මගේ පුංචි සක බඹරේ… මගේ යශෝධරා වත 15

ඔන්න ඉතිං වෙසක් කාලේ නිසා මං කුමාරයා හිතුවා යශෝධරා වතේ කොටසක් ලිවුවොත් හොඳයි කියලා. මොකද මං කුමාරයා යශෝධරා වත ලියන එක නවත්තලා තිවුනේ.

ඒත් ඉතිං දැන් දවස් දෙක තුනක්ම තිස්සේ ටැංකියේ සර්චින් ලිස්ට් එකේ… නෙට් එකේ යශෝධරා වත කියලා කවුරු හරි සර්ච් කරා කියලා වැටිලා තිබ්බ නිසා තමා ආයෙමත් මේක ලියන්න හිතුනේ.

ඉතිං මේ කියන්න යන්නේ යශෝධරාව වෙසක් භක්ති ගීත කියපු හැටි.

ඔන්න ඉතිං බුද්ධ වර්ෂ 2597ක් වන වෙසක් කාලේ මං කුමාරයාගේ ය‍ශෝධරාව සංගීත විෂය හදාරමින් ඉඳිය වකවානුව. ඒ දවස් වල තමා මං කුමාරයත් වයලීන් අහගන්න ගිහිං හොට බිම ඇන ගත්තේ…  ඉතිං ඔන්න ඔහොම යද්දී යශෝධරාවට එයාලගේ ස්කෝලේ සංගීත කණ්ඩායම නියෝජනය කරන වෙසක් භක්ති ගීත තරඟයකට යන්න වුනා.

තරඟය පැවැත්වුනේ පානදුර මහජන ක්‍රිඩාංගනයේ. මං කුමාරයාගේ පෙර පවකට ඒක තිබුනේ හවස හතට. හවස කිව්වට ඉතිං හෙන රෑ.. ඉතිං කෝම හරි යශෝධරාවයි මවුතුමියයි යශෝදරාවගේ පාසලට ගිහින් තරඟය තියෙන තැනට යනවා කියලා මං කුමාරයට දැනුම් දීලා තිබ්බේ… ඒක නිසා ඉතිං මං කුමාරයත් ටිකක් රෑ වෙලා තරඟය බලන්න යන්න තමා හිතාගෙන හිටියේ… ඔය තරගය තියෙන්නේ ටිකක් දුර නිසා මගේ යාළු ඇමතියෙක් එක්ක සෙට් වෙලා තමා යන්න බැලුවේ. ඒත් එක්කෙනෙක් වත් එන පාටක් නෑ… කට්ටියටම විවිධාකාර වැඩ රාජකාරි. පස්සේ ඉතිං වෙනදට යශෝදරාව බැහැදකින්න මාලිගයට යනවා වගේම තනියම යන්න කියලා මං කුමාරයා හිත හදාගත්තා.

ඉතිං හිතුවා වගේම ගියා කියමුකෝ… වෙලාවට එදා වැහි පොදක් වත් නැහැ. ඉතිං මාත් සෙනග අස්සෙන් ගිහිං නඩු කාරිව ඉන්න තැනට ගිහින් … කෝ නංගී… කියලා ඇහුවම මව්තුමී මට කාවදෝ මන්දා කෙල්ලෙක්ව පෙන්නනවා… මට අඳුර ගන්න බෑ…

කෝ… අර තාප්පේ ගාව ඉන්න කෙනාද…?

නෑ… නෑ… ඊට ‍මෙහායින් ඉන්නේ .. ස්ටේජ් එක පැත්තට වෙන්න….

සැබෑමයි… සැබෑමයි… යශෝදරාව ලා කහපාට ළමා සාරියකින් සැරසිලා… හප්පේ බලන්න ලස්සනයි. හරියට නිකං හඳ එළියේ සෙල්ලං කරන පොඩි සුරංගනාවියක් වගේ…

එතකොට නම් මං කුමාරයට හිතුනා යාළුවෝ ආපු නැති එක කොයිතරම් හොඳද කියලා…

මං කුමාරයක් ඉතිං ඔහොම විනාඩි පහක් දහයක් බලං ඉද්දී… එක පාරටම…

කොහෙද බං මෙහේ…

අඩෝ… ලෝචනයා… උඹ මොකද කරන්නේ….

මං ආවා බං අම්ම එක්ක…

හික්… ලෝචන මං කුමාරයගේ හිතවත් ඇමතියෙක්…. හෙන ෆිට් එක… උගේ අම්මත් සංගීත ටීච කෙනෙක්…පස්සේ ටිකක් වෙලා මූ මාත් එක්ක ඉඳලා…

ඒ බං… අර කෙල්ල උඹ දිහා බලනවා බං….

කෝ කෝ… කොයි එකාද…

අර ඉන්නේ… ලා කහපාට ළමාසාරියක් ඇඳන්…

අප්පේ මූ පෙන්නන්නේ යශෝධරාව නේද… දැන් ඉතිං මොනා කරන්නද මේකි මාව පිස්සු වට්ටන තරමට හැඩ වෙලා තව මං කුමාරයා දිහාට බැල්මත් දානවා… මගේ දිහා බලන සීක්වන්ස් එක එන්න එන්නම වැඩියි. තත්පර 30න් තිහට මාව හොයනවා… සමහර විට එයාට පාළු ඇති. මොකද ඔය වගේ අත්භූත ඇඳුමක් ඇඳගත්තම මං, මාලිගයෙදී නම් මොකාක් හරි නෝන්ඩියක් දාලා නඩුවක් ෆයිල් කරගන්නවානේ… ඉතිං මෙතෙන සෙනග මැද්දේ එහෙම කරන්න බැහැනේ… ඒක නිසා ඉතිං කට පියා ගෙන යශෝධරාව දිහාම බලාගෙන හිටියා…

පස්සේ ඔන්න වෙන ස්කෝල වල ළමයි කණ්ඩායම් තුනක් විතර භක්ති ගීත දෙක ගානේ කියලා ස්ටේජ් එකෙන් බැහැලා ගියා. හතර වෙනි කණ්ඩායමට යශෝදරාවත් ඇතුලත්. ඉතිං මාත් කොයිකටත් කියලා කටහඬ අහගන්න කියලා හිතාගෙන ස්ටේජ් කිට්ටුවට ගියා මගේ යාළුවත් එක්කම. පස්සේ ඉතිං අර මිනිස්සු කෑගහන අස්සෙන් යශෝදරාවගේ කටහඩ අහගන්නේ කෝමද කියලා හිත හිත ඉද්දී…

කව්ද කෙල්ලෙක් ඇවිත් මයික් බෙදනවා. හුරේ…. ය‍ශෝදරාවටත් මයික් එකක් හම්බුනා… ඉතිං මං කුමාරයට තිබුනේ අර තඩි බෆල් කොලම් එකෙන් එහෙන සද්ද අස්සේ යශෝදරාවගේ සද්දේ ෆිල්ටර් කරලා අහගන්න එක විතරයි. ඕක ඉතිං මං කුමාරයාට ඒ  හැටි කජ්ජක්යෑ…

ඉතිං ඔහොම භක්ති ගීත ගායනය යනවා.. ඒ අස්සේ මෙන්න ආරාධිත අමුත්තා එනවා… ඉතිං ඌට පේන්න යශෝධරාව ඇතුලු සංගීත කණ්ඩායමට ආයෙමත් භක්ති ගීත දෙක මුල ඉඳන් කියන්න වුනා. දැන් ඉතිං මං කුමාරයට හෙන කේන්තියි මේකේ සංවිධායකයොත් එක්ක… ඇයි දෙයියනේ අර පුංචි මල .. හෙන ගහන්න වගේ වදින ෆ්ලෑෂර් එක ඉස්සරහා හෙම්බත් වෙලා භක්ති ගීත ගයද්දී මං කුමාරයට දුකේ බෑ…

ඔන්න කෝම හරි භක්ති ගීත ඉවර වුනා… ඉතිං කව්ද මන්දා අක්කා කෙනෙක් ආයෙමත් ඇවිත් මයික් ටික එකතු කරගෙන යද්දී ළමයි ටිකත් පෝලිමට ස්ටේජ් එකෙන් බහින්න ගත්තා… ඔය ළමයි අස්සේ අර මයික් එකතු කරන අයට එක මයික් එකක් ගන්න අමතක වෙලා… ඒක යශෝධරාවගේ අතේ… දැන් තමා නියම කොටස… අ‍රහෙන් ඊළඟ කණ්ඩායමට එන්න කියලා ආරාධනා කරනවා… මෙහෙන් යශෝධරාව මයික් එක තියාගෙන වන් මෑන් ෂෝ එකක් පෙන්නන්න යනවා…

කෙල්ලට මයික් එක අරගෙන පහලට එන්නත් බෑ… වයර් එක දිගමදි… ඉතිං බිම තියලා එන්නත් බැහැනේ… ඒක නිසා සංගීත මඩුල්ල දිහා බල බල යශෝධරාව වටේට කැරකෙනවා. දැන් ඉතිං මං කුමාරයට ලාවට වගේ පේනවා ‍යශෝධරාවගේ කම්මුල් දෙක රතු පාට වෙලා … හෙන ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්නවා… ඊට පස්සේ යාන්තං අක්කා කෙනෙක් ඇවිත් මයික් එක අරගෙන යශෝධරාව එක්කම ස්ටේජ් එකෙන් පහලට බැස්සා…. අනේ නැත්තං තාමත් යශෝධරාව ස්ටේජ් එකේ…

පස්සේ දවසක ඔය කතාව මතක් කෙරුවෙම…

ගර්..ර්..ර්…. ගාලා මට ඔරොවනවා… ඊට පස්සේ… අම්මේ…. මේ බලන්න මෙයා මට එකේක ඒවා කියනවා… මං එදා ස්ටේජ් උඩ මයික් එක අතේ තියන් සක බඹරේ වගේ කැරකුණාලූ… බලන්නකෝ…..

ඔන්න ඉතිං නඩු කාරි සැපත් වෙනවා…

මොකද්ද කිව්වේ… බඹරේ වගේ… මගේ දූ බඹරයක් නෙමේ… නේද පැටියෝ… කියලා… කෙල්ලව තුරුල් කොරගන්නවා… අනේ ඉතිං මං කුමාරයට කාගේ පිහිටක්ද… නඩුත් ‍යශෝධරාවගේ… තීන්දුවත් යශෝධරාවගේ කියලා දෙන්නගේ කොමලේ දිහා බලාගෙන ඉන්නව මිසක්….

%d bloggers like this: