අවුරුද්දයි… නත්තලයි… එකතු වුනාම…?


මේක නම් හෙන සතුටු හිතෙන කතාවක්. මං කාලෙක ඉඳන් දැක්ක ලස්සනම හීනයක්. හැබැයි කවදාවත් හැබෑ වෙන එකක් නම් නෑ… ඒත් මං ඒ හීනෙට හරි කැමතියි. මේකයි හීනේ… ගෝල්ඩ් fish චූටි කාලේ ඉක්කෝලේ යන දවස් වල ඉඳන්ම ආසයි කල්චර් එක මික්ස් කරගන්න. ඒ කියන්නේ සංස්කෘතිය අජපල් කරගන්න. ඒ තේරෙන්නෙත් නැත්තං… වෙන ආගමක කෙල්ලෙක්ව කසාද බඳින්න.

මට ඔය අදහස මුලින්ම ආවේ අර ෆාතිමා කියන ලස්සන බෝල ඇස් තියෙන කෙල්ල මට විභාගේ තියෙන දවස් වලට ඉස්කෝලේ, අපේ පන්තියේ දැලේ එල්ලිලා බලාගෙන ඉන්නවා දැකපු කාලේ… ඉතිං කොහොමහරි ඒ සීන් එක නැත්තට නැතුව ගියාට එදා ඇතිවෙච්ච සිතුවිල්ල නම් පන ඇද ඇද පපුව ඇතුලේ ති‍බුනා. තාමත් තියෙනවා.

මොකද එතකොට මට පුළුවන් එයාලට විතරක් විශේෂ වෙච්ච කෑම වර්ග කන්න. අර රාමසාන් උපවාස කාලෙට උපවාසේ අත්හරින වෙලාවට දෙන … කංජි කියලා හඳුන්වන කැඳ වර්ගය… (සමහරවිට කංජි කියන්නෙත් කැඳ කියන එකම වෙන් ඇති) ඒකේ රස… ඒ වගේ කැඳ මුට්ටියක් වුනත් බොන්න පුළුවන්. එතකොට එයාලගේ පූජනීය ස්ථාන නරඹන්න. ඒ වගේම එයාලගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න. ඒ විතරක් නෙමේනේ අපි නොදන්න මුස්ලිම් අයට විතරක් වෙන් වෙච්ච දේවල් කොයි තරම් තියෙනවද? ඉතිං මං ආසයි ඒවා ගැන දැනගන්න. හැබැයි අර තව සීන් එකක් තියෙනවා ඒකටනම් ආසම නෑ… වැඩිපුර නැහැනේ ඒක නිසා.

ඊට පස්සේ දෙමළ අය ගැන. දෙමළ අයගෙන් මං ආසම අර ගෑණූ ළමයි අත්වල අඳින මෙහෙන්දි ආර්ට් වලට. අම්මෝ ඒවයේ ලස්සන. නිකං ගොට්ටක් වගේ එකක් මිරිකලා අතේ අල්ලේ අඳින්නේ…. අන්න ඒක. ඒ වගේ ආර්ට් එකක්  කරන්න මනා පුහුණුවක් අත්‍යවශ්‍යයි. ඒ වගේම එයාලාගේ කෝවිල් වල තියෙන උත්සව වලට. කෝවිල් වලදී සද්දෙට බෙර ගහලා… ඇ‍‍ගේ කටු ගහලා… එක එක පූජාවන් කරන්නේ… ඒවටත් මට සහභාගී වෙන්න පුළුවන් දෙමළ කෙනෙක් බැඳගත්තොත්…  ඊට පස්සේ එයාලට වෙන් වෙච්ච කෑම වර්ග. තෝසේ, වඩේ… වගේ ඒවා… ඇයි යකඩෝ එයාලා අඳින තද පාට සාරී… රතුයි කොලයි වැඩි පුර මිශ්‍ර වෙච්චි ඒවා. ඒවා කොයි තරම් තද පාට වුනත් මට නම් හරිම චාම්… හරිම ලස්සනයි… ඊට පස්සේ ඊෂ්වර දෙවියෝ ගැන, විෂ්ණු දෙවියෝ ගැන කොයි තරම් කතා ඇත්ද ඒ ගොල්ල ගාව. මං ආසයි ඒවයින් එක දෙකක් වත් අහන්න. ඊට පස්සේ විවාහය දාට එයාලගේ ඇ‍දේ අතුරන රතුමල් පෙති… ඇයි.. ඇයි… අර දෙන්නා එක්ක ගිනි වලයක් වගේ එකක් වටේ යන හැටි… ඒවා කවදාවත් මට අත්විඳින්න ලැබෙන්නේ නැහැනේ… 😦

ඊට පස්සේ ක්‍රිස්තියානි අය. මේකනම් වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් ඉහලයි. වැරදිලාවත් වුනොත් එහෙම මට පුළුවන්… හැම ඉරිදාම පල්ලි ගිහින්, දේව මෙහෙයට සහභාගී වෙන්න… ඊට පස්සේ නත්තලට නත්තල සමරන්න. ඊට පස්සේ අර ක්‍රිස්මස් කේක් කියන රසම රස කේක් කන්න. එතනින් ගියාම… ක්‍රිස්තියානි ආගම ගැන ටිකක් ඉගෙන ගන්න. මං දැනට නම් දස පනත ගැන චුට්ටක් විතර දන්නවා. ඊට පස්සේ පල්ලියේ තියෙන විවාහ උත්සව වලට සහභාගී වෙන්න. ඒ වගේ ගොඩක් දේවල් මට කිතුදහම හා එයාලගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න පුළුවන්….

ඒ ඔක්කොමත් එක්කම, වෙන ආගමක කෙනෙක්ව හැම පෝයටම පන්සල් එක්කං ගිහින් පන්සලේ කෙරෙනවතාවත් වලට සහභාගී කරවගන්න. එතකොට එයා අහන ප්‍රශ්න වලට මං දන්න තරමින් උත්තර දෙන්න. ඊට පස්සේ මං දන්න කියන ජාතක කතා… ඊට පස්සේ අපේ සංස්කෘතිය ගැන, ඉතිහාසය ගැන කියලා දෙන්න වගේ ගොඩක් දේවල් මට කරන්න පුළුවන්. ඒ වගේම සිහල අළුත් අවුරුද්දට අපි කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියලා දෙන්න…අපේ කෑම ගැන රස කර කර කියන්න… අම්මෝ තව කොච්චරක් නම් තියෙනවද?


ඒත් ඒ හැම දේකටම තාමත් ලාවට වගේ වැඩිහිටියෝ සතු හනමිටි අදහස් වල අඳුරු සෙවනැල්ල වැටිලා. ඔය ගෝල්ඩ් fish උඩින් දාලා තියෙන්නේ එක එක ජාතීන්ගේ වැඩියෙන්ම හිත ගිය තැන් විතරයි. තවත් ඕනෙ තරම් තියෙනවා මං ගොඩක් ආසාවෙන් ඉන්න. ඒත් ඉතිං මට මේ එක ආගමකට කොටු වෙලා ඒවා අත්විදීන්න බැහැනේ. බැයිද දන්නේ නෑ… සර්ව ආගමික විදියට ආගම වෙනස් කරගන්න. මං ඔය මොකක් හරි වෙන ආගමක කෙල්ලෙකුට ලාවට වගේ කැමති… මම දන්න බුද්ධාගම ඇරෙන්න තව එක ආගමක්වත් පුළුවන් තරම් දුරකට දැන කියා ගන්න පුළුවන් නිසා. ඒත් ඒක මේ කපේදී වෙන එකක් නම් නෙමේ…

ඉතිං ඔය කොයි ආගමේත් අය බ්ලොග් ලියන එකේ කාටහරි පුළුවන්නම් අපි වගේ උන තියෙන එවුන්ට තම තමන්ගේ ආගම ගැන කියලා දෙන්න… මං දන්න, අදහන ආගමේ හැටියටනම් ලොකු පිනක් සිද්ධවෙනවා.
අනිත් එක නිකමට හිතලා බලන්න… ක්‍රිස්තියානි කෙනෙකුයි බෞද්ධ කෙනෙකුයි විවාහ වුනොත්… ඒ දෙන්නට හැමදාම ඉරිදාට පල්ලියන්න පුළුවන්, ඊට පස්සේ දෙන්නටම නත්තල් තියෙනවා… දෙන්නටම අවුරුදු තියෙනවා… දෙන්නටම එකට පන්සල් ගිහින් මල් පූජාකරන්න පුළුවන්… ඔය වගේ තව කොයිකරම් නම් දේවල් තියෙනවද… මං හිතන්නේ ඒ වගේ වෙන ආගමකින් විවාහයක් කරගන්න පුළුවන් වුනොත් අපි නොදන්න ගොඩක් දේවල් ගොඩක් සතුටින් අපිට විඳින්න පුළුවන්. හැබැයි… කවදාකවත් ඒ විවාහයේදී එක් කෙනෙක් වත් තමන් අදහන ආගම අතහැරලා අනිත් අනිත් ආගමට නොයනවනම් විතරයි ඒ වගේ ලස්සන තෘප්තිමත් අත්දැකීම් විඳින්න පුළුවන් වෙන්නේ…

මට නම් කොහොමත් ඒ අත්දැකීම විඳින්න හම්බුවෙන්නේ නෑ කියලා ෂුවර්. ඒත් ඉතිං තාමත් සහකාරයෙක් / සහකාරියක් නැති අය ඉන්නවනම් මේ පිළිබඳ ටිකක් හිතලා බලලා… හිත යොමු කරාට වරදක් නැති වෙයි කියලයි මට නම් හිතෙන්නේ… අනේ මන්දා… මේක ඉතිං මගේ පෞද්ගලික අදහස විතරයි ඕං. කාට හරි පුළුවන් කමක් තියේනම් අපි වගේ බෞද්ධයන්වත් තම තමන්ගේ උත්සව අවස්ථා වලටවත් සහභාගී කරගන්න ඒක ඇත්තටම ලොකු පිනක් මං හිතන්නේ. මොකද මං නම් පුළුවන් හැම වෙලාවෙම අනිත් ඒ ‍වගේ උත්සව වලට සහභාගී වෙනවා. මගේ මුස්ලිම් යාළවෙක් එක්ක මං දවස් දෙක තුනක්ම, එයාලා රාමසාන් උපවාසය ඉවර කරන මොහොත ගෙවල දාලා තියෙනවා. ඒත් අවාසනාවට මුස්ලිම් විවාහ උත්සවයක් මට මග හැරුනා. ඊට පස්සේ‍‍‍…ක්‍රිස්තියානි පල්ලියටත් දෙතුන් ගමනක් ගිහින් තියෙනවා. විවාහ උත්සව වලටත් සහභාගී වෙලා තියෙනවා. ඒත් තාම කෝවිලක උත්සවේකටනම් යන්න වෙලා නෑ… කොටින්ම කෝවිලක් ටීවී එකේ දැක්කට හැබැහින් ගිහිල්ලා ඇතුලේ තියෙන්නේ මොනවද කියලවත් දැකලා නෑ…

ඉතිං මට තාම හිතාගන්න බෑ…. ඒ විදියට අවුරුද්දයි, නත්තලයි එකතු වුනාම කොයි තරම් ලස්සන ලෝකයක් මැවෙයිද කියලා…

පොඩි ප්‍රශ්නයක් නැගෙනවා ඒ වගේ වෙලාවට… ඒ තමයි උපදින දරුවන් මොන ආගමේද කියන එක. ඒකටනම් මටත් හරියට උත්තරයක් දැනට නම් නෑ… සමහරු කියනවා තාත්තගේ ආගමේ වෙන්න ඕනේ කියලා. ඒත් මට හිතනේනේ උප්පැන්නෙට මොන ආගම දැම්මත් ළමයිනුත් ආගම් දෙක තුනක් ඉගනෙ ගත්තාට වැරැද්දක් නෑ කියලයි. සමහර විට මං වැරදි ඇති. ඒත් ඉතිං මේ ගෝල්ඩ් fish හිතන ස්ටයිල් එකනේ…


%d bloggers like this: