අනේ බුදු සර්.. එහෙම කරන්න එපා සර්…



ඕන්න ඉතිං ඊයෙත් ගෝල්ඩ් fish  ගෙදර ගිහින් දහ අතේ කංපනා කොරනවා හෙට මොනාද ටැංකියේ දාන්නේ කියලා… කොයිතරම් දේවල් තිබුනත් ලියන්න හිත දෙන්නේම නෑ. මාත් දැන් අනිත් අය වගේම කම්මැලි වීගෙන එනවා වගේ.

 

ඉතිං ඔහොම අහස පොළව ගැටලද්දී… මේං බොල මතකෙට මන්දු කෙරුවා, ගෝල්ඩ් fish ස්කෝලේ යන කාලේ පන්ඩිත ගමනක් ගිහින් හිරේ වැටෙන්න ගිය හැටි. ඉතිං ඒක ලියන්න ගත්තා. ඔය පහලින් තියෙන්නේ ඒ ත්‍රාසජනක, බියකරු, ඇඩ්වෙන්චර් කතාව තමා. ඇඟ කිලිපොලා යන සීන් එහෙම නම් නෑ. ඒක නිසා ඉතිං ඕනෙ කෙනෙක්ට කියවන්න පුළුවන්…

 

මේන්න මෙහෙමයි පටන් ගැන්ම. ඔය අපේ අනිත් අයට වගේම ගෝල්ඩ් fish ටත්, ස්කෝලේ උසස් පෙල කරද්දී හරි උන මලගෙවල් වල යන්න. අනේ අප්පේ ඒ දවස් වල නටපු නාඩගං. ඉතිං ඒ දවස් වල දන්න කියන කෙනෙක්ගේ අවමගුලක් වෙනවා කියන්නේ අපිට රජ මගුල්. ඇත්තම කියන්න අපි එකෙක් වත් බිව්වේ නම් නෑ. කරේම කැරමු ගැහුව එකයි, සැන්ඩ්විචස්, බිස්කට් වගේ දේවල් කකා කෝපි බීපු එකයි විතරයි. ගෙදරදි සැන්ඩ්විච් නොකන මාළුවොත් මල ගෙවල් වලදී නම් ඇරියස් අල්ලලා ඇරලා දානවා. වෙන කවුරුත් නෙවේ ඉතිං කොල්ලා….

 

ඉතිං ඔහොම ආතල් එකේ ඉන්න ගමන අපේ එක මාළුවෙක් ඇහුවා පාන්දර 1ට විතර, මේ මචං අපි රවුමක් යමුද කියලා… ඌ ඒක කියපු විදියටනම් නිකම් දවල් යන ගමනක් ගානට තමා කිව්වේ. පස්සේ ඉතිං අපිත් පුටාර් එහෙම අරගෙන ලෑස්ති වුනා, මේ රාත්‍රි සංචාරය සඳහා. අර යාළුවගේ විස්තරයට අනුව මැප් එක මෙහෙමයි… මළගෙදරින් පටන් අරන් මොරොන්තුඩුව හරහා බන්ඩාරගමට… ඊට පස්සේ බන්ඩාරගමින් පානදුරේට ගිහින් ආයෙමත් ගාලු පාර ඔස්සේ මළගෙදරට. මේ ගමනට කිලෝමීටර් 40ක් විතර අන්තර්ගත වුනා. පස්සේ අපි 1.15ට විකර ගෙදරින් ගියා. පස්සේ ඉතිං දන්නවනේ කොල්ලෝ ඔය වගේ ජොලි ට්‍රිප් යන කොට හැටි… ෂර්ට් ගලෝලා ඉනේ බැඳගෙන, බයිසිකල් වල වාඩි වෙලා යන වුන් ටී ෂර්ට් වලින් මූනු එහෙම වහගෙන හෙන හයියෙන් කෑගගහා තමා යන්නේ. මොකෝ ඉතිං ඒ වෙලාවට මිනිස්සු ඇහැරන් ඉන්න එකක් යැයි. මොකක් හරි තැටියක් දාගෙන තමා ඉතිං අපිත් ගියේ…

 

පස්සේ මෙන්න බොල බංඩාරගමට කිට්ටු වෙද්දී අපිට පේනවා… හරි ලස්සනට රතු පාට ලයිට් එකක් කැරකෙන වාහනයක්. අපි ඉතිං කෝකටත් කියලා මීටර් 75 විතර දුර තියලා බලාගෙන හිටියා ටිකක් වෙලා ඒක දිහා. එක පා….රටම….  අඩෝ… කව්ද යකෝ මේ පාන්දර, ෂර්ටුත් ගලෝ ගෙන වැදි පැටව් ටික වගේ… වරෙල්ලා බලන්න මෙහෙට… කියාගෙන මෙන්න එනවා තඩි පොලිස් මාමියෙක්… අම්මට සිරි දැන් ඉතිං මොකෑ කොරන්නේ…. කට්ටයම ඌ ගාවට ගියා. ගියාම තමා ප්‍රශ්න කිරී ආරම්භ වුනේ… මේ ඔක්කොටම මාළු පිරිස නියෝජනය කරමින් උත්තර දුන්නේ නිර්භීත (ඒත් කකුල් දෙක ගැහුනලු) අපේ සුපුන්. මේං ප්‍රශ්න ටික…

 

තොපි කොහෙද මේ රෑ යන්නේ…?

 

අපි සර්, මළගෙදරක ගිහින් ගෙදර යනවා.

 

කොහෙද මලගේ..?

 

****** කිට්ටුව.

 

ඉතිං මෙහේ යන්නේ?

 

නිකං අපි ඇවිල්ලත් නැති නිසා යන්න කියලා හිතුවා සර්….

 

ආ.. එහෙමද? ගනිල්ලා බලන්න අයිඩෙන්ටි.

 

ඒ දවස් වල අපිට අයිඩෙන්ටි කියලා, පෝසටල් අයිඩෙන්ටියත් තිබුනද මන්දා. ඊටත් මළ ගෙවල් වල යද්දී ඔය අයිඩෙන්ටි උස්සන් යනවැයි? මේ මෝඩ රාළාමියට ඒක තේරෙන්නේ නැහැනේ. ඊටත් මූ කවදාවත් මළගෙදරක ගිහින් හොර කොටු පැනලා… ආ වැරදුනා… හොර ගමන් ගිහින් එහෙම නැති, කොටින්ම ළමාවිය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති ගානට තමා ඇක්ටින් එක. පස්සේ අපේ සහෝ කිව්වා.. අයිඩෙන්ටි නැහැනේ සර් කියලා….

 

එහෙනම් ඉතින් උඹලව රිමාන්ඩ් කරන්න වෙනවා, ගෙදරින් ඇවිත් එක්කන් යනකං.

 

ඈ… තා‍ප්පෙටම කෙලලා තියෙයි… යකඩෝ මූ කරන්න හදන වින්නැහියක තරම. මූව කොටියම කාපිය…. කොයිතරම් එහෙම හිතුවත් කොටියෙක් කියා පූසෙක් වත් නෑ කිට්ටුවක… මේ මහා රෑ මේ වගේ පිස්සු මොංගල් රාළාමියෙකුයි තවත් පිස්සෝ ටිකකුයි ඇහැරන් විකාර නැටුවට සතෙක් වත් පේන්න නැහැ.

 

ඊට පස්සේ… සැම එකසේ…

 

අනේ බුදු සර්.. එහෙම කරන්න එපා සර්… අපි අහිසංකයි සර්… අපි මේ තේ එකක් බීලා ආප්පයක් කාලා යන්න සර් ආවේ….

 

හෝව් හෝව් නවත්තපියව් කෑගැහිල්ල… තොපි ආප්ප කන්නමද ආවේ?

 

ඔව් සර්… ඔව්….

 

ආ එහෙමනම් සයිකල් ටිකත් දාගනෙ නැගපියව් ජීප් එකට….

 

අනේ එපා සර්… අපිට ආප්ප එපා ගෙදර යන්න දෙන්න සර්…

 

ඒත් මූ අපිව යවන්නේ නෑ. පස්සේ බැරිම තැන අපි සෙට් එකම හෙන හයියෙන් කෑගහලා අඩන්න ගත්තා, අනේ බුදු සර් යන්න දෙන්න කියලා. මෙන්න ටික වෙලාවකින් වටේ පිටේ ගෙවල් වල ලයිට් එක දෙක පත්තු වෙන්න ගත්තා… බඩු හරි තඩියා ඩිම් වෙලා දැං. අපි ටික තවත් හයියෙන් කෑගහන කොට මූට තේරුනා අපි මෙතෙන හිටියොත් ඌටත් බඩුම තමා කියලා. පස්සේ ඉතිං ඔන්න අපිට ඌ කටින් කියනවා… දැන් ඇති යකුනේ… දැන් ඇති කියලා. ඒත් අපි ඊට වැඩිය සද්දෙන් අනේ බුදු සර් කියනවා. පස්සේ මූ අතින් කටට ඇගිල්ල තියලා පෙන්නනවා කටවහගනිල්ලා කියලා… ඊට පස්සේ අපි සද්දේ වැහුවා.

 

පස්සේ අර අහිංසක පොලිස් මාමි කියනවා… අපෝ තොපි හිටියොත් මටත් ගෙදර යන්න වෙනවා… ආපු අතක් බලාගෙන පලයවු, ආයේ ආවොත් එහෙම බලාගමු කියලා… පස්සේ අපි යන්න හැරෙද්දී මාමා කියනවා… දැන් ඉතිං යන ගමන් අපේ අම්මටත් පිංදීගෙන පල කියලා.

 

හී හී ඕක ඉතිං කියන්න දෙයක්‍ද? මීටර් සීයක් යන්න කලින් සුපුන්ම පටන් ගත්තා‍‍…. ඔය නාකි පොලිස් කාරයාගේ අම්මට &$&*(@$*^^$)(@^$* ….

 

ආයේ ඉතිං ‍මළගෙදරට එනකම්ම පොලිස් මාමිගේ අම්මිට පිං අනුමෝදන් කර කර තමා ආවේ. ආහ්… අපි බන්ඩාරගමට ගිහින් ආවෙත් ඒ පාරෙන්මයි. මොනා කරන්නද ඉතිං අපේ නයිට් ටයිම් ඇඩ්වෙන්චර් රයිඩ් එක අර පොලිස් කාරයා කෑවා නෙව. ආයේ පානදුරේට ගිහින් එන්න තරම් ශක්තියත් ඉතුරු වෙලා තිබුනේ නෑ අර යකාට කෑගහලා අඩලා අඩලම.

 

මට මතක විදියට ඒ තමා අපේ පළවෙනි සහ අන්තිම නයිට් ටයිම් ඇඩ්වෙන්චර් රයිඩ් එක. දවල්ට යන ගමන් ඉතිං එහෙම නෑනේ. දැන්නම් මතක් වෙද්දීත් හදුංපොත පහලින් ටීං ටීං ගානවා. ඇයි ඉතිං එදා විහිළුවට හරි අර පොලිස් මාමි අපිව හිරේ දාලා ගෙවල් වලට පණිවුඩ යවලා ගෙන්නුවනම් එහෙම…

 

%d bloggers like this: