මැජික් දන්න චූටි බබා….

ඔන්න අර චූටි බබා…. එයා මොන්ටිසෝරි යන්නේ අම්මගේ අතේ එල්ලිලා තමා. බබාගේ අම්මා වැඩ කරන්නේ මොන්ටිසෝරිය ළඟම තියෙන තැනක නිසා, උදේට බබාට කෑම කවලා, කට පිහිදාලා…. බීම චුට්ටකුත් පොවලා ආයෙත් කට පිහිදාලා එහෙම…. චූටි බබාව මොන්ටිසෝරියට එක්කං ගිහිං ටීචට බාර දීලා තමා බබාගේ අම්මා ආයෙම එන්නේ.

ඉතිං මොන්ට්සෝරියේ එක එක වැඩ කරන්න තියෙනවනේ… සමහරදාට පොත් පිරෙන්න අකුරු ලියන්න ඕනේ… තව සමහරදාට පිටු ගනන් චිත්‍ර අඳින්න ඕනේ… එක එක දේවල්…. ඔය දේවල් අතරේ ඉඳලා හිටලා බබාටයි බබාගේ යාළුවෝන්ටයි ටිකිරි වාසනාව ඇදෙන වෙලාවලුත් තියෙනවා.

ඒ තමා සතියකට දවසක් හරි දෙකක් හරි හම්බුවෙන කොල කැඳ එක. හික්… දවසෙන් භාගයක් ඉවරයි කොල කැඳ බීමට. ඕකට ඉතිං කොල කැඳ බීම කියලා බබාලාගේ අම්මලායි ටීචයි කිව්වට, බබාලනේ දන්නේ ඒක කොල කැඳ බීම නෙමේ… කොල කැඳ නෑම කියාල. උණුම උණුවෙන් කොල කැද උස්සන් ආවම බිඳක් වත් හලාගන්නේ නැතුව බොන්නේ කොහොමද…? තාම චූටි පැටවුන්ට තියෙන්නේ කිරි දත්නේ…. අර උණුම උණු කොල කැඳ වල රස්නේ චූටි දත් වලටත් තේරෙනවා… ඊට පස්සේ ඉතිං ඇඟ පුරා හලාගෙන, හිතපුරා නාගෙන තමා ගෙවල් වලට යන්නේ. දැං මේ කියන දඟ බබාට තිබුන හරි අපූරු විනෝදාංශයක්… ඒ තමා… චූටි බබා මුලින්ම කොල කැඳ එක හිමීට චූටි හැන්දට අරගෙන, දුම් දිහා බලාගෙන හැන්දට පිඹින එක…  හරි ෂෝයි ඒක… එලියේ ඉඳන් එන හුළඟට දුම්පාර ඒට මේට යද්දී හැන්ද කරකව කරකව දුම් පාර කෙලින් උඩට යවන්න කොච්චර අමාරුද…?

ඉතිං ඒ වගේ හැන්ද කරකෝන ගමන් පස් පාරක් විතර පිම්බම කැඳ පුරෝලා තියෙන කැඳ හැන්ද නිවෙනවා…ඉතිං අන්තිමේ කැඳ ටික බොන්න කියලා හැන්ද දිහා බලද්දී කැඳ නෑ…. මොකද කැඳ ටික හුලං පාරට තැන් තැන් වලට විසික් වෙලා. ඔන්න ඊට පස්සේ බබාගේ ටීච එනවා දුවගෙන… බබා ඒ දවස් වල චූටියිනේ… ඒක නිසා සැර කරන්නේ නෑ… ගොඩක් ආදරෙන් හොඳින් කියලා දෙනවා හැම දේම… ඉතිං ඔන්න ටීච ඇවිත්‍‍‍….

ඇයි පැටියෝ මේ… බලන්න ඔයා‍ගේ ඇඟ හැම තැනම කැඳනේ…

ඔන්න ඊට පස්සේ චුට්ටා කියෝනවා අතොරක් නැතුව…

මී…ස්….. මං … මං…. කැඳ වලට පිම්බා…. ඊට පත්තේ ඒවා බිමට වැතිලා….

ඉතිං පුතේ පිඹින කොට හුඟක් හිමීට ඕනේ කැඳ වලට පිඹින්න… ඒවා හුළ‍ඟේ නොයන්න… තේරුනාද මගේ පුතාට…. කියලා කොලු පැංචගේ ඔලුවත් අතගානවා….

ඊට පස්සේ ආයෙමත් …. ආ… කෝ බලන්න දැන් කෝප්ප වලට කැඳ පුරව කට්ටිය අත උස්සන්න…. කියලා ටීච කිව්ව ගමන් බබාලා ඔක්කොම අත උස්සනවා… ඉතිං අත උස්සන වෙලාවට කෝප්පෙ තියෙන ඉතුරු කැඳ ටිකත් බිම….

පස්සේ කෝම හරි… අර දක්ස බබා ඉන්නවනේ… දැන් නම් ඌ යස්සයා. ඉතිං ඒ බබා ගාවින් ටීච දන ගහගෙන, අනිත් බබාලා ඔක්කෝටම කතා කරනවා අර බබා වටේ රවුමක් හැදෙන්න කියලා… ඊට පස්සේ අර කැඳ නිවන්න ගිහින් නාගත්ත බබාගෙන් අහනවා…. ඇයි පුතේ ඔයා කැඳ එකට පිම්බේ කියලා…

අනේ…. දැං ඉතිං කොල්ලා දීපිය‍කෝ උත්තර… බබා දන්නවැයි ඔව්වට උත්තර… බබා ඒම කලේ බබාගේ තාත්තා කියලා දීලා තියෙන නිසානේ…

ඉතිං අර චුටී කොලු පැටියා බිම බලාගෙන ටීචට කියනවා…. මී….ස් අපේ තාත්තා…. තාත්තා තමා කිව්වේ කැඳ වලට පිම්බාම කැඳ නිවෙනවා කියලා….

ඉතිං ඔය ටික ඇහුනම අනිත් බබාලටයි බබීලටයි මැජික් වගේ… මොකද මේ බබා උණු කොල කැද නිවන අමුතු මැජික් එකක් දන්නවනේ… ඒක නිසා… ඒ අස්සේ බබාටත් නොදැනිම බබා පොර වේගෙන එනවලු… ඉතිං බබාලගේ ටීච මැදිහත් වෙලා අනිත් අයටත් මැජික් වෙච්ච පස්නෙට උත්තරේ කියලා දෙනවා….

පුතාලා… කැඳ විතරක් නෙවේ ඕනෙම උණු දෙයක්…. හැන්දට අරං හිමීට පිම්බම ඒක නිවෙනවා… ඒක තමා මේ පුතා හැන්දට පිම්බේ කියලා…. බබාගේ කට දෙපැත්ත පිහිදාලා… පස්ස පැත්තට එකක් ගහනවා… ඊට පස්සේ ආයේ කියනවා… මෙයා වගේ හයියෙන් පිම්බොත් ඔයාලටත් කැඳ නාන්න පුළුවන් කියලා….

අනේ ඉතිං ඔක්කොම බබාලා හිනා වෙනවා… අර බබා බිම බලාගෙන ඉන්නවා… ඊට පස්සේ ටීචට දුක හිතිලා… හ්ම් යමු ඔයාගේ ෂර්ට් එක එක සෝදන්න කියලා… ලඟට තුරුලු කොරන් ඔලුවත් අතගගා එක්කං ගිහින් කොල්ලාගේ ෂර්ට් එක වතුර පොඟවපු රෙදි කෑල්ලකින් පිහිදනවා.

ඊට පස්සේ ඉතිං ඔය පාඩම ඉවර වෙද්දී මොන්ටිසෝරියේ වැඩ කරන්න තියෙන්නේ තව චූටි වෙලාවයි… ඒ වෙලාවෙදී බබාලා කරන්නේ සෙල්ලං කරන එකමයි. ටීචයි අනිත් අයයි බබාලා කැඳ බීපු භාජන සෝදන්න එපැයි….

පස්සේ ඉතිං ඔන්න මොන්ටිසෝරිය ඇරිලා අම්මා එනවා බබාව එක්කං යන්න. ඊට පස්සේ අම්මා ‍එක්ක ගෙදර ගිය ගමං බබාගේ තාත්තා කරන්නේ…. ආ… මගේ චූටි පැටියා අද කැඳ බීලා වගේ වගේ කියලා වඩාගෙන මූන ඉඹින එක…. ඊට පස්සේ ඉතිං බබාගේ අම්මත් නක්කලේට හිනාවක් දාලා…. දැන් යමු ඇඳුම් මාරු කරගන්න කියලා කාමරේට එක්කං යනවා.

ඒ මාර වැඩේ…. බබාගේ තාත්තා කෝමද දැනගන්නේ බබා කැඳ බීලා ආපු වග…. සමහරවිට බබාගේ යාළුවෙක් වත් කිව්වද දන්නේ නෑ බබාගේ තාත්තට…. නැත්තං බබාගේ සුදු ෂර්ට් එකේ තියෙන කොලපාට බතික් එක නිසාද දන්නෙත් නෑ…..

මේ කතාවේ බබීලා ගැන ලිව්වෙම නෑ… මොකද බබාගේ සමහර කතා බලල එක අක්‍කියෙක් බබාට නමක් දාලා පැනි අලි බබා කියලා…

%d bloggers like this: