අම්ම කෙනෙකුයි බබෙකුයි ෂොපිං ගිය හැටි…


ඔන්න ඉතිං සිංහල අවුරුද්දට ඇඳුම් ගන්න කියලා අම්ම කෙනෙකුයි බබෙකුයි ෂොපිං ගියා. බබා බයියං කාලා ටිකක් දොයිගෙන ඉද්දී තමා අම්මා ඇවිල්ලා… බාබව ඇහැරෙව්වේ…. පුතේ… දැං නැගිටින්නකෝ මැණික… අපි යමු ඇඳුම් අරගන්න අවුරුද්දට… ඔයා කෑල්ල එක්ක යන්න හිටියට එයා ආවේ නැහැනේ… ඒක නිසා… යංකෝ මංම පුතාට ඇඳුම් ටිකක් තෝරලා දෙන්න.

ආ… මේ තේ ටික බීලා ලෑස්ති වෙන්න දැන් 3යි නේ වෙලාව… තව හවස් වුනොත් ගෙදර එන්න බස් නැතිවෙයි….

හා… කෝ දෙන්න තේ එක… කියලා බබා තේ එකත් ඉල්ල ගෙන බීලා… ඉක්මනට ලෑස්ති වුනා අම්මිත් එක්ක ඇඳුම් ගන්න යන්න. ඔන්න ඉතිං යන්තං 3.20ට විතර ගෙදරින් එලියට බැස්සා… ඔය බබා කොච්චර බබා පාට් එකේ හිටියත් හෙන නොසන්ඩාලයා, අම්මා දන්නවැයි ඔව්වා. ඉතිං දැන් මීටර් හයසීයක් විතර යන්න ඕනෙ නිසා පස් එකේ නගින්න… බබයි අම්මයි දෙන්න එක්ක යනවා… බබා ඉස්සර වෙලා යනවා…. අම්මා පස්සෙන් එනවා…  මොකද බබා හිතන් ඉන්නේ ඌ තමා පොර කියලා… හැබැයි බල්ලෙක්වත් බුරාගෙන ඉස්සරහට පැන්නොත් නම්, කොල්ලා දුවල දුවලා ගිහින් අම්මට කවර් වෙනවා. මොකද කොලු පැංචාගේ අම්මා ගාව තියෙනවා හෙන සැර ආයුධයක්… ඒකට කියන්නේ කුඩය කියලා…

ඉතිං ඔහොම ගිහිං ගිහිං කොලුවයි අම්මයි බස් එකේ නැග්ගා… ඉතිං බබත් අම්මගාවට වෙලාම ඉන්නව… මොකද උගේ තියෙන හුරතලේට බස් යන අක්කලා නංගිලා ඌ දිහා බලන්නේ නිකං චීස් කෑල්ලක් දිහා බලනවා වගේ පෙරේත කමෙන්. වැඩියක්ම ඌ කළු පාට ටී සේට් එකක් ඇන්දම අඩුම ගානේ ආච්චි කෙනෙක් හරි … අනේ හරි සෝයි කොලු පැටියා ඔළුව අතගානවා…  ඉතිං ඔය වගේ වැඩ ගැන බබාගේ අම්මටත් අනන්තවත් අත්දැකීම් තියෙන නිසා, බබාගේ අම්මා වාඩි වෙන්න සීට් එකක් හම්බුනත් කොලු පැටිය හිටගෙන ඉද්දී වාඩි වෙන්නේ නෑ… මොකද අම්මා දන්නවා, අම්මා වාඩි වුන ගමන් කොලු පැටියා අහල පහල ඉන්න කෙල්ලන්ගේ පැනිපාරට අහුවෙනවා කියලා… ඒකෙ අනිත් පැත්ත වෙනවා කියලා අම්මා දන්නෙත් නෑ…. වැඩියක්ම කොලුවට තාම තේරුමක් නැහැනේ… කෙල්ලන්ගේ මායම් ගැන… ඉතිං ඒක නිසා අම්මා අර පුංචි බබාව හොඳට පරිස්සං කොරනවා.

ඉතිං කෝම හරි බස් එකෙන් බැහැලා ඇඳුම් තෝරන්න කඩගානේ යද්දිත් එකම යුද්ධයයි… සෙනග ගොඩක් ඉන්න නිසා, අම්මා හරි පරිස්සමින් තමා කොලු පැටියව දක්ක ගෙන යන්නේ… ඇයි ඉතිං කියන්න බැහැනේ කොලුව කොයි වෙලේ කාගෙහරි කෙල්ලෙක්ගේ ඇමක ටැපලෙයිද කියලා… ඒ… තරමට අහිංසක කොලු පැංචා….

ඉතිං දැන් අම්මා රෙදි කඩ වලට යද්දීම කොලුවට කියනවා… පුතේ කලු පාට නම් තෝර ගන්න එපා… කියලා… හික්… බබාගේ අම්මා හේම කියන්නේ ඉරිසියාවට‍දෝ කියලත් බබාට වෙලාවකට හිතෙනවලු. මොන අම්මද කැමති කොහෙවත් යන කෙල්ලෙක්ට තමන්ගේ සත්තරං වටින පුතාව දෙන්න… අම්මට ඕනේ සත්තරං දෝනි කෙනෙකුටම කොල්ලව දෙන්න නිසා… අම්මා බබාව ගොඩක් පරිස්සම් කරනවා… ඒක නිසා තමා කලු අඳින්න දෙන්නෙත් නැත්තේ… ඉතිං කඩේ උඩ තට්ටුවේ තමා ටී සේට් තියෙන්නේ…

ඔන්න පඩිපෙල නැගලා එතෙන්ට ගියාම අක්කිලා ගොඩා….යි. සමහරු අයියලට ඇඳුම් ගන්න ඇවිල්ලා… සමහර අය කඩේ වැඩකරන අය. ඉතිං මේ බබාටත් අක්කියෙක් දැක්කම නලියනව වගේ. මොකද ඉතිං පුංචි කාලේ ඉඳන් අක්කලාගේ අතේ හුරතල් වෙලා පුරුදු නිසා… අක්ක කෙනෙක් දැක්ක ගමන් දුවලා ගිහින් අතේ එල්ලෙන්නමයි හිතෙන්නේ… ඒත් ඉතිං බැහැනේ… බබාගේ අම්මා ඉන්නවනේ බබා යන යන හැමතැනම.

ඔන්න ඉතිං කොලුවයි අම්මයි ඇඳුම් තෝරද්දී… එක අක්කියෙක් ඇවිල්ලා…

මිස්… මෙයාටද ඇඳුම් බලන්නේ…

හ්ම්… මෙයාට තමයි… පොඩ්ඩක් බලමුකෝ ටී සේට් එකක්…

හික් පුදුමයි අපේ අම්මා…. ඈහ්… වැරදුනා…. බබාගේ අම්මා….. කඩේ අක්කිට කිව්ව එක බබාට ටී සේට් එකක් තෝරන්න කියලා….  මොකද කොලු පැංචට ඇඳුම් තෝරන්නේ අම්මා නිසා, එයා කැමති නෑ වෙන කෙනෙක් තෝරන ඇඳුම් අරං දෙන්න.

ඊට පස්සේ මෙන්න අර චුට්ටං අක්කි, බබාගේ අම්මට පෙන්නුවා….

මිස් මේ කළු පාට ටී සේට් එක හොඳ නැද්ද….? කියලා…

දැන් ඉතිං අම්මි, කාලා වරෙන්කෝ… මට කළු ගන්න එපා කියපු කෙනා අක්කිට දක්වන ප්‍රතිචාරය හිතා ගන්න පූළුවන් වුන කොලු පැංචා අහක බලාගෙන හිනාවෙන්න ගත්තා. තත්පර ගානක් ඇතුලත අක්කා වාස්ප වෙලා ගියා. පස්සේ ඔන්න අම්මම ඇඳුම් තෝරනවා බබාට.

පුතා මේ සුදු පාටයි, තැඹිලි පාටයි ඉරි එක හොඳයිද බලන්න…

අයියෝ මේක ස්මෝල්නේ…. බබා කිව්වා….එතකොට අම්මා කියනවා…

ඉතිං උඹ හිතන් ඉන්නේ උඹ මහ ලොකු පොරක් කියලද…? අනිත් පැත්ත හැරිය මෝඩ කොල්ලා…

ආයෙම අම්ම කියනවා….

නෑ නෑ මේක පොඩි වැඩි නෑ… මේක ගමු….

ඉතිං කෝම හරි එකක් හලි…. දැන් කොලුවගේ වාරේ …. හැමදාම අම්ම කැමති එකයි කොලුවා කැමති එකයි තමා ගන්නේ… ඉතිං කොලුවා පැනපු ගමන් තද නිල් පාටයි සුදු පාටයි එකක් ගත්තා…

අම්මේ මේක….

හ්ම්….

හරි… කොලු පැටියගේ ආසාවනේ කියලා අම්මත් ඇග්රී වුනා ඒ ටී සේට් එකට. ඉතිං ඔය ටී සේට් හොයන අස්සේ… ටිකක් එහායින් හිටිය අක්කලා ටිකක් බබා දිහා බලාගන පැනිය වක්කරනව දැක්ක අම්මා… පුතූ දැං යං….

අලේ බබාගේ මව්තුමිය නම්…. යකෝ බබාට එක විනාඩියක් කෙල්ලෙක් දිහා බලන්න දෙන්නේ නැහැනේ…

ඉතිං පහලට ගිහිං බිල ගෙවද්දිත් අම්මාම ඉස්සර වෙලා ගිහිං කැෂියර් අක්කට සල්ලි දීලා ආවා. බබාට එතෙනත් හුලං…

කෝම හරි බබා මේ පාරත් ඇඳුම් ගන්න ගියේ අම්මත් එක්ක. (වෙන්ඩ)කෑල්ලගෙන් එනවද ඇහුවම ඒකි කියනවා… අනේ මට තේරෙන්නේ නෑ ඔයාට ඇඳුම් තෝරන්න… කියලා… ඉතිං බබා වෙන කා එක්ක යන්නද අම්මිත් එක්කම යනව මිසක්කා. හැබැයි අම්මිත් එක්ක ෂොපිං යන එකේ පොඩි වාසියකුත් තියෙන වග බබා දන්නවා. අම්මිත් එක්ක යද්දී කොලුවාව දකින හැමෝම හිතන්නේ මූ නම් හොඳ නිවිච්චි හැදිච්චි කොල්ලෙක් කියලයි. අනේ ඉතිං ඒ හරිය මොකටද…

ඉතිං ඒක නිසා පාර පුරා ඉන්න අක්කලා නංගිලා කොලුවට බැල්මට් එක දාගෙන තමා ඉන්නේ… කඩේකට ගියාමත් හෙන සැලකිලි… ඇයි ඉතිං අම්මත් එක්ක ඇඳුම් ගන්න ආපු කීකරු කොලුවෙක්නේ…. හැබැයි ඉතිං කවුරු හරි කෙල්ලෙක් එක්ක වැරදිලා හරි ගියොත් ඒ චාන්ස් එක මිස් වෙනවා. එතකොට නංගිලා අක්කලා හිතන්නේ… ඊයා අර සුදු සෝස පාට කෙල්ලට අර කලු හපුටව කොහොම සෙට් වුනාද කියලයි… හික් බබා ඉතිං ඒ වගේ අවස්ථාවලදී හිත හදාගන්නවා… මේ කෙල්ලොන්ගේ ඉරිසියාවනේ කියලා… හැබැයි ඒ කෙල්ලොම අම්මත් එක්ක ගිය දාට…හුහ්… බලන්න ඕනෙ සැලකිලි….

ඒක නිසා මං නම් කියන්නේ ඔය හැම බ‍බෙකුටම, යන ගමනක් අම්මලා තාත්තලා එක්ක යන්ටලා… ආයේ වරදින්නේ නෑ කෑල්ලක්(ස්) සෙට් වෙනවමයි… බබීලා ගැනනම් බබා දන්නේ නෑ ඕං. මොකද බබාගේ අම්මත් එක්ක බබී සීන් තහංචියිනේ.

අර සුදුයි කහයි ටී සේට් එක මැක්සා කියලා බබා හිතනවලු. ඒක ඇන්දම නිකං පහවසරේ සිස්සස්සෙට පංති යන දෙක ව‍සරේ බබෙක් වගේ හුරතල් පාටක් ආරෝපනය වෙනවයි කියලා බබාගේ තාත්තත් කිව්වා… (බබාගේ තාත්ත මං හිතන්නේ කන්නඩි දෙක ගලෝලා වෙන්ටෝන එවේලේ හිටියේ)

%d bloggers like this: