වැඩ ගොඩක් මැද හොඳ (වැදගත්) වැඩක්…



ගෝල්ඩ් fish ගේ ටැංකියත් එකක් ටික දවසක් ඉන්න අය දන්නවා… මං මොන වගේ කොලු පැංචෙක්ද කියලා… මොකද මං හැම තිස්සෙම උත්සාහ කරන්නේ දවසින් දවසට වෙනස් වෙනස් විදි වලට එක එක රටා වලට ලියන්න.

ඉතිං මේ බ්ලොග් ලිවිල්ල අස්සේ මං කැමති තවත් දේවල් තියෙනවා. ඉතිං කොහොම කොහොම හරි, මේ බ්ලොග් ටැංකිය නිසා, මගේ පරණ විනෝදාංශ දැන් මට මග ඇරිලා ගිහිල්ලා. හැබැයි ඒකත් එක අතකට හෙ‍ාඳයි. මොකද එතකොට විනෝදාංශේ වුනත් එපා වෙන්නේ නැහැනේ…

ඉතිං මගේ මහ ලොකු විනෝදාංශ වලින් එකක් තමා පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් කෑලි ලියලා කාව හරි අමාරුවේ දාලා…. ආයේ ගිහින් අර අමාරුවේ වැටුන එකාට කිංඩි හිනාවක් දාලා… මං, පොර වෙන එක. ස්කෝලේ යන කාලේ අට, නවය වසර වල ඉඳන්ම ගෙදර කොම්පියුටරයක් නැති වුනත් ස්කෝලේ හරි කොම්පියුටර් පන්තියේදී හරි කලේත් ඕකමයි. ඉතිං අදාල කාල පරිච්ඡේදය ඉවර වෙන කොට ගෝල්ඩ් fish තමා පන්තියේ කෙල්ලො අතරයි, කොල්ලෝ අතරයි ඉන්න එකම පොර.

ඉතිං ඔහොම පොර වෙන්න ගිහින්… කොම්පූටර් පන්ඩිත කම නිසාම ගෝල්ඩ් fish ට කෙලවෙච්ච අවස්ථාත් තියෙනවා. එකක් තමා ස්කෝලේදී ඇනගත්ත පාර.. ඒක නම් තාම මතකයි… ඒක නිසා තමා යන්තං ජනෙල් දාගන්න හරි පුරුදු වුනේ… ඊට පස්සේ ඔෆිස් එකේදී… ඒ පාර ඇනගැනීමනම් කලින් ස්කෝලේ ඇනගත්තට වැඩිය සෑහෙන ලාකුයි… ඒත් අපේ අයි.ටී මහත්තයගේ හොඳ කම නිසා කොල්ලා බේරනා.

ඒ ඔක්කොමත් හරි…. ශිල්ප පෙන්නන්න ගිහිං ඒන්ජල්ගෙයි, මවුතුමියගෙයි හිත පහදවා ගෙන ඇනගත්ත ඇනගැනිල්ලට අනිත් ඔක්කොම සීන් නිකං වැලි කැට ගානයි. ඒන්ජල් ඉස්සරහ පොර වෙච්ච එකේ රස රහස තාම ඇහෙන නිසා, මං හොඳටම දන්නවා ඒ ඇනගැනිල්ල වගේ එකක් ආයෙත් සෙට් වෙන්නෙත් නෑ කියලා. අනික ඒ සීන් එකෙන් පස්සේ මට හිතෙනවා මං කොම්පූටර් ගැන මෙලෝ දෙයක් නොදන්න ගොන් බූරු වස්සෙක් උනානම් හොඳයි කයලා…

හරි කොහොම හරි කමක් නෑ… කාලෙකට පස්සේ වැඩකට ඇති වැඩක් කලා ඕං. මීට කලිනුත් මගේ සුභසිද්ධිය සඳහා එක එක ප්‍රෝග්‍රෑම් කෑලි ලියාගෙන හිටියට මේ පාර තමා මං ඇර වෙන එකෙකුට හරි ප්‍ර‍යෝජනවත් දෙයක් කලේ. මේකත් ඇත්තටම ඔය වෛරස් ලියන්න ගිහින් තනියම ඉගනෙ ගත්ත දේවලින්ම කරපු දෙයක් තමා. වෛරස් ලිවිල්ල වෙනම කලාවක්. ඒ වැඩේ කොරන්න හිතේ හෙන තැම්පත් බවක් ඕනේ… කාට හරි ගේම දෙන්න තරහින් පුපුර පුපුර වෛරස් ලිව්වත් හිත එකතැනක තියෙන්න ඕනේ… නැත්තං ඉතිං අපිටම කෙලවිලා තමා නතර වෙන්නේ…

ඉතිං මේකයි සින් එක. ගෝල්ඩ් fish ඉස්සර ඉඳන්ම එක එක ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් ඉගෙන ගන්න ටිකක් කැමතියි. අඩුම ගානේ එක ලැන්ග් එකකින් එක ප්‍රෝග්‍රෑම් කෑල්ලක් වත් හදාගන්න තිබ්බ නම් ආයේ දවස් දෙක තුනකට කන්න ඕනෙත් නෑ… ඉතිං ඔය සීන් එක නිසාම… පැස්කල්, ෆොක්ස්, වීබී, ජාවා, පයිතන් වගේ ඒවායෙන් එක එක මැජික් කලා. පැස්කල් , ෆොක්ස් දෙකම කලේ කොම්පූටර් පන්තියෙදී විතරයි… පන්ති යන කාලේ ඔය දෙකෙන්ම මං මොකද්දෝ මන්දා විගඩමක් කරලා වාසනා අංක‍ය අරගෙන ඒකෙන් අනාවැකි කියන සොෆ්ට් වෙයා කෑල්ලක් හැදුවා… වෙලාවට වාසනා අංකයට අංක 10ක් විතරක් සෙට් වුනේ… නැත්තං එකකට එක ගානේ ලියන්න වෙනවා….

ඊට පස්සේ තමා ඔන්න කොල්ලා වීබී ස්ක්‍රිප්ටින් වලට පැන්නේ…. ඒක ටික ටික කරගෙන යද්දී තමා තව රෙද්දේ වෛරස් එකක් ලියවුනේ. යන්තං හොඳ මනුස්සයෙකුට මාට්ටු වෙච්ච නිසා රස්සාව බේරුනා. ඊට පස්සේ තමා පයිතන්… ඒකත් ලෙසටම නැගලා ගියා…. ඊට පස්සේ ෆෝන් එකට මොකද්ද මංදා සොෆ්ට් වෙයා කෑල්ලක් හැදුවා ජාවා වලින්. ඔය ඔක්කොම අන්තිමේ තමා ආයෙත් වීබී වලට වැටුනේ… ඇත්තටම වැටුනා නෙමේ තල්ලු කලා.

මේකයි වුනේ… ගෝල්ඩ් fishගේ ඔෆිස් එකේ තියෙනවා ඩේටා බේස් සම්බන්ධ ක්‍රියාකාරකම් දෙකක්. එකක් තමා එච්.ආර් එකේ ඇටෙන්ඩන්ස් සිස්ටම් එක. අනිත් එක තමා බාර් කෝඩ් ප්‍රින්ටින් ඩිවිෂන් එකේ බාර් කෝඩ් ඩේටා බේස් එක. ඉතිං අපේ අයි.ටී මහත්තයාට පැවැරුන රාජකාරියක් තියෙනවා ඔය බාර් කෝඩ් ඩේටා බේස් එක දිනපතා බැකප් කරන්න ඕනෙ කියලා. හැබැයි ඉතිං සර්ට අනිත් වැඩත් එකක් ඔය වැඩේ කරන්න වෙන්නේ සති දෙකකට පාරක් විතර තමා.

පස්සේ සර් මට කරලා කිව්වා… ගෝල්ඩ් fish අර ඔයාගේ වීබී ස්ක්‍රිප්ටින් වලින් පුළුවන්නම් මට පොඩි උදව්වක් කරන්න කියල. ආයේ ඉතිං ඔය වගේ උදව්වකදී මං බැහැ කියන්නේ නෑ කියලා සර් දන්නවා. ඒක නිසා සර්ගේ ප්ලෑන් එක මට කිව්වා…

මෙහෙමයි වෙන්න ඕනේ… ඩේටා බේස් එක, හැමදාම දවල්ට කට්ටිය ලන්ච් එකට ගියාම ඔටෝ බැකප් වෙන්න ඕනේ. ලෝකල් පීසී එකේ, කොපියක් තියලා සර්වර් එකටත් කොපියක් එන්න ඕනේ… දැන් ඉතිං කට්ටිය හිතනවා ඇති අපෝ ඕක ඒ හැටි ගේමක්ද කියලා… ස්ක්‍රිප්ටින් ගැන දන්න අය දන්නවා මේකේ තියෙන ර‍ඟේ…

දැන් ඉතිං තව තව විස්තර දෙනවා… ඒ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනව නම් ඒක නවත්තලා ආයෙම අළුතෙන් පටන් ගන්න ඕනේ… යූසර් නේම් පාස් වර්ඩ් ඔක්කොම ඔටෝ වැටෙන්න ඕනේ… ඊට පස්සේ ඩේටා බේස් එක මුලින්ම ලෝකල් පීසී එකට බැකප් වෙලා…. සර්වර් එකට කොපි වෙන්න ඕනේ…

මේ උපදෙස් ටිකක්… වගේ සිංහලෙන් කියවන කොට පෙනුනට, වීබී වලින් සෑහෙන ලොකු සීන් එකක්. මං එක එකා අමාරුවේ දාන්න කරපු වැඩ වල කෑලිත් මේකට නිකංම සම්බන්ධ වෙන නිසා, වැඩේ එච්චර අවුලක් නෑ. කොටින්ම කියනවනම් ඔටෝරන් ෆයිල් එක ලියන කොටස ඇරෙන්න අනිත් ඔක්කොම වෛරස් එක ලියන්න ගත්ත කෝඩින්ම තමා. දිනය වෙන් කරලා ගන්න එක, වෙලාව චෙක් කරන එක, ෆයිල් එක කොපි කරන එක… වගේ හැමදෙයක්ම, මට ඇනගන්න උදවු වෙච්ච ඒවායෙන් තමා ගත්තේ.

ඉතිං කොහොමහරි ටෙස්ට් රන් 20ක් විතර කරලා, අන්තිමේ අවසන් ප්‍රථිපලේ හරියටම හදාගත්තා. දැන් ඒක වැඩ. හැමදාම දවල් දොලහත් දොලහයි දහයත් අතර වෙලාවකිදී මුළු ඩේටා බේස් එකම බැකප් වෙලා… සර්වරේට කොපි වෙනවා. කිසිකෙනෙක්ගේ මැදැහත් වීමක් ඕනෙ වෙන්නේ නෑ…

ඉතිං දැං කට්ටිය හිතනවා ඇති ගෝල්ඩ් fish හෙන පම්පෝරියක් ගැහුවා කියලා. හ්ම්… ඇත්තටම මට සන්‍තෝසයි තමා, මේ වගේ දෙයක් කරන්න පුළුවන් කම ලැබුන එකට. කොහොමත් මං කරන සමහර වැඩ දකිද්දී මටම හිතෙනවා… අම්මට සිරි මාත් දැං පොරක් නේද කියලා… ඒක ඉතිං ස්වභාවයනේ… ඒ වගේම මට කියන්න ඕනෙ වෙන්නේ… ඕනෙම දෙයක් ඒක යොදාගන්න විදිය අනුවයි හොඳ හෝ නරක කියන දෙපැත්තෙන් එකකට වැටෙන්නේ කියලා. මං කලින් හදපු විනාශකාරී කෝඩිං ටිකක් අරගෙන ඒකම ටිකක් එහාට මෙහාට පෙරලලා තමා මේ ඔටෝ බැකප් වදින ප්‍රෝග්‍රෑම් කෑල්ල ලිව්වේ…. ඇත්තටම ලිව්වා නෙමේ වෙනස් කලා. ඉතිං මං හිතන්නේ ගොඩක් දේවල් නරක පැත්තට වැටෙන්නේ ඒක ඉදිරිපත් කරන ස්වරූපය අනුව තමා. ඔය දේ තේරුම් ගන්න මට මේ මගුල හදන කම්ම ඉන්න වුන එකට නම් මං කනගාටු වෙනවා. ඒකයි පම්පෝරි ගහලා හරි…. ඔයාලටත් මේක කියන්න හිතුවේ…. මීට පස්සේ කට්ටිය එක්කම මොකක් හරි කරන්න යනවා නම්, ඒකෙ ඇති දෙපැත්ත ගැනම හිතලා… හොඳ වැඩේ විතරක් කලා නම් මැක්සා නේද? අනිත් එක තමා හොඳ වැඩක් කලාම අපිටත් නොදැනිම අපි පොර වෙනවා අනිත් අය අතර. ඒකත් කියන්නේ අත්දැකීමෙන්….

%d bloggers like this: