සිල්ගත්ත ෂර්ලොක් හෝම්ස්….

ඊයේ ලංකාවේ ස්කෝල ගොඩක සිල් ගත්තනේ. මං දන්නෙත් ඊයේ උදේ. පස්සේ හොයලා බලද්දී අධ්‍යාපන දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක්ද මොකද්ද එකක් අනුව තමා එහෙම කරලා තියෙන්නේ‍. මොනා වුනත් හොඳ වැඩක්. මුළු ලෝකෙන්ම අපේ රටේ විතරනේ හැමෝම එකට එකතු වෙලා අවුරුද්දක් සමරන්නේ… ඉතිං ඒ වගේ වෙසක් එකටත් හැම ස්කෝලෙම ළමයි සිල් ගන්න එක කොයි තරම් දෙයක්ද…

ඊයේ ඉතිං මං බස් එකේ එනකොට යශෝධරාවගේ ස්කෝලේ දිහාත් බලාගෙන ආවේ… එතකොට තමා මටත් මීටර් වුනේ මාත් අපේ අම්මගේ කටේ බලේට … මේ අවුරුදු විසිගානටම හතර පස් පාරක් සිල් ගත්තා නේද කියාල. මුල්ම පාර ආතල් එකට ස්කෝලේ සිල් ගත්තා… ඒ දවස් වල වැඩි තේරුමක් නෑ.. හැමෝම සිල් ගන්න ඕනේ කියලා නියෝගයක් දාලා තිබ්බ නිසා ඒ පාර සිල් ගත්තා. ඊට පස්සේ අර පළවෙනි පාර සිල් ගත්ත එකට ආසා හිතිලා ආයෙමත් සිල් ගත්තා…

ඊට පස්සේ පාර අපේ ආච්චි එක්ක පන්සලට ගිහිං…. අන්න එදා තමා දවස. සැදැහැ සිතින් සිල් ගන්න ගියාට මොකද…  මං දන්න කියන අපේ ලස්සන ගමේ වසවර්තියෝ ඔක්කොම ටික එදා පන්සලේ… ඉතිං මටත් හලී සන්තෝසයි. මොකද ඔය මාර සේනාව හම්බුවෙන්නේ ඔය වගේ පුන්‍ය කටයුත්තකදීම තමා. මං ඉතිං හැමදාම ගමේ එන එකක්යෑ… ඊට පස්සේ ඉතිං…….. අනේ මන්දා… අපේ ආච්චිත් එදා සිල් ගත්තේ නැද්ද කොහෙද…

ඒයි ගෝල්ඩ් ෆිෂ්… අර බලපං… අර බං… අර … අර….

එක මාරයෙක් මට පන්සලේ බුදුගෙට දකුණු පැත්තෙන් තියෙන වෙරළු ගහ පෙන්නනවා. වෙසක් දවස් කියන්නේ වෙරළු අවාරෙද කොහෙද… ඒ වුන‍ාට ඒ ගහේ තුන්සිය හැටපස් දවසෙම වෙරළු තියෙනවා. හරී…. පිංවන්ත ගහක්… පන්සලේ නොවැ තියෙන්නේ, ඒකනේ…. ඉතිං අපි අතින් ඔය ගහට පොලු වදින්නෙත් ගොඩක් අඩුවෙන් මොකද… ගහ බලා ගන්න වෙනම මුරකාරයෝ හිටියා.. වෙන කවුරුත් නෙවේ අපිට වැඩිමල් අයියලා…

ඉතිං ඔය සිල් අරගෙන ඉද්දී වුනත් ඔය වගේ දෙයක් පෙන්නුවම ඒ දවස් වල… මොන සිල්ද කියලා ඇඳං ඉන්න රෙදි ගලවලා ආච්චිට දීලා ගහ ගාවට දුවන්නේ… එතකොට මං තුන වසරේ. හාමුදුරුවොත් ඒ දවස් වල මුකුත් කිව්වේ නෑ… මොකද උන්නාංසෙත් දන්නවා කූඩැල්ලා මෙට්ටේ තියන්න බැරි බව. අනික මං ගමේ ඉන්න එකෙක් නෙවේ… කියලත් උංනාන්සේ දන්නවා…

ඒ දවස් වල අපේ කවුරු හරි එකෙක් රහස් පරීක්ෂක කතා වගයක් කියවලා… ඒ උන හොඳටම හැදිලා තිබ්බ දවස්. අපිට හරියට අකුරක් කියෝගන්න බැරිවුනාට, ලොකු අයියලා කියන කතා අහගෙන ඉඳලා… අපිත් නිකං ෂර්ලොක් හෝම්ස්ගේ මල්ලිලා වගේ තමා හිටියේ… ඒ දවස් වල නම් ෂර්ලොක් හෝම්ස් නෙවේ වෙන කව්රු හරි බුවෙක් ගැන තමා කතා වුනේ… කරුමෙට මට දැන් ඒ නම මතක තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් කියලා… කොහොමත් ගමේ පන්සල කියන්නේ රහස් පරීක්ෂක වැඩ වලට කියාපු තැන. එක පැත්තකින් වෙල, අනිත් පැත්තේ ඇල පාර, තව පැත්තකින් පොඩි කැලයක්… පස්සේ ඉතිං පන්සල් වත්තේ තැන් තැන් වල සෙල්ලං කරලා… පොඩි කෝටු කෑලි වලින් තුවක්කු හදාගෙන වෙඩි ෆයිට් ගිහිං… හෙන රහස් පරීක්ෂක මෙහෙයුම් කීපයකට සම්බන්ධ වෙලා අන්තිමේ… දවල් දානෙ වෙලාවට ගානට ආච්චි ගාවට ගිහිං වාඩි වෙනවා… ඊට පස්සේ තමා වෙසක් පොහොය වෙනුවෙන් අපේ ආච්චි සූදානම් කරපු විශේෂ භෝජන සංග්‍රහය ලැබෙන්නේ… අතුරුපසට… ගෙදර ගියාම අම්මගෙන් කැරමල් පුඩිමයි… තාත්තගෙන් මැංගෝ අයිස් ක්‍රීම් එකයි… ඉතිං ඔය කෑම ටික කාලා ඉවර වෙද්දී කොල්ලාගේ චූටි කන් දෙක රතු වෙලා…. අම්මානම් කැරමල් පුඩිම කෙලින්ම දෙන්නේ කනට… තාත්තා ඊට එහා… ගන්නවා පොඩි පොල් ඉරටුවක්… අයිස් ක්‍රීම් ටික හම්බුවෙනවා ඊට පස්සේ කකුල් දෙක රතු වෙන්න. අනේ ඉතිං සිල් ගත්තාට වැඩිය හොඳයි ගෙදර හිටියනම් කියලා හිතෙනවා…

ඉතිං අන්තිමට මං සිල් ගත්ත දවසනම් මරු… එතකොටත් මං තුන වසරේ… වෙසක් පොහොය පහුවෙලා ඊට පස්සෙ ආපු පොසොන් පෝයට තමා ඒ පාර සිල් ගත්තේ…. වෙනදා වගේම ආච්චි ගාවට වෙලා බන කතාව අහගෙන ඉන්න මට කව්දෝ මන්දා පාප මිත්‍රයෙක් කතාකලා. එදානම් මං බැහැ කියලා හිටියා… මොකද මං බණ කතා අහන්න හරි ආසයි. ඒක නිසා… අර මිත්‍රයෝ ටිකත් හිටියා බන ඉවර වෙනකං.

පස්සේ… දැන් යමු.. දන්සැල පටන් අරං තියෙන්නේ…. අපේ අයියලානේ ඉන්නේ… යමු… යමු….

මං ඇහුවා මොනාද දන්සැලේ තියෙන්නේ කියලා….

කව්දෝ එකෙක් … කටත් උරුක් කොරං මට කිව්වා…

දිවුල් කිරි………………..

අම්බෝ… දිවුල් කිරි….

ඔය වෙලාවට ඉතිං මගේ මීටරේ මඤ්ඤං වෙනවා. මොකද අපේ තාත්තා දිවුල් ගෙනාවම අම්මා පොල් කිරි දාලා හදනවා දිවුල් කිරි බීමක්… ෂා….. නල්ල රුසි ඒ බීම. ඒ දිවුල්මනේ ඉතිං මේ දන්සැලේ දෙන්නෙත්… එක් නිසා බන කතාව ආච්චිගෙන් අහගන්න බැරියෑ කියලා මාත් දිවුවා වැලි පාර දිගේ අනිත් උං එක්ක… ගිය ගමං…

ආහ්… මේ පොඩි උපාසක මහත්තොරුන්ට දිවුල් බීම එකක් බොන්න එන්න ඉඩ දෙන්න කියාගෙන… අර ඇවිල්ලා හිටිය තිහක් හතලිහක් සෙනග එහාට මෙහෙට කරලා අපිට ඉඩ අරං දුන්නා…

පස්සේ මෙන්න මං දිවුල් බීම දෙවෙනි කෝප්පේ බොනකොට… මගේ වම් කන නිකං රත් වෙන ගතියක් දැනෙනවා…  මට දිවුල් කිරි ඇලජික් වෙන්නෙත් නෑ… ඒත් ඇයි මේ හිටි හැටියේ කන රත්වෙන්න කියලා බලද්දී මගේ කන ගාවින් අතකුත් තියෙනවා… ඒක හරියට නිකං මගේ හමේ පාට වගේමයි. ඊටත් වඩා පුදුමේ අපේ තාත්තගේ අත වගෙයි… දැන් ඉතිං බීම කෝප්පේ පැත්තක තියලා උඩ බලන්නත් බැහැනේ… අපරාදෙනේ…. පස්සේ ඔක්කෝම බීලා… ඉවර වෙලා හති අරින කොට මගේ ඉස්සරහ හිටිය එවුන් කටවල් ඇරගෙන මගේ ඔලුවට උඩින් තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් දිහා බලාගෙන ඉන්නවා. එකෙක් වත් හුස්ම ගන්නෙත් නෑ…. කෝප්ප ටික අත්වල වේලෙනවා.

ඔහොමද සිල් ගන්නේ….? කෝ ආච්චි….?

ඈ… ඒ අපේ තාත්තගේ කටහඬ නේ…..ද…?

මම සිං ගාලා කන අල්ලන් හිටිය අත ගසලා දාලා අනිත් පැත්ත හැරිලා උඩ බැළුවා…

කොහද උපාසක මහත්තයා ආච්චිව පන්සලේ තියලා යන්නේ….?

අනේ අපේ සුදු තාත්තා…. නේද මේ…. මං හිතුවා හරි…. මං මුලින්ම දැක්කේ තාත්ත‍ගේ අතේ පාට, ඊට පස්සේ මට දැනුනා තාත්තගේ අතේ සුවඳ… ඊට පස්සේ කතා කරද්දී කටහඬ…. ඉතිං මං ඒ ටිකෙන් නිගමනය කලා මේ නං අපේ තාත්තම තමා කියලා… ඉතිං නිගමනය හරි…. මට ඉතිං ඔය වගේ හැකියාවන් උප්පත්තියෙන් ආපුවනේ… හරියට නිකං රහස් පරීක්ෂක මිස්ට ෂර්ලොක් හෝම්ස්ට වගේ…. ඒත් ඉතිං ඊට පස්සේ…

දුවපිය හොර කොල්ලා ගෙදර… කියලා පස්ස පැත්තට වැදුන පාර ගැන මට ගනනය කරලා නිගමනයකට එළඹෙන්න කාලය මදි වුනා… මොකද ඉතිං ඒ දවස් වල සීපීයූ එක චූටියිනේ… ප්‍රොසෙසින් ස්පීඩ් එක හෙන අඩුයි.

පස්සේ ඉතිං හවස හතරහාමාරට සිල් පවාරණය කරන එක පැත්තක තියලා ගෙදර ගියා… ගියා නෙමේ යැවුනා… අනිත් උං ටික කැලෑ වලින් පැනගෙන ගෙවල් වලට දිව්වා… මාත් ලැජ්ජාව පැත්තක තියලා වැලි පාර දිගේම ආච්චිලාගේ ගෙදර දිව්වා…. ඒ ගිහිල්ලත් නිකං ඉන්න කියලයෑ… අපේ අම්මා මහන්සියෙන් සූදානම් කරපු කැරමල් පුඩිමේ රහ බලන්නත් එපැයි. ඉතිං ඒ ගියා ගියාමයි… අද වෙනකන් සිල් අරං නෑ… ඒ මදිවට අවුරුදු ගානකට කලිං ගත්ත සිල් ඇරලත් නෑ තාම….

අනික මං ඉස්සර සිල් ගන්න ගමේ යනවා. හැම පෝයටම නෙමේ පෝය දෙක තුනකට ඉස්සර යනවමයි. ගමේ පන්සලේ ඒ දවස්වල චෛත්‍යක් තිබුනේ නෑ… දැන්නං තියෙනවා…. ඊට කලිං මං පදිංචිවෙලා ඉන්න කළුතර ගෙදරදී… තාත්තගේ අම්මා…. ඒ කියන්නෙත් මගේ ආච්චි… එයත් එක්කත් එකම එක දවසක් සිල් අරං තියෙනවා. ඒ වුනාට පුංචි කාලේ ඉඳන්ම මං ආසා… සිල් ගන්නවට වැඩිය හවසට පන්සල් යන්න. ගියාට වඳින්නේ නෑ…. ඒත් ඒ වෙලාවට පන්සලේ හැම තැනම පැතිරිලා තියෙන හඳුන්කූරු සුවඳටයි, පොල් තෙල් සුවදටයි මං හරි ආසයි. මල් සුවඳනම් එන්නේ ඉතිං මල් වට්ටි තියෙන හරියට ගියාම තමා… ඒත් අර හීනියට හමන හුළඟට මුහු වෙලා පන්සල් වත්ත පුරා එහෙ මෙහෙ යන හඳුන්කූරු වලයි, පොල් තෙල් පිච්චෙන සුවඳටයි මං තාමත් ආසයි. දැන් නම් ඉතිං හැම පෝයටම වගේ යාළුවෝ ටිකත් එක්ක පන්සලට යනවා. ඒ යන්නෙත් අර සුවඳ විඳින්නම තමා…

ඉතිං ඕං කාලෙකට පස්සේ මේ පාර, මට අපේ ගමේ පන්සලට යන්න පුළුවන් වෙනවා මේ වෙසක් එකට. යාළුවෝ නම් නැතුව ඇති. ඒත් ඒ මතක අහුර තාම මගේ අතින් නැතිවෙලා නැහැනේ…

%d bloggers like this: