මගේ නමේ අයිතිකාරයා, අපේ අම්මා නෙමෙයි කියන්නේ…



මේක නම් ඉතිං ලේටස්ට්ම නිවුස් එකක්. ඒ වුනාට ටිකක් නිවිලා. මොකද අපේ අම්මා මේ සීන් එක මට කලිං කියලා තියෙන නිසා. ගෝල්ඩ් fish කියන නමේ අයිති කාරයා ගැන කට්ටිය දන්නවනේ… මේ කියන්නේ ඒ නම ගැන නෙමෙයි, මගේ ඇත්ත නම් ගැන.

 

ඉතිං මේකයි සීන් එක. ගෝල්ඩ් fish අළුත් ගෙදරට ගියානේ. ඉතිං අම්මාගේ යාළුවොයි, තාත්තගේ යාළුවොයි… නෑදෑයොයි… ඔක්කොමල ආවා. ජුංඩං පාටියකුත් තිබ්බා. ඉතිං ආපු වෙලේ ඉඳං අර නැන්දලාගෙයි මාමලගෙයි වැඩේම අපේ අම්මගේ කොලු පැටව් දෙන්නව ලඟට කොරගෙන ඔලුගෙඩි දෙක අතගගා විස්තර අහන එක. මං නම් ඉතිං යන්නං උත්තරයක් දීලා මාරු වෙන්න තමා ට්‍රයි එක. ඊට පස්සේ අහුවෙන්නේ මල්ලිව.

 

කොහොම කොහොම හරි, අම්මගේ හොඳම යාළුවෙක් වෙන, මගේ හොඳම හොඳ ෆිටු එකක් වෙන දේවිකා නැන්දා ආවා එයාගේ මාස තුනක චූටි දූ පැට්ටාවත් අරගෙන. අපේ ඒකිගේතියෙන හුරතලේ. මං අතට නම් ගත්තේ නෑ, තාම මාස තුනක් නිසා. ඊට පස්සේ ඉතිං දවල් කෑම වෙලාව ආවම ඔන්න කට්ටිය කන්න ගත්තා. මටත්ඉතිං නිකං ඉන්න බැහැනේ…. ඒකනිසා, ගේ කට අළුතෙන් යද්දී අරං යන පලතුරු තියෙනවනේ… ඒ ටික කෑලි කරලා… හැදුවා සිරා සැලඩ් එකක්. ඒක හද හද ඉන්න ගමන් මෙන්න එනව‍ා දේවිකා නැන්දගේ අක්කලා තුන්දෙනා. එක්කෙනෙක් ආපු ගමන් අම්මගෙන් ඇහුවා, ම‍ාව පෙන්නලා මෙයාද ලොකු පුතා කියලා.

 

දැන් මාත් හිතනවා… ඔව් ඔව්… මෙයා තමා ලොක්කා කියලා… අපේ අම්මා මාව පෙන්නයි කියලා. ඒත් වුනේ වෙන දෙයක්නේ… අපේ අම්මා කිව්වේ නැතෑ … නෑ මේ අපි කුලියට අරගෙන ආපු ළමයෙක් කියලා. අනිච්චේ දුක්කේ… මටත් වෙන වැඩ. පස්සේ දේවිකා නැන්දා… බොරු අක්කේ මේ තමා .. ලොක්කා… අපිනේ මෙයාට නම දැම්මේ කියලා…

 

ඊට පස්සේ දේවිකා නැන්දගේ අක්කා අහනවා ඔයාද ප්‍රසන්න කියන්නේ කියලා. මාත් ඉතිං කරන වැඩේ රකන ගමන්ම ඔලුව උස්සන්නෙම නැතුව .. හ්ම්.. කිව්වා.. දේවිකා නැන්දා ආපි ලඟට, මුගේ තියෙන ගනන් කියලා කටේ එබුවා අන්නාසි කෑල්ලක්. ඇයි දෙයියනේ ඔහොම වෙන බවක් දන්නවනම් මං එකෙක් එක්කවත් කතාකරන්නේ නෑ… එතකො‍ට කෙසෙල් ගෙඩි, මිදි, අඹ, ඇපල් …ආදී දේ යන්නේ මගේ බඩටනේ… කොහොමද හැම කෙ‍නාම ඇවිත් අපෝ මුගේ තියෙන ගනන් කියලා පලතුරු කෑල්ල කෑල්ල කවලා යද්දී….!

 

ඊට පස්සේ තමා මගේ නමේ කතාව ඇදුනේ. අපේ අම්මට මාව හම්බුවෙන්න ඉප්පිරිතාලෙට ගෙනියද්දී දේවිකා නැන්දා ඇහුවලු මොන අකුරු වලින්ද නම දාන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ අම්මා අකුරු ටික දුන්නම. කිට්ටිය නම් ලැස්තුවක් ලියාගෙන ඉඳලා ගෑණු ළමයෙක්ටයි, පිරිමි ළමයෙක්ටයි. ‍ඒ දවස් වල ඉතිං ස්කෑන් කරලා බලන්න පුළුවන් තාක්ෂණයක් තිබුනේ නෑනේ… ඊට පස්සේ අපේ අම්මට කොලු පැටියෙක් හම්බුනා කියලා දැනගත්තම දේවිකා නැන්ද කිව්වලු ප්‍රසන්න කියලා දාමු කියලා. පස්සේ මාව හම්බුවෙලා අරගෙන එද්දීම නමත් දාලා උප්පැන්නෙත් අගෙනමයි ඇවිත් තියෙන්නේ. හැබැයි ඒ දවස්වල මොබයිල් අනං මනං නැති නිසා…. සන්නිවේදනය බොහොම පහත් අඩියක තමා තිබිලා තියෙන්නේ. ඒක නිසා දේවිකා නැන්දලා හිතං හිටිය නම අපේ අම්මා දන්නේ නෑ… පස්සේ අපේ අම්මයි තාත්තයි හිතලා හිතලා මට නම දාලා ප්‍රසන්න කියලා. පස්සේ දේවිකා නැන්දා ආපු ගමන්ම කිව්වලු අක්කේ මේකට ප්‍රසන්න කියලා නම දාමු කියලා. අපේ තාත්තා මාරුවෙන් මාරුවට අපේ අම්‍මගෙයි, දේවිතා නැන්දගෙයි මූන බලනවලු… නිකං පුදුමවෙලා වගේ… පස්සේ අපේ අම්මා කිව්වලු ඒ නම තමා දැම්මේ කියලා… කොහොමද වැඩේ… ටෙලිපති තමා ඉතිං. ඇත්තටම ඒක හරි අපූරු සිදුවීමක්. දැන් බලාගෙන යද්දී මට නම දාලා තියෙන්නේ දේවිකා නැන්දයි, එයාගේ අක්කයි.

 

ඊට පස්සේ ඔන්න ඉතිං චූටි කෙල්ලව නිදි කෙරෙව්වා. එක කොල්ලෙක් ඒ පොඩි එකා ඉන්න කාමරේට නිතරම යනව එනවලු, මේකිව වඩා ගන්න තියෙන ආසාවට. බැහැනේ ඉතිං, තාම මාස තුනයිනේ… ඒක නිසා ආයෙමත් හැරිලා එනවලු. පස්සේ කොල්ලට දුක හිතිලා, අළුත් කොට්ට දෙකක්අරං ගිහින් කෙලි පැට්ටගේ දෙපැත්තෙන් තියලා ආවලු පැදුරෙන් බිමට වැටෙයි කියලා…

 

ඔන්න ඊට පස්සේ තමා ගෝල්ඩ් fish ට වසරේ දැවැන්තම ආරාධනය හම්බුනේ. ඒකත් දේවිකා නැන්දගෙන්… පුතේ  සතියක් විතර නිවාඩු දාලා අපේ ගෙදර එන්න. මායි කොලු පැටිවු දෙන්නයි, කෙල්ලයි, මහත්තයයිනේ ඉන්නේ…. සතියක් විතර ඉඳලා වෙරලු, උක්, මාදං, හිඹුටු, මොර, ඇඹිල්ල, ලොවි, නෙල්ලා… කකා ජොලියේ ඉන්න පුළුවන්… කියලා කිව්වා. ඔය ගෝල්ඩ් fish කියලා තියෙන්නේ දේවිකා නැන්දා කියපු පලතුරු වලින් බොහොම ටිකයි. මතක් කර කර හෙන ලිස්ට් එකක් කිව්වා. ඉතිං ඒ වගේ වටිනා කියන ආරාධනයක් අහක දාන්නේ මොන හිතින්ද? ඒක නිසා හෙන සතුටෙන් පිලිගත්තා. සතියක් බැරි වුනත් ‍දවස් දෙක තුනක් හරි ඉන්න යනවමයි. දේවිකා නැන්දා ඉන්නේත් අපේ අළුත් ගෙදර ඉඳන් කිලෝ මීටර් 50ක් විතර දුරින්. වැඩි ඇතකු්ත් නෙමේනේ… කට්ටියට මතකද අර අමිත් කියලා මගේ යාළුවෙක් උගේ ක්‍රෂ් එක බලන්න ගිහින් ඉරිවේරිය වෙනුවට නිකවැරටිය ගියලා බෙහෙතක් ඉල්ලුවේ. ඉතිං දේවිකා නැන්දලා ඉන්නේ නිකවැරටියේ තමා.

 

ඉතිං කොහොම හරි මගේ නම දාලා තියෙන්නේ දේවිකා නැන්දා…

 

*ගනන් ගන්න එපා මේක ලිව්වේ අමු කම්මැලි කමේ. සමහරවිට මෙලෝ රහක් නැතුව ඇති. අනිත් ඒවත් එහෙම්ම තමා… මේක ඊටත් හපන් ඇති…

%d bloggers like this: