වෙසක් සුළඟ…

අවුරුද්දට එරබදු ගස් වල පිපුන රතු පාට මල් බිමට වට්ටගෙන, හමායන සුළං කෝඩය වෙසක් මාසේ අන්තිම දවස් වෙනකම්ම එහෙමම පවතිනවා. අප්‍රේල් මාසේ අග සතියේ පටන් ගන්න මේ සුළඟට මං දන්න තරමින් නම් කියන්නේ නිරිත දිග මෝසම කියලා….

ඒත් ඉතිං මං, මේ සුළඟට වෙසක් සුළඟ…. කියලා නම් තියනවා…

අවුරුද්දේ අනිත් මාස වල පවතින වියළි රළු හෝ සීතල හිරිගඩු පිපෙන වැහිපිනි කැටත් එක්ක එන පීඩාකාරී හුළං රැල්ලට වැඩිය මේ වෙසක් සුළඟ ගොඩක් සෞම්‍ය දායකයි. අවුරුද්දේ අනිත් මාස වලත් කලින් කිව්වා වගේ එක එක ජාතියේ සුළං පාරවල් අපේ ඇ‍ඟේ වැදීගෙන යනවා. සමහර වෙලාවට බොහොම ගාම්භීර විදියට, පොළොව බදාගෙන ඉන්න ගස්වල්, ගොඩනැගිලි එහෙමත් උදුරුවාගෙන යන්න තරම්ම මේ සුළඟ ප්‍රචන්ඩකාරී වෙනවා. ඒ වගේම තවත් වෙලාවකට කොහේවත් නැති වැහි වළාකුළු රොත්තක් ඇදගෙන ඇවිත් වස්සලා වස්සලා… අපිව හොඳටම හෙම්බත් කරවනවා.

ඒත් මේ වෙසක් සුළඟ එහෙම නෑ කියලයි මට හිතෙන්නේ… සමහර දවස් වලට උදේට නැගිටලා එළියට බහින්න බැරි තරම් සීතලකින් හරි මුළු රාත්‍රිය පුරාවටම අධික උණුසුමින් හරි පීඩා විදින අපිට… මේ දවස් වල නම් උදේ පාන්දරම මුළු හිත පිරෙන්නම දැනෙන සීතලත් නැති රස්නෙත් නැති ලාවට හමාගෙන යන සුළං රැල්ල නම් හරි අපූරුයි.

ලොකු ඉඩ කඩක තම අනසක පතුරුවාගෙන, තද කොල පාටින් හැඩවුන හරි අපූරු සළුවකින් තම අතු පතර වසාගෙන යෙහෙන් වැජඹෙන මැයි ගස් වල මැයි මල් පිපෙන්න ගන්නේ මේ සුළඟත් එක්කම තමා. ඒක හරියට නිකං… අඳුරු රාජධානියකට තවත් ගුප්ත බවක් එක් කරන විශේෂාංගයක් වගෙයි. මුළු අහසම අළුපාට වැහි වලාකුළු වලින් බර වෙලා තියෙද්දී, ඒ වළාකුළු වලින් ඉර එළියත් මුවා වෙලා. හරියට මුළු ලෝකයටම උඩින් ලොකු රෙද්දක් එලලා වගේ. ඒත් ඒ ඇම දෙයක්ම එක්ක තද කොල පාට ලොකු ගහක රතු පාට විදුලි බුබුළු එල්ලලා වගේ මැයි මල් පිපිලා තියෙද්දී…. ම්….. ඒක හරි ලස්සන දසුනක්.

මට නම් මැයි මල් වලින් පිරිච්ච ගහක් දිහා බලාගෙන ඉන්න එක ඒ තරම් කජ්ජක් නෙවෙයි. පැය ගානක් මට එහෙම ඉන්න පුලූවන්. ගොරව ගොරව වැස්සත්, සමහරවිට මං මැයි මල් පිරිච්ච ගහක් දිහා බලාගෙන ඉඳියි. වැහි බිංදු ගහේ අතු වලට වැටිලා, රතු පාට මල් පෙති දිගේ හිමීට ගලාගෙන ඇවිත් පහලම පෙත්තේ අග රැඳිලා ටික වෙලාවක් තිබිලා බිමට පනින අපූරුව….! ඊට පස්සේ ටික වෙලාවක් ඒ විදියටම වැහැලා වැහැලා…. මුලූ වටපිටාවෙම ආර්ද්‍රතාවය වැඩි කරලා…. පොළොවත් හොඳටම මඩ කරලා, ටික වෙලාවකින් වළාකුළු එහාට මෙහාට කරගෙන ඉර එළිය ‍පොළොවට වැටෙද්දී… අර මැයි මල් අග ඉතුරු වුන වතුර බිංදු  දිලිසෙන හැටි….!

ඒ වගේම තමා අපි ඉන්න තැනින් පොඩ්ඩක් හෙල්ලුනත් අපේ ඇ‍ඟේ තෙරපෙන හුළං පාර. කොයි වෙලාවේ බැලුවත් අපි ළඟමයි. අවුරුද්දේ අනිත් මාස වල වගේ නෙමේ මැයි මාසෙදී වෙසක් සුළග අපි ගාවින් හෙල්ලෙන්නෙවත් නෑ… ඇත්තෙන්ම මං ඉපදුන නොවැම්බර් මාසෙටත් වැඩිය මං මැයි මාසෙට ආදරෙයි. වෙන කිසිම හේතුවක් නිසා නෙමේ මේ අපූරු සුළං රැල්ල නිසා.

හැබැයි… හිටි ගමන් මේ වගේ කාලගුණික තත්වයන් අනිත් මාස වලදිත් ඇතිවෙනවා. හරියටම විස්තර කරලා කියන්න බැරි වුනත් වෙන්නේ මොකද්ද කියලා, මට හොඳටම මතකයි… ගිය දෙ‍සැම්බර් මාසේ මුල හරියෙදීත් මේ වෙසක් සුළග වගේ සුළං රැල්ලකින් මාව පිස්සු වැට්ටුවා. මං මුලින් හිතන් හිටියේ ඒක මට විතරක් දැනුන දෙයක් කියලා…. ඒත් ඒක අපේ අම්මටත් දැනිලා…

මං එළියට වෙලා මොකද්දෝ වැඩක් කර කර ඉද්දී අම්මා ඇවිත්….

ලොකූ… මේ දවස් හරියට වෙසක් කාලේ වගේ නේද…?

කියලා ඇහුවමයි මුලින්ම මටත් මීටර් වුනේ, මාත් ඒක ගැන හිතුවා නේද කියලා.

ඒ ඉතිං ඩුප්ලිකේට් වෙසක් සුළඟනේ… මෙන්න දැන් ඔරිජිනල් වෙසක් සුළඟ හමනවා. හැමදෙනාටම කියන්නේ… ඔය ඒ.සී කාමර වලින් එලියට බැහැලා, ‍ෆෑන් හයිකරපු ගොඩනැගිලි වලින් එලියට ඇවිත් මේ සුළං රැල්ල විඳින්න. කොයිතරම් සුළග තිබුනත් දවල්ට රස්නේ නිසා දවල්ටනම් ඔය වැඩේට අතගහන්න එපා. එහෙම වුනොත් නම්… මොන හුළංද කියලා හිතෙයි. ඒක නිසා උදේ පාන්දර නැගිට්ට ගමං කම්මැලි කම පැත්තක තියලා පොඩියකට එලියට ගිහිං බලන්න මං කියන්නේ බොරුද කියලා… හිත්වල තියෙන ප්‍රශ්න ටිකකට අමතක වෙලා ඔයාලා පුංචි වෙලාවකට සමාධි ගතවෙයි. විඳින්න ඒක…. විඳලාම බලන්න කොයිතරම් අපූරුද කියලා… රස්නේ පලාත් ගැනනම් මං දන්නේ නෑ… ඒත් බස්නාහිර, සබරගමුව, දකුණ, උඩරට, වගේ පළාත් වල නම් වෙසක් කාලේ දැන්නම පටන් අරං කියලයි මටනම් හිතෙන්නේ….

හදවතට හදවතක් නොමැතිව… තනිව පෙම්කල කාලයක්…

ඒක හරියට හීනයක්…

නුඹ ලඟින් හිටි කාලයක්,

නුඹේ  ලඟ ඉඳ දැවටී දැවටී

නුඹට පෙම් කල කාලයක්…

සොඳුරු දිය බිඳු හාදුවක්…

ගෙන තෙමා මා සියොලඟක්,

මිහිරි සිත්මල් මවා පෙන්නුව

තව හැඟුම්බර හීනයක්…

නිදි නැතුව එක රාත්‍රියක්…

හීන මැවු හැටි හීනයක්,

හදවතට හදවතක් නොමැතිව

තනිව පෙම්කල කාලයක්…

නුඹ නොමැති දුක් ගීතයක්…

සමග ඇදගත් ප්‍රානයක්,

යලිත් පිටකර නැවත නොගෙනම

යන්න සිත් දෙන කාලයක්…

මකරට බය නැති චූටි බබා…

මේ කතාවත් අර බර කිරන්න බය බබාගේ කතාවක්.  ඉතිං අර කලින් දවසක කිව්වා වගේ බබා මොන්ටිසෝරි ගියේ අම්මත් එක්කනේ… අම්මගේ අතේ එල්ලිලා. ඉතිං ඔය මොන්ටිසෝරියේ බබාට හිටියා අතිජාත මිත්‍රයෝ රෑනක්. රෑනක් කිව්වට ඉතිං දෙන්නයි තුන්දෙනයි. කෝමත් ඔය තුන් හතර දෙනා සෙට් වුනාම යෝධයෝ ටික්ක සෙට් වුනා වගේ තමා. ඕනේ ඇඩ්වෙන්චර් කේස් එකකට එක පයින්… එතකොට අනික් පය…? හික් … ඒකත් තියෙනවා හැබැයි දුවන්න බලාගෙන…

ඉතිං ඔන්න මේ කියන දවසෙත් බබාලා හතර දෙනා මොන්ටිසෝරියේ ඉන්ටවල් එකේදී කෑම කාලා වතූ බීලා… ටීචට කියලා කට පොඩ්ඩත් පිහිදගෙන එහෙම ඉන්නවා. බබාගේ මොන්ටිසෝරිය තිබුනේ පන්සලක. ඒකත් පොඩි පන්සලක් නෙමේ, අක්කර දෙක තුනක ලොකු ඉඩමක් තියෙන පන්සලක්. පානදුරේ පැත්තේ අය නම් දන්නව ඇති, බෙක්කෙගම පාරේ තියෙන පළවෙනි පන්සල. සිද්ධාර්ථාරාමය වගේ තමා නම මතක. ඉතිං බබාලා ටික කරන්නේ ඉන්ටවල් එකට පන්සල වටේ දුවන එක.

ඔය දිවිල්ල කවදාවත් කෙලවර වුනේ නැහැනේ. මොකද බබාලා හතර පස් දෙනාම එක වගේ බඩු. එකෙක්වත් බය නෑ… අනේ ඉතිං ඒ හරිය නං කියල වැඩකුත් නෑ… ඉතිං ඔය මොන්ටිසෝරිය තිබ්බ පන්සල ඒ දවස් වල ටිකක් විතර කෑලෑවෙන් වැහිලා තිබුනේ. දැන් නම් ‍කෝමද දන්නේ නෑ… බබාලගේ මොන්ටිසෝරිය තිබුන හරියත්, මොන්ටිසෝරිය පිටිපස්සේ හරියත් පොඩි පොඩි පඳුරු වලින් වැහැලා තමා තිබුනේ… ඉතිං ඔය බබාලා කට්ටිය නිතරම වගේ යනවා මොන්ට්සෝරිය පිටිපස්සට කූච්චෝ අල්ලන්න. කූච්චෝ කියන්නේ කළු පාටයි කහපාටයි මික්ස් වෙච්ච බත් කූරෝ වගයක්. ඉතිං ඔය අදාල දවසෙත් සෙටාර් එක බැස්ස.

ඔන්න දැන් කට්ටිය වැඩ පටන් ගන්නවා. ඉතිං ඕක බලන්න පොඩි කෙලිපැට්ටොත් එනවා. ඉතිං බබාලත් හරි හරියට බත් කූරෝ අල්ලනවා. ඔහොම ටික වෙලාවක් යද්දී… මහේස් බබා ගොඩක් කැලේ පැත්තට ගිහින්.

ඒයි මහේෂ් … ඔහේ යන්න එපා… මතක නැද්ද මිස් කිව්වා කැලේ සත්තු ඉන්නවා කියලා…

එක පඬි බබෙක් එහෙම කිව්වා. ඌ කව්ද කියල නම් අහන්න එපා. ඊට පස්සේ  මහේස්  ටිකක් ‍නැවතිලා වටේට කැරකි කැරකි බත් කූරෝ අල්ලනවා. බබාලා බත් කූරෝ අල්ලනවා බලන්න ආපු බබීලා අතේ ඇඟිලි ඔක්කොම කටේ දාගෙන සූප්පු කර කර බලා ගෙන ඉන්නවා… ඊයා … අත්වල තියෙන ඔක්කොම ජරාව කටේ… කමක් නෑ විටමින්නේ…

පස්සේ ටික වෙලාවකින් මහේස් බබාට පිටිපස්සෙන් අනිත් බබාලා හිටිය පැත්තට වෙන්න පඳුරු අස්සෙන් කලු පාට රවුං, දිගට හොම්බක් මතුවෙනවා. හරියට නිකං රංග බබාගේ බෑග් එකේ ඉන්න ගින්දර පිඹින මකරා වගේ. ඔය සීන් එක බබීලාත් දැක්කා… පස්සේ මෙන්න එක පාරටම … බබාලා ටික කෑගහනවා, මහේස්ට…

‍මහේස්.. මහේස්… ඔන්න මකරෙක් දුවන්න… දුවන්න…. කියලා… මහේස් බැලූවා වට පිට කතාව ඇත්ත… මෙන්න බොල මූ හෙන හයියෙන්…

අනේ… අම්මේ… මවෙ බේරගන්නෝ… ගාගෙන අනිත් බබාලා හිටිය පැත්තට දුවගෙන එනවා. මහේස් බබාගේ සද්දෙට කලබල වෙච්ච මකරත් අනිත් බබාලා ඉන්න පැත්තට දුවගෙන එනවා. හලි කෙලියයි දැන්… ඊට පස්සේ ඔක්කොම බබාලා ටික මොන්ටිසෝරිය ඇතුලට දුවන්න ගත්තා… හැබැයි එක බබෙක් නැවතිලා…

මකරාත් ඉස්සරහින් නැවතිලා… දැන් දෙන්නා ද්වන්ධ සටනක… මකරා උඩ පැන පැන බත් කූරෝ කනවා… බබා කිසි හැල හොල්මනක් නැතුව මකරා දිහා බලාගෙන ඉන්නවා….

ඈ… එහෙනම් දෙන්නා ද්වන්ද සටනක කිව්වේ….

ඉන්නකෝ කියනකම්… අර බබා හිතින් ප්ලෑන් කොරනවලු මකරා ලඟට ආවම උගේ කටට පිස් කරලා ගින්දර නිමලා යාළුවෝ බේරගන්න. බලන්න ඉතිං කොයිතරම් නිර්භීත බබෙක්ද නේද…? පස්සේ ඉතිං අනිත් බබාලා මිස්ව එක්කගෙන එනකනුත් අර නිර්භීත බබා කෑලේ කිට්ටුවට වෙලා හිටිය තැනම ගල් ගැහිලා වගේ මකරාගේ සෙල්ලං බලන් ඉන්නවලු.

පස්සේ මිස් අර බබාගේ ලඟට ඇවිත්… පුතා… ප්‍රසන්න…. මොකද දරුවෝ…? කියන කම්ම කොල්ල නෝ හෙල්ලුම්ලු… පස්සේ මිස් කොලුවගේ ඔලුව අතගාන කොටලු කොලුවට තේරුනේ …  මේ එයාව බේරගන්න 119 එකෙන් ඇවිල්ලා කියලා… බලන්න ඉතිං ඒ ටිකට කව්ද එකෙක් 119ට කෝල් එකක් දීලනේ…  පස්සේ ඉතිං මිස් අර කොලුවව සාරි පොටේ බලෙන් වගේ ඔතාගෙන එක්කන් ගියා මොන්ටිසෝරියට… ඊට පස්සේ ඔන්න ලකුණු දාන වැඩේ පටන් ගත්තා… පුතාලා දුවලා දැක්ක නේද මං කියන දේ අහන්නේ නැතුව කැලේට ගියාම වෙනදේ….

ඒ වගේම දැක්ක නේද ඕනෙම හදිස්සි දේකදී ක්‍රියාත්මක වෙන්න ඕනේ විදිය… (ඔච්චර බර චවන වලින් නම් නෙමේ මිස් කිව්වේ… ඒ කිව්ව ඒවා බබාට දැන් මතක නෑලු) මෙන්න මේ දරුවා වගේ කලබල නොවී ඉන්න ඕනේ…

අනේ ඔව්… ඔව්… බබානේ දන්නේ බබා බයවෙච්ච තරමක්… කලබලේ වැඩි වෙච්ච පාරට බබාගේ මැසිම ස්ටක් වුනා. ඉතිං කරකියා ගන්න දෙයක් නැතුව බබා මකරගේ කටට පිස් කරන්න ප්ලෑන් කරේ අන්තිමට තමා. ඒක මිස් දන්නේ නැහැනේ….

හික්… බබාගේ මැසිමෙත් ප්‍රොසෙසින් ඉප්ඩ් එක වැඩිවුනා නම් එහෙම බබා තමා මුලින්ම මිස් ගාවට දුවගෙන ගිහින් මකරා ගැන කියන්නේ…. කොහෙද ඉතිං… බඩ පැලෙන්න කාලා කාලා කැලේ අස්සට වැදුනම ඕවා මතක් වෙනවැයි… ඔය බබාට ඉස්සර ඉඳන්ම කැලෑවක් දැක්කම මීටරේ ඉට්ටක් වෙන ගතිය තිබුනා.  දැන් නම් වෙල් ගානෙයි, වැටෙකේ පඳුරු අස්සෙයි රිංගලා ඒවාට ප්‍රතිචාර දක්වලා, සතෙක් සරුපයියෙක් එනවා දැක්ක ගමන් කොහෙන් හරි පොලු කෑල්ලක් අතට ඇවිත් ඇති.

ඒත් ඉතිං දැං තමා බබාට හිතෙන්නේ… එදා මකරා බබාට ෂොට් එක දුන්නනම් කියලා… නෑ නෑ සමහරවිට මකරා වුනත් බබාට භය වෙන්න ඇති. මකරා හිතන්න ඇති මූ නම් බ‍ෙබක් නෙමේ යකෙක් කියලා….

දැන් ඔය බබාලා බලනවා ඇති මොකාද මේ අපි නොදන්න මකරා කියලා… ඌ හෙන දිග කබරගොයෙක්… ඊයා… උගේකැත… සෙවල බේරෙන හොම්බයි, කලුපාට ලොං නැති කැත හමයි… ඊයා… ඕක්… බුවෑක්…..

ලෝකේ මං ආසම තැන…. ඉන්දියානු මනාලිගේ තුරුල…

අපි කාට කාටත් මේ ලෝකේ ආසම ස්ථාන තියෙනවනේ… ගොඩක් දෙනා මුලින්ම කියන්නේ තමන්ගේ ගම එහෙමත් නැත්තං තමන්ගේ ගෙදර කියලා… ඊට පස්සේ ලංකාවේ තියෙන ලස්සනම නිස්කලං තැනක්… ඊට පස්සේ තමා වෙනත් රටක් ගැන බලන්නේ… ඉතිං මාත් එහෙම්ම තමා…

මං වැඩියෙන්ම කැමති ගෙවල් දෙකෙන් කොහේහරි ගෙදරක තියෙන මගේ ඇඳන් දෙකට… ඒකට පැනලා කොට්ටයක් බදාගෙන ටිකක් වෙලා ඉද්දී තියෙන සැප මේ ලෝකේ කොහේ ගියත් නෑ… ඊට පස්සේ ලංකාව ඇතුලේ මං කැමතියි… නුවරඑළිය, වටවල, දුම්බර… වගේ හැමතිස්සෙම තෙත් ගතියෙන් යුත් දේශගුණයක් තියෙන පැතිවලට.

ඊට පස්සේ තමා අපේ රටෙන් ඔබ්බට යන්නේ… ගොඩක් දෙනා ලෝකේ කිසියම් ස්ථානයකට කැමති වෙන්නේ ඒ ස්ථානය ගැන කොහෙන් හරි දැකලා… එහෙමත් නැත්තං ලිපියක් කියවලා තමා. ඉතිං මගෙත් ඒ සම්බන්ධයෙන් නම් අමුත්තක් නෑ… මමත් මේ ස්ථානයට කැමති වුනේ ත්‍රී ඉඩියට් හොර කොපිය බලපු දා ඉඳන් තමා…

ඊට පස්සේ මං මේ ස්ථානය ගැන ගූග් කරලා විස්තර ටිකක් හොයා ගත්තා… ඇත්තටම මං හිතන් හිටියට වැඩිය ගොඩක් හොඳ අදහසක්, ඒ වගේම ජීවීතේ එකම එක පාරක් හරි ගිහින් එන්න ආසාවකුත් ඇතිවුනා. මේ ස්ථානය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ… ඉන්දියාවවේ කියන්නේ… ඉන්දියාවේ උතුරු කෙලවරට වෙන්න තියෙන කුල්ලු කියලා හැඳින්වෙන දිස්ත්‍රික්කයේ හිමචාල් ප්‍රදේශ් කියන ප්‍රාන්තයේ… මේ පුංචි ගම්මානයේ නම තමා මනාලි….

ඇත්තටම මේ විස්තර ටික කියවද්දී, මගුල් දවසේ මංගල උත්සවයට සැරසෙන සුදු ලස්සන කෙල්ලක, අපේ හිත්වල ඇති කරන අමුතු පුමුදිත භාවය වගේ අමුතු හැඟීමකින් මගේ හිත හැම වෙලාවෙම පිනායනවා.

ඉතිං මුලින්ම මේ ලස්සන…., අවුරුද්දේ වැඩි කාලයක් හිම වලින් වැහිලා තියෙන සොඳුරු ප්‍රදේශය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ උතුරු කොටසේ අගනුවර වන ෂිම්ලා නගරයේ ඉඳන් කිලෝ මීටර් 250ක් විතර දුරකින්. ඒ වගේම බීස් (සමහරවිට වෙන නමකිනුත් හඳුන්වනවා ඇති) ගඟ කියන ග‍ඟේ නිම්නයක තමා මේ පුංචි හිම රට පිහිටලා තියෙන්නේ… ඒ නිසාම මේ නගරය වටේටම තියෙන්නේ සුදුම සුදු හිම වලින් වැහිච්ච කදූ මුදුන්. කොයිතරම් හීතල වුනත් ලස්සනනින් අඩුවක් නැති නිසාම මේ නගරයේ, එදා ඉඳන්ම ඉන්න ජනතාව හැරෙන්න ව්‍යාපරික කටයුතු සඳහා පැමිණ පසුව මනාලි වලම පදිංචි වූ අයත් එක්ක ජනගහනය 30000ක් පමණ වෙනවා. ඇත්තටම මේ නගරයේ උෂ්නත්වය 4 °C ඉඳන්  30 °C දක්වා වෙනස් වෙනවා වසර පුරාම. ඒ වගේම ග්‍රීස්ම සෘතුවෙදී…. 14 °C ඉඳන් 20 °C වෙනකං. ඊට පස්සේ සිසිර සෘතුවෙදී… ඒ කියන්නේ ශීත කාලයේදී , −7 °C සිට   10 °C දක්වා වෙනස් වෙනවා.

ඒ වගේම මේ ප්‍රදේශයට සැලකිය යුතු හිම පතනයකුත් වසර පුරාම ලැබෙනවා. ජුලි ඉඳන්  නොවැම්බර් මාසේ වෙද්දී නම් ඒ ප්‍රමානය මිලිමීටර් 415ක් විතර වෙනකං ඉහල යනවා. ඒ වගේම වාර්ෂික ප්‍රමාණය අඟල් 60ක් විතර වෙනවා. ඒ කියන්නේ අඩි පහක්… ඒත් මේ කලහකාරී ලෝක ක්‍රමය නිසා මනාලි වල දේශගුණයත් වෙනස් වෙලා තියෙනවා… පහුගිය අවුරුදු පහලොව ඇතුලත ජනවාරී මාසෙට නියමිත කරලා ස්වාභාව දහමෙන් දීපු හිමපතනය පෙබරවාරි මුල හරිය වෙනකම් කල් ගිහිං තියෙනවා… ඉතිං ඔය සීතලට, හිම වලට වගකියන්න ඕනේ… මේ නගරය පිහිටලා තියෙන උස තමා… මනාලි නගරය මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1800ක් තරම් උසකින් තමා පිහිටලා තියෙන්නේ…

මේ නගරෙට මනාලි කියන නම හැදිලා තියෙන විදිය ගැන නම් ම ඒ තරම් පැහැදිලි රෑපයක් මවා ගන්න බැරිවුනා. ඒත් මං හොයාගත්ත විදියට නම් මනාලි කියන නම ඇවිත් තියෙන්නේ… මනු-අලි කියන වචන එකතු වීමෙන් තමා… වැඩි විස්තර නම් හොයා ගන්න බැරිවුනා…

ඊට පස්සේ බලමු  මනාලි වලට තියෙන ප්‍රවේෂ මාර්ග කියලා මොනාද… මනාලි වලට දුම්රියෙන් නම් එන්න අමාරුයි… ඒ වගේම මනාලි දක්වා වැටෙන මාර්ගයේ අවසාන දුම්රිය පොළ හම්බුවෙන්නේ ජෝගින්දර් නගර් වල තමා. එතෙන ඉඳන් මනාලි වලට තවත් කිලෝමීටර් 135ක් තියෙනවා. ඒත් දිල්ලි වල ඉඳන් NH 21 හා NH 1 කියන මහාමාර්ග දෙකින්නම් මනාලි වලට කරදරයක් නැතුව එන්න පුළුවන් කියලා තමා මං විස්තර හොයද්දී හමුබුනේ. දන්නවද…? ලෝකේ වැඩම මෝටර් රථ ප්‍රමාණයක් එහාට මෙහාට යන පාරවල් වලින් එකක් තමා ඒ….

ඉතිං මේ මනාලි නගරය මේ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අර කලින් කිව්වා වගේම සීතල දේශ ගුණය නිසයි. ඒ නිසා විදේශික සංචාරකයින් මේ නගරෙට ගොඩක් ඇළුම් කරනවා. ඇත්තෙන්ම ඉන්දියාවේ පවතින උණූසුම් දේශගුණයට පුංචි හරි සිසිලසක් ලැ‍බෙනවා මේ මනාලි වලින්. මනාලි වලට එන සංචාරකයින් ගොඩක් ප්‍රිය කරන්නේ හිමේ ඇවිදින්න, හිම මත ලිස්සා යන්න… එතකොට කඳු නගින්න, හිමේ බයිසිකල් පදින්න වගේ දේවල් තමයි.

ඒ වගේම විවාහ වෙලා මධුසමය ගත කරන්න එන අය අතරත් මෙතෙන ගොඩක් ජනප්‍රියයි. සාමාන්‍යයෙන් මැයි-ජූනි, දෙසැම්බර් – ජනවාරි කියන මාස වලදී විතරක් 550ක් පමණ ජෝඩු දිනපතා පැමිණෙන බව කියනවා. ඒ වගේම නිවාඩුව ගතකරන්න 350ක් විතර කපල් එනවායි කියනවා දිනකට.

ඉතිං ඔය හඳ බලන්න පිටරට වල ඉඳන් මනාලි වලට එන අයට හඳට අමතරව තවත් දේවල් තියෙනවා මනාලි වල. ඒ තමා… පාල කියන අතීත අධිරාජයාගේ මතක සටහනක් වන, කලු ගල් වලින් හා දැව වලින් තැනුන නගාර් කොටුව, හිදිම්බා දේවි පන්සල, සෝලන්ග් නිම්නය හෙවත් හිම තැන්න වගේ ලස්සන තැන්.

ඉතිං ඔය වගේ ලස්සන තැනකට කව්ද ආසා නැත්තේ…? ඇත්තෙන්ම මගේ එක හීනයක් තමා මනාලි වලට ගිහින් එන එක. අනිවාර්යෙන් මං ගොඩක් සතුටු වෙයි ඒ හීනය හැබෑ වුන දාට… මාත් ඔය මනාලි ගියා වගේ කතාව කිව්වේ විකි  මාමාගෙන් සහ තවත් තැන් දෙක තුනකින් විස්තර අහලා තමා. සමහර වෙලාවට නොගැලපෙන තැන තිබුන නිසා දත්ත ලබාගත්ත හැම තැන්වලම ගොඩක් වෙලාවට සමානව තිබුන කරුනු තමා ලිපියට දැම්මේ… ඒ වගේම ඔය කොහෙන් හරි කරුණු අරං ලියන කතාවලට දාන ල්‍ර  ප්‍රත්‍යය මං මේකට යොදාගත්තේ නැත්තේ මනාලි ගැන මං දකින ලස්සන හීනයම කිසිම සැකයකින් තොරව ඔයාලටත් දෙන්න ඕනේ නිසා….

කොන්දොස්තර මහතාට සහාය වෙන්න


අද නම් කියන්නේ චූටි කතාවක්…

ඔයාලා දැකලා තියෙනවා නේද CTB බස් වල රියදුරු අසුනට පිටිපස්සේ තියෙන වීදුරුවේ…. එහෙමත් නැත්තං පූජ්‍ය පක්ෂයට වෙන් කරලා තියෙන අසුනට ඉස්සරහින් තියෙන වීදුරුවේ හරි, නැත්තං බස් එකේ ඇතුලේ රාක්ක වලට පහලින් හරි මෙහෙම වැකියකුත් එක්ක ස්‍ටිකරයක් අලවලා තියෙනවා…

“කොන්දොස්තර මහතාට සහාය වෙන්න. ඔබ දුන් මුදලට ටිකට් පත ලබාගන්න.”

ඉතිං මේකෙන් කියන්නේ කොන්දොස්තර මහත්තයාට උදව්වක් විදියට අපි දෙන ගානට ටිකට් එක හරියන්න ටිකට් එක ඉල්ල ගන්න කියලනේ…

හික්… පොඩ්ඩක් හිතන්නකෝ බලන්න… ගමන් ගාස්තුව රුපියල් 30යි, අපි දෙන්නේ රුපියල් 100 කොලයක්. ඒ කියන්නේ අපි දුන් මුදල රුපියල් 100යි. දැන් එතකොට අපි කොන්දොස්තර මහත්තයාට සහාය වෙන්න ඕනේ නිසා රුපියල් 100 ටිකට් එකක් ඉල්ල ගන්න ඕනේ… 😀

අනිත් එක තමා මට නම් හිතන්නේ.. ඔය ස්ටිකරය ගස්සන්නේ ගමනාගමන මණ්ඩලයෙන්මයි. මොකටැයි කියලයි හිතන්නේ…?

ඔය වාක්‍යයෙන් කියන්නේ බස් එකේ යන මගීන්ට වගේ වුනාට ඇත්තටම කියනවා ඇත්තේ කොන්දොස්තර මහත්තයාට. මෙන්න මෙහේම පනිවුඩයක් වෙන්ටෑ දෙන්නේ…

කොන්දොස්තරු මහත්වරුනේ,

බස් රථ වල ගමන් ගන්නා මගීන්ගෙන්, ලබාගන්නා මුදලට සරිලන ටිකට් එක නිකුත් කරන ගමන්, වංචා සහගත වැඩ නොකර එයාලගේ ඉතුරු සල්ලිත් දෙන්න.

කියලා වගේ කියලයි මටනම් හිතෙන්නේ…

ඕකම තව විදියටක මෙහෙමත් හිතන්න පුළුවන්…

අඩෝ කොන්දා,

තෝ බස් එකේ යන මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වල ඉතුරු සල්ලි දීලා… තෝ ගානක් තියා ගන්නේ නැතුව ටිකට් එකේ ඇත්ත ගාන ලියල දීපිය.

කියලා වෙන්නත් පුලූවන්…. 😛

මොකද ලංකාගමනා ගමන මණ්ඩලේ ඈයෝ දන්නවා ගොඩක් මගීන්, තමන්ට ලැබෙන ඉතුරු මුදල ගනැ මිසක් ටිකට් එකේ ලියලා දෙන ගාන ගැන බලන්නේ නෑ කියලා.

ඒ වගේම අපිට ලැබිය යුතු ඉතුරු සල්ලිටික ගානට ලැබෙනවනම් ටිකට් එකේ ලිව්ව ගාන ගැන පොඩ්ඩක්වත් බලන්නේ නෑ නේද…? අර කිව්වත් වගේ රුපියල් සීයේ නෝට්ටුව දුන්නම රුපියල් 70ක් ඉතුරු දුන්නම, අපේ ඉතුරු මුදල හරිනේ… ඒත් ටිකට් එකේ ලියලා තියෙන්නේ රුපියල් 28 නම්….

ආහ් කොන්දොස්තරලා ගැන කතා කරද්දී තව කතාවක් මතක් වුනා… අර සාජන් නල්ල තම්බි කියන්නේ .. පොරගේ වීඩියෝ ක්ලිප්ස් වගයක් මට හම්බුනා දැනට සෑහෙන කාලෙකට කලින්. ඒක කොටසක තියෙනවා…

සාජන් වාහනේකට විසිල් කරාම වාහනේ නවත්තන්නේ නැතුව යනවා… පස්සේ ලඟින් යන තට්ටු දෙකේ බස් එකක සාජන් එල්ලිලා නගිනවා. හික්… බස් එකේ කොන්දා ෆුට් බෝඩ් එකේ… පස්සේ සාජන් කොන්දාට කියනවා… (මට මතක විදියට ලියන්නම්… හැබැයි පොරගේ වාග් විලාසය කොපි කරන්න නම් මට තේරෙන්නේ නෑ…)

‍මේ නගිනවා තමුසේ උඩට…. ෆුට් ‍බෝඩ් ගිහින් බෙල්ල කඩාගන්නද ඕයි හදන්නේ… කියලා…. 😀

වැස්සට පෙම් බැඳි අමුතු එකෙක්….

ඉස්සර දවසක…

පුතා… පුතා…. කෝ අනේ මේ ළමයා… අපේ අම්මා තාත්තගෙන් මාව අහනවා… ඒක හෙන වැස්ස වෙලාවක්.  අකුණු ගහන්නේ නැති වුනාට මුළු ලෝකෙම කළුම කළු පාට වෙලා. ලොකු වැහි වලාකුළකින් මුලු අහසම පිරිලා.

ඉතිං මමත් කලේ අම්ම කුස්සිය පැත්තට යනකං ඉඳලා මිදුලට පැනපු එක. අවුරුදු නිවාඩුවත් එක්ක පටන් ගන්න වැස්සට මං හරි ආසයි. මොකද ඔය වහින්න ගන්න වැස්ස සැරින් සැරේට, එක එක වෙලාවට… හරියටම කියනව නම් වෙලාවක් කලාවක් නැතුව වෙසක් මාසේ වෙනකම්ම වහිනවා.

ඉතිං මං කරන්නේ ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම මිදුලට පැනලා… අත් දෙක උඩට උස්සගෙන හරි එක්කෝ අත් ගුලි කරලා බැඳගෙන හරි… අර කළුම කළු අහසෙන් වැටෙන වතුර බිංදු කටට ‍වැටෙන්න දීලා දිවත් එලියට දාගෙන කට ඇරගෙන වැස්සේ නටන එක…

අර පුංචි සීතල ඉඳිකටු තුඩුවල් වගේ වැහි බිංදු අත් දෙකෙයි මූනෙයි වදිද්දී… ඊ….කිති වගේ. කට ඇරගෙන දිව එළියට දාගෙන ඉද්දී දිවටත් ඒ ඊතල පාරවල් වදිනවා. ඒ වෙලාවට ඉතිං මතක් වෙන්නේ මම පුංචි කාලේ බලපු හිම කුමාරි කතාවයි අම්මා මාව ළඟින් කියන් ඔළුව අතගගා කියල දුන්න හත් පෙති මල කතාවයි. අර ශේන්යා කියන ගෑණු ළමයාට පාට හතක් තියෙන පෙති හතක මලේ කතාව… අන්න ඒක…

ඉතිං ඔය ඔක්කොම කතා ටික මතක් කර කර වැස්සේ තෙමෙද්දී මටත් නොදැනිම මගේ ඇස් දෙකත් පියවෙනවා… එතකොට තමා පුංචි ඉඳිකටු තුඩවල් වල ස්පර්ෂය හොඳටම විඳින්න පුළුවන් වෙන්නේ… අම්මෝ… දැනුත් නිකං ඇඟ හිරිවැටීගෙන යනවා…

ඉතිං කෝම කෝම හරි ඔය වගේ වැස්සේ තෙමෙද්දී, අම්මාගේ කටහඩත් ඇහෙනවා… තාත්තත් අම්මට කියනවා බලන්න කාමරේ නිදි ඇති කියලා… හික් මං නම් නිදියයි අනිත් කම්මැලියෝ වගේ වැස්ස වෙලාවට. මං ආසාම වෙලාව තමා වැස්ස වෙලාව.  ඉතිං කොහෙ නිදාගන්නද… ඔහොම අපේ අම්මා මාව ගේ පුරාම හොයලා හොයලා අන්තිමේ බලනවා මිදුල දිහා…

පටාස්…

පසුබිමින් සද්දයක් අහෙනවා. ඒ එක්කම පස්ස පැත්ත නිකං රත්වුනා වගේ එකකුත් වෙනවා. ඉතිං මං කල්පනා කරනවා කොහොමද බොල මේ මහ වැස්සේ කලිසම අස්සේ රත් වෙන්නේ කියලා… ආයෙමත් තව ටිකකින් කනත් රත් වෙනවා…  පස්සේ ඉතිං මං…

ඉහි..ඉහි… ඊ.. ඊ……

කිව්වා නේද වැස්සේ තෙමෙන්න එපා කියලා…? දැන් තාත්තා ගාවට ගිහින් ඔය ඇඳුම් මාරු කරවගන්නවා… යනවා….

හ්ම්… මගේ පුංචි කටත් උල් කරගෙන අම්මා දිහා බලාගෙන ඇස්වලින් දිය ඇල්ලකුත් වක්කරගෙනමයි. පස්සෙ ඉතිං අම්මම තුවායක් අරං මගේ ඇඟ වටේ ඔතලා… යන්න තාත්තාට කියලා ඇඳුම් මාරු කරව ගන්න…

මමත් ඉතිං කුරුල්ලා වගේ… නෑ… නෑ… තෙමිච්ච කුකුලා වගේ දුවනවා තාත්තා ගාවට. තාත්තා ඉතිං හිනාවෙලා, කියව කියවා ඉන්න පත්තරේ පැත්තකින් තියලා ඇදලා ගන්නවා මාව ලඟට. අරගෙන අර මහවැස්සේ තෙමිලා තෙමිලා තෙතබරියම් වෙච්ච මාව උණුහුමට තුරුල් කරගන්නවා. පස්සේ ඉතිං ඔලුව පිහිදලා, ඇඳුම් මාරු කරවලා එහෙම ඇඳට එක්කගෙන ගිහින්… පෙරලෙන්නේ එහෙම නෑ බිමට කියලා… කොට්ටෙකුත් තියලා යනවා.

ඊට පස්සේ නම් අනේ මන්දා… අම්මයි තාත්තායි කතාවෙනවා, හීනෙන් වගේ ඇහෙනවා… ඔන්න ඔහේ තෙමුන දෙන්… ආසාවනේ…

ඒ වුනාට හෙම්බිරිස්සාවක් වත් හැදුනොත්…

නෑ… නෑ… කොල්ලා ලෙඩ වෙන්නේ නෑ… ඔයිට කලිනුත් කොයිතරම් වැස්සට තෙමෙනවද..?

අම්මයි තාත්තයි ඔහොම කිව්වට ආයෙත් මං වැස්සට තෙමෙනව දැක්කම අම්ම දුවගෙන ඇවිත්… පටාස්… තාත්ත ලඟට අරං ආයෙමත් ඇඳුම් මාරු කරවලා නිදිකරනවනවා…

ඉතිං මං පුංචි කාලේ ඉඳන්ම වැස්සට හරි ආසයි. මං ගොඩක්ම ආසා විදුලි කොට කොට ලොකු හුළඟක්තු එක්ක එන වැස්සට. වැස්සේ තියෙන නියම ගාම්භිර කම පේ‍න්නේ ඒ වෙලාවට තමා. නැත්තං නිකං හරියට, ලයිට් නැති චිත්‍රපටි හෝල් එක වගේ වෙනවා. ඒ වගේද නිල් පාට, සුදු පාට විදුලි ගගහා ගොරවන සංගීත සංදර්ශනයක් වගේ වුනාම අහස…

ඔය වැස්ස නිසා ගොඩක් හානි වෙනවා තමා. ගංවතුර ගලලා මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙනවා… පාරක යන්න බැරිවෙනවා. වගාවන් කුඹුරු ඔක්කොම හේදිලා යනවා… අකුණු වදිනවා… තව ගොඩාක් ජාති වෙනවා. ඒත් ඉතිං මං තාමත් වැස්සට ආසයි.

මං අදටත් ඔෆිස් ඇරිලා යද්දී වැස්සොත් කුඩයක් ඉහල ගන්නවා තමා, ඒත් කවම දාකවත් මගේ සපත්තු අස්සට ගිහින් චිරි චිරි ගාලා, අනිත් අයට හිරිකිතට පෑගෙන වතුර බිඳක්වත් මං නම් නෙමේ ගෙදර ගිහින් මිසක් මග හලලා යන්නේ… දැන් ඉතිං හිතනවා ඇති ඌරන්ට මොන සෞඛයද කියලා…

සපත්තු දෙක අස්සට වතුර යන්නේ ඔය වගේ වැස්සකට විතරයි. ඉතිං ඒකෙ පොඩි ගතියක් මටනම් තියෙනවා. ඒ වගේම තමා මාව හොඳටම තෙමිලා ඇඳුම් ඇඟටම ඇලුනත් මං හෙන ජොලියේ ඉන්නේ… අනිත් අයගේ මූනු නිකං පෙඟිච්ච පපඩම් වගේ වෙද්දී මං විතරක් හෙන ෆන් එකේ. ඉතිං මාව දකින් මිනිස්සු හිතනවා ඇති මූ නම් පිස්සෙක් කියලා… හික්… ඒත් ඉතිං මංනේ දන්නේ මං වැස්සට ආසයි කියලා…

මේ ටිකෙත් හවසට වහිනවා… ආහ්..  හවසට විතරක් නෙමේ වෙලාවක් කලාවක් නැතුව. ඉතිං ඔය කවුරු අකමැති වුනත් මං නම් මාර ආසයි ඔය වැස්සට. රෑ අට විතර වෙලා වැස්සෙම ගෙදර ගිහින් එලියේ තෙමී තෙමී ෂවර් එකෙන් නාගෙන තේ එකක් බීලා… වැස්සෙම නිදාගන්න කොට අම්මෝ…. හරියට නිකං ස්වීට්සර්ලන්ඩ් ගියා වගේ… ආයේ මොනාද ඉතිං උදේට ෆෝන් එක වයිබ්‍රේට් වෙවී එළාම් එක වදින කම් නිදි….

ආයෙත උදේට බාගෙට තෙමීගෙන ඇඳුම් ඇඳ‍ගෙන තෙමී තෙමී ඔෆිස් යද්දීනම් එපා වෙනවා තමා. ඒත් ඉතිං ඔෆිස් එකට ගියාට පස්සේ ගානක් නෑ… හැබැයි ඔය පාරේ තිායන මඩ වල වල් වලට නම් මං ආසම නෑ…

දැන් මේක ලියද්දී නම් වැස්ස පායලා තියෙන්නේ… අනේ අදත් ගෙදර යද්දී වැස්සොත් නම් නියමයි…!

ප්‍රශ්නෙට උත්තරේ ඕනෙම නම්, හාෆ් ඩේ + ෂෝට් ලිව්

මේක පොඩි ජොලි කතාවක්… හැබැයි මේක තේ‍රෙන්නේ කොළඹ ඉඳන් වැරදීමකින් හරි පානදුරේ පැත්තට ගිහින් තියෙන අයට විතරයි. මොකද අම්පාරේ, තවලන්තැන්න පැත්තේ, අනුරාධපුරේ එතකොට හංවැල්ල, දඹුල්ල පැත්තේ අය දන්නේ නැහැනේ කොළඹ ඉඳන් පානදුරේට යන්න පාරවල් දෙකක් තියෙන බව. (මම ආයේ ඔය කියපු පැතිවල පස් පාගන්නේ නැහැ කියලා හිතාගෙන තමා පෝස්ට් එක ලියන්නේ. මොකද ගියොත් එහෙම මට එන්න වෙන එකක් නෑ)

ඔය කිව්වට පානදුරේ පරන පාරේ … කෙසෙල්වත්ත, පල්ලිමුල්ල හරියේ උං දන්නෙත් නෑ පානදුරේට යන්න අළුත් පාරක් තියෙනවා කියලා. මොකද ඒ සෙට් එකත් ඉතිං යන්නේ එන්නේ පරණ පාරේ විතරමනේ…

මේ  කියන්න යන කතාව වෙලා වැඩි දවසක් නෑ. මුලින්ම කතාවට අදාල දෙන්න ගැන ටිකක් කියල ඉන්නම්.

අපේ ඔ‍ෆිස් එකට ආවා මාත් එක්ක සිරීපාදේ ටුවර් වලට එහෙම එක පයින් ආපු ම‍ගේ යාළුවෙක්. නම චාමර කියමුකෝ. සිරීපාදේ ටුවර් එක ගැන නම් කියලා වැඩක් නැහැ. ඔය චාමරය තමා මට ද්‍රෝහි වෙලා, උඩට නගින්න තියපු මගේ, කකුලෙන් ඇදලා… තොට මොන කෑලිද..? මේකත් මංම සෙට් කරගන්නම් කියලා මාව නාථ අනාත කලේ…

ඉතිං දැන් මිනිහා ආපු තැන, ඉන්න එකා වෙන තැනකට මාරු වෙනවා. ඌත් ජොලි පොර. මෑන්ට සමන් කියමු. ඔය සමන් කියන වචනයක් අපිට අහගන්න ඕනේ නම්, වොට් 150ක විතර ස්ටීරියෝ ඈම්ප් එකක පිහිට පතන්න වෙනවා. මොකද පොර කියන ඒවා ළඟ ඉන්න කූඹියෙකුටවත් ඇහෙන්නේ නෑ… ඒ වගේම පොරගෙන් මොකක් හරි ප්‍රශ්නෙකට උත්තරයක් ගන්න ඕනෙ නම් හාෆ් ඩේ එකක් දාලා උත්තරේ කියනකම් ළඟට වෙලා ඉන්න ඕනේ… උදාහරණයක් විදියට, සමන් මැච් එකට ටිකට් තියෙනවා උඹ එනවද බලන්න යන්න කියලා ඇහුවොත්…

ම්… මට එදාට පොඩි වැඩකුත් තියෙනවා…. ම්… ඒත් …. ටිකටුත් තියෙන එකේ… ආහ්… මේ … ටිකට් දෙකක් විතර ගන්න බැරිවෙයිද…? පොඩ්ඩක් බලන්නකෝ… හැබැයි තාත්තට එදාට දානෙකුත් තියෙනවා කිව්වා… සමහරවිට ඒකට යන්න වෙයිද දන්නේ නෑ… මේහ්… කව්ද සෙල්ලං කරන්නේ, සංගා එහෙම ඉන්නව ඇතිනේ… බලමුකෝ එහෙම නම් කොහොම හරි එන්න… ඒත් ඉතිං අනුරාධපුරේ භාවනා අසපුවට යන්න එන්න කියලා නැන්දා කතා කලොත් එහෙම මොකද කරන්නේ…? කමක් නෑ මල්ලිට යන්න කියනවා …. බලමුකෝ මං තව පැයකින් විතර කෝල් එකක් දාලා අහලා කියන්නම්… වහියිද දන්නේ නෑ නේද…? එහෙම වුනොත් අපරාදේ නෙහ්..? කමක් නෑ මං ලොකු අම්මගේ පුතා එක්ක හරි එන්න බලන්නනම්කෝ… ගෙදර ෆෝන් එකේ බැට්රිත් බැහැලා තිබුනේ… බලම්කෝ කෝල් එකක් දීලා…

ඔය තියෙන්නේ සමන්ගේ උත්තරෙන් පහෙන් එකක විතර කොටසක්. ඉතිං දවස් දෙකකට විතර තියෙන දේකට සමන්ව සහභාගී කරගන්න ඕනෙ නම්, අපි දවස් දෙකකට කලින් හාෆ් ඩේ දාලා තමා මිනිහාගෙන් අපිත් එක්ක එනවද කියලා අහන්නේ… අර ඇම්ප්ලිෆයර් කේස් එකත් සෙට් වුනාම, ඉතිං සමහරවෙලාවට හාෆ් ඩේ එකත් මදි වෙලා තව ෂෝට් ලිව් එකකුත් දාන්න වෙනවා. තව කේස් එකක් ඈම්ප් සීන් එක නිසා සමන් කියන දේ අහන්න අපි පස් හය දෙනෙක් සමන් වටේට රැස්වෙලා අර… පොඩි කාලේ කතන්දර සීයාගෙන් කතන්දර ඇහුවා වගේ කන් ටික පොරගේ කට ළඟට කරගෙන තමා අහගෙන ඉන්නේ….

ඉතිං ඔන්න සමනුයි, චාමරයි උදේ 9.30 … උදේ ලන්ච් එක කන්න ආවා දෙන්න එක්ක ලන්ච් රූම් එකට. පස්සේ ඉතිං මං චාමරගෙන් ඇහුවා… උඹ මොන බස් එකේද බං අද ආවේ කියලා. චාමර කිව්වා … කළුතර කොළඹ එකක බං.. කෙටුවා කෙටිල්ලක් ආය නම් නගින්නේ නෑ… කියලා. මාත් ඉතිං පොරට කියන්න ගියේනෑ මමත් ඔ‍ෆිස් එන්න ගත්ත දවස් වල අලුත්ගම බෝඩ් දාගෙන එන කළුතර බස්වල නැගලා චාටර් වෙච්ච හැටි….

ආහ් කියන්න අමතක වුනා, චාමර අපේ පැත්තේ… සමන් බොරලැස්ගමුවේ. පස්සේ ඉතිං අපේ කතාව අහන් හිටිය සමන් පටන් ගත්තා එල කතාවක්….

සමන් – චාමර, කළුතර කොළඹ බස් පරන පාරේ යන්නේ නැද්ද..?

චාමර – නෑ බං… කලුතර කොළඹ ඒවා ඔක්කොම යන්නේ අලුත් පාරේ විතරයි…

මම – අනේ පල යන්න බොරු කියන්නේ නැතුව ….

චාමර – නෑ බං සිරාවටම…

සමන් – ඒක තමා මාත් දැකලා තියෙනවා පරන පාරෙන් කළුතර බස් එනවා…

දැන් අපිට හෙන පස්නේ බොරලැස්ගමුවේ එකා කොහොමද පරන පාරෙන් කළුතර බස් එනව කියලා දන්නේ කියලා… ඕක ඉතිං අහන්නත් බැහැනේ… ඇහුවොත් හාෆ් ඩේ දාන්න බලාගෙන අහන්න ඕනේ…

මම – ඔව් බං ඒකනේ… මූට තේරෙන්නේ නැහැනේ… කළුතර කොළඹ කැඩෙන බස් ඔක්කොම හදන්නේ වලාන හන්දියේ ගැරේජ් එකේනේ බං….

ඊට පස්සේ අරුං දෙන්නා කියපුවා අහන්න එපා… ඒවා මේකෙ ලියන්න බෑ….

පස්සේ කොහොම හරි සමන්… හෙන පොර ටෝක් වගයක් දෙනවා මොරටුව ගැන දන්න දේවල් කියලා. ඌ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහපු හැටියි, මොරටු විද්‍යාලේ ග්‍රවුන්ඩ් එකේ බට්ටා පැනපු හැටියි.. අරකයි මේකයි හෙන ගොඩයි.

ඔය ඔක්කොම අහන් ඉඳලා…. පස්සේ ආයෙමත් චාමර කියනවා සහන්ට… පොඩි වැරදීමකුත් එක්කම…

චාමර – මචං … සමන්… මොරටුව පිටකොටුව බස් විතරයි බං පරන පාරෙ යන්නේ….

දැන් අර මං කලිං කියපු ප්‍රදේශ වල එව්වොන්ට මේකෙ අරුමයක් නැති වුනාට… පානදුර මොරටුව කොළඹ ආශ්‍රිත අයට හා දකුණේ ඉඳන් කොළඹ එන අයටත් පොඩි අමුත්තක් දැනෙයි. මොකද මොරටු‍වෙන් තමා පරන පාරයි අළුත් පාරයි වෙන් වෙන්නේ… ඉතිං මොරටුව බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙත් අළුත් පාරේ.

මම – ඈ බං… චාමර…. මොරටුව පිටකොටුව ඒවා පරන පාරේ යනවද බං? හික්…

චාමර –  අම්මට හුඩු…. මං එහෙමද කිව්වේ….

චාමරට කියන්න ඕනේ වුනේ, පානදුර පිටකොටුව බස් විතරයි අළුත් පාරේ යන්නේ කියලා… ඒ වුනාට කොහේදෝ තියෙන කරුමයක් පාත් වෙලා ඌට කියන්න ගිය එක වැරදුනා. අපේ ඔෆිස් එකේ පෙඩි දෙයක් වරදිනවා කියන්නේ ලොකු නාමික වත්කමක් ලැබෙන වැඩක්.

ඉතිං දැන් චාමර ඔෆිස් එකට අළුත් නිසා ඔය සීන් එක දන්නේ නැහැ. මගේ ෆිට් එක නිසා නම් රෙජිස්ටර් කරන වැඩේ කරන්න ගියෙත් නෑ… මොකද අපි දෙන්නටම හිනා ඌ කියපු කතාවට. ඉතිං අත් දෙක උස්සලා පහකුත් දැම්මා. ඒත් අපේ සමන් කොලුවා කිසි ගින්නක් නෑ…ඒත් ඌට තේරුනා චාමරට වැරදීමක් වුනා කියලා… ඊට ටිකකට පස්සේ සමන් කියනවා….

මේ … ඇත්තටම මොරටුව පිටකොටුව බස් පරන පාරේ යනව ඇති… බං….

ඔන්න සමන් කංපනා කරලා කරලා කියපු දේ. මොරටුව ගැන පොර ටෝක් දුන්න බුවාටත් එක පාරට වයර් එකක් මාරු වුනා. කරන්න දෙයක් නෑ ඉතිං, ඌ පරන එක‍ානේ නාමික වත්කමක් ඌට එවෙලේම හිමිවුනා…

එතනින් පස්සේ තේ එක ඉස්පොල්ලේ ගිහින්, අහල පහල හිටිය එවුන් මැරෙන්න ගිය විදියවත්… සමන්ගේ ශූර බුද්ධිය ගැනවත් මං කියන්න යන්නෙ නෑ ඕං.

ඉතිං කවුරු හරි ඇහුවම… මොකද සමන් වුනේ..? කියලා….

නෑ… නෑ… මුකුත් වුනේ නෑ බං. ගෝල්ඩ් ෆිෂ්ගේ යාළු‍වා ඇහුවා….අපි මේ තේ බිබී ඉද්දී…. ඒ තේ එකේ සීනිත් වැඩියි අප්පා. ඉතිං අපි කතා කරද්දී… ඔන්න මැස්සෙක් ඊයා….. හරිද අයින් කලාද මැස්සව…? මං කිව්වේ අපි කතා කරද්දී… මට මොරටුව බස් ගැන….ආහ් අර ඔයාට මතකද  ඉන්දුලාගේ බස්එක. දැන් ඒක විකුණලානේ… රූට් පර්මිට් එකත් එක්කම… මට ඒක මතක් වෙලා තමා කියවුනේ. ඒ බස් එක එන්නේ කෙසෙල් වත්ත පැත්තේ ඉඳන්නේ…. ඉතිං ඒක නිසා… ආහ්…. විනාඩියක් දෙන්න කෝල් එකක්….

ඉතිං ප්‍රශ්නෙට උත්තරේ ඕනෙ කට්ටිය වැඩ ටික ඉවර වෙලා… සමන් වටේට කිට්ටු වෙලා ඉන්නවා, උත්තරේ අහගන්න… සමහරවිට දවල් ලන්ච් එකත් පහුවෙයි මයේ හිතේ….

ප.ලි – තාරාගේ මතක් කිරීමට අනුව පානදුර – නුගේගොඩ බස් යන්නෙත් පරන පාරේ තමා…

%d bloggers like this: