ආච්චි මට කජු පුහුලම් ඕනේ…



හැමදාමත් වගේ මේ වතාවෙත්, තැඹිලි පාට බොරළු පාර ඊයේ වැහැපු වැස්සට හොඳටම මඩ වෙලා. තැන් තැන් වල පුංචි පුංචි මඩ කඩති පිරිලා. හරියට නිකං චොකලට් වගේ. මාස ගානක් තිස්සේ දූවිල්ලෙන් දුඹුරු පාට වෙලා තිබ්බ ගස් වැල් ඔක්කොම කොල පාට වෙලා… තාත්තේ… තාත්තේ… අර කජු පුහුලමක්…. අනේ මට ඒක කඩලා දෙන්නකෝ…. ඉන්නකෝ ආච්චිලාගේ ගෙදරට යනකං, ආච්චි දැන් කජු පුහුලං කඩලා ලුණුයි මිරිසුයි දාලා හදලා ඇති. හා… ලා කොල පාට, තද කොල පාට … පාර දෙපැත්තෙම ලස්සන ලස්සන ගස් වැවිලා තියෙන තැඹිලි පාට ගුරු පාර දිගේ කන්දක් හෙම නැගලා ගිහින් ඊළඟට හම්බුවෙන පල්ලමේ තියෙන තුන්මං හන්දිය ගාව ආයෙත් මඩ වලක්. තාත්තේ මේකේ මාලු ඉන්නවද? නැහැනේ පුතේ‍‍‍… ඕකේ කොහෙන්ද මාලු? අයියෝ මං තාත්තගෙන් ප්‍රශ්නයක් ඇහුවම, තාත්ත ආයෙම මගෙන් ප්‍රශ්නයක් අහනව‍… මම කෝමද ඔවට උත්තර දෙන්නේ… මං චූටියිනේ…. ඊට පස්සේ ඒ මඩ වලත් පාස් කරලා යද්දී ඈත තියාම පේනවා ලස්සන කහපාට රුක්අත්තන මල් පඳුරක්. ඒ මල් පඳුරේ හැමදාමත් අපි ආච්චිව බලන්න එන කාලෙට කහ පාට මල් හැදෙනවා. අනිත් දවස් වලටත් එහෙමද දන්නේ නෑ? හා … හා… බලාගෙන දුවන්නේ… වැටෙයි කොල්ලෝ…. අනේ අම්මා ඉන්න…. මට දැන් වැටෙන්නේ නැතුව දුවන්න පුළුවන්… මං හැමදාමත් ආච්චිලාගේ ගේ අඳුන ගන්නේ කහ පාට රුක්අත්තන මල් පඳුරෙන්. ඒ මල් පඳුරෙන් එන සුවඳ මල් පඳුර පේන්න ගන්න කොටම නහයට දැනෙනවා. ඊට පස්සේ මීටර් 50ක් විතර දුරක් අඩියට දෙකට දුවලා යනවා. ඊට පස්සේ දුවන ගමන් පාර දෙපැත්තේ තියෙන ගස් ටික ඔක්කොම අතගා‍ගෙන, හරියට ප්ලේන් එකක් අහසේ යද්දී ඒක වටේ තියෙන වලාකුල් තටු වල වැදෙනවා වගේ….කෙලින්ම ගිහින් නවතින්නේ… ආච්චියි, පුංචියි ඉන්න මං ආසාම… ආසම….මැටි ගෙදර. ආච්චී….. ආ… පුංචි සූටි පැටියා ඇවිල්ලා…. එන්න මැණික… අම්මලා මගද තාම? ඔව්… ආච්චි මට කජු පුහුලම් ඕනේ… හ්ම්… පුංචි හදලා තියෙන්නේ… වෙන ඇදුමක් දාගෙන කමු. නැත්තං පුතාගේ ෂෝයි ඇඳුම් වල කහට පැල්ලම් ගෑවෙනවනේ…. හා…. ආච්චියි, පුංචියි මං එනවා කියලා දැනගත්තම කජු පුහුලම් හදලා තියෙනවා හැමදාමත්. අපේ අම්මටයි තාත්තටයි වැඩිය හොඳට ඒ දෙන්නා ‍දන්නවා මං කජු පුහුලම් වලට කොයි තරම් පෙරේතද කියලා… ආච්චිලාගේ වත්තේ‍‍‍‍‍…ගේ ඉස්සරහ තියෙනවා ලොකූ මදටිය ගහක්. ඒකෙන් වැටුන පුංචි පුංචි තැඹිලි පාට මදටිය ඇට අහුලලා, ඒවායින් සාක්කු පුරෝගන්න එක තමා ම‍ගේ ඊළඟ රාජකාරිය. ඔන්න ඊට පස්සේ අම්මයි තාත්තයි ආච්චි එක්ක කතා කරලා එහෙම ඉවර වුනාම, මට කතාකරනවා පුහුලම් කන්න. මං ඉතිං ඒ වෙලාවට මොන වැඩේ කර කර හිටියත් කරන වැඩේ පැත්තක දාලා ‍බෲම්… ගාගෙන ගිහින් නවතින්නේ ආච්චිගේ ඔඩොක්කුවේ. ආ… මෙන්න, ගොඩක් කන්නේ එහෙම නෑ, කැස්ස හැදෙනවා. හරි… හරි… ආච්චි ඉන්නකෝ…. කියලා මාත් ඇරලා දානවා. ආයේ ඉතිං ගොඩක් කන්න එපා නම් මෙච්චර ගොඩක් හැදුවේ මොකටද කියලා අහන්න හිතුනට අහන්න බෑ නොවැ. කටේ පුහුලම්නේ… ඉතිං ඒක ගිලලා ඉවර වෙලා අහනවා කියලා හිතුවට, ඒක කාලා ඉවර වෙද්දී තව කෑල්ලක් කටේ… කොහොම හරි පුංචි බන්ඩිය පිරිලා ඉස්මුරුත්තාවට එනකම්ම කජු පුහුලම් කාලා තමා ආච්චිගේ ඔඩොක්කුවෙන් නැගිටින්නේ. එතකොට ඉතිං නිදි මතයි. පස්සේ ආච්චි මාව වත්තම් කරගෙන ගිහිං අපිට නිදා ගන්න ලෑස්ති කරලා තියෙන කොහු මෙට්ටෙට මාව නග්ගනවා. අම්බෝ ඒක සුවඳ. හරි අමුතු සුවඳක්. කොහු වලයි, රබර් වලයි එකතුවක් වගේ. ඊට පස්සේ මං හැමදාමත් නැගිටිද්දී වහිනවා. මාර සීතලයි. හරියට නුවර ගිහින් වගේ. පොල් අතු වහලෙන් පුංචි පුංචි වතුර බිංදු ඇඟට වැටෙද්දී ඇඟ සීතලට වෙවුලලා යනවා. ඒ මදිවට, ලෑලි ජනෙල් අස්සෙන් එන හිරිකඩ. හරියට නිකං මාව පිළිගන්න පොරකනවා වගේ. ඉතිං මම ඇහැ ඇරලා වටපිට බලන කොට මගේ එක අතක් වදිනවා කාගෙහරි ඇඟක. ආව් …. ෂප්පා… තාත්තා… ආයෙ ඉතිං තාත්තව තුරුල් කරන් නිදි. තාත්තත් මගේ ඇඟ උඩින් අත දාගෙන මාව උනුසුමට තුරුල් කරගන්නවා. ඊට පස්සේ ආච්චි කතා කරනවා. දැන් නැගිටපං චූටි නිදිමත කොල්ලෝ… දැන් වෙලාව පහමාරත් පහුයි. අන්න පොඩි මාමලත් බලන් ඉන්නවා… මංජු අයියත් ඇහුවා මල්ලී ආවද කියලා… හොඳ පැටියා වගේ පොඩි මාමාවත් බලලා එන්න තාත්ත එක්ක ගිහින්. අන්න අම්මනම් ගියා…. හැමෝම තමන්ගේ ගම ගැන කියද්දී ගෝල්ඩ් fish විතරක් කට පියන් ඉන්නේ කොහොමද? ගෝල්ඩ් fish ‍ගේ ගම තමා ලෝකේ ලස්සනම ගම. එහේ තියෙන ලස්සන වෙන කොහෙවත් නැහැ.ඉතිං මේ කියන්නේ මගේ ගම ගැන. මං අදටත් ආසාම… ආසම ලස්සනම තැන ගැන.

%d bloggers like this: