මාමේ නිකවැරටිය තියෙනවද?



මේක නම් ගෝල්ඩ් fish ගේ යාළුවෙක්ට ඇත්තටම වෙච්ච දෙයක්. උගේ පූරුවේ කරුමෙකට තමා අනිවාර්යෙන් මේක වෙන්න ඇත්තේ… මේකයි කතාව.

යාළුවගේ නම අමිත්. අපි ඌට කියන්නේ මයිනා කියලා. හේතුව තමා උගේ කොන්ඩේ පිටිපස්සෙන් තියලා තියෙන මුඩේ. ඇත්තටම ඌට මයිනා කිව්වට වැඩිය ගැලපෙන්නේ අවිච්චයා, දෙමලිච්චා වගේ නමක් තමා. කොහොම හරි ඉතිං මූත් ගෝල්ඩ් fish ගේ වයසේ‍. අමිත් ස්කෝලේ ගියේ ගමේ පාසලට. ඉතිං ඒ ස්කෝලේට පිට නගර වලින් ළමයි එන්නේ නැහැනේ… ඉන්නේ ඔක්කොම ගමේම ඉන්න කෙල්ලෝ කොල්ලෝ බට්ටෝ බට්ටියෝ තමා.

ඔන්න ඔහෝම කාලයක් යස අගේම මූ අධ්‍යාපනේ කොරගෙන යනකොට මූට හැදුනා අනිත් උන්ට වගේම ලෙඩක්. ගෝල්ඩ් fishට නම් ඕක හැදුනේ ස්කෝලේ එක වසරට ගිය ගමන්ම වගේනේ… ඒ වුනාට අමිත්ට හැදු‍නේ හත වසරේදී විතර. දන්න‍වනේ ඉතිං ලෙඩේ මොකද්ද කියලා… කාටත් දරුනුවටම හැදෙන සික් එක…ලව් සික් එක තමා…

ඉතිං මූ කලුකුමාරයා වගේ හැමදාමත් බැල්ම දාන්න ගත්තේ ගමේ ඉන්න අහිංසක කැඩුම් බිඳුම් වෙද කම් කරන සිංහල වෙදෙකුගේ දූ පොඩ්ඩකට‍. ඒ ළමයා අපිට වැඩිය අවුරුද්දක් විතර බාල ඇති‍. කියන්න තරම් ලස්සනකුත් නෑ. අනේ මන්දා අපේ අමියාට, ඒ කෙල්ලගේ අහවල් එකට හිත ගියාද කියලා… ඉතිං ඔහොම ටික දවසක් යද්දී ස්කෝලේ ස්පෝට් මීට් එහෙම තියෙන කාලේ ආ‍වා… අමියාට දැන් රජ මගුල්. ඌ හිතං ඉන්නේ ස්පෝට් මීට් කියන්නේ ඌටම වෙන් කරලා දුන්න කාලයක් කියලා, උගේ අර හි‍තේ දැවෙන ප්‍රශ්නෙට සිසිලසක් ලබාගන්න. පස්සේ ඉතිං මූට කෙල්ලගෙන් ගිහින් කෙලින්ම අහන්න බෑ කිව්වම…

එහෙනම් හු** ඇදේට ගිහින් අහපං කියපු එවුනුත් හිටියලු.

දන්නවනේ ඉතිං ඒ ඇයි කියලා. වැල ගහේ ගෙඩියක් ඉදුනම කපුටෝ කී දෙනෙක් නම් එතෙන්ට වහනවද නේද? ඉතිං ඒ කෙලියම අමිත්ටත් වුනා. කොහොම හරි රංඩු කරලා ගහමරාගෙන අමිත්ට ඒ කෙල්ලව භාර දීලා වෙන අතක් බලාගන්න අනිත් කපුටෝ ටික… නෑ … නෑ … වැරදුනා අනිත් කොල්ලෝ ටික එකඟ වුනා.

පස්සේ ඉතිං අමිත් ඒ ළමයාගෙන් ඇදේට අහන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී, ස්කෝලේ නිවාඩු දුන්නනේ. ඉතිං අපේ අමියා වැලපෙනවා අපිව දැක්ක තැන උගේ දුක කියලා. හරියට වැලහින්න මැරිච්චා වලහා වගේ. ඊට  පස්සේ ඉතිං මක්ක ‍කොරන්නැයි. අපි කිව්වා…

ඒ .. අමිත් උඹ ඒකිගේ ගෙවල් පැත්තේ ගිහින් වරෙං බං….

මම කොහොමද බං එහේ යන්නේ… ඒකි මට කැමතිත් නෑ වගේනේ බං…

පවු අප්පා කොල්ලා… සික් එක හොදටම වැඩිවෙලා… වෙනදට වචනයක් ඇර වචනයක් කුණුහරුප කියන කට අද නිකං සිල් අරං වගේ. ඔහොම යාළුවෙක් නාහෙං අඩද්දී බලං ඉන්න සිරිතක් අපිට නෑනේ. ඉතිං අදහස් ගැට ගහලා අපි කට්ටිය කිව්වා.. මේ.. ගිහින් උඹේ වෙද මාමාගෙන් බෙහෙතක් අහමු කියලා.

ඒක ටිකක් ඇත්තටම වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන සීන් එකක්නේ. ඉතිං ඒක නිසා අමියත් ඒ යෝජනාවට කැමති වුනා. දැන් ආයෙමත් ප්‍රශ්නයක්. දැන් ඉතිං වෙදාගෙන් ඉල්ලන බෙහෙතක් ගැන හිතනවා. එකෙක් කියනවා කස්තුරි ඉල්ලමු කියලා. අනේ උගේ මොලේ… වෙදාට ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් මිසක්… මුව නෑම්බියෝ දෙන්නෙක් නෙමේනේ… ඊට පස්සේ තව එකකේ මොකද්දෝ මන්දා මහා ගාමභීර නමක් කිව්වා. ඊට කලින් අහල තිබුනෙත් නෑ… ඒක නිසා දැන් මතකත් නෑ.

ඔන්න ඊට පස්සේ ආවා ජයග්‍රාහී පිළිතුර. ඉරිවේරිය… ගෝල්ඩ් fish වත් ඉරිවේරිය අද වෙනකම් ඇහැකට දැකලා නෑ. ඉතිං මොනවගේද කියන්න දන්නේ නම් නෑ… ඊට පස්සේ ඉතිං අමිතුත්…

හරි හරි මචං… මං අද හවස යන එක එක යනවා… අදින් පස්සේ උඹලට කරදරයක් නෑ.. කියලා හෙනට සාන්ත දාන්ත තීන්ත (කලු) කූඩුව වගේ ගමනට සෙට් වුනා. නාලා කරලා, ජෙල් ගාපු කොන්ඩෙට පොල්තෙල් ගාලා… නිකං ෂාරුක් සොයිසා වගේ. පස්සේ ඔන්න ආයෙමත් ඌට තනියම යන්න නිකං මොකද්ද මොකද්ද වගේ කියලා, අපේ තව යාළුවෙකුටත් කතා කලා ගමනට. අපිට ඉතිං මෝටර් සයිකල් එහෙම නෑනේ… දුකට සැපට දෙකටම පුටාර් තමා. ඉතිං අපේ තව යාලූවෙකුයි අමිතුයි ගිහිල්ලා ගෑනු ළමයාගේ ගෙදරට.

මෙන්න ගිය ගමන් ගෑනු ළමයාගේ තාත්තා එනවලු…

ආ … පුතාලා මොකද මේ පැත්තේ… කියාගෙන

නිකං වෙදාට ඉවෙන් වගේ තේරෙන්න ඇති මේ පුතාලා එන්න ඇත්තේ මක්කටෙයි කියලා. නැත්තං අර වගේ කෝචෝක් එකට කතාකරයිද?

ඉතිං අමියාට මේකට අප්සට් ගිහිං… කොහොම හරි අනිත් යාළුවට මග ඉන්න කියලා මූ ගිහිල්ලා වෙද මාමා ගාවට. දැන් අමිත් වෙද මාමා ඉස්සරහ ඉඳන් අර සයිකලේ ඉන්න යාළුවා දිහා බල බල බයෙන් වගේ වෙද මාමාගේ මූන බලනවලු. මොකක් හරි කේස් කියලා හිතුන වෙද මාමා, ඇහැව්වලු… මොකද පුතා බය වෙලා වගේ… මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා…

න්… නෑ… නෑ…. වෙදමාමේ… මේ බෙහෙතක් හොයන්න කියලා ආවේ….

ආ එහෙමද? මොකද්ද ළමයෝ බෙහෙත?

මාමේ නිකවැරටිය තියෙනවද?

ඈ… මොකද්ද?

නිකවැරටිය….

අනේ පුතේ… හොඳ පුතා වගේ බෙහෙත හරියට අහගෙන එන්නකෝ…

ඊට පස්සේ අමිත් බලනවලු ගෙදර උලුවස්ස දිහා… කෙල්ල ඉන්නවද කියලා. පස්සේ ආයේ වෙදා කියනවලු,  පුතේ දැන් ඉතිං ගෙදර ගිහින් වැඩිහිටියෙක්ගෙන් බෙහෙත මොකද්ද කියලා අහගෙන එන්නකෝ . කියලා…. ඉතිං තවත් අමියා එතෙන ඉඳලා නෑ… හිටියා නම් අහගන්න වෙන්නේ‍…

ඈ.. බොල නොසන්ඩාලයෝ, තෝ අපේ නිකවැරටිය හොයන්න නං ගේ දිහා බලන්නේ අහවල් එකටැයි බොල? කියලා තමා.

පස්සේ ඉතිං අමියට හරි අප්සට් වෙච්චි සීන් එකට. මූ ඇවිල්ලා අපි ඔක්කොම ඉන්න තැන ලැජ්ජාව පැත්තක තියලා උගේ මයිනා කාඩ් එක රිප්ලේස් කරගෙන ගහගත්තා නිකවැරටිය කියන කාඩ් එක. අනේ ඉතිං මොනා කරන්නද වෙද මාමත් කරන්නේ ඕනේ නැති වැඩනේ. ගෙදරට ආපු එකෙකුට අර වගේ කතාකලාම ඌ අප්සට් යන්නේ නැද්ද? ඊටත් හත වසරේ පොඩි එකෙකුට. වෙදෙක්ගේ ගෙදරකට කෙනෙක් යන්නේ බෙහෙතක් හොයාගන්න මිසක් වෙන මොනා හොයන්නද? ඒ වුනාට ඒ වෙද මාමාට ඒක තේරුම් ගන්න බැරි වුන එකෙන්නේ අපේ අහිංසකයා අමාරුවේ වැටුනේ… පව් අප්පා ඊට පස්සේ අමියා ඒ ළමයා ගැන තිබුන අදහස අතඇරගත්තා. ළමයා නම් දැම් ජොබ් එකක් කරනවා. මේ ලඟදී දවසක ඒ ගෑනු ළමයාව දැක්ක නිසා තමා මේක කතාව මතක් වුනේ. අමියත් ඔය ඉන්නේ ලාවට ජොබ් එකක් කරගෙන. තාම දෙන්නම සිංගල්.

%d bloggers like this: