මගේ දෙමළ ලව් එක ගැන කියන්න අමතක වුනානේ…

මේ සීන් එක නම් මට කොහොම අමතක වුනාද මන්දා. මොකද මං කොහොමත් කල්චර් එක මික්ස් කරගන්න කැමති නිසා, මේ කෙල්ලව මට මතක තියෙන්නම තිබුනා. ඒත් ඉතිං කරුමෙට අමතක වෙලා තමා තිබුනේ… මට ඉතිං බෝල ඇස් තියෙන මුස්ලිම් කෙලි පැංචියක් හිටියා. ඊට පස්සේ මාව අනාත නාත කරපු සිංහල කෙලි පැටික්කියක් හිටියා. මේ කියන්න යන්නේ හිත හිරිවට්ටපු දෙමළ කෙල්ල ගැන.

ඉතිං ඔන්න ඊයේ… මං ඔෆිස් ගිහින් හවස ගෙදර යන පිළිවෙල පොඩ්ඩක් වෙනස් කරලා වැල්ලවත්තට පොඩියක් ගියා යාළුවෙක් මුන ගැහෙන්න. ඉතිං ඒ වැඩේ කරගෙන එද්දී ටිකක් විතර රෑ වෙලා… ම්… හතට විතර ඇති ඒ වෙලාවේ. මමත් 141 බස් එකේ ඇවිත් වැල්ලවත්තෙන් බැහැලා ගාලු පාරේ හෝල්ට් එකට එද්දී… මෙන්න බොල හිමීට හිමීට වැහි බිංදු වැටෙනවා. මං ඉතිං කෝමත් ඔය වැහි පිනි කැට වලට පෙරේතයා නිසා කූඩේ බෑග් එකේ තියාගෙන තෙමී තෙමීම බස් හෝල්ට් එකට යනවා කියලා හිතා ගෙන ඉස්සරට ගියා. ම්හු… තව යන්න බෑ වැස්ස තදයි. ඒ පාර ඉතිං ලොතරැයි විකුණන කඩයක් අස්සට රිංගලා කූඩේ අරං දිග ඇරගෙන ගියා හෝල්ට් එක ගාවට. හ‍පෝ එතෙන්ට කිට්ටු කරන්නවත් බෑ…. වැස්සට සෙනග ඔක්කොම එතෙන්ට රොක් වෙලා…. ඉතිං මං හෝල්ට් එකට එලියෙන් හිටියා. මගේ එහා පැත්තෙන් ස්කෝලේ යන ගෑණු ළමයෙක්… දෙමළ එක්කෙනෙක්. පස්සේ මං නොදැක්ක ගානට ගිහිං ඉද්දී… මේ කෙල්ල මට පේන්න අර මහ වැස්සෙම කුඩෙත් ඉහලගෙන මගේ ඉස්සරහට ඇවිත් මට පිටුපාලා හිටගත්තා.

දැං ඉතිං මට හරි පස්නේ… මේ මොකාද මේ කියලා… පස්සේ එක පාරක් මගේ දිහා බැලුවා.

ඈ… මේ කෙල්ලව මං කොහෙදි හරි දැකලා තියෙනවනේ කියලා කම්පනා කරද්දී තමා මීටරේට වැටුනේ… කොහෙදීද මේ කෙල්ලව දැක්කේ කියලා…

ඒ 2008 අවුරුද්දේ මැයි මාසේ වෙසක් නිවාඩුවේ දෙවෙනි දවස. මායි මගේ ෆිට් එක ඉන්දිකයි… අපේ ගමේ ගිහින් ආපහු එන ගමන්… අපි නැග්ගේ මතුගම බස් එකක. තුනයි දෙක සීට් තියෙන එකක. අපි කොළඹින් නගිද්දි සෙනග හිටියේ නැති වුනාට බම්බලපිටිය හරියට එද්දී අපි වාඩි වෙලා හිටිය තුනේ සීට් එක ඇරෙන්න අනිත් ඔක්කොම පිරිලා ගියා. මිනිස්සු අපි දෙන්න දිහා බල බල ගියාට වාඩි වෙන්නේ නෑ… හරියට නිකං අපි දිහා බලන්නේ අපි ඒලියන්ලා කියලා හිතාගෙන වගේ….

පස්සේ ඔන්න වැල්ලවත්තට ආවම එතෙන හෝල්ට් එකෙන් නැග්ග දෙමළ ගැහැණු ළමයෙක්‍. එයා පන්ති ගිහිං ගෙදර යන ගමං. ඒ වෙලාව ටිකක් අවුව වෙලාවක්. අර ගෑණු ළමයා අපි හිටිය සීට් එකේ කෙරෝලට වෙන්න වාඩි වුනා‍. ඉන්දික වම් පැත්තේ මං මැද්දේ‍‍‍… කෙල්ල දකුණු පැත්තේ අයිනේ.

පස්සේ ටික වෙලාවක් යද්දී ඒ ළමයා සෑහෙන ගේමක් දෙනවා දැක්කා… එයාගේ අත්දෙක අව්වෙන් බේරගන්න. ගොඩක් සුදු ළමයෙක් නෙමේ… මට වඩා චුට්ටක් සුදුයි. ඒත් ඉතිං ඇත්තටම එයාට ඒ අව්ව ගොඩක් වේදනාකාරී වෙන්න ඇති. කෝමත් ඉතිං ඔය වගේ වෙලාවට මගේ හඳුන්පොතේ බයෝ එලාම් එක  වදිනවනේ… ඒක නිසා මං ඇහුවා…

අව්වයිනේ… ඔයා එනවද මෙතෙන්ට කියලා…

ඒ දුඹුරු පාට ඇස් දෙකෙන්… ම‍ගේ මූන දිහා බලාගෙන කට කොනකට හිනාවකුත් තියාගෙනම… ඔලුව දෙපැත්තට වනලා හා කියලා කිව්වා. පස්සේ ඉතිං මං අයිනට ගිහිං ළමයව මැද්දට දැම්මා. දැං නම් ෂෝයි… කෙල්ල හෙවනේ මං අව්වේ… කමක් නෑ පවුනේ කියලා හිතලා මාත් ඉතිං සද්ද නැතුව හිටියා.

ඒත් ඉතිං අර එලාම් එක තාම වදිනවා. ඒ පාර මං හිමීට ළමයගෙන් පස්නයක් අහන්න තීරණය කලා. මට ඉතිං බය වෙන්න දෙයකුත් නෑනේ… ඉන්දික එහා පැත්තේ ඉන්නවනේ…

ඔයා ක්ලාස් ගිහිං යන ගමන්ද…?

…………………………. උත්තරක් නැත. ඔලුවෙන් ඔව් කිව්වා විතරයි.

ආයෙමත් මං ඇහුවා… සිංහල පුළුවන්ද….? කියලා…

ඒකටත් ඔලුවෙන් ඔව් කිව්වා…

ඒ පාර මං කිව්වා…

එහෙනම් ඉතිං කතා කරන්නකෝ… ඔලුව වනන්නේ කියලා….

කෙල්ලට ඒකට හිනා ගියා…

අම්බෝ ඒ හිනාවේ ලස්සන. කෙල්ල ටිකක් කලු වුනාට ඒ හිනාව මුනේ තිබ්ච්ච අඳුරු පැහැය එවෙලේම නැති කරලා දැම්මා.

පස්සේ මං ඇහුවා… මොකද්ද ඔයාගේ නම…? කියලා…

ගීතාංජලී….

බොරු කියනවද දන්නෙත් නෑ… කියලා ප්‍රශ්නාර්ථයක් මුහුනේ තියාගෙන එයා දිහා බලද්දී….

මොකටද බොරු කියන්නේ… කියලා ඇහුවා‍‍‍‍…. ඊට පස්සේ ඉතිං අපි ගොඩක් දේවල් ගැන කතාකරා. එයාලට උගන්නවන විෂයන්… එතකොට සිංහල ඉගෙන ගත්ත හැටි… ඉන්නෙ කොහෙද, ස්කෝලේ…. ඔය වගේ ගොඩක් දේවල්…

ඉතිං අපි බහින්න කිට්ටු වෙලා… හැමෝම අහන දේ අහන්න මාත් අමතක කලේ නෑ…

ඔයා ‍ෆේස් බුක් ඉන්නවද…?

නැහැ… කියලා ඔලුවත් වැනුවා…

එහෙනම් ඊමේල් එකක්…..

ඒකත් නෑ…. කියලා වචනයෙන් නොකියා ඇස් වලිනුයි ඔලුවෙනුයි කිව්වා…

එහෙනම් තරහා නැතුව මොබයිල් නම්බර් එකක් දෙනවද…?

තාත්තාගාව තියෙන්නේ…..

දැං ඉතිං මොනා කරන්නද… කිසිම ඔප්ෂන් එකක් නැති පාර… හරි එහෙනම් පරිස්සමින් යන්න …. අපි ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා කිව්වමත්… අර ලස්සන ඇස් දෙක නටවලා… ඔලුවෙන්ම හා කිව්වා…

ඊට පස්සේ ඉතිං සතිදෙකක් විතර යනකං ඒ ළමයගෙන් ගත්ත තොරතුරු වලට අනුව හෙව්වා හෙව්වා… අන්තිමේ මං හිරවුනා. එයා යන ස්කෝලේ කළුතර තිබුනට ඒ ස්කෝලෙට යන කවුරුවත් නැති නිසා වැඩේ අතෑරලා දාන්න වුනා….

දැන් ඉතිං බලනවා ඇති මොන වැඩේද කියලා… වෙන මක්කෙයි… මගේ මික්ස් කල්චර් සංකල්පය ක්‍රියාවට නංවන්න තමා මං ට්‍රයි කරේ… ඒත් ඉතිං හරිගියේ නැහැනේ…. පස්සේ කෝම හරි ඔය සීන් එක අමතක වෙලා ගියා.

ඔන්න ඉතිං ආයෙමත් ඊයේ හවස ඒ ළමයව මට හම්බුනා. දැන් නම් මං හිතන්නේ ස්කෝලේ යන්නෙත් වැල්ලවත්තේ…. ස්කෝලේ සුදු ඇඳුමට එයා ‍ගොඩක් ලස්සනයි කියලා හිතුනා. පස්සේ ඉතිං එයා නැග්ග මතුගම බස් එකටම මාත් නැග්ගා. නැගලා ඉස්සරහ එයා ඉන්න තැනටම ගියා. මගෙ දිහා බලලා හිනා වෙලා මාව දාලා පස්සට ගියා. දැං ඉතිං මාත් පස්සට යන්නයැ… මොනා කරන්නද මැද පොල්ලේ එල්ලිලා මාත් ඉතිං පස්ස බලබල හිටියා… මං බලන හැම වෙලාවෙම ඒකිත් මගේ දිහා බලනවා… අර ලස්සන ඇස් දෙක මට තාමත් ඔච්චං කරනවා… මුළු හිතම… හරියට කළු කුහරයක් වගේ ඇදලා අරගන්නවා… හුස්ම ටිකත් නැවතී ගෙන ගියාද මන්දා. කොහොම හරි මොකක් නමුත් සික් එකක රෝග ලක්ෂන පෙන්නුම් කලා.

ආයෙමත් මට සඳුදාට වැල්ලවත්තට නම් යන්න හිතෙන්න එපා කියලා විතරයි මං මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ… ගියොත් මං ඒ දුඹුරු ඇස් වලට වශී වෙනවා. එතකොට මට තවත් අ‍‍ඳෝනාවක් ලියන්න වෙන්න ඉඩ තියෙන නිසා මට ආයේ වැල්ලවත්ත පැත්තට යන්න නං හිතෙන්න එපා…

ඒත් අවුරුදු දෙකකින් හම්බුවෙලත් ඒ ඇස් මාව අඳුන ගත්තනම්… මට ඒ කෙල්ලගේ නමත් මතක තිබුන නම්… අනේ මන්දා…………………………………………..

අළුත් පාරේ වාසනාව…!

මේ කතාව නම් එක එක්කෙනා එක එක විදියට කියෝලා තේරුම් ගනියි. අනේ හැබැයි මට නම් ඔය දේසපාලන සීන් ඇදගෙන බනින්න එපා. මොකද මං දේසපාල‍නේ දන්නේ නෑ…

ඉතිං ඊයේ ඉරිදනේ… ගෙදර ඉන්නේ එදාට විතරයිනේ… ඒක නිසා මළගෙයක් තිබිලා ඒකට යන්න කියලා මගේ යාළුවෙක්ව සෙට් කොරගත්තා. මළගේ තියෙන්නේ කළුතර හොරණ පාරේ. දැන් ඉතිං එහෙට යන්නේ නාගස්හංදියෙන් හැරිලා. ඉතිං මාත් තව යාළුවෙක් එක්ක ගමනේ යා… ඔහොම ටික දුරක් යන කොට මේං බොල අපේ අළුත් මහ පාර. අර හයිවේ… එක…. අම්මෝ…. දිගට දිගේ බැබලෙනවා. ඊට පස්සේ ඉතිං ඒක පාස් කරගෙන ගිහිං ආයේ තව ටික දුරකින් ආයෙමත් අර වගේම සුපිරි පාරක්… අම්මද බොල අපි යූ ටර්න් එකක් ගහලා මලගෙදරට යන්න… සෝයි නේ….

අපිට මුලින් හයිවේ එක සෙට් වුනේ සාමාන්‍ය වාහන යන පාරට උඩින්… ඒත් දෙවෙනියට… හම්බුනේ අපේ පාරට වඩා පහලින්…. ඔය තියෙන්නේ…. දිලිසි දිලිසි…

පස්සේ ඉතිං මළගෙදරට ගියා. එතෙනත් කතාව අපේ අළුත් පාර ගැන. එක එක අය එක එක එව්වා කියනවා. ඉතිං මාත් ඔය ටික බොහෝම සාවදානව අසා සිටියා. විවිධ මත විවිධාකාර අය විසින්… අවසානාව කියන්නේ ගොඩක් නොවුනත් කීප දෙනෙක් දකින්නේ මේ පාර හදන එකේ නරක පැත්ත.

එක්කෙනෙක් කියනවා…

මේ පාර හදන්න ගත්ත එකෙන් දැං වහිද්දී වතුර බහින්න තැනක් නෑ… වෙනදා යට නොවිච්ච ගෙවල් පොඩ්ඩක් වැස්සත් යට වෙනවා….

ඒක නම් පොඩ්ඩක් විතර ඇත්ත වගේ. මොකද අපි යන පාරෙත් වෙල් පිරිලා ඉතිරිලා වතුරෙන් වැහැච්ච තැන් තිබුනා. ඒත් ඉතිං මේ පාර අපේ රටට ලැබෙන ලොකු දායාදයක් කියලා ඒ මිනිස්සුන්ට තේරුමක් නෑ…

ඒ වගේම තව කෙනෙක් කියනවා…. මේ පාර නිසා… ඉඩම් ගොඩක් නැතිවුනා කියලා.

අනේ මන්දා… ඒ මිනිස්සුන්ට ඒවාට වන්දි ගෙව්වා මං දන්න විදියටනම්… හ්ම්… කමක් නෑ… දැං ඉතිං අහගන්නකෝ මං හිතන විදිය.

මුලින්ම බලන්න මේ පාර නිසා ඇතිවෙන වාසි. විනාඩියක් හිතලා බලන්න මේ පාර නිසා රස්සාවල් නැති කී දෙනෙක්ට රස්සාවල් ලැබුනද..? ඒ වගේම ඔය ලොරි, ටිපර් අරං ගෙවල් අස්සේ දාගෙන හිටිය අයට කොයි තරම් වැඩ කරන්න ලැබුනද….? තවමත් ඉවර නැහැනේ… ඊට පස්සේ සුළු සේවක රැකියා කොයිතරම් ලැබුනද…. විදුලි කාර්මික රැකියා කොයි තරම් ලැබුනද…? ජොබ් එකක් නැතුව පිස්සු කෙල කෙල හංදි ගානේ රස්තියාදු ගහපු තරුණ ජීවිත කීයක් නම් දැනටමත් තම ශ්‍රමය මේ හයි වේ එක වෙනුවෙන් යොදවනවද…? ඇයි මේ දේවල් ඒ මිනිස්සුන්ට පේන්නේ නැත්තේ‍‍‍…. ගොඩ දෙනෙක් දකින්නේ හොඳ වුනාට ඒ අතරේ ඉන්න කීප දෙනෙක් හරි නරකක් දැකීම නම් කනගාටුවට කරුණක්.

ඇත්ත… පාරට අයිතිවෙන ප්‍රදේශ වල මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් දොරවල්… උපතින්ම ලැබුන ඉඩම් එහෙ නැතිවුනා තමා. ඒත් ඒවාට සරිලන වන්දියක් හම්බුනානේ… ඒ විතරක්ද දෙයියනේ… මේ හදන පාර හදන්නේ අපේම රටේනේ… අපිටම වැඩ ගන්නනේ… මොකද මේකේ නාසා එකේ රොකට් යවන්න හදන එකක්යෑ…

අනික මේ පාර නිසා ගාලු පාරේ තියන වාහන තදබදය මහ ගොඩකින් නොවුනත් වාහන පනහකින් සීයකින් හරි අඩුවෙයිනේ. එතකොට අපි යන ගමනක් අපිටමනේ ඉක්මනට යාගන්න පුළුවන් වෙන්නේ… ඒ වගේම ඔය අළුත් පාරට වෙනමම බස් සේවයකුත් වැටුනොත් ඒකෙනුත් තව තව රැකියා අවස්ථා බිහිවෙනවා. ම්… තව තියෙනවා… ඔය පාරේ වාහන නවත්ත තැන් වල හදන්න නියමිත සුපිරි වෙළඳ සැල් වලදී තවත් රැකියා අවස්ථා කීයක් නම් උපදිනවද. මොකද එව්වට පිට රටින් මිනිස්සු ගේනවා කියලද… නෑනේ… ඒ අවස්ථාවත් හිමිවෙන්නේ අපේම රටේ මිනිස්සුන්ටනේ…

ඒ වගේම මේ පාර හැදීම නිසා අර කලිං කිව්වත් වගේ පොඩි පොඩි අවාසි තියෙනවා. ගං වතුර ප්‍රශ්නය එහෙම නම් ටිකක් දරුණුයි. මාත් මේ පොඩි පොඩි ප්‍රශ්න කියලා කිව්වට මේවාට ඇත්තටම මුහුණ දෙන මිනිස්සුන්ට නම් මේවා ලොකු ප්‍රශ්න. ඒවාටත් ඉතිං විසඳුම් නැතුව නෙමෙයිනේ තියෙනවනේ….

මගේ චූටි මොලේට ‍තේරෙන එකම දේ නම්… මේ පාර හදන එක ‍ගොඩක් හොඳයි. ඒ වගේම ඒ පාර හැදීම නිසා ඇතිවෙන ප්‍රශ්න වලට යොදන්න ඕනේ පිළියම් යොදනව නම් තවත් හොඳයි. මොකද සුපිරි මාර්ගයක් හදන්න වියදම් කරන සල්ලි වලින් සොච්චම් ගානක් වැයවෙයි… අර කරදරයට පත් වුන මිනිස්සුන්ගේ කරදර ටික නැති කරලා දාන්න… එතකොට හැම දෙනාගෙම අශිර්වාදයෙන් අපේ රටේ අළුත් පාරේ වැඩ ටික ඉවර වෙලා… අපේ මිනිස්සුන්ට රැකියා ලැබිලා… අපේ රටම දියුණුවෙයි….!

හිත ගිය ඇත්තී අකමැති වුනත් කැමත්ත ගන්න විදිය…

දැන් ටික දවසකට කලින් මං කිව්වනේ හිත ගිය ඇත්තී බැඳලද කියලා හොයාගන්න විදියක්… ඊට පස්සේ ඉතිං බැඳලා නැත්තං… ඒකිගේ කැමැත්ත ගන්න ක්‍රමේ තමා මේ… මේකට නං ඉතිං පොඩි යාළු කමක් තියෙන්න ඕනේ… කෙල්ල අකමැති වුනත් මේ සීන් එකේදී නම් අකමැතියි කියලා කියන්න විදියක් නැත්තටම නැතුව යනවා… මේකෙ හෙන නිධාන කතාවකුත් තියෙනවා… පහල තියෙන්නේ ඒක තමා…

ඔන්න පොඩි විසේකාර කොල්ලෙක් හිටියලු…. ඉතිං ඔය කොල්ලගේ අතේ එල්ලි එල්ලි හුරතල් වෙන චූටි නංගියෙකුත් උන්නලු. ඉතිං කොල්ලට නංගි ගැන ආදරයක් ඇති වුනාලු. ඒත් ඉතිං ඕක කෝමද අර චූටි කෙල්ලගෙන් අහන්නේ… ඔහොම හිත හිත හිටපු කොල්ලට පහල වුනා මරු අයිඩියා පාරක්.

ඉතිං කොල්ලා කට්ටකාගෙන හැදුවලු පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක්. පස්සේ ඒක… ආ නංගෝ ගේම් එකක් කියලා ගිහිං දුන්නලු. පස්සේ අර කෙල්ල… ඒක ප්ලේකරන්න අරං… චූටි ඈස්දෙක රතු කරගෙන කොල්ලගේ මූන දිහා බලාගෙන ඉන්නවලු කරකියාගන්න දෙයක් නැතුව. පස්සේ ඉතිං ​කෝම හරි… මං කැමතියි කියන එක කටින් නොකිව්වට, පුංචි ඈස් දෙකෙන් බලාගන්න කොල්ලට පුළුවන් වුනාලු. එදා ඉඳන් කොල්ලගේ ජීවිතේ ඒ පුංචි කෙල්ලම විතරක් වුනාලු. ඉතිං ඔය සීන් එක වෙලා දැන් අවුරුදු 4ක් පහක් වෙනවලු. කෙල්ලට ඔය ගේම් එක අමතක වුනාට තාමත් කොල්ලට මතකයිලු. ඒක නිසා ආයෙමත් වතාවක් ගේම් එක හැදුවලු. හදලා උගේ ටැංකියේ දැම්මලු.

දැං ඉතිං කාටවත් මට අකමැති වෙන්න බෑනේ … හූ… හූ…. හා පුළුවන්නම් නෑ කියමු බලන්න…

මේ තිරිකිස් සීන් එක ඕනේ අය බාගන්න…. එකෙක් හරි ගොඩ ගියොත් ඒ පිනත් මටනේ…

ෆ්ලෑෂ් ෆයිල්ස් සියල්ල අක්‍රිය තත්වයේ පවතී… 😦

නෑම -1 (නෑමෙන් හොඳ නෑම, කලවම් කර නෑම…)

මං මේ ජීවිත කාලෙටම තාම….., බීම නිසා නාගත්තේ හතර පාරයි. අර සමහර අයියලා වගේ පාරවල් මාරු කරගෙන වෙන ගෙවල් වලට ගියේ එහෙම නෑ ඕං. ටිකක් වැඩි වුනාම කියවන්නෙත් නෑ… පුළුවන් තරම් සයිලන්ට් එකේ තමා ඉන්නේ… වලි වලට යන්නෙත් නෑ…. වල්කං කොරන්නෙත් නෑ… ඇත්තෙන්ම සහෝදරවරුණි මං බිව්වම, නොබී ඉන්නවට වැඩිය අහිංසකයි…. නිමලයි, පවිත්‍රයි… කීකරුයි…, සුවචයි… දැහැමියි…

හැබැයි ඉඳලා හිටිලා ඔය පවිත්‍රකමට එහෙම කෙලවෙනවා. මං මේ පෝස්ට් එක නෑම-1 කියලා ටයිට්ල් කරෙත් ඒක නිසාමයි. ඒ කියන්නේ තව තුනක් තියෙනවා කියන එකනේ. ඒ නෑම් වලින් පළවෙනිම කුළුඳුල් නෑම…. තමා නියම නෑම… කිසි කතාවක් නෑ රාජකීය නෑමක්… ඒක කෙලින්ම යන්නේ යශෝධරාවත කැටගරියට… ඒක නිසා ඒක පස්සේ ලියන්නනම්….

මේ මගේ දෙවෙනි නෑම… ඒත් ටැංකියට දාන පළවෙනි නෑම.

ඕං කතාව පටන් ගත්තා. 2008 දී, මම දැන් වැඩ කරන ඔෆිස් එකට ආපු අලුතම අපිට සෙට් වුනා ඇනුඅල් ට්‍රිප. ගිය සැරේ වගේ චාටර් එකක් නෙමේ. පට්ට ආතල්. අපි ගියේ නුවරඑළියේ. ඉතිං මුල්ම දවසේ …. ඕං සාදු කාර දීලා බස් එකට නැග්ගට මොකද පැයක් යන්න කලින් දීපු සාදු කාර වමාරනවා…. කෝම හරි යාන්තං මමත් බේරිලා උන්නා. මොකද අර කලින් කිව්වා වගේ පළවෙනි නෑමෙන් පස්සේ මං ටිකක් විතර ප්‍රවේසම් වෙනවා. බොන්න තිබ්බ පලියට බොන්නේ නෑ… වගේම බියර් එකකින් එහාට යන්නෙම නෑ…

ඉතිං ඔන්න මුල් දවසේ දවල් හරියේදී… අපි ගියා තේ ෆැක්ටරියක් බලන්න. ඊට පස්සේ එන ගමන් කෑම කාලා එහෙම හවස් වෙද්දී ආවා රම්බොඩ උමග ගාවින්ම තියෙන රම්බොඩ හෝටලයට. එතෙන නම් ඇ‍ඬෙනවා. මැක්සා ප්ලේස එක. එක පැත්තකින් රම්බොඩ ඇල්ල වැටෙනවා…. අම්බෝ ඒකෙ ලස්සන. ඊට පස්සේ ඉතිං අපේ තියෙන කැසිල්ලට හවස් වෙලා ගියා නාන්න කියලා ඇල්ල පාමුලටම. වතුර ටික නිකං ඩීප් ෆ්‍රීසර් එකේ දාලා වගේ….

ඔන්න ඉතිං ඊට පස්සේ නෑවා… පීන පීන නෑවා… පස්සේ අමාරුවෙන් කකුල් දෙකත් වෙවුල වෙවුල ආයෙමත් හෝටලයට ගියා. එතකොට රෑ හතට විතර ඇති. බිං කළුවර වැටීගෙන එන වෙලාව. ඉතිං අපේ අයියලාටත් ඔය වෙලාවට කන පාත්වෙන්න දාගත්තෙ නැත්තං නිකං මොකද්ද මොකද්ද වගේලු. ඒක නිසා කට්ටිය බොනවා බීමක්… ආයේ ලොවෙත් නෑ…. සැන්ඩිත් නෑ… බයිටුත් නෑ… ගල් බෝතල් කටේ තියන් ගහනවා. සීතල හින්දා වැඩිය වදින්නේ නෑ මං හිතන්නේ…

පස්සේ කෝම හරි මං ඇතුලු අපේ අනිත් හතර දෙනත් සෙට් වුනා මේසෙකට. අපි ඉතිං ලයිට් ඩ්‍රින්කර්ස්ලානේ… ඒක නිසා අපි ගත්තේ ස්ට්‍රෝන්ග් බියර් තුනක් විතරයි. බයිට් එකට පොටෑටෝ චිප්ස්  හා සැර කඩල. ඔන්න ඉතිං කට්ටිය ලොකු ලොකු වීදුරු පුරෝලා බියර් දාගෙන චියර්ස් කරලා එහෙම බොනවා. ආහ්… බියර් වීදුරුවලට දාද්දි… අරක්කු වගේ චුට්ට චුට්ට දාන්නේ නෑ… අන්ඩ තියෙන වීදුරුවකට කට පෙත්තට වඩා අඟලක් විතර පහලට තමා දාන්නේ… ඒ දාද්දිත් නුපුරුදු කාරෙයෙක්ට නම් පිරෙන්න දාන්න බෑ… මොකද බියර් එක පෙන ඇවිල්ලා හැලෙනවා. පෙන නගින්නේ නැති වෙන්න බියර් දාන්න ඉගෙන ගන්න ඕනේ… මට නම් ඉතිං දැන් ඒ වැඩේ පුළුවන්.

ඉතිං ඔහොම අපේ ලයිට් ඩ්‍රින්ක් එක යද්දී… අපේ බොස් කෙනෙක් එනවා… පොරත් ලඟ නවලා….

ආහ්… පුතාලා….  කෝමද..? චී…. චී…. බියර් විතරද…? මොකද්ද බං….

ආ… මෙන්න මේ බ්‍රැන්ඩි එකත් ගහපල්ලා….

කියලා බ්‍රැන්ඩි එකකුත් දුන්නා. පස්සේ කාටද මන්දා කතා කරලා කෝක් එකකුත් ගෙන්නලා දුන්නා. දැං ඉතිං බීපල්ලකෝ. එතන හිටිය යාළුවන්ගෙන් මමයි තව දෙන්නෙකුයි ඇරෙන්න අනිත් උං ටිකක් විතර හාඩ් ඩ්‍රින්ක්ස් වලට පුරුදු අය. උංට මේක නතින් වුනාට අපිට මැජික් වගේ…. අනේ ඉතිං කවදා බීපු බ්‍රැන්ඩිද කියලා බියර් වීදුරුවටම ටිකක් දාගෙන කෝක් එකත් මික්ස් කරලා ඇදලා ඇරියා…

මට ඒ වෙලාවෙනම් කිසි ෆන් එකක් නෑ… මොකද ඉතිං මේකෙන් මොනා වෙනවද කියලා දන්නේ නෑනේ… ඉට පස්සේ ආයෙමත් ටිකක් ගැහුවා. දැන් නම් නිකං සමනලයා වගේ… වටේට මල් වතු වගේ… ඔලුව දෙපාරක් විතර ගැසුවා… ම්හු…. හරියන පාටක් නෑ… පස්සේ ඉතිං කෝම හරි බ්‍රැන්ඩි එක ඉවර කරලා කට්ටිය එක්ක ගියා පොඩි ඩාන්සින් පාරක් දාලා වෙරි බස්සගන්න. මං ඔය කිව්වේ ටිකයි. ඉතුරු ටික කියාගන්න බැහැ… නිකං ලැජ්ජා සීන් එකක් එනව හිතට. ඊට පස්සේ ඔං ඉතිං නටනවා.

අනේ මගේ නැටුම්…. කොහෙ නටන්නද? විසික්වෙනවා හැම පැත්තටම. පස්සේ ඉතිං මේං ආයෙමත් එකෙක් එනවා… ආහ් මල්ලා…. මේං… ෂොට් එකක් දාගනින්… කියාගෙන… ආයෙ ඉතිං අපි කවද්ද කෑමට බීමට බෑ කිව්වේ කියලා ඒකත් බිව්වා…

ඒ පාර බිව්වේ වෙන ජාතියක්… පස්සේ ආයෙමත් බියර් එකක් සෙට් වුනා… ඒකත් ඇදලා ඇරියා නැත්තං ඉතිං අපේ එව්වොන්ගේ මූනු ටික අඤ්ඤ කොරොස් වෙනවනේ… අනික මේ වගේ වෙලාවක නොබී වෙන කොහේදී බොන්නද…?

ඔන්න ඉතිං ඊට පස්සේ මට බඩු හරි වගේ… අර මල් වතු සීන් එකට අමතරව මුළු ලෝකෙම කැරකෙන සීන් එකකුත් එනවා. පස්සේ මගේ ලඟ හිටිය පුරුදු කාරයෙක් මාව අතින් අල්ලගෙන එක්කං ගියා හොටලේ පොඩි එව්වොන්ට තියෙන ළමා උද්‍යානෙට. මාව එක්කරං යද්දී අනිත් අපේ ඔෆිස් සෙට් එකේ එවුනුත් ආවා. පස්සේ මාව ඔන්චිල්ලාවේ වාඩි කරෝලා එකෙක් මගේ ඔලුව අතගානවා. තව එකෙක පිට….

පස්සේ විනාඩි පහක අවෑමෙන් ඇරියා නේද කබරයා පාරක්…. ළමා උද්‍යානේට මක් වුනාද මන්දා. ඒ අස්සේ රම්බොඩ පැත්තට නිතරම වැටෙන පුංචි හිරිකඩ පාරත් එනවා…. කෝමත් මං එදා ඉඳන් වැස්සට ලයික් නිසා… ඒකත් හෙන ආතල් සීන් එකක් වුනා. පස්සේ ඉතිං කට්ටිය මාව වත්තං කරගෙන අරගෙන ගියා අපේ කාමරේට.

ගිහිං මාව ඇඳෙන් තියලා.. මුං මගේ සපත්තු ගලවන්න ලෑස්තිය….  එව්වා කොහෙද මා එක්ක. මුං හදන්නේ මගේ සපත්තු දෙක ගල් කරන්න. ආච්චිට හාල් ගරන්න වෙන්නේ එතකොට. මට හෙට උදේට දාන්න සපත්තු හොයන්න වෙනවා. ඒක නිසා මං ටක් ගාලා බැරි බැරි ගාතේ නැගිටලා මංම ගැලෙව්වා සපත්තු දෙක. ඊට පස්සේ මං දොයි.

මේං බොල ඊට ටික වෙලාවකට පස්සේ ‍ෆෝන් එකේ එලාම් එක වදිනවා. නැගිටලා බලද්දී පාන්දර 5.30යි. මං උදේට නැගිටින්න තියාගෙන ඉන්න එලාම් එක. ඒ කියන්නේ මං පාන්දර හතරාමාර විතර වෙනකං පිස්සු කෙලලා. මට හිතුනේ එහෙම. පස්සේ ස්විච් එක දාලා බලද්දී… අනිත් සහෝදරවරු මට ඇඳ දීලා… උං ඔක්කොමලා බිම… ඒ කියන්නේ උංට පැය භාගෙට ලෙසටම නින්ද ගිහිං.

පස්සේ ඉතිං ඕං එකා දෙන්න නැගිටිනවා. මාත් නැගිටලා ඔලුව ගසලා දාලා… ගිහිං නා ගත්තා. වෙලාවට හොට් වෝටර් තිබ්බේ… නැත්තං එවෙලෙම මැරෙනවා. පස්සේ ටිකක් සේප්. ඕං පටන් ගන්නවා අපේ එවුන්ගේ බන ටික…

එකෙක් කියනවා….යකෝ…. බොන්න බැරිනම් නොබී ඉඳපිය. පෙරේත කමට බොනවා බොනවා ඉවරයක් නෑ…. තෝ ඊයේ රෑට කෑවෙත් නෑ… කාමරෙට ආවෙ අපේ කරපිටින්…

අම්බෝ… මුංගේ බොරු…. මාව වත්තං කොරන් ආවා තමා… එකෙක් වත් උස්සගෙන නම් ආවේ නෑ…

ආයෙ තව එකෙක්….

බලපං උඹ නිසා අපිටත් කන්න බැරිවුනා. මොනද බං බිව්වේ උඹ…?

ඌ බබා… මං බීපුවා දන්නවනම් වෙරි වෙනවැයි. අනික් මං කිව්වද ඌට කන්න එපා කියලා නැහැනේ….

ඉතිං ඔය වගේ අවකැපෙන කතා ගානක් අහගන්න වුනා මට. අන්තිමේ අපේ බොස්… කා‍මරේට ඇවිත්… ‍ඔව්ව ඔහොම තමා පුතා… පුරුදු වෙද්දී හරියයි. කලවම් ගහනව නම්… ළඟ නවන්න එපා බං… අරිෂ්ටෙ බොනවා වගේ බොන්න… කියලා මගේ උරේටත් තට්ටුවක් දාලා ගියා.

පොර හිතන් ඉන්නේ මාවත් බේබද්දා කරන්න. දැක්කනේ දීපු උපදෙස්….

පස්සෙ ඉතිං කෝම හරි අන්තිමේ මං විතරක් චා වෙලා. අනිත් එවුන් මං නිසා වාත වෙලා. පස්සේ එදා හිතාගත්තා ආයේ බොනවනම් ලිමිට් එකට කියලා. ඒත් ඉතං මට හොඳටම සුවර් මං එදා බිව්වෙත් ලිම්ට් එකට කියලා… ඒත් ඇයි මන්දා වෙරි උනේ…?

ගෑණි උඹව පන්නනවා, ඔය මගුල නිසා… (අම්මට මාට්ටු වෙච්ච මගේ ඩබල් ගේම් එක)

කාලෙකට කලිං ස්කෝලේ මාව අත ඇරලා ගියා…
ඊට පස්සේ යාළුවෝ ටික මාව තනිකරලා ගියා…
දැනට අවුරුදු කීපයකට කලින්,
එයත් මගෙන් අයින් වුනා…
පෙරේදා යද්දී… මාළු ටිකත් මැරිලා…
අන්තිමට මට ඉතුරු වු‍නේ උඹ විතරයි…

සල්ලි ටිකක් එකතු කරලා උඹව ගත්තේ…
හිත හදාගන්න…
ටිකක් වෙලා උණුහුමට තුරුල් වෙන්න…
එහෙම නැතුව වනචරකම් කරන්න නෙවේ…
කෝම කෝම හරි…
උඹ මට මගේ පන වගේ වු‍නා…
අම්මට බය හිතෙන්න ඇති…
මං ඩබල් ගේමක් යද්දී…
ගෙදර ගිය වෙලේ ඉඳන්,
උඹත් එක්ක සෙල්ලං කරද්දී…
අම්මා කිව්වේ මෙච්චරයි…

උඹ ගෑණියෙක් ගෙනාපු දාට, ගෑණි උඹව පන්නනවා, ඔය මගුල නිසා…

මං ඒත් ගනන් ගත්තේ නෑ….
මට හැමදේටම වඩා, උඹව වටිනවා.
අරයා නැතිදුකයි, යාලුවෝ නැති දුකයි…
මං නැති කර ගත්තේ…
උඹත් එක්ක එකතු වෙලා…
එක එක විකාර කරලා.
මතකද අපි ගේම් ගැහුවා…
සිංදු ඇහුවා…, ග්‍රැෆික් කරා…
ඇයි බං… බ්ලොග් පෝස්ට් නම් කීයක් ලිව්වද?

දැන් ඉතිං ඒ ඔක්කොමත් දාලා…
මාවත් තනිකරලා…
උඹ යන්නද හදන්නේ…?
එතකොට මට මුකුත් නැතිවෙනවා…
අරයා නම් කතාවක් වත් නෑ…
අයිඩන්ටියයි, ලයිසන් එකයි තාම නෑ…
ලබන මාසෙන් පස්සේ රස්සාවත් නෑ…
අද හෙටම උඹත් නෑ….

කමක් නෑ… සී එක ආයෙමත් දෙකට කඩලා…
ඕං මං ආයෙමත් ජනෙල් තිබ්බා.
ඒත් අද හවසට යද්දිත්…
උඹ ලෙඩ වෙලා හිටියොත්…???
ඊයේ කාපු කට්ට දන්නේ මං විතරයි…
ඔලුව අතගාලා… රොම් එක පිහිදාලා…
ඇඳෙනුත් වැටෙන්න ගිහිං….

මං දන්නවා බං ෆේටල් එරර් කියලා…
ඒකත් හරියට ඒඩ්ස් වගේ…
හොඳ කරන්න බෑ…
ඔය මොන ලෙඩේ තිබ්බත්….
මට උඹව නැතුව බෑනේ…
මගේ ලැපියේ…

හිතපං ඩිංගක්…
මං කොයිතරම් සතුටෙන් උන්නද උඹ එක්ක…
කොයි තරම් දැනුමක් දුන්නද මට,
විනෝදය, හිනාව, ෆන් එක…
ඒත් බං උඹ මාව දාලා ගියොත්….
තව එකියක් ගේන්න තව කාලයක් යයි බං…!

මොනවද මිනිහෝ ඔය බලන්නේ…. (18+)

මේං එල කතාවක්… හැබැයි කියෝලා මට වල් මාළුවා කිව්වොත් නම්… පුම්බලා උඩ අරිනවා. මේක ටිකක් විතර 18 පල්ෂ් එකක්. හැබැයි මං නම් මේ කතාව දැන ගත්තේ 16 මයිනාස් වලදී… ඔය.. අද වැස්ස නිසා ස්කෝලේ නොගිහින් බ්ලොග් කියෝ කියෝ ඉන්න පොඩි එව්වෝ ඉන්නවනම් දුවපල්ලා අහකට…

දැං මේ කතාවේ කතා නායකයා තමා මට ස්කෝලේදී කොම්පූටර් උගන්නපු සෑර්. වැරදිලා හරි සර් මේක බැලුවොත් සර් හිතාගන්න, සර්ට අනුකම්පාවෙන්… බොහෝම ලැදිව වුන් සුවච කීකරු ගෝලයා විසින් කෑලි අඩුකොට ‍ෆන් එක තකා පමණක්ම කියන කතාවක් කියලා.

ඔයාලා දන්නවා නේද ඉස්සර තිබුන එල වීඩියෝ ප්ලේයර් එකක් VCD Cutter කියලා.ඒක තමා දැනට අවුරුදු ගාණකට කලින් තිබ්බ හොඳම විඩීයෝ ප්ලේයර් එක වගේම… පොඩි පොඩි එඩිටිං වැඩ කරගන්නත් කියාපු බඩුව.  ඇඩෝබි ප්‍රිමියර් වගේ වීඩියෝ එඩිටිං ටූල් තිබුනට ඒවායෙන් කරන… ඔය වීඩියෝ එකක් අරං වෙන ඕඩියෝ සිංදුවක් දාන වැඩේ.. එතකොට ෆිල්ම් වල කෑලි කපලා වෙන වෙන එව්වා දාන වැඩ එහෙම සිරාවටම කරගන්න පුළුවන් වුනා මේකෙන්. ඒ වගේම හෙන චූටි ඉඩයි ඕනේ… ෆ්ලොපියක දාගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. දැං ඉතිං අහන්න එපා මොකද්ද මාලූවෝ ෆ්ලොපිය කියන්නේ කියලා… ඒක දන්නේ නැත්තං පල කටුගෙට.

ඉතිං දැං ඔය VCL, MPlayer , GOM player වගේ එව්වා තිබුනට ඒ දවස් වල අර කලින් කිව්වත් වගේ කෝකටත් තෛලය තමා VCD Cutter. ඒ දවස් වල ඉතිං ජංජාලේ තිබුනට බොහෝම අඩු වේගයක්නේ තිවුනේ. ඒ වගේම ඔය දුප්පත් අක්කලා ඉන්න සයිට් තිබුනේ ගොඩක් අඩුවෙන්. දැං නම් ටේබල් ටෙනිස් කියලා සර්ච් කලත් එන්නේ… අර ඇඳුම් බාගෙට ඇඳගත්ත දුප්පත් අක්කා කෙනෙක්ගේ පිංතුරයක්නේ… ඉතිං මං මේ කියන දවස් වල අපේ කට්ටිය අක්කලාව බැළුවේ… සීඩී වලින් හා වී.එච්.ඇස් වලින් තමා.

මං එතකොට ස්කෝලේ එකොලහ වසරේ හරි දහය වසරේ හරි. අපිටනං ඉතිං ඔය දෙකම නෑ… තිබුනේ පත්තරේ තමා. වින්ද්‍යා, ප්‍රියාදරී වගේ එව්වා. ඒවාත් හෙන හිඟයි. ඉතිං ඔය වගේ හිඟ වෙලාවට කලේ තරුණි පත්තරේ හරි බිරිඳ පත්තරේ හරි බලන එක තමා.

හැබැයි ඉතිං අපේ සෑර්ලා අපිට වැඩිය ලොකුයිනේ. ඒ අයට ඕනෙ තරම් කොන්ටෑක්ට්ස් තිබුනලු ඒ කාලේ. ඒක නිසා ඉතිං සතියකට සීඩී එකක් දෙකක් වැරදුනේම නැහැ කියලා තමා කියන්නේ. බොරුද දන්නේත් නෑ… හෙන කට්ටයා පොර. පස්සේ ඉතිං ඔව්ව ස්කෝලේදී බලන්න බැහැනේ… ගෙදරම තමා බලන්නේ…

ආහ්… කියන්න අමතක වුනානේ… සර් බැඳලා… චුටි දුවෙකුත් හිටියා. තව නැවක් වරායට කිට්ටු කරලත් තිබ්බලු. පස්සේ ඉතිං දවසක් අපේ සෑර් ස්කෝලේ ඇරිලා කොහෙන්ද මන්දා හමුබුවෙච්ච සීඩී එකකුත් අරගෙන ගෙදර දුවලා. මොකද නැව් වරායට කිට්ටු කරාම… කන්ටේනරේ බානකං ඉතිං වාරකං වගේනේ ඒක නිසා. පස්සේ මොකක් හරි හේතුවකට සෑර්ට කඩේට යන්න වෙලා. දැන් ඕං පොර කඩේ ගිහිං එනවලු බයේ ගැහි ගැහි.. ගෑණි දැකලා තිබ්බොත් මං අනාතයි කියාගෙන. පස්සේ හොඳ වෙලාවට සර්ගේ වයි‍ෆ් දැකලා නෑ… ඉතිං පොරට තවත් ආතල්…

පස්සේ ටිකක් රෑ වෙන්න දීලා එහෙම පොර කරලා තියෙන්නේ… සුවඳ දුම් අල්ලලා… මල් තියලා එහෙම සීඩී එක පීසී එකේ රොම් එකට දාපු එකලු. ඊට පස්සේ ඉතිං වයිෆ් පොඩි එක්කෙනා ගාවට යනකං ඉඳලා ඕං දෙයියං සිහිකොරගෙන වැඩේ පටන් ගත්තලු.

ඉතිං සර් ප්ලේ කරලා තියෙන්නේ VCD Cutter වලින්. මොකද VCD Cutter කීබෝඩ් එකට හෙනටම සපෝට්. තනිකරම කීබෝඩ් එකෙන්ම ෆුල් කොන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි එකක් ඇර. ඒ තමා Esc කී එක. කරුමේ කියන්නේ වෙන ඕනේ සොෆ්ට් වෙයාර් එකක Esc කී එක ගහපු ගමන් කර කර තියෙන වැඩ ටික නැවතිලා යනවා. අඩුම ගානේ ස්ක්‍රීන් එකෙන් වත් අයින් වෙනවනේ. හැබැයි VCD Cutter එකේ එහෙම නෑ… එකේදී Esc කී එක ප්‍රෙස් කරපු ගමන් ස්ක්‍රීන් එක ෆුල් ස්ක්‍රීන් වෙනවා. සෝයි නේද සත්තලනේ….

ඉතිං අපේ සර්ත් අර දුප්පත් අක්කලාගේ වැඩ කිඩ බලාගෙන ඉද්දී වයි‍ෆ් කාමරේට ආවලු. පොරත් දඩ බඩ ගාලා Esc කී එක ප්‍රෙස් කරන ගමන් වයිෆ්ගේ දිහාට හැරුනළු. මෙන්න බොල වයිෆ් නිකං බය වෙලා වගේ මොනිරටරේ දිහා බලාගෙන ඉන්නවලු. හෆෝයි.. අපේ අහිංසක සෑර්….

මොනාද මිනිහෝ ඔය බලන්නේ….

පොර ඔලුවේ අත ගහගත්තලු…. ඇස් දෙක වහගත්තලු… කන් දෙකත් එසේමලු… පස්සේ කියවලු…

ෂ්… ෂ්… දුව ඇහැරෙයි කෑගන්න එපා… කියලා…

වයිෆ් කියනවලු… දුව තමා… තාත්ත කරන වැඩ දන්නවනම්… අනේ මනුස්සයෝ….

ආයෙම අපේ සර් කියනවලු… මෙහේ එන්නකෝ… කියලා ලඟින් වාඩි කොර ගත්තලු….

ඊට පස්සේ ඉතිං අනේ මන්දා…  ඒ ටික මං හිතන්නේ කොටු කොටුලු…

හැබැයි ඒ ටිකේ කොටු දාන්න දේකුත් නැතිලු. මොකද ඉතිං ඔය ටී.වී එකෙත් එව්වා පෙන්නන්නේ… වාරකං නිසා ලයිට් ඩ්‍රින්ක් එකක් දාලා සේප් වෙන්න ඇති මං හිතන්නේ. අපි නරක් වෙයි කියලා ඒ ටික කිව්වේ නෑ මට. මොකද ඉතිං අපි ‍ඒ දවස් වල සරීරෙන් හෙන චූටි ස්කෝලේ යන ළමයිනේ…

 

බුලත් කහට වැදුන දත් අතර… රිදී සිනහවක් දුටුවෙමි…

ඔය කවුරුවත් දන්නේ නැති වුනාට වෙසක් දා උදේම මං ගියා කියමුකෝ මාතර දික්වැල්ලේ මගේ යාළුවෙක්ගේ ගෙදර. මොකෑ ඉතිං වෙනදත් මං යන හැම ගමනම කිය කිය ගිය එකක්යැ. එක ළමයෙක් නම් දැනගත්ත මං යන බව.

හරි කමක් නෑ… ඒ ඉතිං මාතර ගියේ විශේෂ හේතුවකට නෙමේ මගේ දිව්‍යක්ඥානෙට පිං සිද්ධ වෙන්න අපේ ගෙවල් පැත්තේ දන්සැල් නැහැයි කියලා දැනුන නිසා, දන්සැලක් කාලා… මූදේ නාලා පොඩි ෆන් එකක් ගන්න.

ඉතිං මෙහෙමයි ගමන. මං ඔය තට්ට තනියම මාතරින් එහාට ගියාමයි. දැන් නම් මොන ලෝකෙවත් යන්න බය නෑ මගේ නොකියා ෆෝන් රාජයා ඉන්නකං. රාජයි කිව්වට මූ පැටියා. ඒ වුනාට අවශ්‍ය මොහොතට ඉස්සතරම්. මොකද ඉතිං මං කොළඹ පැත්තේ පාරවල් ටිකක් දැනගෙන උන්නට ගාල්ල මාතර දිහිවේ එක පාරක්වත් දන්නේ නෑ… ඉතිං දෙයියනේ කියලා යන යන තැන අතරමං වෙන එකෙන් වැලකෙන්න කියලා හිතාගෙන ගූගල් මැප් ඔබාගෙන ඉන්නවා ෆෝන් එකට. මං හිතුවට වැඩිය හොඳට භාන්ඩේ වැඩ. යන්න පටන් ගන්න තැනයි, ගමනාන්නතයයි දුන්නම දුරත් එක්ක පාරවල් ගැනත් පූර්ණ විස්තරයක් ගත්ත හැකි. ඉතිං ගුගල් මැප් පිහිටෙන් යාන්තං බහින හෝල්ට් එක දශමයක් වත් වරද්දන්නේ නැතුව බැහැගත්තා.

පස්සේ ඉතිං මගේ යාළුවා මාව පික් කරන්න ඇවිත් තිබ්බා. ඊට පස්සේ පොරත් එකක් ගෙදර ගියා. හරි හුට්ටප්පරයයි. මේං පාරේ යද්දී හම්බුවෙන සීයකට විතර මූ…

ආහ්… මාමේ… ළඟටෙයි යන්නේ…?

කොහෙමෙයි නැන්දේ… දෝණි නංගි සනීපෙන්යෑ…. (එතෙනනං පැණිය බේරෙනවා, මගේ ඇ‍ඟෙත් හැලුණා)

කිරි අයියේ… ආං මීහරක් ටික වෙලේ උන්න මං දැක්ක‍ා….

දැං මූ බයිසිකලේ නවත්ත නවත්ත පාරේ හමුවෙන හැමෝම එක්ක ටෝක. පොර කාව හරි දැක්කෙ නැතුව යනව නම්… ඒ මනුස්සයා….

ආහ්… පුතේ… යාළුවෙක් අරං එන්න ගිහිං වගේ….

කියලා හරි කියනවා. මට නිකං මේක මැජික් වගේ. ඇයි බොල කී දෙනෙක් එකක් දවස පුරාවට මෙහෙම කතාකරනවා ඇත්ද? අපේ පැත්තේ එකෙක්ගෙන්…

කොහෙද මාමේ යන්නේ…? කියල ඇහුවනම්…

තොට මොකෝ … මං යන දිහාවෙනේ මං යන්නේ….

කියලා හරි ඊට ලඟින් යන නුරුස්නා උත්තරයක් හරි තමා අහගන්න වෙන්නේ… ඉතිං ඇත්තටම මේ හැසිරීම මට අම්බානෙට මැජික් වගේ. ‍

ඒත් ඉතිං මොනා කරන්නද කට පියාගෙන යාලුවගේ ගෙදරටම ගියා. ගිය ගමන් ඇඳුම් බෑග් එක පැත්තකින් තියලා‍‍‍… ඒ ඇයි බං උඹ දකින දකින හැමෝත් එක්කම කතා කලේ…? මං මාර පුදුමෙන් ඇහුවා.

ආහ්… එහෙම තමා මෙහේ… කතා නොකර ගියොත් හිතන්නේ ලොකු කමට කියලා..

අඩේ ඔව්නේ… අපේ පැතිවල ඔය දේ වෙන්නෙත් ලොකු කම පෙන්නන්නනේ…. එකට ස්කෝලේ ගිය එකට බියර් පාරක් දාපු කොල්ලෝ… වැඩිය ඕනේ නෑ අපේම සල්ලි වලින් සිගරට් බීපු කොල්ලෝ…. අපිව දැක්කම නොදැක්ක ගානට යද්දී… මේ මාතරින් එහා දික්වැල්‍ලේ මේ මොන අරුමයක්ද…!

ඊට පස්සේ දවල්ට බත් කාලා… හවස මූද පැත්තේ ගිහිං චුට්ටක් සෙල්ලං කරලා එහෙම ඉද්දී… කොහේදෝ යන ඉටිකිරිස් රූප ටිකක් පාත් වුනා කියමුකෝ බීච් එකට. උං එකෙක්ට එකෙක් දෙවැනි නෑ… ඔක්කොමලා ගමේ කෙල්ලෝ. අපරාදේ කියන්න බෑ… අපේ පැතිවල වගේ ඔලුව බිමට නමා ගෙන දෙකට ගැනගන්න බෑ වගේ ඉන්න කෙල්ලෝ එකෙක්වත් නෑ… හැමෝම හරි සුහදශීලියි. අම්මපා අපේ ගමේ කෙල්ලෝවත් මෙච්චර නිහතමානි නෑ… මාත් ඉතිං නිකං දෙන්න තියෙන හිනාවනේ කියලා හැමෝම එක්ක හිනාවෙලා රැල්ල පාගලා පාගලා යන්නං කරුවල වැටීගෙන එද්දී ගෙදර ආවා.

ඒ එද්දීත් අර සංගෙදියම තමා. සියක් විතර හම්බුනා. ඔක්කොමලා හරිම හිතවත්ව කතාක‍ලා. ඒත් ඒ හැමෝගෙම දත් දෙපල බුලත් කහටින් රත්තරං පාට වෙලා. කොළඹ හා අවට නගර වල හැමෝගෙම දත් සුදුම සුදු වුනාට ඒ හැමෝගෙම කට ඇතුලේ හිත ඇතුලේ තියෙන්නේ මෙලෝ හරක් නැති කළු පාටට හුරු දුඹුරු පාටක්. ඒත් මේ අහිංසක ගොවියන්ගේ, මාළු අල්ලන මිනිස්සුන්ගේ දුඹුරුපාට වගේ පේන රත්තරං පාට දත් අස්සෙන් ආගන්තුකයෙක් දකින හැම වෙලාවකම මතුවී ගෙන එන්නේ… සුපිරිසිදු රිදී වගේ දිලිසෙන හිනාවක්. ඒ හිනාව ඇතුලේ කොයිම මොහොතකවත් ඉරිසියාකාර කුහක හැඟීමක් ගැන පුංචිවත් ඉවක් මට නම් දැනුනේ නෑ…  මං ඒ ගමට අලුත්ම චරිතයක් වුනත් කිසිම කෙනෙක් මූ කොහේ ඉඳන් ආව එකෙක්ද කියන සැකෙන් මගේ දිහා බැළුවේ නෑ….

පස්සේ ටිකක් රෑ වෙද්දී අපි පන්සලට ගියා. එතෙන තමා නියම තැන. නිකමට හිතලා බලන්න කොළඹ පැත්තේ පන්සලක් ගැන. කොහොමද බහින කෑලි ටික. අර හාමුදුරු කෙනෙක් කිව්වා වගේ සිංගල් ඒසි, ඩබල් ඒසී කට්ටියනේ එන්නේ… ඒ අස්සේ රතු පාට , රෝස පාට, තැඹිලි පාට වගේ හොට් පාට කියලා හිතෙන පාට වර්ග ඇඳගෙන පන්සල් එන්නේ.. හරියට නිකං හාමුදුරුවරුන්ට පිළිකුල් භාවනාවට නිමිත්තක් දීලා… උන්නාන්සෙලාව ඉක්මනින් නිවන් මගට යොමු කරන්න වගේනේ…. ඒ මේ ග‍මේ එකම ගෑණු කෙනෙක් වත් එහෙම නෑ… හැ‍ම කෙනෙක්ම සුදු පාට සංවර ඇඳුමකින් තමා සැරසිලා වුන්නේ… ඇත්තටම ඒ ගමේ ගෑණු ළමයි ගැන ඇතිවුනේ මාරම හැඟීමක්. ඒක නිකංම නිකං වනචර පැණි හැඟීමක් නෙවේ… හරිම පිරිසිදු ඇත්තෙන්ම ආදරණීය හැඟිමක්….

පස්සේ ඉතිං ඒ හැමෝමත් එකක් එකතු වෙලා මාත් හරි හරියට පහන් පත්තු කලා. අන්තිමේ නැද්දා කෙනෙක් මගේ ඔලුවේ පොල්තෙල් චුට්ටකුත් ගාලා හොඳ පුතා කියලා කිව්වයි  කියලත් කියමු‍කෝ…. ඔන්න ඊට පස්සේ තමා බුද්ධ පූජාව පටන් ගත්තේ. පස්සේ ඉතිං ඒ වැඩ ඔක්කොම ඉවර කොරලා ආයෙමත් යාළුවගේ ගෙදර ආවා. ඇවිත් දන්සැල් වන්දනාව. ඒවායේත් ඉතිං කිසිම වෙනසක් දැක්වුවේ නැහැ. ගමේ එකෙකුට වගේ තමා.

මං මේ පාර වෙසක් එකට ගමේ යනවා කියලා හිතං උන්නට යන්න වුනේ වෙන ගමකට. ඒකත් පාඩු නෑ. අළුත් අත්දැකීමක්නේ. ඊට පස්සේ පහුවෙනිදා ගියා වැව්රුකන්නල පන්සලට. කට්ටිය දන්නවනේ ඒ පන්සලේ බුදු පිළිමෙ ඇතුලෙන් උඩට නගින්න පුළුවන් කියලා. ලස්සන ජාතක කතා සිතුවම් කරලා තියෙනවා මුළු ගොඩනැගිල්ලෙ ඇතුල් පැත්තෙම.

පස්සේ ගියා එතෙනම තියෙන අපායට. හික්… එතෙන තමා සෝයි වැඩේ තියෙන්නේ… ඒ අපායෙත් චිත්‍ර වලින් තමා කතාව කියන්නේ. උඩ චිත්‍රයෙන් තමා කරගන්න කර්මය… පහලින් ඊට අදාල විපාකය වශයෙන් තමා තියෙන්නේ… ඉතිං මාත් ඔය ටික බලාගෙන ගියා… දැන් ඔක්කොම තියෙන්නේ පිරිමි කරන කර්ම… ගැහැණු කරන කර්ම හරියේ තියෙන ලයිට් නෑ… එව්වා ඉතිං පේන්නේ නෑ…. මාර සීන් එක. මං හෙන ආස‍ාවෙන් හිටියේ ඒ ටික බලාගන්න. හරිගියේ නෑ ඉතිං. ඒත් ඔය බලපු කර්ම දෙක තුනක විපාකත් මං මතක තියාගත්තා.

මතු වතුර බිව්වම… අපායේදී ලෝදිය පොවනවලු…

කොටු පැන්නම… කටු ඉඹුල කියන ගහේ නග්ගලා හෙල්ලක් වගේ උල් ආයුධ වලින් අයිනවාලු…

හොරකම් කලාම… අත්පය කපනවලු…

කොටු පැනීම හා සම්බන්ධ වෙන වෙන සීන් කලාම… වංගෙඩියක දාලා කොටන ගමන් ලෝදිය හැලියෙත් ඔබනවලු…

ඊට පස්සේ බොරු කිව්වම… රත් කරපු යකඩ ගුලි කටේ ඔබනවලු…

සතුන් මැරුවමත්….  අතපය කපනවලු…

මස් බිස්නස් කලාම… මොක්කුද මන්දා හෙන විසාල කුරුල්ලෝ වගේකට කියලා මස් කෑලි කවවන වලු….

අනේ අම්මේ… ඒ චිත්‍ර ටික බැලුවේ මොන එහෙකටද කියලා මට හිතුනා අන්තිමේ… කොහොමහරි හිත හොඳින් අපායට ගිය මම ආවේ… දාඩිය පෙරාගෙන බයේ ගැහී ගැහිලු…

ඇයි දෙයියනේ ඉතිං…. ලෝදිය බොන්න පුළුවනෑ අපායෙදී….?

%d bloggers like this: