දයාබර සෙනෙහස – ඉෂාරා අක්කා…..

අර මොන්ටිසෝරි ගිය චූටි බබා… මොන්ටිසෝරි ඉවර වෙලා එයාගේ අම්මා වැඩ කරන තැනට ඇවිල්ලා හවස් වෙනකං ඉඳලා තමා ගෙදර එන්නේ….‍

බබාට ඉෂාරා අක්කව එහෙම සෙට් වුනේ එහෙදී තමා. ඉෂාර අක්කා වගේ බබාට ආදරේ අක්කා කෙනෙක්ව බබා ඒ දවස්වල ඉඳන් කොයිතරම් හෙව්වත් තාම හම්බුනේ නෑ… ඉතිං බබා ඔය අක්කත් එක්ක විකාර කර කර තමා ඒ දවස් වල මුළු හවස් වරුවම ගෙව්වේ…

ඒ කාලේ බබාගේ අම්ම වැඩ කරපු තැන ඉන්න ළමයින්‍ට ඉංග්‍රිසි උගන්නන්න කියලා නෙදර්ලන්තෙන් සුදු අක්කලා දෙන්නෙක් ඇවිත් හිටියා. සුදුයි කියන්නේ සුදුම සුදුයි… චීස් වගේ… අම්මෝ එයාලයෙ උස… අඩි 6ක් විතර ඇති. ඒ වුනාට හරිම සුවීට්…

බබාව වඩාගන්නවා… ඉඹිනවා…. අඩි හයක් විතර උස නිසා, බබාව වඩා ගත්තම බබාගේ කකුල් දෙක සුදු අක්කගේ ඉනටත් පොඩ්ඩක් උඩට හිටින්නේ… ඉතිං අනිත් හරිය ගැන කුමන කතාද…! ඒ විතරක්නම් ම‍දෑ… එයාලා ගාවින් එන සුවඳ‍. ලංකාවේ කෙල්ලෝ කොයිතරම් සෙන්ට් නෑවත් ඒවගේ සුවඳක් නම් එන්නේ නෑ…

ඉතිං ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කැතී… අනිත් එක්කෙනා ඇනා. අම්බෝ මාර ලස්සනයි. තාමත් බබා ගාව ඒ අක්කලා දෙන්න එක්ක ඉඳන් ගත්ත පොටෝ එකක් තියෙනවා. ඒ දවස්වල බබා ෆේස්බුක් හිටියනම්…! ෂිඃ ඒ දවස් වල ඔව්වා තිබ්බේ නැහැනේ… මාක් අයියත් ඉක්කෝලේ ගිය අළුතනේ…

ඉතිං ඔය අක්කලා දෙන්න බබාව හුරතල් කරද්දී ඉෂාර අක්කට පොඩ්ඩක් විතර මල. මොකද එයාගේ චූටි මල්ලි පැටියව වෙන අක්කල වඩාගෙන ඉඹිද්දී ඉතිං ඉරිසියා හිතෙනවනේ… පස්සේ ඉතිං අර අක්කලා බබාව ඉෂාර අක්කට දෙන්නේ… කොල්ලගේ මූන සතූ………… පාට කරලා… පැනි පාට ඔපවත් කරලා තමා.  ඔන්න ඉතිං ඉෂාර අක්ක බබාව වඩා ගත්ත ගමන්….

හුම්… මගේ ගාව සුවඳ නැහැනේ… මොකටද මගේ අතට ආවේ…. අර සුද්දියෝ දෙන්න එක්කම ඉන්නනේ තිබුනේ….

අනේ පොඩි කොල්ලා ඉෂාරා අක්කගේ බෙල්ල බදාගන්නවලු. ඊට පස්සේ ඉතිං කොලුවට දුක හිතිලා කාටවත් ඇහෙන්නේ නැති වෙන්න අඩනවලු. ඉෂාරා අක්කගේ බෙල්ලට කඳුළු බිංදු වැටුනම….

කෝ… බලන්න කොලු පැංචා අඩනව‍ා නේද…?

………………………………. කොල්ලා සද්ද නෑ…. මූන රතුවෙලා… කඳුළු බේරෙනවලු.

පස්සේ බබා ටිකක් ඉස්සරහට වෙලා ඉෂාර අක්කා දිහා බලද්දී අක්කාගේ ඇස් වලත් ලාවට කඳුලු පිරිලලු. බබානම් කවදාවත් ඉෂාර අක්කගේ කඳුළු පිහිදුවයි කියල මතකයක් නෑ… ඒත් හැමදාමත් බබා අඩන වෙලාවට ඉෂාර අක්කනම් එයාගේ සුදු දිගටි අත්දෙකෙන් බබාගේ කඳුළු පිහිදලා, චූටි නායත් මිරිකනවා.

ඔය තරම් ආදරෙන් හිටිය ඉෂාර අක්කයි බබයි වෙන් වුනේ ‍කොහොමද කියන්න බබාට මතකයක් නෑ… සමහරවිට බබායි බබාගේ අම්මයි වැඩ කරන තැනින් නවතින්න කලින් ඉෂාර අක්කා ගෙදර ගියා වෙන්නත් පුළුවන්. ඒත් ඉතිං බබාට ඒ ආදරේ රැකවරණය තාමත් මතක් වෙනවා. බබා මෙච්චර කාලෙකට අම්මගෙන් ඇරෙන්න වැඩියෙන්ම ආදරයක් ලැබුවේ ඉෂාර අක්කගෙන්. බබාට මේ මොහොතේ මේක ලියද්දීත් ඇස් වල කඳුළු පිරිලා. පුංචි කොල්ලා කොයිතරම් සතුටෙන් හිටියද ඒ දවස් වල. වෙරළු ඇටේ හිර වෙච්ච වෙලාවේ ඉෂාර අක්කා කොයි තරම්නං බය වුනාද…? කොලු පැංචට ටොක්කක් ඇන්නත්, පස්ස පැත්තට පාරක් ගැහුවත් ඒ හැම දෙයක්ම එයා ක‍ලේ ගොඩක් ආදරෙන්. අම්මා බබාට බත් කවද්දී…. අම්මා කන්න, ඉෂාර අක්කට කියලා කවාගන්නම් කියද්දී…. ඉෂාරා අක්කා කකා හිටිය කෑම එක පැත්තක තියලා ඇවිත් බබාව ළඟට අරගෙන දවස් කීයක් නම් බත් කැව්වද…?

බබා එයාව හොයන්න ගොඩක් උත්සාහ කලත් තාම හමුබුනෙත් නෑ… බබාට පොඩි බයක් තියෙනවා ඉෂාර අක්ක හිටියේ පයාගල නිසා සුනාමියට ගොදුරුවුනාවත්ද කියලත්… අද මේ වගේ ගොඩක් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා, ආදරයක් රැකවරණයක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙලාවක ඉෂාර අක්කා බබාගේ ළඟ හිටියනම්… ප්‍රශ්න විසඳුනේ නැතත් හිතට පොඩි හරි සහනයක් දැනෙයි. අනිවාර්යෙන් බබාව ධෛර්‍යමත් කරයි. ඉස්සර වගේ මූන ඉඹින්න බැරිනම් අඩුමගානේ ඔලුව අතගා‍ල‍ා හරි සනසයි. වැරැද්දක් කරද්දී පස්ස පැත්තට ගහන්න බැරිනම්… බබාට බනියි. ඔහොමද මෝඩ කොල්ලෝ ඔය වැඩේ කරන්නේ කියලා… බබාගේ ප්‍රශ්න ටික ඔක්කොම අහගෙන ඉඳියි. ඒවට ඉතිං උත්තර දෙන්න කෙනෙක් තාම පහල වෙලා නැති නිසා ඉෂාර අක්කත් ඔලුවේ අතගහගෙන කල්පනා කරයි … මං මොනාද මූගේ ප්‍රශ්න වලට කියන්නේ කියලා….

ඇත්තෙන්ම අදටත් මේ ඒ සෙනෙහසට, රැකවරණයට අලි පැනි බබා ආදරෙයි. බබා… පුංචි කොලුවා කාලෙදී ඌට ලැබුන ඒ සෙනෙහස අවුරුදු විසිගානක් ගිහිල්ලත් අමතක වෙලා නැත්තේ ඒක ගොඩක්  වටින නිසා වෙන්න ඇති. එයා මගේම අක්කා කෙනෙක් නොවුනත් මට එයාගෙම මල්ලියෙකුට වැඩිය ආදරේ කලා…. ඒක මට දැනුනා… මං වින්දා….

ඉෂාර අක්ක මගේ ජීවිතයට ආයෙමත් එනවනම්….! මට අක්ක කෙනෙක් වෙලා… මාව හැමදාමත් මල්ලි කෙනෙක් වගේ ආදරෙන් සනසවනම්…! එදා බබා වෙරළු ඇටේ හිර කරගත්ත වෙලේ හුස්ම හිරවුනා වගේ… අද මගේ හිත ඇතුලේ පුංචි ඉකියක් හිරවෙලා. එදා බබාගේ පිටට ගහලා ඉෂාරා අක්කා වෙරළු ඇටේ අයින් කලා වගේ අද නම් මගේ හිතේ හිරවෙලා තියෙන ඉකිය ඇදලා පැත්තකට දාන්න කෙනෙක් නෑ…

%d bloggers like this: