සතිඤ්ඤාවක් යකෝ…. දුවපා….. (කෝ බොල අන්තිම බිංදුව)

ඔන්න එක ස්කෝලෙක ළමයි කට්ටියක් ඉන්නවලු…. ඉතිං ඒ ස්කෝලෙත් අනිත් ස්කෝල වල වගේම ක්‍රිකට් ගහන්න දක්ෂ ළමයි ඉන්න නිසා, බිග් මැච්චක් තියෙනවලු ඇනුඅලි…. ඉතිං එකොලහ වසර කියන්නේ බොහොම දස්ස ඉගෙනීම වෙනුවෙන්ම කැපවුන (මොකටද මගේ කට) ළමයි ඉන්න පන්තිනේ… ඒ වගේම ස්කෝලේ ඉන්න බෑන්ඩ් ගහන එව්වොයි, ක්‍රිකට් ගහන එව්වොයි… ජිල් ගහන එව්වොයි… තව තව ඒවා ගහන ඒව්වොයි ඔක්කොම සෙට් වෙන්නේ ඔය බිග් මැච්චෙදි තමා.

ඉතිං එකොලහ වසර කියන්නේ, ගුරුවරුන්ටත් හිසරදයක් වෙච්ච පන්තියක්. මොකද එකෙක් හරි පේල් වුනොත් පින්සිපල් සෑර්ගෙන් දෝස්මුරේ එන්නේ අදාල විෂය භාර ගුරුතුමාටයි, පන්ති භාර ගුරුතුමාටයි තමා. ඉතිං ඒ අය දන්න සෙල්ලං ඔක්කොම දානවා කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ ටිකවත් පන්තියේ ඉන්දගෙන පාඩම පොවන්න. හික්… අපිට පොවන්න… දොස්තර අන්කල් දෙන බේත් ටිකත් විසික් කරන අපි පාඩම බොන්න…?

ඉතිං ඔහොම හිතලා බිග් මැච් දවස් වලට ඒ ස්කෝලේ ළමයි ටික, හැට් කලෙක්ෂන් දානවලු, නයිටි ඇඳන් ගෑණු ස්කෝල ගාවට ගිහින්… එක එක විකාර කොරනවලු… ඊට පස්සේ හවසට සෙට් වෙලා තෝසේ පාරක් එහෙම දාලා පහ හය වෙලා ගෙදර යනවලු. ඊට පස්සේ එතෙනත් හෙන යුද්දෙලු. ඇයි ඉතිං ගෙදර ඉන්නේ ස්කෝලේ යන ළමයි විතරක් නෙමේනේ…. උං හිතන් හිටියට අම්මලා තාත්තලා නෑ… කියලා, ඒක එහෙම නෙමේනේ… සමහරු දෙකේ දෙකේ පොලු තියාගෙන ඉන්නේ හවස් වෙලා ගෙදර එද්දී කෑම ටික මගදීම දෙන්න.

ඔහොම යද්දී… එක දවසක් හෙන අහිංසක බුවෙකුත් ඔය ආතල් වැඩේට සැට් වුනාලු. මොකද ඌ ඒ දවස් වල ස්කෝලේ එක නිවාසෙක ක්‍රිඩා නායකයා… ඒ මදිවට වැස්සියෝ දෙතුන් දෙනෙක් ගේ බැල්මට අහුවෙච්ච නාඹර හරක් පැටියෙක්. හහ්… එතකොට ඌ සිස්ස නායෙකයෙක් නෙමේද යකෝ….? (කාටද එකෙක්ට මල පැනලා) ආහ්… ඔව් ඔව්… ඌ සිස්ස නායෙකයෙකුත් තමා.

ඉතිං ඒ පන්තියේ …. හුටා වැරදුනා… අපි හිටියේ බී පන්තියේනේ… ඔන්න ඉතිං බී පන්තියේ කොල්ලෝ ටික කතා වුනා ඉන්ටැවල් එකෙන් පස්සේ තියෙන කොමස් පීරියඩ් දෙක හෂාන් කරලා… ( ඒ කියන්නේ නිදැල්ලේ ඇරලා) පොඩි කලෙක්ෂන් පාරක් යන්න. හැබැයි පින්සිපල් සෑර්ට සොරෙන් තමා මේ සීන් එක වෙන්නේ… නැත්තං ඉතිං කොල්ලෝ  ටිකගේ පස්ස පැත්තවල් ඉදිමිලා, රතුපාට වෙනවලු…. ඉතිං ඔහොම කොමස් පීරියඩ් දෙක හෂාන් කරලා… කලෙක්ෂන් පාර දාගෙන එහෙම අන්තිම පීරියඩ් දෙකේ පන්තියට ආවහම…. කෙල්ලෝ ටික මූනට මූන බලාගෙන ඉන්නවලු. ඉන්ටැවල් එකට කලින් මල් වගේ තිබ්බ මූනු ටික… දැන් නිකං හතරැස් සුදු බීඩී පෙට්ටි වගේ වෙලාලු. කට්ටිය නිකං අඩන්නත් වගේලු.

පස්සේ සේප් එකේ විස්තර ඇහුවම… අන්න ඔයාලට කොමස් මිස් ඇවිත් බැනලා බැනලා ගියා… හික්…. ඕක මොකද්ද ඉතිං හැමදාම වෙන සංගෙදියනේ කියලා ප්‍රශ්නේ හෂාන් කරන්න හැදුවට…. කෙල්ලෝ ආයම කියනවා… ඕයි තමුසෙලා ආපු ගමන් පින්සිපල් සෑර් එන්න කිව්වා….

ඈ…. මක්ක කිව්වා… පින්සිපල් සෑර්….?

ඔව් ඔව්…. මිස් ගිහිං කියලා….

අනේ සත්තලනේ දැං අපි මොකෑ කරන්නේ කියලා කම්පනා කොර කර එක එකාගේ මූනු බලාගෙන ඉද්දී… එකෙක් කියනවා…

වර යන්න… ගිහිං හැංගිලා… ස්කෝලේ ඇරුනම යමන්….

ගල් මූසලයෝ කොහෙද යකෝ මේ ඉක්කෝලේ හැංගෙන්න තැනක් තියෙන්නේ…? මේක නිකං සහරා කාන්තාරේ තියෙන ක්ෂේම භූමියක් ව‍ගේනේ…

අපේ ස්කෝලේ එහෙම තමා පායන කාලෙට, ඒත් බලන්න ඕනේ වැහිකාලෙට… නිකං නුවරඑළිය වගේ… පන්තියේ හැම තැනම තෙත බරියම් වෙලා… සිරා හීතලක් එකක් වැහි කුඩු පොදත් මූනට ගෙනෙන්නේ සැබෑම සුවයක්. එකම අවුල පොත් ටික තෙමිලා සටහන් වලට කෙලවෙන එක විතරයි. ඒ වගේම තමා පිට්ටනියත්‍… පංච මහා විල් තියෙන්නේ ඇමරිකාවේ නෙමේ බොලව් අපේ ඉක්කෝලේ…. එකක් කැන්ටිම ගාව, අනිත් එක විද්‍යාගාරය ගාව… ඉතුරු තුනෙන් එකක් ඔපිස් එක ඉස්සරහා…. තව එකක් පිට්ටනියේ වම් කෙලවරේ… අනිත් එක වොලිබෝල් කෝඩ් එකේ…. ඒකේ නම් මාලුත් හිටියා…. කැට්පිස්ලා… ටයිලර් බාබ්ලා… ගප්පි… ඔක්කොම කලවමේ හිටියේ… හැබැයි ඉන්ටැවල් බෙල් එක වැදුන ගමන් උන් ටික පන්ති වල….

ඉතිං කිය කිය හි‍ටියේ වෙන දෙයක් ගැනනේ…. මෙන් ඒක කන්ටිනියු කරනෝ… ඉතිං අර කවුරු හරි එකා කිව්වම හැංගෙමු කියලා… අපිට හරි පස්නේ කොහේද අපි හැංගෙන්නේ කියලා… කවුරු එකෙක් කිව්වා… අ‍ඩ්ඩෝ… අපි ටොයිලට් වල හැංගිලා දොර වහගමු කියලා… ඈ…. යකෝ පන පිටින් අපායේ යන්නද බොල හදන්නේ…

කරන්න දෙයක් නෑ…. දැං ඉතිං යමන් ඉක්මනට….

වෙන කොරන්නම දෙයක් නැති නිසා අර අහිංසක බුවාත් සෙට් වුනා… ‍හැංගි මුත්තං සෙල්ලමට. ඉතිං තියෙන්නේ ටොයිලට් 4යිනේ… දෙකක කට කපලා හැංගුනා… එක ටොයිලට් එකක අට දෙනෙක් විතර පැක් වුනා… හරි පන්තියේ කොල්ලන්ගෙන් හතර දෙනයි අඩු… උං එදා ස්කෝලේ ඇවිල්ලා නෑ…. ඉතිං අපිට හම්බ දාඩියයි… හුලං පාරක් ආවට වැඩක් නෑ… ඒ අස්සේ වලට කකුල දාගන්නේ නැතුව බේරිලා ඉන්නේ හරි අමාරුවෙන්….

කොහොම හරි ඔහොම ඉද්දී…. හත්වෙනි පීරියඩ් එක ඉවර වුනා… දැන් තියෙන්නේ තව විනාඩි 35යි අන්තිම බෙල් එක වදින්න… ඒ එක්කම අපිට ඇහෙනවා කව්රු හරි සෙට් එකක්… ටොයිලට් වටේ කැරකෙනවා වගේ… කව්ද කියලා අන්නත් බැහැනේ… ඒක නිසා එකෙක් ඉස්සිලා බැලුවා මක්කෙයි එලියේ වෙන්නේ කියලා… පස්සේ ඌ ආයෙම පාත් වෙලා අපිට කියනවා… ඕයි… දහතුන වසරේ උං රතිඤ්ඤාවක් දාන්න හදන්නේ යකෝ කියලා…. පස්සේ දැං කට්ටියම ගැහෙනවා.. ඇයි ඉතිං… හැරෙන්නවත් ඉඩ නැති ‍ටොයිලට් එක අස්සේ රතිඤ්ඤයක් පිපිරුනොත් හෙම… අම්මේ අපිට ඌයියා වෙනව‍නේ ටිකක් සැරට. ඉතිං එක එකා එක එක ප්ලෑන් යෝජනා කරනවා… මොකද අපිට එලියට යන්නත් බෑ … ගියොත් ගුටිකන්න වෙනවා… හිටියොත් ඊට වැඩිය විනාසයක් වෙනවා… ඔය රත්ඤ්ඤෙ මේක අස්සට වැටුනොත් හෙම, ආයේ මොනාද පෙන්ටගනේට වැදුනා වගේ තමා… ඔක්කොම මොලකාරයෝ ටික මේ ටොයිලට් දෙක අස්සෙනේ… (මොලකාරයෝ නිසානේ ටොයිලට් වල හැංගුනේ)

අර කට්ටියගෙන් ආපු යෝජනා වලින් හොඳම එක තමා රතිඤ්ඤෙ වැටුන ගමන් වලට දාන එක. කරන්න පුළුවන් වැඩක්ද? කකුලක් එහෙට මෙහෙට කරගන්න බැරුව ඉද්දී රතිඤ්ඤෙ වලට දාන්නේ කොහොමෙයි…? ඉතිං ‍කො‍හොම හරි… ටික වෙලාවකින්… බලාපොරොත්තු වෙච්ච භාන්ඩේ ආවා…. පත්තු වෙන රතිඤ්ඤාව… හෙන සැර දුමකුත් එක්ක… මෙන්න පත්තුවෙනවා… තත්පරෙන් දශමයක් විතර යන්න ඇති කව්ද එකෙක් දොර ඇරගෙන පැන්න එලියට. ඒ ගමන් ඌ කෑගහනවා…. අඩෝ සතිඤ්ඤයක් … දුවපා…. ඉතිං අනිත් කොල්ලෝ ටිකත් දිව්වා… අනේ අර කෑගහපු එකාට අන්තිමට එන බිංදුවවත් කියාගන්න වෙලාවක් නොදී ඌවත් වට්ටගෙන තමා අපේ උං දුවලා තියෙන්නේ… අර අහිංසක කොල්ලත් දුවලා තියෙන්නේ වැටිච්චි නුවන් කොලුවව පාගගෙන…

පස්සේ නුවන් මෑන් කියනවා… තොපිට යන්න දොර ඇරියට වැඩිය හොඳයි යකෝ මාත් තොපි එකක්ම කක්කුස්සියේ මැරුනනම්… කියලා… හික්… අපිට ඉතිං ඕවා මතක් වෙනවැයි… හරියට නිකං බෝම්බයක් වැටුනා වගේ සීන් එකක්නේ වුනේ… ඉතිං කෝම හරි අපි එලියට පැනගත්ත ගමන්ම වගේ රතිඤ්ඤාව වලට වැටිලා නිමිලා… තව සුට්ට වෙලාවක් ගියානම් රතිඤ්ඤෙ සද්දෙට ඔක්කොම දුවගෙන එනවා… ඒ අස්සේ අනිත් ටොයිලට් එකේ උන්ට මොන හෙනයක් වත් නැතුව යසට ඉඳලා….

අඩේ වැරදිලා හරි රතිඤ්ඤෙ පිපිරුනා නම් හෙම…?

%d bloggers like this: