මෙයා තමා රී ‍ලෝඩ් එක දැම්මේ… මගේ යශෝධරා වත 13



අදත් ලාවට වගේ අහස කළුකර ගෙන එන්නේ… මං කුමාරයට යශෝදරාව බැහැදකින්න යන්න වෙන්නේ නැති ගානයි…. එහෙම හිතලා මං කුමාරයා ආපහු කාමරේට යද්දිම මෙන්න අව් රැල්ලක් වැටුනා මූනට. ආහ්… ඔය ඉර දෙයියෝ කියන්නේ… යන්න යන්න… අන්න යශෝධරාව මග බලන් ඉන්නවා කියලා. ඉතිං එහෙමත් කියද්දී නොගිහින් බැහැනේ.

ඒක නිසා ඉතිං කන්ථකවත් පැදගෙන රූං ගාලා ගියා යශෝධරාවගේ මාලිගයට. යද්දී යශෝධරාව බරටම වැඩ. මාරි බිස්කට් පැකට් එකක් වළඳනවා හිටු කියලා. මං කුමාරයා ගිය ගමන් ඉතිං මටත් එකක් හම්බුවෙනවා. එකක් කිව්වට සමහර වෙලාවට පැකට් එකක්ම… හැබැයි අද නම් යශෝධරාව අමුතුයි. කතාවක් බහක් නැහැ… සද්ද නැතුව ටීවී බලනවා. මං කුමාරයත් ඉතිං ඔහේ බලං ඉන්නවා. එක පාරටම දොර රෙද්ද එහාට කරගෙන මෙන්න එනවා නඩුකාර උත්තමිය හෙවත් යශෝධරාවගේ මව්තුමිය.

දැන්ද ආවේ…..

නෑ… මං මේ ඊයේ හවස ආපු ගමන්…. කියලා මං කුමාරයා කිව්ව ගමන් නිකං වෙඩිල්ලක් පත්තු වෙනවා වගේ සද්දයක් ඇහුනා. ඉස්සරහ බලද්දී, මව්තුමිය බිස්කට් ස්ප්‍රේ එකක් නාලා. මං කියපු කතාවට යශෝධරාවට හිනා ගිහින්… එයාගේ මව්තුමියට බිස්කට් තීන්ත පාරක් ගාලා. නඩුව නිතර‍ඟෙන්ම වැටෙන්නේ මගේ අකවුන්ට් එකට නිසා… කරබාගෙන වැරැද්ද පිළිගත්තා.

වැරැද්ද තමා‍‍‍… චූටි බබෙක්ව ආහාර ගනිද්දී හිනා ගැස්සවීම. හෙන භයානක වැරැද්දක්.

පස්සේ යශෝධරාව කියනවා තාත්තේ මෙන්න අම්මා බිස්කට් නාලා… කියලා… ඈ… මල කෙලියයි. අද නම් අහස කළුකරල තියෙද්දිම මං කුමාරයට හිතුනා මොකක් හරි වෙනසක් තමා කියලා. ඔය කෙලවෙලා තියෙන්නේ ඉතිං. අද පියතුමා ගෙදර. අවුලක් නෑ මං කුමාරයාගේ ෆිට් එකනේ.

ඔන්න ඊට පස්සේ සිරියහන් ගැබේ ඉඳන් එනවා පියතුමාත්. ඒ වෙනකොට මව්තුමිය ගිහින් සිරියහන් ගැබට.

මේ… ඔය ෆෝන් එකේ සල්ලි නැද්ද බං?

පියතුමාගෙන් ප්‍රශ්නය මං කුමාරයට. හික්ස්… මගුලක් කතාකරනවා රුපියල් 3ක් විතර ඇති කියලා කියන්න ගිහින්….

නෑ දැන් යන ගමන් රී ලෝඩ් එකක් දාගෙන යන්න ඕනේ… කිව්වා. හා එහෙනම් මිස් ගෙන් සල්ලි ඉල්ලගෙන මේකටත් 50ක් දාගෙන යන්න.

පිය තුමාට මොකක් හරි ලොකු හදිස්සියක් කෝල් එකක් ගන්න. ෆෝන්එක අතේ තියාගෙන මාලිගයේ එහටෙ යනවා මෙහාට යනවා. ඒ අස්සේ යශෝධරාව සැටියට වෙලා පියතුමා දිහාට ඇඟිල්ල දික්කර කර හිනාවකුත් කටේ පුරෝගෙන මොනාද මන්ද කියනවා.

හයියෙන් කියන්න…

කිව්ව ගමන්, යශෝධරාව අනිත් පැත්ත හැරුනා. මම නිකං බයිට් වුනා තනියම කතා කරනවා කියලා. පස්සේ පියතුමාත් කාමරේකට ගියා. පස්සේ ය‍ශෝධරාව දුවගෙන ඇවිත් කියනවා… මෝඩ අලියෝ… රී ලෝඩ් දැම්මම එනව වගේ මැසේජ් එකක් තාත්තගේ ‍ෆෝන් එකට යවන්න… කියලා. අම්මද බොල මොලේ තමා මොලේ… පියතුමාව රවට්ටන්න හදන්නේ… ඔය වගේ වෙලාවට මේ මං කුමාරයා කවදාවත් බෑ කියනවාද?

ඉතිං ගත්තා මගේ ෆෝන් එක … You have recharged Rs. 50 … bla bla bla කියලා තිබුන මැසේජ් එකක්ම යශෝධරාවගේ පියතුමාගේ ෆෝන් එකට ෆෝවර්ඩ් කරා. මෙන්න බොල මූන නිකං ටැට්ටරේට අහුවෙච්ච හිවලෙක් වගේ උන්න පියතුමා බොහෝම සන්තෝසෙන් සාලෙට එනව‍ා.

ඒ… කව්ද මන්දා මට රිලෝඩ් එකක් දාලා… දැන් අර යකාට කෝල් එක දුන්නැකි… කියාගෙන…

යශෝධරාව කට වහගෙන හිනා වෙනවා. මාත් පත්තරේ දිහාට ඔළුව ඔබාගෙන කියවනවා.
කියවනවා කිව්වට හිනාවෙනවා. මොකද ඊළඟට වෙන දේ අන්තිම ජොලි නිසා. කෝල් එක ගද්දී …. මෙම ඇමතුම ලබාගැනීමට ප්‍රමානවත් තරම් මුදල් ඔබේ ගිණුමේ නොමැත … කියද්දී පියතුමාට දැනෙන සනීපේ ගැන මතක් වෙද්දී යශෝධරාවටයි මටයි හිනාව නවත්තගෙන ඉන්න බෑ. පස්සේ කොහොමහරි පියතුමා නොම්මරේ එහෙම හොයාගෙන ඔන්න ඩයල් කරනවා… අයියෝ…. මට නම් හිනාව නවත්ත ගන්න බැරියෝ…. ඔන්න ලාවට එහෙනවා කව්දෝ මන්දා අක්කා කෙනෙක්… අර කලින් කියපු පණවිඩේ කියනවා. දැන් ඉතිං මං කුමාරයත් පත්තරේ පැත්තක දාලා කරගන්නම දෙයක් නැති පාර පැන්න මාලිගයෙන් එළියට. එළියට ගිහිං වතුර ටිකකුත් බීලා මූනත් තෙමා ගෙන ආපු ගමන්… යශෝධරාව කියනවා… හිනාවෙවී….

මෙයා තමා රී ‍ලෝඩ් එක දැම්මේ… කියලා

පියතුමා‍, මං කුමාරයා එයාගේ පුතෙක් වුනා නම් එහෙම, මාව කම්බස් කරලා… ඊට පස්සේ පොරත් හිනා වෙවී ගියා කාමරේට.

ඔන්න ආයෙමත් මවුතුමිය… බොහොම අපූරුයි… අයියයි… නංගියි….. අම්මෝ ඒක කියද්දී මූනේ තිබ්බ සැර පාට. යශෝධරාවත් සද්ද නෑ … ඒ නිසාම ඉතිං මං කුමායත් සද්ද නෑ…. පස්සේ මව්තුමිය යශෝධරාව ගාවට ගියාම ඉතිං සුපුරුදු පරිදි… මවුතුමියගේ ඉන වටේ අතක් දාගන්නවා…

මගේ සුදු අම්මනේ…. කේන්ති ගන්න එපා වයසට යයි… කියලා බටර් පාරකුත් ගාලා හුරතල් වෙනවා. ඔන්න ඊට පස්සේ තමා නඩුවේ හරිම තීන්දුව හම්බුනේ… යශෝධරාවගේ කන මිරිකලා… ඔයා නේද අයියට කිව්වේ එස් එම් එස් එක යවන්න කියලා….

හුරේ….ප්‍රීති…ප්‍රීති…ප්‍රීතී…. අද නඩුව මං කුමාරයා දිනුම්… හරස් ප්‍රශ්න නෑ… නිදහසට කරනු නෑ… මේ වගේ දවසක් එන්නේ තව කල්ප කාලාන්තරේකින් කියලා මං කුමාරයා දන්න නිසා… තව පෝර ටිකක් දැම්මේ නැත්තං නඩුවේ කිසි ගතියක් නෑ…

ඔව් ඔව්… මං බැහැම කියද්දී මෙයා තමා මගේ ෆෝන් එක අරං මැසේජ් එක ෆෝවර්ඩ් කලේ… වැඩිහිටියන්ට සලකන හැටිනේ ඔය…

ඕන්න…. ඕන්න…. තව සුළු මොහොතකින් මං කුමාරයා ආසම මොහොත උදාවෙනවා…. තව චුට්ටකින් යශෝධරාවගේ රත්තරං පාට මුහුන රෝස පාට වෙනවා… කම්මුල් දෙක රතු වෙනවා….. ඒක මාර ඉෆෙක්ට් එක. අනේ මන්දා එක පාරට කොහොම වෙනවද කියලා…

හරී… සුභ මොහොත ආවා… ඔය තියෙන්නේ යස අගේට… හරියට නිකං පිනි ජංබු ගෙඩියක් වගේ වෙලා මූන. දැන් ඉතිං අම්මගේ ඇ‍ඟේ එල්ලිලා යශෝධරාව මං කුමාරයට රවනවා. ඒක තමා අනිත් ‍ජොලිම වැඩේ. යශෝධරාව මට තරහෙන් රවද්දී මං කුමාරයට හිනා යනවා. ඉතිං යශෝධරාව තවත් රතු වෙලා අන්තිමේ සිරියහන් ගැබට දුවගෙන ගිහින් කොට්ටයක් අරං මූන ඒකේ ඔබාගෙන තමා නතර වෙන්නේ…

පස්සේ ඉතිං ආයේ තව චුට්ටකින්…. ආයෙත් යශෝධරාව ඇවිල්ලා තව පාරක් රවනවා. ඊට පස්සේ මං කුමාරයා හිනා වුනාම… හොඳට කට ඇරලා හිනාවෙලා ආයේ සැටියේ… ඊට පස්සේ… මේ… ඔයා අහලා තියෙනවද / ඔයා බලලා තියෙවද / ඔයා දන්නවද …. වගේ වාක්‍යකින් පටන් අරං මං කුමාරයා මාලිගයෙන් පිටවෙනකම්ම… ඒ ලස්සන කිචි බිචියේ කෙරවලක් හොයන්න නම් බෑ…

%d bloggers like this: