අපි තාම උදේට තේ බීලත් නෑ මල්ලි…. (කාලකන්නි)



කට්ටියට මතක ඇතිනේ… ගෝල්ඩ් fish දෙතුන් ගමනක්ම පොලිසිය ගැන ලිව්වා… ඒ හැම දෙයක්ම ගෝල්ඩ් fish පෞද්ගලික අත්දැකීම්… ඉතිං මේ අද ලියන්න යන එකත් ඒ වගේම එකක්. මේ සිද්ධිය තමා මට අන්තිමටම මූන දෙන්න වුන සිද්ධිය. (අදින් පස්සේ මාව අල්ලලා හිරේ දායිද දන්නෙත් නෑ)

මෙන්න කතාව….

ගෝල්ඩ් fish ගේ මොබයිල් එක රින්ග් වෙනවා…. එතකොට උදේ පාන්දර මං ඔෆිස් යන්න කියලා මූන හෝදන ගමන්… ගිහින් බලපුවම අර… යකරහොටා සීන් එකේ කලුවා.

කලූ… කියපං….

මේ උඹ තාම ගෙදරද?

ඔව් බං… ඇයි මොකෝ සීන් එක?

නෑ …. නෑ… අපි බන්ඩාගේ ත්‍රී වීල් එක අරං ආවා රෙදි ගහන්න, අපිත් එක්කම උඹට ගියහැකි.

ආ… එල එල මං තව විනාඩි 20න් ගාළුපාරට එන්නම්…

හරි … අපි ඉන්නම් වරෙන්…

පස්සේ මාත් යන්තං අහෙන් මෙහෙන් අටව ගෙන දිව්වා. මොකද ඉතිං අපිට අර ගෑණු උදවියට වගේ සාරි අඳින්න, කටු ගහන්න, කොන්ඩේ පීරන්න වගේ සීන් නැහැනේ… දන්නවනේ ඉතිං ගෑණු කෙනෙක් ගමනක් යන්න ලෑස්ති වෙන්න යන වෙලාව. අවම පැයක් තමා….

ඉතිං පාරට යද්දී කලුවා තව යාලුවෙකුයි ඇවිත් ඉන්නවා බන්ඩාගේ ත්‍රී වීල් එකේ… ඒ මදිවට වීල් එකේ “L” අකුරකුත් එල්ල ‍ගෙන. පස්සේ ඉතිං මාත් ඉක්මනට ගිහින් නැග්ගා. දැන් ඔන්න භාන්ඩෙ ස්ටාට් කොරගෙන යනවා. ඔය කොයි දේ වුනත් මට නිකං බයයි බයයි වගේ. මොකද මූ තාම ත්‍රී වීල් එක එලවන්න පුරුදු වෙනවද දන්නේ නැහැනේ… ටිකක් දුර ගිහින් මං ඇහුවා කලුවගෙන් … කලූ… උඹට ලයිසන් තියෙනවද?

කලුවා කියනවා… නෑ බං… තාම ට්‍රයල් පෙන්නුවේ නැහැනේ… ටෙම්පරිය විතරක් තියෙනවා.

හරිනේ… ඔය බබා හම්බුවෙලා තියෙන්නේ… දැං ඉතිං බහින්නයෑ… බහින්න කිව්වට මේ ගල් මූසලයා නවත්තන්නෙත් නෑනේ… මං ඉතිං කටයි අනිත් පැත්තයි දෙකම වහගෙන, ඇ‍ඟේ ලේ ටික සීතල කර‍ෙගන… අන්තිම ලාස්ට් ෆයිනල් පාරට ඒන්ජල්ගේ මව්තුමියට කෝල් එකකුත් අරගෙන ‍වෙන්න යන්න වින්නැහිය කිව්වා. උන්දැටත් හරි සංතේසයි… බෑනා පොඩ්ඩට කෙල වෙන්න යන එකට.

පස්සේ කොහොම හරි යාන්තං පානදුරේට ආවා. යන්තං කිට්ටව විනාඩි 10ක් විතර යන්න ඇති. කලුවාට පාරේ වංගු නෑ… වෙන වාහන නෑ… කහ ඉරි නෑ… ඌට නිකං රේස් ට්‍රැක් එකක් හම්බුනා වගේ තමා… ඊට පස්සේ කලු කියනවා… මේ අපි ගුණානන්ද ප්‍රතිමාව ගාවින් පරන පාරේ දාලා යමං, ට්‍රැෆික් නෑ…. කියලා. කොහොමත් මේ ආපු ටිකටත් ඌට ට්‍රැෆික් තිබ්බේ නැති එකේ… අනේ මන්දා…. මොනා වෙන්න යනවද කියලා….

පස්සේ ඉතිං කොහොම හරි, ඔන්න පරන පාරෙන්…. පානදුරේ නගර සභා පිට්ටනිය, පාර්ක් එක, සෙන්ට් ජෝන්ස් ගෑණූ ස්කෝලේ… ලයිසියම් එක එහෙම පහුකරගෙන දම්රෝ එක ගාවින් දැම්මා අළුත් පාරට… ඊට පස්සේ පාලමට මෙහයින් තියෙනවා… පොලිස් මාර්ග බාධකයක්. මෙන්න බොල එතනින් එකෙක්… පාරට පැනලා හෙන හයියෙන් විසිල් එකත් ගහලා වීල් එක පාරෙ අයිනට කරලා නවත්තන්න කිව්වා. පස්සේ ඔන්න කලුවා අපිට පොර ටෝක් දෙනවා… උඹලා භය නැතුව හිටපල්ලා මං වැඩේ බේරගෙන එන්නම් කියලා… පස්සේ ඌ ගියාම එතෙන හිටිය හමුදාවෙ අයියා කෙනෙක් ඇවිත් කියනවා…. මල්ලී අර පොලිස් කාරයා අමු කැ** කියලා….

පස්සේ ආයෙම කිව්වා… අන්න බොලාට එන්න කියනවා… ගිහින් අහන දේකට විතරක් උත්තර දීලා හිටපල්ලා… කියලා. පස්සේ ඉතිං අපි දෙන්නත් බැහැලා ගියා….

ගියා විතරයි… මූ අහනවා… ඔය දෙන්නට ලයිසන් තියෙනවද?

මගුලක් කතාකරනවා… අපිට කොයින්ද ඕයි ලයිසන්… තිබ්බනම් එක එකාගේ වාහන වල යනවයෑ… කාර් එකක් ගන්නවනේ… කියලා කියන්න ගිහින් කට පියා ගත්තා. අපි සද්ද නැතුව ඉන්නවා දැකලා… මිනිහා අ‍ායේ කියනවා…

මල්ලී.. මේක නම් ලේසි පහසු සීන් එකක් නෙමේ… රුපියල් 5000ක විතර දඩයක් වදින වැඩක්… මොකද කරන්නේ ඉතිං…

ඔන්න කලුවා කියනවා… අනේ සර් එහෙම කරන්න එපා. අපි තාම පර්මනන්ට් වෙලත් නෑ… මේකත් මේ යාලුවෙක්ගේ වීල් එකක්. අදට සමාව දෙන්න සර්… කියලා.

එහෙම බෑනේ මල්ලී… ඊට පස්සේ අඟුලානෙන් ඇල්ලුවොත්, අපිටනේ නඩුව වැටෙන්නේ… අපි චෙක් කරේ නෑ කියලා… ඒක නිසා ඉතිං මොනාහරි කරන්න වෙනවා.

කලුවා අහනවා… මොනාද සර් කරන්න පුළුවන්…

දඩයක් ලියන්න තමා වෙන්නේ… නැත්තං නඩු…

එහෙම කරන්න එපා සර්. අදට සමාව දෙන්න… ආයෙමත් කලුවා නාහෙන් අඩනවා.

පස්සේ එක පාරටම පොලිස් කාරයා කියනවා… අපි තාම උදේට තේ බීලත් නෑ මල්ලී… කියලා…

දැන් නම් ඉතිං මේ වේ*ගේ පුතා එන පොට හොඳ නෑ… අපි‍ට කීයක් හරි පුදන්නම වෙනවා කියලා හිතින් බැන බැන… ඉද්දී… හා එහෙනම් ඔයාලා වීල් එකට යන්න… මං මෙයාව එවන්නම් කියපි.

අපිත් ඉතිං වීල් එකට ගියා. පස්සේ මෙන්න එනවා ගම් බට්ටෙක්… ඌ කලුවාගේ ටෙම්පරි කොලේ දීලා… අත දික් කරගෙන ඉන්නවා. කලුවා කරපු දේ දෙන්න හිටිය රුපියල් 200නුත් 100ක් අරගෙන සාක්කුවේ ඔබාගෙන ඉතුරු සීය ගුලි කරලා දීලා ආපු එක.

අම්මපා අපිව අඟුලානේ චෙක් පොයින්ට් එකෙන් ඇල්ලුවනම් අපි ඇත්ත කතාව කියන්න හිටියේ… මොකද පොලිස් කාරයාගේ හඳුනාගැනීමේ නොම්මරෙත් අපි මතක තියන් හිටියේ… උගේ වෙලාවට පොලිසියෙන් ඇල්ලුවේ නෑ… ඇල්ලුවා කියලා ඉතිං වැඩකුත් නැතිවෙයි. ඌත් ටිකක් ලොකු ගානක් මිට මෙලෙව්වුම ඒ කේස් එක ඩිස් මිස්ඩ්….

ඇත්තටම මේ බ්ලොග් අවකාශේ හැම ජාතියෙම රැකියා කරන අය ඉන්නවා. ඒත් ඔය අපරාධ විමර්ෂන අංශයේ, අල්ලස් හා දූෂන වලකන ඒකකයේ කෙනෙක් නැති එක නම් හරි අඩුවක්. එහෙම හිටියනම් අපිට පුළුවන් තරමින් ඔය ජරා වැඩ නවත්තන්න උදව් වෙන්න තිබුනා.

%d bloggers like this: