නුඹේ කටහඩින් මම හුස්ම ගනිමි…



මීට අවුරුදු 6 කට විතර ඉස්සෙල්ලා තමා ගෝල්ඩ් fish ගේ ජීවිතේ වෙනසක් වෙන සිද්ධිය වුනේ. ගොඩක් දෙනෙක් දන්නවනේ යශෝධරාවත කියලා කතා සෙට් එකක් ගැන. ඉතිං ඒ තමා මගේ ඉලව්ව…

යශෝධරා මගේ ජීවිතේට කිට්ටු වෙද්දී, ගොඩක් දේවල් මගේ ජීවිතෙන් දුරස් වුනා. මගේ යාළුවෝ, බියර් කෑන් එක, මං හෙනටම ආසා කරපු මගේ නිදහස… වගේ ගොඩක් දේවල්. ඒ අස්සේ මට තව තව දේවල් ලැබුනා… වගකීම්… යහපත් හැසිරීම, සෙනෙහස, සතුට…. වගේම පසුකාලීනව පසුතැවිල්ල වගේ දේවලුත්. ඉතිං මේ කියන්න යන්නේ මට නැතිවුන දේවල් ගැන නම් නෙමේ… මොකද ඒවා ගැන කතාකරන එක මට අදටත් මගේ ඇස් දෙකට කඳුළු උනවන දෙයක් නිසා.

මේ කියන්නේ මට ලැබුන ආදරය ගැන. ඒකත් යශෝධරාවගේ ආදරය ගැන නෙමේ… යශෝධරාවගේ මවුතුමියගේ ආදරය ගැන. සමහරවිට මං ගොඩක් පිං කරලා ඇති. ඒ එක්කම පව් ගොඩකුත් කරලා ඇති. ඉස්සර ඉඳන්ම මං යශෝධරාවට කතා කරද්දී ,මැසේජ් කරද්දී ඒ හැම දෙයක්ම යශෝදරාවගේ මවු තුමිය දැනං උන්නා. කවදාවත් අපිට කිසි දෙයක් නොකිව්වේ දෙන්නම නරක නෑ කියලා දන්න නිසා. මාත් ඔය එක එක කඩප්පුලි වැඩ කරාට වල් එකෙක් නෙමේ. කොලු කමට කරන හැම දේම වල් නෑ…

ඉතිං ඔහොම යද්දී අපේ අම්මා වගේම යශෝදරාවගේ අම්මත් මට ගොඩක් ආදරේ වුනා. මටත් ඉතිං හරි සතුටුයි. අම්මලා දෙන්නෙක්ම ඉන්නවානේ… ඕනෙ වෙලාවක මොකක් හරි තක්කඩි වැඩක් කරලා බැනුමක් අහගන්න පුළුවන් ඒක නිසා. ඇත්තටම බැනුම් ඇසීමේ හා සෙනෙහස ලැබීමේ සම්භාවිතාව 100% කින්ම ඉහල ගියා… ඇයි ඉතිං අම්මලා දෙන්නෙක්නේ…

ඒත් ඉතිං මේ මාලුවා ඔය කියන තරම් වාසනාවන්ත නෑ… මොකද මට එක දවසක් ෆුල් ජොලියේ ඉන්න තිබ්බොත් අනිවා තව දවස් පහක් වත් නාහෙන් අඩන්න වෙනවා. ඒ මගේ ලැබීම වෙන්න ඕනේ… ඒක නිසා තමා මං ෆන් එක උනත් ටිකක් අරගෙන පැත්තකට වෙලා ඉන්නේ… ඕනෙවට වඩා සතුටු වෙලා එකපාරට ඊට වැඩිය දුකක් ආවම දරාගන්න අමාරුයි.

ඉතිං අවුරුදු උත්සවේ ෆන් එක අරං දවසක් යන්නත් කලිං සුපුරුදු ප්‍රොසීඩිය එකටම වැඩ සිද්ධ වුනා. මේ පාර නම් ටිකක් බරපතල විදියට හිත රිදුනා. ඒක වුනෙත් වැරදි පුද්ගලයෙක් අතින්… ඒක නිසා අන්තිම සැරයි හිතට දැනුන දුක නම්.

යශෝදරාවගේ මවුතුමියට මං ගොඩක් දේවල් කියනව. මගේ ප්‍රශ්න, හිතට හිතෙන දේවල්… වගේ ගොඩක් දේවල්. ඉතිං නඩුකාරී මට මවු කෙනෙක් වගේම යාළුවෙක් වගේ. ඉතිං හැමදාමත් උදේට යශෝධරාවගේ මව්තුමිය මට කතා කරනවා. මාත් ඉතිං අනිත් වැඩ කරන ගමන් බලාගෙන ඉන්නේ කොයි වෙලේද කෝල් එක එන්නේ කියලා.

ඉතිං ඊයේත් උදේ අට විතර වෙනකං කෝල් එක නෑ… පස්සේ මංම ගත්තා කෝල් එකක්. ම්හු… ආන්ස කලේ නෑ… දෙවෙනි පාරත් ට්‍රයි කලා ඒත් නෑ… මාත් ඉතිං හිතුවා මොකක් හරි වැඩක වෙන්න ඇති කියලා… විනාඩි 15ක් විතර බැලුවා. ඒත් නෑ… පස්සේ ආයෙම කෝල් එකක් ගත්තම කතා කලා…

වෙනදට ගුඩ් මෝර්නින් කියන කෙනා… ඊයේ…

මොකද…?

මට උත්තරයක් කියාගන්න විදියක් නෑ… හිතට මුකුත් එන්නේ නෑ… දිව කෙලවරේ තියාගෙන හිටිය ගුඩ් මෝර්නින් එකත් ගිලුනා.

ම්…………… නෑ… නිකං ගත්තේ……

ඒක මිසක්…. ඔයා මට හරියට වද දෙනවා දරුවෝ…. මට ඔයත් එකක් හරි කේන්තියි.

ඒ කිව්වේ….

බලන්න ඊයේ දවසටම මිස් කෝල් කීයක්ද?

(ඔව් මගෙන් මිස්ඩ් කොල්ස් ගොඩක් තියෙන්න ඇති. ඒත් ඒ එකක්වත් මිස්ඩ් කෝල් නෙවේ කියලා දන්නේ මං විතරයි. ඒ හැම එකක්ම මං මවුතුමියගෙයි යශෝධරාවගෙයි කටහඩ අහගන්න කියලා හිතාගෙන ගත්ත කෝල්ස්. එකක් ආනසර් නොකලම ආයෙම ගන්නවා. ඔය විදියට සෑහෙන පාරක් ට්‍රයි කරලා බැරිම තැන තමා ෆෝන් එක පැත්තකට දාලා ඉන්නේ. මං අවුරුදු උත්සවේට ඇවිත් උන්න හින්දා, හැමෝම යශෝධරාව ගැන අහපු නිසාත්, එයාට ඒ බව කියන්න හිතාගෙන තමා කතා කරන්න උත්සාහ කලේ… කොහොම හරි ඒ ඔක්කොම මිස්ඩ් කෝල් වුනා අන්තිමේ)

කවදාවත් නොදැනුන දුකක්, එක්ක ඉකියකුත් හිරවුනා. කතා කරගන්න බැරුව ගියා. මොහොතකට ගොළුවුනා මං. ආයේ කොහොම හරි කැඩිච්ච කඩහඩෙන්, සොරි මැඩම්…  කියලා ෆෝන් එක කට් කලා. අන්තිම වචන දෙක කියවෙද්දී ඇත්තටම මට ඇඩිලා….

ඔෆිස් එකේ නිසා කෑ ගහලා අඩන්නත් බෑ, දුක හිරකරගෙන ඉන්නත් බෑ… පස්සේ ආයෙම ෆෝන් එක අතට අරං “I’m breathing with listening your voice mommy. Don’t stop my breathing. I like to live little bit.” කියලා මැසේජ් කලා. ඇත්තටම මට ඕනෙ වුනේ ඔය යවපු ටික සිංග්ලිෂ් වලින් යවන්න. ඒත් තිබ්බ දුකට ඩික්ෂනරිය ඔන් කරගෙන කඩ්ඩෙන්ම යැවුවා. ඒ වෙද්දිත්… දඩබ්බර මගේ ඇස් වල කඳුළු.

පස්සේ ඉතිං ආයේ එක පාරක් වත් කෝල් කරන්නේ නෑ කියලා හිත හදාගත්තා. ඕනෙ කමකට ඇරෙන්න කතා කරන්නෙම නෑ… ඒත් දෙයියනේ අර කෙල්ලගේ කටහඩ අහන්නේ නැතුව ඉන්න පුලුවන් කමක් නෑ… මට හිතාගන්න බෑ, ඇයි සතුටක් ලබලා දවසක් වත් යන්න කලින් මෙච්චර දුකක් හම්බුවෙන්නේ කියලා. අම්මා කෙනෙක් වගේ ආදරේ දෙන කෙනෙක්ම මෙච්චර දුකක් දෙද්දී…

මට මුල ඉඳන්ම ආයෙම මතක් වෙන්න ගත්තා හැම දෙයක්ම. මුලින්ම මට අම්ම තාත්තගෙන් ඇරෙන්න උපන්දිනේට තෑග්ගක් හම්බුනේ යශෝදරාවගේ මව්තුමියගෙන්. ඒ නිල් පාට අත්කොට ෂර්ට් එකක්. මං නිල් පාට අඳින්න ආසා නැති වුනත් මං ඒ නිල් පාට ෂර්ට් එක ඇන්දා. දැන් නම් අඳින්න බැරුව ඇති, ඒත් අපේ අම්මාවත් ඒක විසික් කරන්නේ නැතිව මගේ ඇඳුම් අල්මාරියේ දාලා එහෙමම තියෙනවා. ඊට පස්සේ දවසක් යශෝදරාවටයි මටයි බත් කැවුවා. එක දවසක් නෙවේ දවස් කීපයක්. පස්සේ දවසක් අපි දෙන්න රංඩු වුන වෙලාවක දෙන්නවම තුරුල් කරගෙන ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ දෙන්න එක්ක නීඩ් ෆෝ ස්පීඩ් සෙල්ලං කරද්දී දෙන්නගෙම ඔලු දෙක එකට හැප්පුවා. ඒකනම් මට ටිකක් රිදුනත් එක්ක යශෝධරාවගේ කොන්ඩ කටුවක් ඇනිලා…

ඒ වගේ මගේ ලෝකය සුන්දර කරපු කෙනෙක්ගෙන්… ඔයා මාර වදයක්… කියලා  අහගත්තම තියෙන සනීපේ…. හ්ම්… දැන් ඉතිං මොනා කරන්නද? ඇත්තටම තව ටික දවසක් හරි ජීවත් වෙන්න ආසා නිසයි මං හැමදාමත් උදේටයි හවසටයි කතා කරන්නේ… සමහරවිට දෛවය තීරණය කරලා ඇති දැන් උන්න ඇතියි කියලා. මහා ලොකු හිස් බවක් දැනෙනවා,… මට දුකක් ආපු හැම වෙලාවකම ඒක කියන්න හිටිය වැඩිහිටියා, යාළුවා… අම්මා… යශෝදරාවගේ මව්තුමිය විතරයි. දැන් ඉතිං මට හිතෙන්නේ එයත් නෑ…. දැං කාටද මට දුක හිතුනම කියන්නේ…? හැම දෙයක්ම මට හිතේ හිරකරගෙන දුක් විඳින්න වෙයි වගේ…

පස්සේ කොහොම හරි යශෝදරාවගේ මවුතුමිය මට කෝල් කලා. එයාත් අඩන සද්දේ නම් ඇහුනා. එයා මොනාට අඩන්නද? මගෙනේ හිත රිදුනේ. ඊටත් හිතේ තිබ්බ දුක පුළුවන් තරම් බාල කරලා තමා මැසේජ් එක යැවුවේ…. තාමත් යශෝධරාවවත්, එයාගේ මවුතුමිය වත් දන්නේ නෑ… එයාලා නිසයි හුස්ම අරං ජීවත් වෙන්නේ කියලා… කවදහරි ඒක තේරුම්ගන්නේ මං හුස්ම ගන්න එක නැවතුන දාට තමා…

%d bloggers like this: