මේක නම් ඇත්තම ඇත්ත මාළු ටැංකියක් ගැන. මේක හතරැස්, අටපට්ටම් වගේ ටැංකියක් නෙවේ. ෆිෂ් බෝල් කියලා හඳුන්නන රවුම් හැඩති මාළු ටැංකියක්. මේක පිහිටලා තියෙන්නේ ගෝල්ඩ් fish ගේ ගෙදර, උගේ කාමරේ මේසෙ උඩ අනිත් ලට්ට පට්ට එක්කම තමා.
ඉතිං මේකනේ සීන් එක, ඔය ටැංකිය මං අරගෙන දැන් අවුරුද්දක් විතර වෙනවා. මුලින්ම දැම්මේ ලස්සන ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක්. පස්සේ ප්ලැටිනම් ඒන්ජල් ජෝඩුවක්. ඔය විදියට හැත්තෑ පස් පාරකට විතර මාළු මාරුකරා… මොකද උන්ට ඒකේ ජීවත් වෙන්න පහසුකම් වැඩි නිසා, හැම එකාම සතියෙන් දෙකෙන් වල කජ්ජ ගහනවා. ඒ පාර, ගෝල්ඩ් fish කරේ එකේ ඉතුරු වෙලා හිටිය කහයි කළුයි ඒන්ජල් දෙන්නව ගෙයි පිටිපස්සේ තියෙන බැකප් ටැංකියට දාලා… ගෙනාව එලකිරිස් වගේ මොලී ජෝඩුවක්. දෙන්නම මාර ලස්සනයි. තැඹිලි පාටයි. මාර ගති. ඉතිං උන් දෙන්නට මද කිපිලා නිසා, අඹු සැමියෝ වගේ ජීවත් වෙන්න ඕන කියපු නිසා, ඒ වැඩ ටික අපිට නොපෙනෙන්න කරගන්න කියලා තරමක කොට කෑල්ලකුත් ගෙනත් දැම්මා. තව, හයිඩ්රිල්ලා ගහකුත් දැම්මා. දැං ඉතිං ඔය ගස් අස්සේ රිංග රිංග මල් කඩ කඩ (නිකං විහාරමහා දේවී පාක් එකේ වගේ), ආතල් එකේ දෙන්නට අඹු සැමියෝ වගේ ඉන්න බැරියේ.
ඉතිං එහෙම ඉද්දී මොකද්ද මන්දා සීන් එකක් වෙලා තව පුංචි පුංචි පැටවු එහෙමත් ඉපදෙනවනේ. ඉතිං ගෝල්ඩ් fishත් සෑහෙන හෝප්ස් තියාගෙන උදේට හවසට කෑම දදා, ඔක්සිජනුත් ගානට දීගෙන සති දෙකක් විතර බලාගෙන හිටියා… මොලී මාලීගේ බඩ පිම්බිලා එනකම්, පොඩි එකෙක්ගේ මූන බලන්න හිතාගෙන… ම්හු… තාම නෑ…. ඊට පස්සේ තව සතියක් විතර බැළුවා… ඒත් නැහැ. මං හිතන්නේ තාම දෙන්න බැන්දා විතරනේ… ඒක නිසා ෆන් එකේ ඇති. අනිත් ඒවට තව කල් තියෙනවා කියලා හිතාගෙන. පස්සේ ඉතිං මාළු ටැංකියටම මාළු දෙන්නෙක් තියාගෙන මම අහවල් එකක් කොරන්නැයි.
ඊට පස්සෙන්දාම හාෆ් ඩේ දාලා ඔෆිස් එකෙන් ඇවිත්, මාළු ගන්න ගියා තව මල්ලී කෙනෙකුත් එක්ක. මිනිහා මට වැඩිය මාළු ගැන දන්නවා. දන්නවා කිව්වට අහගෙන යද්දී දන්න රෙද්දකුත් නැහැ. පස්සේ මම ඒ කාලේ ඉඳන්ම මාළු ගෙනාපු තැනින්… ගෙනාව තව තැඹිලි පාට මොලී ජෝඩුවකුයි, සුදු පාට මොලී ජෝඩුවකුයි.
පස්සේ මෙන්න අළුතෙන් ගෙනාපු මාළු ටික දැම්මා ටැංකියට. දැම්මා විතරයි පටන් ගත්තේ නැතෑ යුද්දෙ. අළුත් එවුන්ට පරන එවුන් කොටනවා. මාර කේස් එක. කෝකටත් කියලා බැකප් ටැංකියත් රෙඩි කරගෙන හිටියා. යුද්දෙ දිගටම තිබුනොත් එහෙම කට්ටියව වෙන් කරන්න බලාගෙන. ඊට පස්සේ ටික වෙලාවකින් කට්ටිම අතට අත දීලා, ගෑනු මාලියෝ ටික උම්මා දීගෙන එහෙම සාමදාන වුනා. ඊට පස්සේ මාලූ හයදෙනා සැරින් සැරේට එහාට පනිනවා මෙහාට පනිනවා. මොකක් හරි සීන් එකක් තියෙනවා. පස්සේ මං ටිකක් කිට්ටු කරලා බැලූවා. වෙනසක් පේන්න නැහැ. මම අළුත් මාළු හතර දෙනා ගේනකොට තව පාසි පැලයකුත් ගෙනාව. ඒකත් රුපියල් 15ක්ද කොහොද… ඉතිං ටිකක් ඈතට වෙලා ආයෙත් බලං උන්නා. ඇත්තටම හරිම කූල් ගතියෙක් දැනෙනවා හිතට.
ඊට පස්සේ එක පාරටම කූල් වෙච්ච හිත, රත් වෙන්න ගත්තේ ආයෙමත් මාළු ටික දඟලන්න ගත්ත නිසා. ඉතිං කලින් පාරට වැඩිය හොඳට බලන් හිටියා ටිකක් වෙලා. මෙන්න බොල එක පාරටම අර අළුතෙන් ගෙනත් දාපු ගහ අස්සේ ඉඳන් හතුරා එනවා එලියට… ඇවිත් කොට කෑල්ල යටින් රිංගලා ගිහින්… මාලූ ටිකට ෂොට් එක දීලා.. ආයෙත් කොට කෑල්ලයි, ගහ අතරයි හැංගෙනවා. හතුරා තමා තව පුංචි මොලී පැටියෙක්. අර මාත් එක්ක මාළු ගේන්න ගිය පොඩි එකා තමා මට ඕන මාළු ටික අල්ලලා, බෑග් එකට දැම්මේ… ඒ ගමන්ම ඌ පොඩි පැටියෙක්වත් අල්ලලා දාලා.
ඉතිං ඌ තමා ලොකු මාළු හය දෙනාට ඇටෑක් කරන්නේ. ඇටෑක් එක දුන්නා, ගිහින් හැංගුනා. ගරිල්ලා සීන් එකක් තමා යන්නේ. පස්සේ මං තව ටිකක් වෙලා බලන් හිටියා. මුගේ ඇටෑක් එක දෙන්නේ වෙලාවක් කලාවක් නැතුව. වෙලාවකට අනිත් උන් එක්ක සිංදු කිය කිය ආතල් එකේ ඉන්නවා. ඊට පස්සේ බලද්දී එලෝ එලෝ කොටනව. මට පේනනේ මේ පොඩි එකා මොලී බුද්ධි අංශෙ වෙන්න ඕනෙ. ඒත් සන්නිවේදන උපකරන නම් මුකුත් නෑ… ඌට තියෙන එක බේරිල්ල තමා අර කොට කෑල්ල. ඒක අස්සට වෙන මාළු රිංගන්නේ නැති නිසා පොඩි එකාට එතෙන හෙන සිකියුරිටි. ඕනෙ ඇටෑක් එකක් දීලා හැංගුනෑකි.
මං හිතුනොත් වෙලාවක කොට කෑල්ල අයින් කරලා බලනවා. ලොකු නැන්දිලා මාමිලා ටික පොඩ් එකාට මොකද කරන්නේ කියලා. ඒත් පවු කියලත් හිතෙනවා. මුළු ටැංකියටම ඉන්න පොඩිම එකානේ… අරුං දෙන්න තාම ෆන් ගන්නවනේ…. ඒක නිසා ඉතිං ඔන්න ඔහේ තියනවා. හැබැයි අනිත් එවුන්ට පැටවු හම්බුනොත් නම් මූට මොකක් හරි කොරන්න වෙනවා. මොකද නැත්තං මේ ත්රස්තවාදී මාලූ පැටියා, අනිත් අළුතෙන් ඉපදිච්ච පැටවුන්වත් ළමා ත්රස්තවාදීන් විදියට ට්රේන් කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා වැරදිලා හරි ලොකු මාළුන්ගේ ෆන් එක ඉවර වෙලා පැටවු ගැහැව්වොත් ඉතිං බැකප් ටැකියේ පිහිට තමා. කොහොම වුනත් පොඩි එකා වැඩි කලක් යන්න කලිං ලොකු එකෙක්ගෙන් කනේ පාරක් කන එක නම් ෂුවර්.
ඌ කොයි තරම් ත්රස්තවාදී වැඩ කලත් ඌව බැකප් ටැංකියට මාරු කරන්න හිතෙන්නේ නැත්තේ, ඌ නැත්තං ටැංකියේ කිසිම ඇක්ටිව් ගතියක් නෑ. අනිත් උංව අවුස්සලා ගන්නේ පොඩි එකා තමා. ඒක නිසා ඉතිං තාමත් ඌට මගේ මාළු ටැංකියේ යහතින් වසන්න වීසා හම්බුවෙලා තියෙනවා.
2011 පෙබරවාරි 16 දින පෙ.ව. 8:34 ට
අපේ සුදු අයියා වගේම මාළුවෙක් වෙන්න ඇති එයාත්.. හික්ස් :d
2011 පෙබරවාරි 16 දින පෙ.ව. 8:51 ට
ත්රස්තවාදි මාළුවොත් ඉන්නව එහෙනම්
2011 පෙබරවාරි 16 දින පෙ.ව. 10:38 ට
අපේ ඇල්කෙමි පැටියට ආසයි කියලා මමත් ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් ගෙනත් දුන්නා. ඊට පස්සේ එයා තනියි කියලා තවත් කෙනෙක් ගෙනත් දුන්නා. දෙන්නගෙ නම් Dorothy & Wiggly. දෙන්නම සනීපෙට ඉන්නවා. අඟලක් පමණ කාලේ ගෙනාවෙ. දැන් අඟල් තුනක් විතර ලොකු වෙලා දෙන්නම. දවස් 3 කට සැරයක් බෝල් එකේ වතුර මාරු කරලා වෙනත් බෝල් එකකට දානවා. ඔක්සිජනුත් නියමිත පරිදි දෙනවා.
බේරගන්න හොඳම ක්රමය තමයි නියමිත පරිදි කෑම දෙන එක. ගෝල්ඩ් ෆිෂ්ලා හරි පෙරේතයි. (තමුන්නාන්සේ වගේම තමයි) ඒ නිසා දෙන තරමක් කාලා බඩ පැලිලා මැරෙනවා. උදේටයි හවසටයි දුන්නාම ඇති.
දැන් මාස 7 ක් දෙන්නා සමගියෙන් සන්තෝසෙන් ඉන්නවා. තව ටික කාලෙකින් ලොකු ටැංකියක් ඕන වෙයි, මේ දෙන්නට මේ බෝල් එක ඉඩ මදි දැන්…
ඉවසන්නම බැරි වැඩේ ටැංකිය පුරවලා ජරා කරන එකයි… දවස් තුන යනකොට ගඳ ගහන්න ගන්නවා…
2011 පෙබරවාරි 16 දින පෙ.ව. 10:55 ට
අප්පේ පොඩි උනාට එයාගේ සැර!!!!!! සමනලිත් ආසයි අර දකුනු පැත්තෙන් දාලා තියෙන ගෝල්ඩ් ෆිෂ්ලා ඉන්න පින්තූරේ වාගේ වීදුරු බෝල් එකක ගෝල්ඩ් ෆිෂ්ලා දාලා කාමරෙන් තියන්න ඒත් සමනලීගේ තාත්තා දෙන්නේ නෑනේ අවසර… හේතු 2ක් මත තමයි ඒ අවසර නොලැබෙන්නේ:
1. එහෙම පොඩි ඉඩක මාලු තියන්නෙපා පවුලු, උන්ට හොදට පීනන්න ඉඩ නොදී අර බෝල් එකේ හිර කරන්න එපාලු
2. මොකේ මාලු දැම්මත් අන්තිමේ ඕවා සෝදන්න සුද්ධ කරන්න වෙන්නේ සමනලීගේ තාත්තටනේ ඉතින්, සමනලී කරන්නේ හැඩ බල බල ඉන්න එකනේ
වතාවක් සමනලීගේ තාත්තාගේ යාලුවෙක් උන්නා සුරතල් මසුන් ඇතිකරල විකුණන. ඒ කාලේ සමනලීගෙ මිදුලේ පොන්ඩ් එක හදපු අලුත. අපි එහේ ගියා මහ රෑක ඒ ලග වෙන ගමනක් ගිය ගමන්. දැන් සමනලී ඒ මිදුලේ තියෙන මාලු ටැංකි ලගමයි. ඒ පාර ඒ අන්කල් කලුවරේම බෑග් එකකට දාලා දුන්නා කාෆ් පැටවු ටිකක්. කෝප්පෙකින් බෑග් එකට හලාගෙන හලාගෙන ගියා. අපිත් ඉතින් රෑම ගෙදර ගිය ගමන් පොන්ඩ් එකට හැලුවා බෑග් එක. මොක්කු ඉන්නවද පෙනුනෙත් නෑ. එදා රෑ හොද වැස්සකුත් වැස්සා. “මේ කාෆ් පැටවු ටිකක්“ කියලා දුන්න එකේ “ටික“ දැක්කේ පහුවෙනිදා උදේ තමයි!!! වැස්සට පොන්ඩ් එකේ පිටාර බටයෙන් වතුර යද්දි ඒ එක්කම කාෆ් පැටවු 100-200 විතර ගිහින් මිදුල පුරාම මැරිලා… වාසනාවන්ත විදියට බේරුනු තවත් පැටවු 50ක් විතර පොන්ඩ් එකේ රවුමට රවුමට පීන පීන ඉන්නවා!!! ඒ අයගෙන් අන්තිමේ 20ක් විතර හොදට ලොකු මහත් උනා. ඒත් අර පුංචි පැටවු මැරිලා හිටි හැටි මතක් වෙද්දි තාමත් දුකයි
2011 පෙබරවාරි 16 දින ප.ව. 12:17 ට
පව් අපේ සනමලී… හික්ස්
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:44 ට
අනේද කියන්නේ…
2011 පෙබරවාරි 16 දින ප.ව. 12:18 ට
මම වගේම ගරිල්ල මිෂන් වල්ට ආස එකෙක්.උබ දන්නවද අයියෙ.මම තමා ඕකව පුරුදු පුහුනු කොරල ඔහාට එව්වෙ….
2011 පෙබරවාරි 16 දින ප.ව. 12:50 ට
මාර මාළු පැටියෙක් නේ…. උඹ වගේම තක්කඩියෙක් ද කොහෙදෝ මල්ලි
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:45 ට
අපිට තක්කඩි වැඩ කියලා දුන්නේ කව්ද දන්නේ නෑ…
2011 පෙබරවාරි 16 දින ප.ව. 7:31 ට
ඈ බං, මාළුවොත් දැං ෆැමිලි ප්ලෑනින් කරනවද? ඕක අනිත් උන්ටත් බෝ උනොත් බඩුම තමයි බොලං. විජහට ඕකුන් දෙන්න අර බැකප් ටැංකිටවත් දාහං අලුතින් ආපු උන්ටත් බෝවෙන්න කලින්. නැත්නං ඉතිං උඹට පැටව් දකින්න වෙන්නෙ හීනෙන් තමයි !
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:46 ට
අඩේ එදා ගෙදර යද්දී පැටව් දාලා බං.. පැටවු 48ක් හිටියා…
2011 පෙබරවාරි 16 දින ප.ව. 9:31 ට
මේක නම් නියම කතාව! අපේ ගෙදරත් ලොකු මාළු කමකටම නෑ! එක පැටියෙක් දාල නෑ තාම! ඒකට ගප්පි! පැටවු දාන කොට දාන්නේ පිස්සු හැදිලා වගේ! හැබැයි දැන් එක පොඩි මාලුවෙක් වත් නෑ දැන්! German gourami දෙන්නෙක් දාල හරිම කරදරේ! පොඩි මාළු ඔක්කොම කනවා! 😦
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:47 ට
මට නම් ගප්පි පේන්න බැහැ… ලස්සනයි තමා.. හැබැයි ඔයා කියනවා වගේ මාර විදියට බෝවෙන්නේ…
2011 පෙබරවාරි 16 දින ප.ව. 10:41 ට
රන් මාළුවාව තමයි සේරටම කලින් ටැන්කියකට දාලා හිරකරන්න වටින්නේ . ඔයවගේ සෝබන මාළු ඇතිකරන්න එපා බං අයියේ ඇතිකරන්න ඉස්සන් මගුරන් ලොකු වැලි ගොවුවන් වගේ මාළු .
අනිත් එක තමයි වීදුරු ටැංකි ඇතුලේ මාළු පැටවු දාන්නේ නෑ ..සිමෙන්ති ටැංකි ඕන එයාලට . අයියෝ ඔයා මාච්ලුවෙක් වෙලත් ඒක දන්නේ නෑ ..මල චාටර්
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:47 ට
උඹ දන්න දේවල්
2011 පෙබරවාරි 16 දින ප.ව. 11:32 ට
මාත් කාලයක් මාලු හදන්න හෙන ගේමක් දුන්න බං.කාෆ්ලා,සූ බන්ගිලා,ප්ලේටිලා තමයි හැදුවේ උඹේ වගේම තමයි මගේ එකෙත් ටැංකියේ රජ සැප එපාය කියාලා හදන හදන එකා ඉක්මනින් වල කජ්ජ ගහලා වන ගත උනා නෙව.අන්තිමට පොඩි පැටව ඉදන් ලොකු වෙනකන් හදපු කාෆ්ලා ටික ලෙඩක් හැදිලා එක පාර කුරිය ගැහුවම මුළු මාළු හැදීල්ලම එපා උනා.
අම්මපා උබ වගේ ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් මට හිටියනම් ගිහින් අත අරිනවා මුදේ…… හි 😀 හි :D……..
2011 පෙබරවාරි 16 දින ප.ව. 11:35 ට
එකක් කියන්න බැරි උනා නෙව.උබේ මාළු ටැංකියේ ඉන්න පොඩි එක කියනවද දන්නේ නැහැ මහා උන්ට.උඹලා මෙතන වැඩි හිටියන්ට පමණයි චිත්තරපටි පෙන්නන්නේ නැතුව හිටු මන් මෙතන පොඩි ඒකාය කියලා. :p
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:47 ට
අත්දැකීමෙන් වෙන්ටෑ කියන්නේ…
2011 පෙබරවාරි 17 දින ප.ව. 6:02 ට
අපොයි…. ගොල්ඩ් ෆිෂ්ටත් වෙන වැඩ… සාතන්ගෙත් ආස සබ්ජෙක්ට් එකක් තමයි මාළු… තාම නම් ඉන්නෙ ටයිගර් බාබ්ල විතරයි… අනිත් උන්ට සලකන්න වෙලාවක් නැති කමින් වලකජ්ජ ගැහුව… ලඟදිම හදන්න ඕන sea water tank එකක්…
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:48 ට
ටයිගර් බාබ්ලා ගැන නම් කියලා වැඩක් නෑ බං.. රංචුව එක්ක පීනද්දී මාර ගති….
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:43 ට
@ හසී – සුදු අයියා කිව්වේ මටද?
@ අකිකරුහිත – අනිවා… ඕනෙ තරම්…
@ Alchemiya – ගෝල්ඩ් ෆිෂ් තමා බෝල් වලට හරියනම මාළු…
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 8:50 ට
පොඩි එකා හොඳ හෝටලයකින් කාපුවාම හරියයි…
2011 පෙබරවාරි 18 දින පෙ.ව. 10:31 ට
ඇයි සුදු අයියා කිව්වාම නරකද? 😛
2016 ජූලි 18 දින ප.ව. 1:56 ට
නියමයි…..මගෙ ගාවත් පොඩි මාලුවෙක් ඉන්නවා………………..ගප්පියෙක්.