන් එකට. මං හිතුවට වැඩිය හොඳට භාන්ඩේ වැඩ. යන්න පටන් ගන්න තැනයි, ගමනාන්නතයයි දුන්නම දුරත් එක්ක පාරවල් ගැනත් පූර්ණ විස්තරයක් ගත්ත හැකි. ඉතිං ගුගල් මැප් පිහිටෙන් යාන්තං බහින හෝල්ට් එක දශමයක් වත් වරද්දන්නේ නැතුව බැහැගත්තා.

පස්සේ ඉතිං මගේ යාළුවා මාව පික් කරන්න ඇවිත් තිබ්බා. ඊට පස්සේ පොරත් එකක් ගෙදර ගියා. හරි හුට්ටප්පරයයි. මේං පාරේ යද්දී හම්බුවෙන සීයකට විතර මූ…

ආහ්… මාමේ… ළඟටෙයි යන්නේ…?

කොහෙමෙයි නැන්දේ… දෝණි නංගි සනීපෙන්යෑ…. (එතෙනනං පැණිය බේරෙනවා, මගේ ඇ‍ඟෙත් හැලුණා)

කිරි අයියේ… ආං මීහරක් ටික වෙලේ උන්න මං දැක්ක‍ා….

දැං මූ බයිසිකලේ නවත්ත නවත්ත පාරේ හමුවෙන හැමෝම එක්ක ටෝක. පොර කාව හරි දැක්කෙ නැතුව යනව නම්… ඒ මනුස්සයා….

ආහ්… පුතේ… යාළුවෙක් අරං එන්න ගිහිං වගේ….

කියලා හරි කියනවා. මට නිකං මේක මැජික් වගේ. ඇයි බොල කී දෙනෙක් එකක් දවස පුරාවට මෙහෙම කතාකරනවා ඇත්ද? අපේ පැත්තේ එකෙක්ගෙන්…

කොහෙද මාමේ යන්නේ…? කියල ඇහුවනම්…

තොට මොකෝ … මං යන දිහාවෙනේ මං යන්නේ….

කියලා හරි ඊට ලඟින් යන නුරුස්නා උත්තරයක් හරි තමා අහගන්න වෙන්නේ… ඉතිං ඇත්තටම මේ හැසිරීම මට අම්බානෙට මැජික් වගේ. ‍

ඒත් ඉතිං මොනා කරන්නද කට පියාගෙන යාලුවගේ ගෙදරටම ගියා. ගිය ගමන් ඇඳුම් බෑග් එක පැත්තකින් තියලා‍‍‍… ඒ ඇයි බං උඹ දකින දකින හැමෝත් එක්කම කතා කලේ…? මං මාර පුදුමෙන් ඇහුවා.

ආහ්… එහෙම තමා මෙහේ… කතා නොකර ගියොත් හිතන්නේ ලොකු කමට කියලා..

අඩේ ඔව්නේ… අපේ පැතිවල ඔය දේ වෙන්නෙත් ලොකු කම පෙන්නන්නනේ…. එකට ස්කෝලේ ගිය එකට බියර් පාරක් දාපු කොල්ලෝ… වැඩිය ඕනේ නෑ අපේම සල්ලි වලින් සිගරට් බීපු කොල්ලෝ…. අපිව දැක්කම නොදැක්ක ගානට යද්දී… මේ මාතරින් එහා දික්වැල්‍ලේ මේ මොන අරුමයක්ද…!

ඊට පස්සේ දවල්ට බත් කාලා… හවස මූද පැත්තේ ගිහිං චුට්ටක් සෙල්ලං කරලා එහෙම ඉද්දී… කොහේදෝ යන ඉටිකිරිස් රූප ටිකක් පාත් වුනා කියමුකෝ බීච් එකට. උං එකෙක්ට එකෙක් දෙවැනි නෑ… ඔක්කොමලා ගමේ කෙල්ලෝ. අපරාදේ කියන්න බෑ… අපේ පැතිවල වගේ ඔලුව බිමට නමා ගෙන දෙකට ගැනගන්න බෑ වගේ ඉන්න කෙල්ලෝ එකෙක්වත් නෑ… හැමෝම හරි සුහදශීලියි. අම්මපා අපේ ගමේ කෙල්ලෝවත් මෙච්චර නිහතමානි නෑ… මාත් ඉතිං නිකං දෙන්න තියෙන හිනාවනේ කියලා හැමෝම එක්ක හිනාවෙලා රැල්ල පාගලා පාගලා යන්නං කරුවල වැටීගෙන එද්දී ගෙදර ආවා.

ඒ එද්දීත් අර සංගෙදියම තමා. සියක් විතර හම්බුනා. ඔක්කොමලා හරිම හිතවත්ව කතාක‍ලා. ඒත් ඒ හැමෝගෙම දත් දෙපල බුලත් කහටින් රත්තරං පාට වෙලා. කොළඹ හා අවට නගර වල හැමෝගෙම දත් සුදුම සුදු වුනාට ඒ හැමෝගෙම කට ඇතුලේ හිත ඇතුලේ තියෙන්නේ මෙලෝ හරක් නැති කළු පාටට හුරු දුඹුරු පාටක්. ඒත් මේ අහිංසක ගොවියන්ගේ, මාළු අල්ලන මිනිස්සුන්ගේ දුඹුරුපාට වගේ පේන රත්තරං පාට දත් අස්සෙන් ආගන්තුකයෙක් දකින හැම වෙලාවකම මතුවී ගෙන එන්නේ… සුපිරිසිදු රිදී වගේ දිලිසෙන හිනාවක්. ඒ හිනාව ඇතුලේ කොයිම මොහොතකවත් ඉරිසියාකාර කුහක හැඟීමක් ගැන පුංචිවත් ඉවක් මට නම් දැනුනේ නෑ…  මං ඒ ගමට අලුත්ම චරිතයක් වුනත් කිසිම කෙනෙක් මූ කොහේ ඉඳන් ආව එකෙක්ද කියන සැකෙන් මගේ දිහා බැළුවේ නෑ….

පස්සේ ටිකක් රෑ වෙද්දී අපි පන්සලට ගියා. එතෙන තමා නියම තැන. නිකමට හිතලා බලන්න කොළඹ පැත්තේ පන්සලක් ගැන. කොහොමද බහින කෑලි ටික. අර හාමුදුරු කෙනෙක් කිව්වා වගේ සිංගල් ඒසි, ඩබල් ඒසී කට්ටියනේ එන්නේ… ඒ අස්සේ රතු පාට , රෝස පාට, තැඹිලි පාට වගේ හොට් පාට කියලා හිතෙන පාට වර්ග ඇඳගෙන පන්සල් එන්නේ.. හරියට නිකං හාමුදුරුවරුන්ට පිළිකුල් භාවනාවට නිමිත්තක් දීලා… උන්නාන්සෙලාව ඉක්මනින් නිවන් මගට යොමු කරන්න වගේනේ…. ඒ මේ ග‍මේ එකම ගෑණු කෙනෙක් වත් එහෙම නෑ… හැ‍ම කෙනෙක්ම සුදු පාට සංවර ඇඳුමකින් තමා සැරසිලා වුන්නේ… ඇත්තටම ඒ ගමේ ගෑණු ළමයි ගැන ඇතිවුනේ මාරම හැඟීමක්. ඒක නිකංම නිකං වනචර පැණි හැඟීමක් නෙවේ… හරිම පිරිසිදු ඇත්තෙන්ම ආදරණීය හැඟිමක්….

පස්සේ ඉතිං ඒ හැමෝමත් එකක් එකතු වෙලා මාත් හරි හරියට පහන් පත්තු කලා. අන්තිමේ නැද්දා කෙනෙක් මගේ ඔලුවේ පොල්තෙල් චුට්ටකුත් ගාලා හොඳ පුතා කියලා කිව්වයි  කියලත් කියමු‍කෝ…. ඔන්න ඊට පස්සේ තමා බුද්ධ පූජාව පටන් ගත්තේ. පස්සේ ඉතිං ඒ වැඩ ඔක්කොම ඉවර කොරලා ආයෙමත් යාළුවගේ ගෙදර ආවා. ඇවිත් දන්සැල් වන්දනාව. ඒවායේත් ඉතිං කිසිම වෙනසක් දැක්වුවේ නැහැ. ගමේ එකෙකුට වගේ තමා.

මං මේ පාර වෙසක් එකට ගමේ යනවා කියලා හිතං උන්නට යන්න වුනේ වෙන ගමකට. ඒකත් පාඩු නෑ. අළුත් අත්දැකීමක්නේ. ඊට පස්සේ පහුවෙනිදා ගියා වැව්රුකන්නල පන්සලට. කට්ටිය දන්නවනේ ඒ පන්සලේ බුදු පිළිමෙ ඇතුලෙන් උඩට නගින්න පුළුවන් කියලා. ලස්සන ජාතක කතා සිතුවම් කරලා තියෙනවා මුළු ගොඩනැගිල්ලෙ ඇතුල් පැත්තෙම.

පස්සේ ගියා එතෙනම තියෙන අපායට. හික්… එතෙන තමා සෝයි වැඩේ තියෙන්නේ… ඒ අපායෙත් චිත්‍ර වලින් තමා කතාව කියන්නේ. උඩ චිත්‍රයෙන් තමා කරගන්න කර්මය… පහලින් ඊට අදාල විපාකය වශයෙන් තමා තියෙන්නේ… ඉතිං මාත් ඔය ටික බලාගෙන ගියා… දැන් ඔක්කොම තියෙන්නේ පිරිමි කරන කර්ම… ගැහැණු කරන කර්ම හරියේ තියෙන ලයිට් නෑ… එව්වා ඉතිං පේන්නේ නෑ…. මාර සීන් එක. මං හෙන ආස‍ාවෙන් හිටියේ ඒ ටික බලාගන්න. හරිගියේ නෑ ඉතිං. ඒත් ඔය බලපු කර්ම දෙක තුනක විපාකත් මං මතක තියාගත්තා.

මතු වතුර බිව්වම… අපායේදී ලෝදිය පොවනවලු…

කොටු පැන්නම… කටු ඉඹුල කියන ගහේ නග්ගලා හෙල්ලක් වගේ උල් ආයුධ වලින් අයිනවාලු…

හොරකම් කලාම… අත්පය කපනවලු…

කොටු පැනීම හා සම්බන්ධ වෙන වෙන සීන් කලාම… වංගෙඩියක දාලා කොටන ගමන් ලෝදිය හැලියෙත් ඔබනවලු…

ඊට පස්සේ බොරු කිව්වම… රත් කරපු යකඩ ගුලි කටේ ඔබනවලු…

සතුන් මැරුවමත්….  අතපය කපනවලු…

මස් බිස්නස් කලාම… මොක්කුද මන්දා හෙන විසාල කුරුල්ලෝ වගේකට කියලා මස් කෑලි කවවන වලු….

අනේ අම්මේ… ඒ චිත්‍ර ටික බැලුවේ මොන එහෙකටද කියලා මට හිතුනා අන්තිමේ… කොහොමහරි හිත හොඳින් අපායට ගිය මම ආවේ… දාඩිය පෙරාගෙන බයේ ගැහී ගැහිලු…

ඇයි දෙයියනේ ඉතිං…. ලෝදිය බොන්න පුළුවනෑ අපායෙදී….?

%d bloggers like this: