හොල්මන් ගැන මගේ අත්දැකීමක්….

මේ පෝස්ට් එක ලියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් මත. ඇත්තෙන්ම මේ ව‍ගේ සිද්ධි නිසා ගොඩක් මතවාද ඇතිවුනා. ඒත් අද වෙනකං ඒ කිසිවෙකට නූතන විද්‍යාවන්ට අනුව හරියටම පිළිගත හැකි සාධාරණ පිළිතුරක් ලබා දී නැහැ මං දන්න තරමින්.

දැනට අවුරුදු කීපයකට කලින් … ඒ කියන්නේ අපේ අළුත් ගේ හදන්න ගත්ත අළුත අපේ තාත්තා නැවතිලා හැටියේ අපේ අම්මගේ නංගිලාගේ ගෙදර‍. ඒ කියන්නේ අපේ පොලිස් පුංචිගේ ගෙදර‍. ඉතිං ඔහොම දවස් දෙකක් විතර ඉද්දී… අපේ තාත්තට බඩේ අමාරුවක් හැදිලා, ගෙදර වැඩ ඔක්කොම නතර කරලා ‍ගෙදර ආවා.

ඊට පස්සේ දෙතුන් පාරක්ම බෙහෙත් ගත්තා, ඒත් කිසිම සුවයක් නෑ… පස්සේ අපේ අම්මා තාත්තගෙන් ඇහුවා… ඔයා මොනාද එහෙදි කෑවේ කියලා… තාත්තා කිව්වා …විශේෂ මුකුත් නෑ… සාමාන්‍ය බත් වේලක්ම තමා කියලා…

හැබැයි ඒ ගමන්ම තාත්තා කිව්වා ‍…. ඔයාලගේ නැතිවෙච්චි අම්මව මං ගෙදර උළුවස්ස ගාව ඉද්දී දැක්කා කියලා. පස්සේ අපේ අම්මත් කිව්වා… හ්ම්…. මාත් දවසක් දැක්කා කියලා. පස්සේ අපේ අම්මාගේ විස්තර කිරීමට අනුව… අපේ අම්මා නැතිවෙච්ච ආච්චිව දැකලා තියෙන්නේ අපේ පොඩි මාමාගේ දුවගේ කොටහළු මගුල දවසේ. ඒ… අපේ තාත්තා මේ සිද්ධියට මුහුණ දෙන්න සෑහෙන කාලෙකට කලිං.

ඊට පස්සේ අපේ තාත්තව පානදුර රෝහලට ඇතුල් කලා. පස්සේ ඉතිං දොස්තරලා බෙහෙත් කරලා එහෙම අන්තිමේ ටිකක් සුව අතට හැරුනා. ඒ අතර වාරයෙදී අපේ අම්මා බොධී පුජා එහෙමත් තිබ්බා. පස්සේ මං රැකියාව කර කර හිටිය තැනින් නැවතිලා මාත් තාත්තගාව හිටියා. ඊට පස්සේ ටික දවසකින් තාත්තට සනීප වුනා. ඒත් ගෙදර එක්කර ගෙන යන්න දුන්නේ නෑ දොස්තරලා. පස්සේ අපේ අම්මා දවසක්… තාත්තාව භාර හිටිය දොස්තරවරි‍ය ගෙන් අහලා තිබුනා….

මොකද්ද ‍ඩොක්ටර් මෙයාට වෙලා තියෙන්නේ කියලා….

දොස්තර දීලා තියෙන්නේ, කිසි කෙනෙකුට විශ්වාස කරන්නවත් බැරි පිළිතුරක්. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එහෙම සංකල්පයක් අහලකවත් නෑ… දොස්තරවරිය කියලා තියෙන්නේ….

මෙයා පෙරේතයෙක් ඉඳුල් කරපු කෑම කාලා… ඒකයි මේ…. කියලා.

මේක අහපු වෙලේ ඉඳන් මාව උස්සලා පොලේ ගැහුවා වගේ. මං කළුවරට ටිකක් බය වුනාට ඔය වගේ දේවල් විශ්වාස කලේ ගොඩක් අඩුවෙන්. විශ්වාස නොකලම නෙමේ… ඊට පස්සේ අපේ අම්මා ගිහින් සාස්තර අහන කෙනෙක් මුන ගැහුනා. සාස්තර ගැන නම් තාම මට ඒ හැටි විශ්වාසයක් නෑ… කොහොම හරි ඒ සාස්තරකාරීත් කියලා තියෙන්නේ … මේ ප්‍රානකාරයා පෙරේතයෙක් ඉඳුල් කරපු කෑම කාලා… කියලා.

ඊට පස්සේ මං මේ වගේ දේවල් ගැන ගොඩක් හෙව්වා. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයෙන් පස්සේ තියෙන ජීවිතය ගැන. මට මේ වෙනකන් ඒ කතාව ඔප්පු කරගන්න පුළුවන් විදියේ …. මටම කියලා ලැබුන සාක්ෂියක් නම් නෑ… ඒත් බුදු දහමේ විදියට එහෙම දෙයක් තියෙනවා.

ඔයාලා සමහරවිට බලලා ඇති mirrors හා shutter කියන මූවීස්. ඒකේ තියෙන්නෙත් මේ වගේ කතාවක්. ඇත්තෙන්ම මං හිතන්නේ අපගේ මරණෙන් පස්සේ අපි කරපු යම් යම් පිං පවු අනුව අපිට තාවකාලිකව යම් ජන්මයක් තියෙනවා. ඒ උප්පත්තියේදී අපිව කෙනෙකුට පේන්නේ නෑ… හරියට අධෝරක්ත කිරන, එක්ස් රේ කිරන, පාරජම්බූල කිරන වගේ අපගේ ඇස් වලට පේන දෘෂ්‍ය සංඛ්‍යාතයට වැඩිය ඉහල හෝ පහළ මට්ටමකින් තියෙන කිරන වර්ගයක් වගේ. ඒත් කැමරාවකට ඒ ආලෝකයත් හසුවෙනවා වගේ අපේ මොළයේ විටින් විට සිදුවන විවිධ වෙනස් කම් නිසා සමහර වෙලාවට ඒ වගේ කිරණ වලින් සැදුන දේවල් පෙනෙන්න ඉඩ තියෙනවා. ඉතිං අපි හොල්මන් අවතාර කියලා කියන්නේ ඒ වගේ දේවල් වලට වෙන්න ඕනේ. හොල්මන් කියන වචනයට සමහරු දීලා තියෙන නිර්වචනයක් තමා… සෙලවෙන මනස කියන එක. ඒක එක අතකට හරි… මොකද මොලයේ විවිධ ප්‍රදේශ වල වෙනස් කම් නිසා තමා මේ වගේ සාමාන්‍ය ඇසට නොපෙනෙන කිරණ වර්ග වර්ග අපිට පේන්නේ… ඒ වගේම ‍හොල්මන් කියන්නේ සෙලවෙන මනස කියලා… නිකං කිංඩියට කියන බෞද්ධ අය පොඩ්ඩක් පොත පත ඇසුරු කරලා බලන්න.

දෙ‍විවරු කියන්නේ මං දන්න විදියට අපිට වඩා ඉහල තලවල ඉන්න උදවිය. ඒ කියන ඉහල තලගැන නම් මං කියන්න දන්නේ නෑ… ඒ වගේම ඔය දෙවිවරුන්ට තියෙන විමාන ගැනත් මං කියන්න දන්නේ නෑ,.. ඒත් මං එක දෙයක් විශ්වාස කරනවා… ඒ තමා… දෙවිවරු හරි, යක්කු හරි…. කියන සාමාන්‍ය ඇසට නොපෙනන අය ඉන්නවා. සූක්ෂම ශරීර වලින්… හා අපිට දෘෂ්‍ය නොවන ආලෝක පාරාසයක පිහිටි කිරණ වර්ගයකින් සැදි තවත් ජීවීන් කාණ්ඩයක් මේ ලෝකේ තුල ඉන්නවා.

දැන් ඉතිං මට බනියි සමහරු… බොරු මතවාද පතුරවනවා කියලා… කමක් නෑ…. හැබැයි බෞද්ධ කෙනෙක් මට එහෙම කියන්න හිතාගෙන ඉන්නවනම් දෙපාරක් හිතලා බලලා කියන්න.

කට්ටිය අහලා තියෙනවා නේද… ආච්චි වැහෙනවා කියලා කතාවක්. ආච්චි විතරක් නෙමේ සමහර විට අපි නොදන්න ඒ වගේ සුක්ෂම ශරීරයකින් හෙබි කෙනෙක් වුනත් යම් මනුෂ්‍ය ශරීරයකට බලපෑම් කරන්න පුළුවන්. ඒ හැමදෙයක් ගැනම මට ඒ තරම් දැනීමක් නෑ… ඒත් සමහරවිට ඒ අදෘෂ්‍යමාන අයට මොකක් හරි හැකියාවක් ඇති අපේ සිතුවිලි වලට බාධා කරලා, අපේ හැසිරීම පාලනය කරන්න පුළුවන් විදියේ. උදාහරණයක් විදියට හිතලා බලන්න … අපිට පුළුවන් නේද යම් ඝන දෙයක් ස්පර්ෂ කරන්න. ඒත් අපිට ඉස්සරහින් කෙනෙක් හිතන දේ දැනගන්න අපිට බැහැනේ… ඒ වගේ තමා… අපිට, අදෘෂ්‍ය මාන අයට බැරුව ඇති ඝන දේවල් අල්ලන්න. ඒත් අපේ හිතට යම් බලපෑමක් කරන්න පුළුවන් ඇති‍.

ඒ වගේම මනුෂ්‍යයින් වෙච්ච අපිට එක එක ක්‍රම වලින් මේ නොපෙනන අයත් එක්ක කතාබහ කරන්න පුළුවන්. ප්ලැන්චට්… අඳුන බෑලිම, ආරූඪ වීම ඒ වගේ දේවල්.

එමෙන්ම ඔය කියන අදෘෂ්‍ය මාන බලවේග අතර යම් යම් විවිධ සුවිශේෂතා තියෙන අයත් ඇති. ඒ අය මනුෂ්‍ය ලෝකේ ඉන්න සාත්තර කාරයින්ට, මායාකාරයින්ට, විවිධ මාර්ගඵල ලබාගත් අයට සමාන ඇති.

ඒ වගේම ඒ විවිධ විශේෂ නොපෙනෙන අයව පාලනය කරන්න, දකින්න පුලුවන් අය මනුෂ්‍ය ලෝකෙයෙත් ඉන්නවා. යක්කු බැඳගෙන වැඩ ගන්නවා කියන්නේ ඒ වගේ දේවල් වලට. තව දේවාරූඪයෙන් සාස්තර කියන එක වගේ දේවලුත් දේ වගේ දේට අයිතියි.

ඉතිං මං නං විශ්වාස කරනවා මිනිස්සු සත්තු ඇරෙන්න තවත් අපිට නොපෙනෙන ක්ෂුද්‍ර ශරීරවලින් යුතු අය ඉන්නවා කියලා… ඒ අය සමහරවිට අපිට උදව් කරනවා ඇති, සමහරු අපිට වැරදි කරනවා ඇති…. ඒවා ගැනනම් කියන්න හරියටම දන්නේ නෑ… කොහොම හරි තවත් අපිත් එක්ක මේ ලෝකේ ඉන්න පිරිසක් ඉන්නවා.

%d bloggers like this: